[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ගමට රටට සෙත සලසන සම්බුද්ධ පූජාමය පෙරහරක අසිරිමත් පෙළහර

ගමට රටට සෙත සලසන සම්බුද්ධ පූජාමය පෙරහරක අසිරිමත් පෙළහර

කුලියාපිටිය ඇස්සැද්දුම දුරුතු මහා පෙරහර

ඇස්සැද්දුම දුරුතු පෙරහරේ ආරම්භය හා ඉතිහාසය ඉතා කෙටියෙන් වුව ද මෙහි දී මතක් කිරීම වැදගත් වේ. එහෙත් ඒ සඳහා විහාරස්ථානයේ මූලාරම්භය සිදු වූ හැටි ද මතකයෙන් ගිලිහී යන්නට දෙනු නරක ය. 1921ට පෙර මේ ප්‍රදේශයේ ජනයාට පෝය දිනයකටවත් භික්ෂූන් වහන්සේ නමකගෙන් බණක්, දහමක් අසන්නට අවස්ථාවක් නොවීය. එබැවින් ඒ වන විට කුලියාපිටිය නගරය හා අවට ද පවුල් කිහිපයක් පමණක් පදිංචි වී සිටි අතර ඒ අවට වල් බිහි වී තිබුණි. දැනට සාරානාත් විදුහල පිහිටි භූමි භාගයේ එවකට පාසලක් පිහිටි අතර එම භූමියට වරින් වර පිටත ප්‍රදේශවලින් භික්ෂූන් වහන්සේ වැඩම කරවා බණ අසන්නට ප්‍රදේශයේ හා අවට බෞද්ධ පිරිස එකතු වී කටයුතු කළහ. ඒ අනුව දිනක් බණ ඇසීමට බෞද්ධයන් එන මඟ අයිනක සැඟවී සිටි පොලිස් නිලධාරියෙක් වේවැලක් තබාගෙන එන එන අයට ඉන් පහර දී ආපසු හරවා යවන්නට උත්සාහ කළේය. එහිදී එක් උපාසක අම්මා කෙනකුට පහර දෙන විට ඇති වූ කෝලාහලයක් දුරදිග ගිය අතර පාසලේ විදුහල්පතිවරයා පොලිසියට බියෙන් ඉන් පසු බණ කීම සඳහා පාසල් භූමියේ ඉඩදීම නැවැත්වීය. එහි දී එකතු වූ පිරිස අතර සිටි කිහිපදෙනා එක් රැස් වී අස්සැද්දුම විහාරය ආරම්භ කිරීමේ මූලික කටයුතු ආරම්භ කර ඇත.

අනතුරුව දැනට විහාරස්ථානය පිහිටා ඇති භූමියේ කුඩා පොල් අතු මඩුවක් තනා එය ධර්ම ශාලාවක් ලෙස ආරම්භ කර මුලින් ම වැඩම වූයේ මීරිගම මිණිඔළුව පන්සලේ වැඩසිටි කට්ටමුරිච්චානේ සිරි සුභාරති මාහිමිපාණෝ ය. උන්වහන්සේගෙන් අනතුරුව විහාරාධිපති ධුරය හොබවන ලද ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මහාචාර්ය අතිපූජ්‍ය කබලෑවේ පියභාරතී හිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් හා අනුලා කුලඟන සමිතියේ යෝජනාවක් මත 1994 දෙසැම්බර් මස 17 වැනි උඳුවප් පෝ දින සංඝමිත්තා පෙරහර නමින් කුඩා පෙරහරක් පැවැත්විණි. උන්වහන්සේගෙන් පසුව විහාරාධිපති ධුරයට පත් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පරියත්ති සංවද්ධන ලේඛකාධිකාරී ශ්‍රී බුද්ධ ශාසනාලංකාර මූලමහා විහාරාධිපති ශාස්ත්‍රපති පල්ලේකාගම රතනභාරති නාහිමියන්ගේ අනුශාසනා හා පූර්ව මෙහෙයවීම යටතේ උන්වහන්සේගේ අතිමහත් කැපවීම හේතුවෙන් මේ වන විට ශීඝ්‍ර දියුණුවක් අත්පත් කර ගෙන තිබේ. ඒ අනුව මෙම 2024 දුරුතු මස 26 වැනි දින 29 වන වරට පැවැත්වෙන පෙරහර වඩාත් අංග සම්පූර්ණ පෙරහරක් ඉදිරිපත් කිරීමට ගත් උත්සාහයකි.

