[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

දහම් සක්මන

දහම් සක්මන

සම්මතයෙහි කොපමණ පි‍්‍රය යමෙක් හෝ යමක් වුව ද උපාදානය නොකර ගනී. කවර අකැමැති හෝ අශුභ අරමුණක් කෙරේ වුව ද ගැටීමක් ඇති නොවේ. කර්ම සංස්කාර රැස්වීම දුර්වල වෙයි. සතිය, සම්පජඤ්ඤය , වීර්ය, මාර්ග ඵල සමාධි මඟ වැටහිය යුත්තේ ය. ජීවිතයේ වැඩිපුරම කාලයක් බාහිර පුද පූජාවන් සමඟ රැඳුණූ අයකුට හැබෑම බුද්ධ පූජාව කුමක්දැයි ධම්මාරාම ථේර කතා පුවතින් අවබෝධ කොට ගත යුතු වන්නේ ය.

නමෝ තස්ස භගවතො අරහතෝ සම්මා සම්බුද්ධස්ස

“නහි මය්හං මාලා ගන්ධාදීහි පූජං කරොන්තං මම පූජං කරොන්ති නාම ධම්මනුධම්මං පටිපජ්ජන්තා එව පන මං පූජෙන්තී නාම”

‘මල් සුවඳ ආදියෙන් මට පූජා පවත්වන්නෝ (නියම ලෙසින්) මා පුදන්නේ නොවෙත්. ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙන්නෝ ම (නියම ලෙසින්) මා පුදන්නෝ වෙති.”

(ධම්මපදට්ඨ කතා ධම්මාරාම වත්ථු)

බුදුරජාණන් වහන්සේ මෙයින් තෙමසකට පසුව පිරිනිවන් පාන්නෙමි’යි වදාළ විට දහස් ගණනින් භික්ෂූහු රැස්ව භාග්‍යවතුන් වහන්සේගේ වටා වැඩ සිටියහ. රහතන් වහන්සේ ධර්ම සංවේගය ඇති කර ගත් අතර, පුහුදුන් අය ශෝකයට පත්වූහ.

මේ අතර ධම්මාරාම නම් භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාන්නට පෙර අරහත්වයට පත්වන්නෙමි’යි අදිටන් කර ගෙන භාවනාවෙහි යෙදුනහ. ධම්මාරාම භික්ෂුව ගැන භාග්‍යවතුන් වහන්සේට දන්වන ලදුව, භාග්‍යවතුන් වහන්සේ විසින් ධම්මාරාම භික්ෂුව කැඳවන ලදහ.

අනෙක් භික්ෂූන්ගෙන් වෙන් ව හුදකලාව වැඩ සිටින්නේ ‘කවර කරුණකින් දැයි විමසන ලදුව මෙසේ පැවසී ය.

‘භාග්‍යවතුන් වහන්ස, මම තවමත් අවීතරාගි වෙමි. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාන්නට පෙරාතුව අර්හත්වයට පත්වීම පිණිස භාග්‍යවතුන් වහන්සේ දෙසූ මඟ අනුගමනය කරමින් සිටිමි. මම ඒ පරමාර්ථ ධර්මය ම මෙනෙහි කරන්නෙමි’යි පැවසූ විට භාග්‍යවතුන් වහන්සේ සාධු කාර දී මෙසේ වදාළහ.

මලින් සුවඳ ආදියෙන් පූජා පවත්වන්නෝ නියම ලෙසින් මා පුදන්මෝ නොවෙති.

ධර්මානුධර්ම ප්‍රතිපත්තිය ම මට සිදු කරන උතුම් ම පූජාවයි. භාග්‍යවතුන් වහන්සේ මෙම ගාථා රත්නය ද වදාළහ.

“ධම්මාරාමො ධම්මරතො
ධම්මං අනුවිචින්තයං
ධම්මං අනුස්සරං භික්ඛු
සද්ධම්මා න පරිහායති”

“සමථ විදර්ශනා ධර්මයෙහි නිතොර යෙදෙන බැවින් ධර්මය වාසස්ථාන කොට ඇති, ඒ ධර්මයෙහි ම ඇලුණා වූ ධර්මය නැවත නැවත මෙනෙහි කරන භික්ෂුව බෝධිපාක්ෂික ධර්මයන්ගෙන් නොපිරිහෙයි.”

මෙම ධර්ම කතාව ඔබ අපි සියලු දෙනාට ම යහපත් වූ ධර්ම අවවාදයක් දීමකි.

