Print this Article


ජීවිතයට පින් පුරන්න

ජීවිතයට පින් පුරන්න

මෙලොව වශයෙන් දරුවකුට ඇති වටිනාම සම්පත තමන්ගේ මවුපිය දෙදෙනායි. එලෙස නොකියවුණු යමෙක් සෙවීම ඉතා අසීරු ය. කුඩා කල තම මවට - පියාට ඒ තරම් ළෙන්ගතු වූ දරුවන් කාලයත් සමඟ ම ඒ සෙනෙහස පසෙක ලා අන්‍ය සෙනෙහස සොයා යෑම වර්තමාන සමාජයේ සුලභ කරුණකි.

දිනෙන් දින මහ මඟ, බස්නැවතුම් පළවල, කඩ පිල්වල කසළ බැහැර කරන්නාක් මෙන් මවුපියන් අතහැර යෑමත්, වැඩිහිටි නිවාසවල මවුපියන් වැඩිවීමත් මත ඒ කරුණ වඩාත් තහවුරු කර ගත හැකි ය. මවුපියන්ට එසේ දුක් ගැහැට විඳින්නට, මුහුණපාන්නට සිදුවන්නේ පෙර සසරක කළ අකුසල කර්මයක විපාකයක් යැයි ද අපට සිතිය හැකියි. ඒ වගේම මවට - පියාට මෙවන් අකටයුතුකම් කරන දරුවන්ට ද යම් දවසක අත්වන්නේ ද එම ඉරණම ම විය හැකියි. ධර්මයට අනුව මේ සසර ගමනෙහි එසේම ඒ හමුවීම්, මුණ ගැසීම් සිදුව නැවතත් ඒ ක්‍රියාකලාපය ම සිදුවනු ඇත. මේ ක්‍රියාවලිය කවදා, කෙසේ නිමා වේ දැයි කාට නම් කිව හැකිද? මේ දුක්ඛිත සසර ගමන ඒ තරමට ම බිහිසුණු ය.

මේ සසර ගමන තුළ මවක් හෝ පියෙක් නොවූ කෙනෙක්, සෙවීම ඉතා දුෂ්කර ය. මේ සසර ගමනෙහි හමුවීම් සහ වෙන්වීම්හි කෙළවරක් දැකිය නොහැකිය. මේ සසර ගමනෙහි කෙළවර දැකිය හැක්කේ යථාර්ථය අවබෝධයෙන්ම පමණි. එසේ අවබෝධ නොකර ගන්නා තැන නැවත නැවතත් මේ සසර ගමනෙහි ම උරුමක්කාරයෝ ම වෙති.

ධර්මයට ලැදි දැහැමි දරුවෝ මවට - පියාට සැබෑ ලෙසටම ආදරය කරති. මවත් - පියාත් වෙනුවෙන් තම යුතුකම් මනා ලෙස ඉටු කරති. බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයෙහි වදාළ පරිද්දෙන් දරුවන් විසින් මවුපියන්ට සිදු කළ යුතු යුතුකම් පහක් පෙන්වා වදාළ සේක.

ඒ මවුපියන් පෝෂණය කිරීම, මවුපියන්ගේ සියලු කටයුතු ඉටුකරදීම, මවුපියන්ගේ සිරිත් - විරිත් හා කුල පරපුර රැක ගැනීම, මවුපියන් ලබා දුන් දායාද රැක ගැනීම, මවුපියන් මිය ගිය පසු පින් අනුමෝදන් කරවීම. මේවා සිදුකොට ජීවිතය පිනෙන් පොහොසත් කර ගන්නට මෙන්ම එය සසර ගමන කෙටි කර ගන්නට මහා කුසලයකි.

මාතුපෝසක, සාම, ගුත්තිල ආදී ජාතක කතා තුළින් ද පෙන්වා දෙන්නේ බුදුරජාණන් වහන්සේ සසර පුරා මවුපිය උපස්ථානාදිය සිදු කළ ආකාරයයි. එසේම බෝසතාණන් වහන්සේ සසර ගමන කෙළවර කොට බුද්ධත්වයට පත්වීමෙන් පසුව ද පළමු කොට අවබෝධ කොටගත් ගැඹුරු ධර්මය හෙවත් අභිධර්මය තුසිත දිව්‍ය විමානයට වැඩම කොට මාතෘ දිව්‍යරාජයා ප්‍රධාන දෙවිවරුන්ට දේශනා කළේ ද, කිඹුල්වත් නුවරට වැඩම කොට තම පිය රජතුමා වූ සුද්ධෝදන මහ රජතුමාට ධර්මය දේශනා කර සසර දුකින් මුදවාලන්නට ක්‍රියා කළේ ද මවුපිය උපස්ථානයක් ලෙසට ය.

මංගල සූත්‍රයෙහි සඳහන් මංගල කාරණා තිස් අටට “මාතා පිතූ උපට්ඨානං - ඒතං මංගල මුත්තමං” මෙලෙස ඇතුළත් කොට මවට - පියාට සැලකීම උතුම් මංගල කරුණක් ලෙස ද දක්වා තිබේ.

“බ්‍රහ්මාති මාතා පිතරෝ - පුබ්බාචරියාති වුච්චරේ” යනුවෙන් අංගුත්තර නිකායෙහි සබ්‍රහ්ම සූත්‍රයෙහි සඳහන් කරමින්, මවත් - පියාත් මහා බ්‍රහ්මයාට සම කිරීම මෙන් ම පූර්වාචාරීන් ලෙස හඳුන්වා දී ඇත. මහා බ්‍රහ්මයා සතුව පවතින මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණ මවත් - පියාත් සතුව ද පවතින බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

මෙලොවට අපව බිහි කර, ඒ බිහි කළ මොහොතේ සිට ඇති දැඩි කළ ආදරණීය මවටත්, පියාටත් සැලකීම දරුවන්ගේ යුතුකමක් සේ ම වගකීමක් ද වන්නේ ය. මවට, පියාට නොසලකන දරුවන් පිරිහෙන බව පරාභව සූත්‍රයෙහි පෙන්වා වදාරා ඇත. එසේ ම හැකියාව තිබිය දීත් මවට, පියාට නොසැලකීම වසල ගතියක් බව ද වසල සූත්‍රයෙහි දක්වා ද ඇත.