****

සංස්කෘතික උරුමයන් රැක ගනිමින් පැවැත්වෙන දුරුතු මහා කලා මංගල්‍යය

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමලාභිදාන මහා නාහිමි

වර්තමානයේ අප රටේ ජනතාව විවිධාකාර අර්බුදවලට මැදිව ඒවායින් හෙම්බත් ව සිටිය ද බෞද්ධ ආගම දහම, සංස්කෘතිය ඔවුන්ගේ ජීවිතය හා බද්ධ වී ඇති බව අපට වැටහෙන්නේ කෙතරම් දුෂ්කරතා මැද වුව පෙරහර වැනි වැදගත් බෞද්ධ සංස්කෘතික කලා අංග අමතක නොකර වඩාත් සාර්ථක ව අලංකාර අන්දමින් පවත්වන හැටි අත්දකින විටය.

බෞද්ධ සංස්කෘතික ශිල්ප කලාංග රාශියක් ඉදිරිපත් කරමින් පෙරහර සඳහා නන් අයුරින් දායක වන පින්වතුන්ගේ පරිශ්‍රමයේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රදේශයේ බෞද්ධ අබෞද්ධ පොදු මහා ජනතාවට පෙරහර නරඹා විශාල රසාස්වාදයක් ලබා ගැනීමට මඟ පාදා තිබේ. බෞද්ධයාගේ ප්‍රධානතම මහ පෙරහර වූ දළදා පෙරහරට පසුව ජනතා උද්යෝගයෙන් පවත්වන තවත් පෙරහර කිහිපයක් ම විවිධ පළාත්බද ව පැවැත්වෙයි. ඒ අතර වයඹ පළාතට මහා පෙරහරක් ලෙස දුරුතු පෙරහර ඉතා සාර්ථක ව ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පරියත්ති සංවර්ධන ලේඛකාධිකාරී ශ්‍රී බුද්ධ ශාසනාලංකාර මූල මහා විහාරධිපති ශාස්ත්‍රපති පල්ලේකාගම රතනභාරති ස්වාමීන් වහන්සේ කටයුතු කර තිබීම ප්‍රශංසනීය ය.

තම ගුරු දේවයන් වහන්සේ වූ මහාචාර්ය කබලෑවේ පියභාරතී අනුනායක මහා ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි දශක තුනකට ඉහත සංඝමිත්තා නමින් ආරම්භ කළ, එදා කුඩාවට පටන් ගත් එය අද මහා පෙරහරක් ලෙස පවත්වන්නට, දියුණුපමුණු කිරීමට උන්වහන්සේගේ ශිෂ්‍යවර විහාරාධිපති ශාස්ත්‍රපති පල්ලේකාගම රතනභාරති ස්වාමීන් වහන්සේ ඉදිරිපත්වීම අපගේ සතුටට කාරණයක් වෙයි.

චිරාත් කාලයක් මෙම අලංකාර බෞද්ධ පෙරහර පවත්වමින් ප්‍රදේශයේ පොදු ජනයාට සෙතක්, ශාන්තියක් කරන්නට, ශාස්ත්‍රපති පල්ලේකාගම රතනභාරති ස්වාමීන් වහන්සේට හා පෙරහර කමිටුවේ සැමටත් දායකකාරකාදී පින්වතුන්ටත් ශක්තිය ධෛර්යය හා වාසනාව උදාවේවා’යි ප්‍රාර්ථනා කරම්හ.

****

ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් නීරෝගි සමෘද්ධිමත් කාලයක් උදාවේවා

ශාසනස්ථිකාමී, විහාරාධිපති හා ප්‍රධාන අනුශාසක, ශාස්ත්‍රපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පරියත්ති සංවද්ධන ලේඛකාධිකාරි පල්ලේකාගම රතනභාරති නාහිමි

බෞද්ධයාගේ සිත් සතන්වල මුල් බැසගත් පෙරහර නම් වූ සෞන්දර්යමය කලා ශිල්ප රසමුසුව සම්බන්ධ සංකල්පය හා එහි ආ ගිය මුල ගිය තැන් බලන විට ගෞතම බුදුසමය තෙක් එය අතීතයට දිව යයි. ඒ සිදුහත් කුමරුන් බුද්ධත්වයට පත්වීමෙන් පසුව ප්‍රථමවරට තම උපන් ගමට වැඩම කරවීමේ අවස්ථාව තෙක් ය. බුදුරජාණන් වහන්සේගේ උපන් ගම වූ කිඹුල්වත් නුවරට වැඩම කරවීම සිදුකළ ඒ මහා පෙරහර කාලුදායී ඇමතිවරයා විසින් සංවිධානය කරනු ලැබුවේ සුද්ධෝදන රජුගේ මෙහෙයවීම යටතේ ය.