වක්කලී නම් භික්ෂූන් වහන්සේට ද භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ මෙ වැනි ම අදහසකි. භාග්‍යවතුන් වහන්සේගේ බාහිර රූපකාය ගැන ඇලුණු වක්කලී තරුණයා පැවිදි වූයේ බුදු රුව නිතර බලා සිටින්නට ම ය. පැවිදි ව භාග්‍යවතුන් වහන්සේගේ රූප කාය දෙස බලා සිටි වක්කලී භික්ෂුවට භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දෙතිස් කුණපයන්ගෙන් පිරුණු ශරීරය දෙස බලා සිටිනවාට වඩා පරමාර්ථ ධර්මය ම දකින ලෙස ය. පටිච්චසමුප්පාද ධර්මය ම මෙහි පරමාර්ථ ධර්මය වෙයි. අප අතරින් බොහෝ ම පිරිසක් පරමාර්ථ ධර්ම මාර්ගය අනුගමනය කිරීමට වඩා භාග්‍යවතුන් වහන්සේ විසින් මහත් සේ ප්‍රශංසා නොකරන ලද ආමිසයෙහි නියුක්ත ව සිටිති. ආමිස පූජාව නොකළ යුතු ය යන්න මින් අදහස් නොකෙරේ. ශ්‍රද්ධාව පහළ කර ගැනීම පිණිසත්, පස්පව් දස අකුසල්වලින් මිදී සීල, සමාධි, ප්‍රඥා මඟට යොමුවීමේ පළමු පියවර සේ ම පිළිවෙත් මාර්ගය පිරිසුදු කර ගැනීමටත් තම සිත උනන්දු කර ගැනීම පිණිසත් මල් පහන් සජ්ඣායනා ආදි පූජා පැවැත්වීම කළ යුතු වන්නේ ය. එනමුත් බොහෝ පිරිසක් එම ආමිස පූජාවෙන් ම නතරවී සිටිනවා විනා භාග්‍යවතුන් වහන්සේ වදාළ සසර දුකෙන් නිදහස්වීම” නම් වූ මඟට උපකාර වන විදර්ශනා මඟ පුරුදු කිරීම අල්ප ය. විදර්ශනා මඟට පැමිණි බව පවසන පිරිස් ද නියමාකාරයෙන් ඒ මඟට සකස්වී නොමැති බව වැටහෙන්නේ කණ්ඩායම්වලට බෙදෙමින් ලෞකික අරමුණුවලට වක්‍රාකාරයෙන් යොමුවී කටයුතු කරන බැවිනි. ධර්මානුධර්ම ප්‍රතිපත්ති මාර්ගය උගන්වන බොහෝ සූත්‍ර දේශනා අතර මහා සුඤ්ඤත සූත්‍ර දේශනාව ද ප්‍රධාන තැනක් ගනී. එහි මෙසේ දැක්වෙයි.

“ආනන්දය, යම් රූපයක රාග වශයෙන් හා තදින් ඇලුණු කෙනකුට, ඒ රූපයේ වෙනස්වීම, අන්‍ය ස්වභාවයට පත්වීම හේතුවෙන් ශෝක, හඬා වැළපීම්, දුක් දොම්නස්, බලවත් සිත්තැවුල් නූපදිත් නම්, මම එබඳු එක ද රූපයක් නුවණැසින් නොදක්මි.”

එබැවින් භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා සිව් පිරිසට ම රූපාදි අරමුණු, කෙලෙස් ඉපදීම පිණිස හේතුවන නිමිති නොගෙන, තම අධ්‍යාපනයෙහි කෙලෙස් සන්සිඳෙන ඵල සමාපත්තිය පිණිස වාසය කිරීම පිණිස ම දහම් දෙසන ලදහ.

මේ බව මැනවින් අවබෝධ කර ගන්නා වූ ගිහි වූ ද, පැවිදි වූ ද ශ්‍රාවක ශ්‍රාවිකාවන් විසින් පළමුව, මනාකොට කායික වාචසික හික්මීම නම් වූ සීලයෙහි පිහිටීම අවශ්‍යය. “අණුමත්තේසු වජ්ජේසු භයදස්සාවී යනුවෙන් සඳහන් පරිදි කුඩා අනුකුඩා වරදෙහි පවා අවබෝධයෙන් යුතු බිය දක්නා යුතු බැවින් ම සීලයෙන් හික්මීමට පැමිණීම අවශ්‍යය ය.

සෝණදන්ඩ සූත්‍ර දේශනාවේ දී භාග්‍යවතුන් වහන්සේ වදාළේ “සීලපරිධෝතාහි බ්‍රාහ්මණ පඤ්ඤා පඤ්ඤාපරිධෝතං සීලං” යනුවෙනි. එනම්, ප්‍රඥාව සීලයෙන් පිරිසිදු වෙයි. සීලය ප්‍රඥාවෙන් පිරිසුදු වෙයි. මේ නිසා මේ සම්බුදු සසුනට පැවිදි හෝ උපාසක ස්වභාවයෙන් පැමිණෙන සෑම අයෙක් ම මනා කොට සිල් ඇත්තෙක් වීම අවශ්‍යය. සිත කය , වචනය නම් වූ තිදොරින් අසංවර චාරිත්‍ර වාරිත්‍රවලට පමණක් පුරුදු වී සිටින පිරිසකට හැබෑවට ම භාග්‍යවතුන් වහන්සේට ගෞරව කළ නොහැකි ය.

