[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

බෝධිසත්වයන් වහන්සේ නමක් සතු ගුණ සමුදාය ප්‍රමාණ කළ නොහැකියි

බෝධිසත්වයන් වහන්සේ නමක් සතු ගුණ සමුදාය ප්‍රමාණ කළ නොහැකියි

පින්වත් ස්වාමීන් වහන්ස,

මුලින් ම අපි බෝධිසත්වයෙක් යනු කුමන උත්තමයෙක්ද කියලා සාකච්ඡා කරමු.

ථේරවාදී බුදු දහම තුළත්, මහායාන දර්ශනය තුළත් බෝධිසත්ව සංකල්පය ගැන විස්තර වෙනවා. ථේරවාදී දර්ශනය අනුව බෝධිසත්ව කියන වචනයේ අර්ථය වන්නේ බෝධියෙහි ඇලුණ බැවින් බෝධිසත්ව නම් වන බව යි. “බෝධියා ආසත්තෝ බෝධිසත්තෝ” යන අටුවා විග්‍රහයේ දී එය පැහැදිලි වේ. පාලි භාෂාවෙන් බෝධිසත්තෝ යන්න බෝධි +සත්වඝ බෝධි+ සක්ත යනුවෙන් සඤ්ජ් ධාතුවෙන් සකස් වීම ඇලීම් අර්ථයෙන් නිපන් පදයක් ලෙස සැලකේ “බෝධි” යනු අවබෝධය යි. ප්‍රඥාව යි. යථාර්ථාවබෝධය, ධර්මාවබෝධය, බුද්ධත්වය, ආධ්‍යාත්මික බල මහිමය යන අර්ථ දැක්වන්න පුළුවන්.

එහෙත් මහායාන අර්ථ විවරණය ථේරවාදයට වඩා වෙනස් වේ. බෝධි +සත් +ත්ව යනුවෙන් එහි නිරුක්තිය දක්වා තිබෙනවා. මෙහි සත් යන්නෙන් සාරය, සාත්වික ගුණය යන අදහස ද පෙන්වා දෙන්න පුළුවන්. ඒ අනුව නිවන සාරයේ කොටගත් තැනැත්තා බෝධි සත්ව නම් වන බව මුලින් ම සඳහන් කරන්න පුළුවන්.

මෙම “බෝධි සත්ත්ව” කියන වචනය මහායානයේ දී තවදුරටත් පැහැදිලි කරණ විට එහිදී විරාගී කියලා වචනයක් හමුවෙනවා එහි අදහස නොඇලෙන අර්ථය භාවිතා වී තිබෙනවා.

බෝධිසත්වයන් වහන්සේ නමක් බවට පත්වීමට හැම කෙනකුට ම පුළුවන්කමක් නැහැ. ප්‍රමාණය කළ නොහැකි ගුණ සමුදායකින් උන්වහන්සේ බලවත්. ථේරවාදී විවරණය තුළ එය මනාව විග්‍රහ කොට තිබෙනවා. බෝධිසත්වයෙක් ලෙස පෙරුම් පිරීම අතිශ්‍යයින්ම දුෂ්කර, දුලභ කරුණක්.

ථේරවාදී බුදුදහම තුළ බෝධිසත්ව ගුණයන් සඳහන් කර තිබෙන්නේ කොහොමද?

මුල් බුදුසමයාගත සූත්‍ර ධර්මවල සවිස්තරව බෝධිසත්ත්ව සංකල්පය ගැන සඳහනක් හමු නොවුනත්, බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කිරීමේ දී තමන් වහන්සේ බෝධිසත්ව සමයෙහි සිදු කළ සත් ක්‍රියාවන් ගැන ත්‍රිපිටයේ විවිධ සුත්‍රවල සාකච්ඡා වී, දේශනා කර තිබෙනවා.

ඒ සූත්‍රවලදී බෝධිසත්වයන් වහන්සේ නමකගේ ගුණාංග ඉස්මතු වී තිබෙනවා. එහිදී ද්වේධා චිත්තක සූත්‍රය, අරියපරියෙසන සූත්‍රය, මහා සුදස්සන සූත්‍රය, මහා ගෝවින්ද සූත්‍රය, මඛාදේව සූත්‍රය, භයභේරව සූත්‍රය ආදිය දක්වන්නට පුළුවන්.

මේ සූත්‍රයන් තුළ බුදුරජාණන් වහන්සේගේ පෙර ආත්මයන් හැඳින්වීමට භාවිත කර තිබෙනවා.මේ ආත්මභවයේ දී පරම සත්‍යාවබෝධය සඳහා බෝධිසත්වයකු සෙයින් ආර්ය පර්යේෂණයෙහි නියුක්ත වූ ආකාරය අරියපරියේසන සූත්‍රයේ විස්තර වෙනවා. බෝධිසත්ව චර්යාවන් ගැන සඳහන් වන පාලි මූලාශ්‍ර ග්‍රන්ථ ලෙස බුද්ධවංසය, චර්යා පිටකය සහ අපදාන පාලිය දක්වන්නට පුළුවන්. මහායාන බෝධිසත්ව සංකල්පය පෝෂණයවීමට අවශ්‍ය ඇතැම් මූලබීජ ථේරවාද දහම තුළින් ලබා ගන්නට ඇතැයි විශ්වාස කරන්නට පුළුවන්.