අප රටට බෞද්ධ සංස්කෘතික හා කලා ශිල්ප ශාස්ත්‍ර පිබිදීමක් හා ආරම්භයක් ඇති වූයේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236කට පසුව සිදු වූ මහින්දාගමනයේ ප්‍රතිඵල හැටියට ය. ශ්‍රී මහා බෝධීන් වහන්සේ දඹකොළ පටුනේ සිට අනුරාධපුරයට වැඩම කරවීම ද සිදුකර තිබුණේ විශේෂ පෙරහරකිනි.

මිහිඳු පෙරහර, සංඝමිත්තා පෙරහර ආදී වශයෙන් ගෞරවනීය පුද්ගලයන් සිහිපත් කරන පෙරහර ද, කතරගම පෙරහර, කැලණි පෙරහර ආදී වශයෙන් වූ තවත් පෙරහර ගණනාවක් අප රටේ වර්තමානයේ බිහි වී පෙරහර සංස්කෘතිය ප්‍රචළිත කිරීමට කරන සේවාව අතිමහත් ය. අපගේ මේ පෙරහර සියල්ලෙහි මුදුන් මල්කඩ වනුයේ ලොව පුරා ගෞරවයටපත් මහනුවර දළදා මාළිගාවේ පවත්වනු ලබන ඇසළ පෙරහර ය.

වයඹ පළාතේ, සත්කෝරළයේ වර්තමානයේ පැවැත්වෙන ප්‍රමුඛතම පෙරහර වන්නේ අපගේ කුලියාපිටිය, ඇස්සැද්දුම, ශ්‍රී බුද්ධ ශාසනාලංකාර මූල මහා විහාරස්ථ ඓතිහාසික කුලියාපිටිය දුරුතු පෙරහරයි. මේ මස 26 වැනි දින මෙම පෙරහර පැවැත්වෙන්නේ 29 වන වරටයි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමලාභිධාන මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හා ප්‍රදේශයේ ගෞරවනීය මහා සංඝයා වහන්සේ හා අන්‍ය ආගමික පූජා ප්‍රසාදීන් වහන්සේගේ ද ප්‍රදේශයේ දේශපාලන අධිකාරියේ ප්‍රධානීන් ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ ද සහභාගීත්වයෙන් මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ මියන්රාජා මංගල හස්තියා මත සධාතුක කරඬුව තැන්පත් කිරීමෙන් පසු පෙරහර වීථි සංචාරය කර විහාරස්ථානයට ගෙවදීම සිදුවන අතර, පෙරහර මංගල්‍යය සාර්ථක ව නිම කළ බව ආණ්ඩුකාරතුමා වෙත සංදේශය භාරදීමෙන් පසු මෙවර පෙරහර සාර්ථක ව නිම කිරීමට නියමිත ය.

මෙවර පෙරහර සාර්ථක කර ගැනීම සඳහා ඔබ සැම ලබා දෙන දායකත්වය ශාසන දයාවෙන් අගයන අතර, එය සාර්ථක කර ගැනීම සඳහා මූල්‍ය දායකත්වය හා වෙනත් විවිධ අයුරින් සහයෝගය ලබා දෙන්නා වූ රාජ්‍ය, පෞද්ගලික ආයතන, දානපතීන් ඇතුළු සියලු දෙනාට ද, විහාරස්ථ සංවිධානවලට ද, පෙරහර කමිටුවට ද, සහයෝගය ලබා දුන් පැවිදි - ගිහි සැමට, පුණ්‍යානුමෝදනා පූර්වක ස්තූතියත්, ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත් පුද කර සිටින අතර, සියලු යහපත් කටයුතු සාර්ථක වේවා’යි ඉත සිතින් ම පතමි.