සිරිත් විරිත් වුව ද සීලයක් සේ අවබෝධයෙන් පවත්වන්නේ නම් එය යහපත් ය. එහෙත් වර්තමාන බොහෝ සිරිත් විරිත්වල ඇත්තේ ඇලීම් සහ ගැටීම් ය. එනම් තණ්හා මද මාන වඩන මාර්ගයන් ය. මෙසේ සිරිත් ලෙස දන් දෙන්නෝ ද, සිරිත් ලෙස සිල් සමාදන් වෙනවා යැයි පවසන්නෝ ද, අසවල් පින්කම් කරන්නේ යැයි පවසන්නෝ ද වෙති.

භාග්‍යවතුන් වහන්සේට හැබෑ ආකාරයෙන් කරන පූජාව නම් පරමාර්ථ ධර්ම මාර්ගය අනුගමනය කිරීමයි. කාමච්ඡන්දාදී නීවරණ ධර්ම බැහැර කරමින්, සප්ත බෝධි අංග වැඩෙන මඟ අනුගමනය කිරීම අවශ්‍ය ය. සීල විසුද්ධියේ පටන් ‘සප්ත විසුද්ධි පවත්වමින් උද්‍යව්‍ය ඤාණ, භංග ඤාණ ආදී ලෙසින් නව මහා විදර්ශනා මාර්ගයට අවතීර්ණ වීම කළ යුත්තේ ය. එසේ නොමැති ව, දැඩි මසුරුමලින් ද, තරහවෙන්, වෛරයෙන්, ඊර්ෂ්‍යාවෙන් ද, අකෘතඥ බවින් ද තම වැරැදි සඟවා අන් අයගේ නිතොර වැරදි දැක ගනිමින් ද, තමා උසස් කොට හුවා දක්වමින්, අන් අය පහත් කොට දක්වමින් ද ආදී ලෙසින් ජීවිත පවත්වන්නෝ හැබෑ ලෙස ධර්මය නොදකින්නෝ ය. තමා තමාට කල්‍යාණවන්තයෙක් විය යුතු ය. එනම් තමා තමා විසින් ම අත්හැරිමෙනි. තමා අත්හැරීම යනු අපිරිසුදුව සිටීම හෝ තම ශරීරය නිරෝගී ව පවත්වා නොගැනීම හෝ ලෞකික ඉගෙනීම, වෘත්තිය, ගේ දොර පවත්වා නො ගැනීම යැයි අදහස් නොකෙරේ. සීලයෙහි පිහිටා ඒ සියල්ල ම දැහැමිව අවශ්‍ය ආකාරයෙන් කළ යුතු වන්නේ ය.

එනමුත් මේ ස්කන්ධ පඤ්චකය නම් වූ “මම” අනිච්ච, දුක්ඛ, අනන්ත නම් වූ ත්‍රිලක්ෂණ ධර්මයට යටත් බවට සිත පුරුදු කොට තමා කෙරෙන් හෝ බාහිර ආරම්මණ නිසා හෝ උපාදානයන් සකස් නොවිය යුතුය.

‘සම්මුතියෙහි “මම” පැවැත්වුවත් පරම සත්‍යයෙන් මම යැයි ස්ථිර වූ යමෙක් හෝ යමක් නැති බව භාග්‍යවතුන් වහන්සේ ශාස්තෘත්වයෙහි පවත්වා ගෙන ම ධර්ම මනසිකාරය කළ යුතු වන්නේ ය. මෙහිදි “තමා අත්හැරීම” වැටහෙන්නට පටන් ගන්නේ ය. එනම්, අවබෝධයෙන් ම පස්පව්, දස අකුසල්වලට සිත, කය, වචනය නතු නොවීමෙනි. සම්මතයෙහි කොපමණ පි‍්‍රය යමෙක් හෝ යමක් වුව ද උපාදානය නොකර ගනී. කවර අකැමැති හෝ අශුභ අරමුණක් කෙරේ වුව ද ගැටීමක් ඇති නොවේ. කර්මසංස්කාර රැස්වීම දුර්වල වෙයි. සතිය, සම්පජඤ්ඤය , වීර්ය, මාර්ග, ඵල සමාධි මඟ වැටහිය යුත්තේ ය.

ජීවිතයේ වැඩිපුරම කාලයක් බාහිර පුද පූජාවන් සමඟ රැඳුණූ අයකුට හැබෑම බුද්ධ පූජාව කුමක්දැයි ධම්මාරාම ථේර කතා පුවතින් අවබෝධ කොට ගත යුතු වන්නේ ය.

දුරුතු පුර පසළොස්වක

ජනවාරි 24 බදාදා අ.භා. 09.54
පුර පසළොස්වක ලබා 25 බ්‍රහස්පතින්දා අ.භා. 11.27 ගෙවේ. 25 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 25

Second Quarterඅව අටවක

පෙබරවාරි 02

Full Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]