ඉහත සූත්‍රවල බෝධිසත්වයන් වහන්සේ ගැන විග්‍රහ කර තිබෙන්නේ කුමන ආකාරයට ද?

ඉහත විග්‍රහයන්ගෙන් ප්‍රකට වන ප්‍රධානතම කාරණා වශයෙන් ධර්ම කිසිවක්හි නොඇලෙන බව, සියලු සත්ත්වයන් අතරින් අග්‍ර වන බව, දෘෂ්ටි ගතිකත්වයෙන් තොරව යථාර්ථය එහෙම නැත්නම් සත්‍යය දකින බව, සර්ව දෘෂ්ටි ප්‍රහාරණය සඳහා අන්‍යන්ට දහම් දේශනා කිරීම, බුද්ධත්වය නම් වූ පරම සත්‍යාවබෝධය සඳහා කටයුතු කරන බව, සත්ව පුද්ගල ආදී සංඥාවන්ගෙන් බිඳී පරාර්ථ සේවයෙහි යෙදෙන බව, ස්වාර්ථයට වඩා පරාර්ථය අගය කොට සලකන බව, ආධ්‍යාත්මික පෞරුෂ වර්ධනය සඳහා ක්‍රියාකරන බව.

මේ ගුණාංගයන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨ උත්තමයා බෝධිසත්වයෝ කියන නාමය ලැබීමට සුදුසු යෝග්‍ය බව ඒ සූත්‍ර අධ්‍යයනයේ දී පැහැදිලි වෙනවා.

බෝධිසත්වයන් වහන්සේ නමක් විසින් ප්‍රගුණ කළයුතු (චර්යා) ධර්ම පද්ධතියක්, ප්‍රතිපදාවක් ගැනත් සඳහන් වෙනවා නේද?

ඔව්, චර්යා ධර්ම පද්ධතියක් හා ප්‍රතිපදාවක් තිබෙනවා. එම ප්‍රතිපදාව අතර ප්‍රධාන වශයෙන් අපි සාකච්ඡාවට භාජනය කරන්නෙ ප්‍රඥාව, කරුණාව, ස්වාර්ථය හා පරාර්ථය යන කරුණු ය.

බෝධි කියන එකේ අදහස නිවන කියන එකනේ. නිවනේ සාරය තමා ප්‍රඥාව කියන්නේ. බුද්ධත්වයට පෙරම්පුරණ බෝධිසත්වයන් වහන්සේ තුළ තිබිය යුතු මූලික කරුණ වන්නේ කරුණාව හා ප්‍රඥාව යි. බෝධිසත්ව චරණය තුළ කරුණාවෙන් තොර ප්‍රඥාවක් හෝ ප්‍රඥාවෙන් තොර කරුණාවක් හෝ අර්ථ දක්වන්නට පුළුවන්කමක් නැහැ. කරුණාව අර්ථවත් වන්නේ ප්‍රඥාවෙන්. ප්‍රඥාව, කරුණාව තුළින් වඩ වඩාත් දීප්තිමත් භාවයට පත්වෙනවා. එකකින් අනෙක උද්දීපනය වෙනවා. මේ බෝධිසත්වයන් වහන්සේ නමක් සතු ගුණාංග යි.

කරුණාව යනු බෝධිසත්වයන් වහන්සේ නමක් සකළ සත්වයන් කෙරෙහි ප්‍රගුණ කළයුතු ආකල්පය යි. සකළ සත්වයා කියන්නේ කාම, රූප, අරූප කියන ලෝක තුනේ ම වාසය කරන සියලු ම සත්ත්ව ප්‍රජාව යි. එහෙම නම් සියලු සත්ව ප්‍රජාව කෙරෙහි බෝසතාණන් වහන්සේට අනන්ත අපරිමිත කරුණාවක් තිබිය යුතු වෙනවා.

ඒ වගේම බෝධිසත්වයකු වීම පිණිස බෝධි චිත්තය උපදවා ගත යුතු වෙනවා. බෝධි චිත්තය උපදවා ගන්නා මොහොතේ දී එතුමා තමාට ම ප්‍රතිඥාවක් ලබා දෙනවා. තමාගේ කරුණාව ප්‍රකට කරන බවට. එයමයි ප්‍රතිඥාව වන්නේ. යම්තාක් තුන් ලෝක ධාතුවේ සත්වයෝ සිටිත් ද, එනම් “අණ්ඩජ, ජලාබුජ, සංසේසජ, ඕපපාතික, දුරස්ථ, සමීපස්ථ, හීන, උත්කෘෂ්ඨ, ඕලාරික, සූක්ෂ්ම, මහත්, කුඩා ඒ සියලු ම සත්ත්වයන් දුකෙන් එතෙර කරන තුරු මම මාගේ නිර්වාණ ප්‍රාප්තිය ප්‍රමාද කරමියි” කියා බෝධිසත්වයන් වහන්සේ තමාට ප්‍රතිඥා දෙනවා.