බුද්ධාදී සූවිසි ගුණ බලයෙන්, සිරි දළදා වහන්සේගේ ආශීර්වාදයෙන්, ජය ශ්‍රී මහ බෝ හාමුදුරුවන්ගේ පිහිටෙන් වර්තමානයේ මේ රටේ ඇති වී තිබෙන විවිධ වූ අර්බුද හා උවදුරු දුරු වී නීරෝගිමත් හා සමෘද්ධිමත් කාල පරිච්ඡේදයක් උදා වේවා’යි ප්‍රාර්ථනා කරමි.

****

දළදා වහන්සේගේ ආශිර්වාදයෙන් සියලු කටයුතු සාර්ථක වේවා

දියවඩන නිලමේ, ශ්‍රී දළදා මාලිගාව ප්‍රදීප් නිලංග දෑල

කුලියාපිටිය ඇස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර මහා විහාරාධිපති ශාස්ත්‍රපති පල්ලේකාගම රතනභාරති නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් හා මාර්ගෝපදේශකත්වයෙන් වාර්ෂික ව පවත්වා ගෙන එනු ලබන කුලියාපිටිය දර්ශනීය දුරුතු මහා පෙරහර මංගලෝත්සවය, 29 වරටත් වර්ෂ 2024ක් වූ ජනවාරි මස 26 වන සිකුරාදා දින කුලියාපිටිය නගරයේ වීදි සංචාරය කිරීමට නියමිත ව තිබීම කාගේත් සිත් සතන්හි බුද්ධාලම්බන පී‍්‍රතිය ජනිත කරවීමට හේතුවනු නො අනුමාන ය.

සාධු ජනයන්ගේ බුද්ධාලම්බන පී‍්‍රතිය හා ශ්‍රද්ධා භක්තිය වඩා වර්ධනය වෙන සේ දර්ශනීය වූත්, විචිත්‍රවත් වූත් නර්තන, වාදන, කොඩි, සේසත්, අලි ඇතුන් ආදී සකල විධ පෙරහරාංගයන්ගෙන් සමන්විත වූ උත්කර්ෂවත් පෙරහර මංගල්‍යයක් සංවිධානය කොට පැවැත්වීම ඉතා දුෂ්කර වූ කාර්යභාරයකි. මෙබඳු දුෂ්කර වූ බුද්ධ පූජාමය පෙරහර මංගල්‍යයක් 29 වැනි වරටත් නරඹන්නන්ගේ නෙත් සිත් පිනවමින් උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට කුලියාපිටිය ඇස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර මහා විහාරාධිපති ශාස්ත්‍රපති පල්ලේකාගම රතනභාරතී නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් හා මඟ පෙන්වීමෙන් නගරයේ වෙළෙඳ ප්‍රජාව හා නගරයේ අන්‍ය සැදැහැවතුන් සියලු දෙනා හා සමඟ එක්ව විචිත්‍රවත් ලෙස පවත්වා ගෙන යාමට හැකිවීම කාගේත් අමන්දානන්දයට හේතුවනු නිසැක ය.

මෙම දර්ශනීය පෙරහර මංගල්‍යය, වයඹ සත් කෝරලයෙහි කුලියාපිටිය ප්‍රදේශයේ බෞද්ධ ප්‍රබෝධය හා ශාසනාභිවර්ධනය පිණිසත්, නර්තන වාදන ආදී කලාවන්ගේ අභිවර්ධනය පිණිසත්, නරඹන සාධු ජනයන්ගේ ශ්‍රද්ධා භක්තිය වඩා වර්ධනය කිරීම පිණිසත් හේතු සාධක වෙමින් අඛණ්ඩ ව පවත්වා ගෙන යාමට ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ ආශිර්වාදය නොමඳ ව ලැබේවා’යි ආශිංසනය කරමි.

****

ත්‍රිවිධ රත්නය වෙත සිදු කෙරෙන ආමිස පූජා පින්කමක්

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ

කුලියාපිටිය, ඇස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර මහා විහාරාධිපති ශාස්ත්‍රපති, පල්ලේකාගම රතනභාරතී නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් වයඹ සත් කෝරළය නියෝජනය කරමින් වාර්ෂිකව පවත්වනු ලබන දුරුතු මහා පෙරහර වෙනුවෙන් මාගේ ගෞරව පූර්වක සුබ පැතුම් එක් කර සිටිමි.

ත්‍රිවිධ රත්නය වෙත සිදු කෙරෙන ආමිස පූජාමය පින්කමක් ලෙස උතුම් දර්ශනයක් පෙරදැරි කර ගෙන සිදු කෙරෙන මෙම සත්කාර්ය අගය කළ යුතු ය. මෙම ගෞරවනීය කර්තව්‍ය උදෙසා අනුශාසකත්වය ලබා දෙන, ශාස්ත්‍රපති පල්ලේකාගම රතනභාරතී නාහිමිපාණන් වහන්සේ, වයඹ පළාත් ආණ්ඩුකාරවර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මැතිතුමා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු අනුශාසක මණ්ඩලයට මාගේ හදපිරි ආශිර්වාද පිරිනමමි.

29 වැනි වරටත් පැවැත්වෙන මෙම දුරුතු පෙරහර මංගල්‍යය වෙනුවෙන් දීර්ඝ කාලයක් කැප කරමින් තම දායකත්වය ලබා දුන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සම්බන්ධීකරණ කමිටුව ඇතුළු දායක සභාවට ද මාගේ ශුභාශිංසන පිරිනමමි.

****

ශාසනික මෙහෙවරට කෘතවේදීත්වය පුදකරමි

වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන

කුලියාපිටිය, ඇස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර මහා විහාරස්ථානය ප්‍රදේශයේ මෙන්ම මුළු මහත් රටවාසී බොදු ජනතාවගේ ම ශ්‍රද්ධාභි වන්දනයට ලක්වන ඉපැරැණි බෞද්ධ සිද්ධස්ථානයකි. විහාරස්ථානයෙහි වැඩ වාසය කරන ගෞරවනීය මහා සංඝරත්නය විසින් ශාසනය වෙනුවෙන් ඉටුකරන්නා වූ කාර්යභාරය මෙන් ම බොදු ජනතාවගේ චිරස්ථිතිය වෙනුවෙන් ගන්නා උදාර මෙහෙවර පිළිබඳ මහත් සේ සතුටට පත්වන අතර ගරුතර මහා සංඝරත්නය, විහාරස්ථ දායකකාරකාදීන් සහ ප්‍රදේශයේ බෞද්ධ ජනතාවගේ දායකත්වයෙන්, කැපවීමෙන් අඛණ්ඩ ව පවත්වා ගෙන එනු ලබන දුරුතු මහා පෙරහර 2024 වර්ෂයෙහි 29 වැනි වතාවටත් පැවැත්වීම වෙනුවෙන් ශුභාශිංසන එක් කිරීමට ලැබීම පිළිබඳ මහත් සේ සතුටට පත්වෙමි.

මහාචාර්ය කබලෑවේ පියභාරතී ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වීමෙන් පසු වර්තමාන විහාරාධිපති ධුරය හොබවන ශාස්ත්‍රපති පල්ලේකාගම රතනභාරති නා හිමියන්ගේ ශාසනික මෙහෙවරෙහි මංපෙත් තව තවත් පුළුල් කරමින් සිය ශාසනික කාර්යභාරය පවත්වා ගෙන යාම පිළිබඳ මාගේ කෘතවේදීත්වය සහ ගෞරවය ප්‍රධාන අනුශාසක විහාරාධිපති ශාස්ත්‍රපති පල්ලේකාගම රතනභාරතී ස්වාමීන් වහන්සේ්ට පුද කර සිටිමි.

සිංහල බෞද්ධ සංස්කෘතියේ අනන්‍යතාවමූර්තිමත් කෙරෙන විවිධාංග එක් කරමින් උසස් අයුරින් පවත්වනු ලබන මෙම පෙරහර සමස්ත පළාත් වාසීන්ගේ මෙන් ම අන්‍ය ආගමිකයින්ගේ හා සියලු රටවාසී බෞද්ධාගමික සැදැහැවතුන්ගේ ආගමික නැඹුරුව උදෙසා ඉවහල් වේවා’යි බැතිබර සිතින් ප්‍රාර්ථනා කරමි.

දුරුතු පුර පසළොස්වක

ජනවාරි 24 බදාදා අ.භා. 09.54
පුර පසළොස්වක ලබා 25 බ්‍රහස්පතින්දා අ.භා. 11.27 ගෙවේ. 25 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 25

Second Quarterඅව අටවක

පෙබරවාරි 02

Full Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]