ඒ වගේ ම ථේරවාදී බුදුදහම තුළ එන ජාතක කතා පොත් වහන්සේ තුළ බෝධිසත්ව සංකල්පය මනාව ප්‍රකට වෙනවා. බෝධිසත්වයන් වහන්සේ සුලභ තැනැත්තෙක් නොවේ. එතුමා අනිවාර්යයෙන් ප්‍රඥාව, කරුණාව, ස්වාර්ථය, පරාර්ථය කියන ගුණාංග ප්‍රගුණ කළ යුතු වෙනවා.

මේ මහා භද්‍ර කල්පයේ අවසානයට පහල වන්නේ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ. ගෞතම බුද්ධ ශාසනයේ අවසන් වූ පසු බුද්ධත්වයට පත්වන්නේ උන්වහන්සේයි.

ස්වාමීන් වහන්ස, වර්තමානයේ දීත් බෝධිසත්වරු ලෙස කියා ගන්නා පුද්ගලයන් ගැන වරින් වර අපට අසන්නට ලැබෙනවා. ඒ ගැන පැහැදිලි කළොත්....

මහායාන බෝධිසත්ව සංකල්පයේ බෝධිසත්වරු අට දෙනෙක් ගැන සඳහන් වෙනවා. ඒ අවලෝකිතේශ්වර, ආකාශ ගර්භ, වජ්ජ ගර්භ, ක්ෂිති ගර්භ, සර්ව නිවාර, විෂ්කම්භී, මෛත්‍රෙය, සමන්තභද්‍ර, මඤ්ජු ශ්‍රී කියන බෝසත්වරු. එයින් වැඩියෙන් කතා කරන්නේ අවලෝකිතේශ්වර බෝසත්වරයාණන් පිළිබඳව යි. එම බෝධිසත්ත්වයෝ මහායාන දහම තුළ බුද්ධත්වය ප්‍රාර්ථනා කරනවා.

ඒ අවලෝකිතේශ්වර බෝධිසත්වයන් වහන්සේ ගැන අර්ථ විවරණය කළොත් ඉතාම වුවමනාවෙන් මහා ගැඹුරු අවලෝකනයෙන් බලා සිටින ඊෂ්වරයා නොහොත් මුනිවරයා කියන වචනය තමා අවලෝකිතේශ්වර කියන වචනයේ සරලම අදහස.

ආචාර්ය නාගර්ජුන පාදයන් තමයි මහායාන දර්ශනයේ ප්‍රධාන ආචාර්යවරයා වශයෙන් සලකන්නේ. ඒ ආචාර්යවරයාගේ ශිෂ්‍යයෙක් වශයෙන් ලංකාවේ වජිර බෝධි කියල හාමුදුරු කෙනෙක් ඉගෙනගෙන තියෙනවා. ඒ හාමුදුරුවෝ ලංකාවට පැමිණිලා මුලින් ම රුහුණේ අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිම සංකල්පය ප්‍රචලිත කරන්න කටයුතු කරන්න ඇති. ඒ වගේ පිළිම මාලිගාවිල දටඹිගොඩ, කුෂ්ටරාජගල, බුදුරුවාගල, යටාලවෙහෙර, සිතුල්පව්ව ආදී තැන්වල අපිට දැක ගන්න පුළුවන් වෙනවා.

බොදුනුවන් විෂ්ණු දෙවියන් හා නාථ දෙවියන් වශයෙන් සළකන්නේ මෙන්න මේ අවලෝකිතේශ්වර බෝධිසත්වයෝ යි.

එය කෙසේ වෙතත් බෝධිසත්ත්වරයෙක් වීමට අනන්ත අප්‍රමාණ කැප කිරීමක් කළ යුතු වෙනවා. කිසිදු ගුණධර්මයක් නැති කිසිවෙකුට මම බෝසත්වරයෙක් යැයි කියන්නට බැහැ. අඩුමතරමේ සීල, සමාධි, ප්‍රඥාවන් වර්ධනය කරගන්න උත්සාහ කරන්න ඕනේ.

සද්ධා, වීර්යය, සති ගුණ ධර්ම වර්ධනය කරගන්න උත්සාහ කරන්න ඕනේ. ගුණ හීන කෙනෙකුට බෝසත්වරයෙක් කියන්නත් බෑ. බෝසත් උත්තමයෝ පාරමිතා, උප පාරමිතා, පරමත්ථ පාරමිතා යන තුන් ආකාරය පූරණය කළ යුතු වෙනවා.

දුරුතු පුර පසළොස්වක

ජනවාරි 24 බදාදා අ.භා. 09.54
පුර පසළොස්වක ලබා 25 බ්‍රහස්පතින්දා අ.භා. 11.27 ගෙවේ. 25 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 25

Second Quarterඅව අටවක

පෙබරවාරි 02

Full Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]