[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පුර පෑළවිය සඳ - 03 කොටස

සාමණේරයන් වහන්සේ නමකගේ ජීවිතය අලලා ලියැවුණු නවකතාව: - 03 කොටස

පුර පෑළවිය සඳ 

දැන් ඇත්තේ දහවල් දානයට පෙර ගාථාව පාඩම් කර දීමට පමණි. ගාථාව හරියට පාඩම් හිටියොත් නම් සැනසීමකි.

අද දහවල් දානය ගේන්නේ මුදලාලිගේ ගෙදරින් ය.

යහමින් දානය ගෙනෙන ගෙදරකි. කිරිත් පැණිත් අනිවාර්ය ය. හීල් දානයේ හා ඊයේ රෑ අඩුව, දවල් දානයෙන් හොඳහැටි පුරවාගත හැකි ය.

ආවාසය ආසන්න බූල් ඇපල් ගසේ අලුතින් බෝඩ් එකක් එල්ලුවේ ඇසළ පෝයට කලින් දා ලොකු හාමුදුරුවන් ය.

එහි ලස්සන අකුරින් ලියා ඇත්තේ ‘අයං වස්සාන කාලො’ කියා ය. ඒ වැකිය ලියා ඇත්තේ පාලි භාෂාවෙනි. වන්දනා ගාථා ලියා තිබෙන්නෙත් පාලියෙනි. ගාථාවල නම් එකකවත් තේරුමක් දමිත සාමණේරයන් දන්නේ නැති මුත් මේ වැකියේ තේරුම නම් හොඳහැටි දනී.

‘මේ වැසි කාලයයි’ එහෙම නැත්තං ‘මේ වස්සාන කාලයයි’ කියන එකයි මේකෙ තේරුම කියා ලොකු හාමුදුරුවෝ එදාම කියල දුන්නා මතක ය.

ඇසළ පෝය දා පටන් පන්සලේ බෝධි පූජා පින්කම පටන් අරන් තිබේ. අදත් හවසට දායකයින් බෝධි පූජාවට පන්සලට පැමිණෙනු ඇත. සමහර විටෙක ඒ අතර රන් මල්ලීත්, කසුනුත් පැමිණෙන්නට ඉඩ තිබේ.

කුටියට ගොස් ගාථා ලියූ අභ්‍යාස පොත ගත් සාමණේරයන් හෙමිහිට ඇදෙන්නේ සෑ මළුවේ කරඳ ගස් සෙවණට ය.

දං ගස වෙත දිව්වාක් මෙන්, කිසිදු ජවයක් මේ මොහොතේ සාමණේරයන් තුළ පෙනෙන්නට නැත. අම්මා නම් කීවේ “මයෙ පුතා පන්සලට යන්න. මං ටික දවසකින් එක්කල යන්න එන්නම්” කියා ය.

ඒත් තමන් මහණ කරන දා ආවා මිස තවමත් තමන් එක්කගෙන යන්නට අම්මා ආවේ නැත. සමහර විට අම්මාටත් ගොඩාක් දුක ඇති මං ළඟ නැතුවට. බාප්පත් නැති හින්දා අම්ම ගාව සල්ලිත් නෑනෙ. කීයක් හරි හම්බුන ගමන් ඉන්තේරුවෙන් ම අම්ම ඒවි මාව එක්කන් යන්න. සාමණේරයන්ට සිතුණේ එසේ ය.

දවල් දානය පන්සලට ගෙනාවේ මුදලාලි මහත්තයාගේ නිවසෙනි. ආවේ ලස්සනම ලස්සන වාහනයක ය. වාහනය නම් හොඳට හුරුපුරුදු ය. මිනිස්සු ඒකට කියන්නේ මුදලාලිගේ කේ.ඩී.එච්. එක කියා ය. දවසක් බාප්පා සමඟ පොල් කඩන්නට වත්තට ගොස් මේ වාහනය දැක්කා දමිත සාමණේරයන්ට මතක ය.

දහවල් දානය මුදලාලිට හිමිව ඇති බැවින් ඊයේ පන්සලට ගිලන්පස රැගෙන ලියන මහත්තයා ආවේ ය. පසුදා දානය තිබෙන දායකයින් පෙරදා සවස පන්සලට ගිලන්පස රැගෙන ඒම දායක සභාවේ නියමයකි.

සාමණේරයන්ට වාහන දකින්නට, බලන්නට, අල්ලන්නට ඇත්තේ පුදුමාකාර ආශාවකි. පුංචි හිත්වල හැටි එසේ ය. තමන් ඔය රථගාය නිසා ගිහිව සිටියදී හොඳහැටි ගුටිකෑවා, බැණුම් ඇසුවා හිමියන්ට මතක ය.

මුදලාලිට ඇත්තේ ලොකුම ලොකු ලස්සන බංගලාවකි. සාමණේරයන්ගේ බාප්පාට එහි ඇති රාජකාරිය නම් මාස එකහමාරකට වරක් ගස්වල පොල් කැඩීම ය. බාප්පා එය සිදු කරන්නේ වක් පිහිය බැඳී උස කෙක්කකිනි.

එදාට හනසු අහුලා, බූවලු වෙන් කොට, පොල් අතු ගොඩ ගසා, පොල් අදින්නට උදව් වූ විට බඩ පිරෙන්නට කන්නට ලැබුණේ ය. කෑම නම් රස ය. ඒ රසයට නිදිකුම්බා කටුවලින් හා මානා පඳුරුවලින් පෑරුණු කකුල් පොඩිවල වේදනාව මොහොතකට අතුරුදහන් වී ගියේ ය.

වෙනදා දානය අස් කරන්නට හා බුද්ධ පූජාව බෙදන්නට සිරිමල් මාමාට උදව් වෙන්නට සාමණේරයන් යන්නේ නැත. ඒත් අද නම් සාමණේරයන් දානශාලාව ඇතුළේ ම ය.

පාඩම් කිරීමට ගෙනගිය ගාථා පොත තාමත් කරඳ ගස ළඟ බංකුව මත ය.

“ අවසර හාමුදුරුවනේ ...”

නන්ද හාමුදුරුවන් ඉදිරියේ අත් එකතු කළ මුදලාලි කොන්ද නැමුවේ ය. පන්සලට වාහනවල එන අයගේත්, පාපැදිවල හෝ පයින් එන අයගේත් වන්දනා ක්‍රමවල පැහැදිලි වෙනසක් ඇති බව සාමණේරයන්ට දැන් දැන් වැටහෙයි.

ගම්වල කැහැටු මිනිස්සු කොඳු බිම නමා හිස බිම තබා වැන්දත්, වාහනවල එන පිරිපුන් මිනිස්සු වඳීනවා කියා කරන්නේ අත් එකතු කොට ආයිබෝවන් කීම ය. වෙනසකට ඇත්තේ කොන්ද පොඩ්ඩක් නැමීම ය.

“ නායක හාමුදුරුවෝ පන්සලේ වැඩ ඉන්නවද පොඩි හාමුදුරුවනේ ?...”

“ ඔව්, වැඩ ඉන්නව මුදලාලි මහත්තය. “

නන්ද හාමුදුරුවන් පිළිතුරු දෙන්නේ සම්බුද්ධ පූජාව පිළියෙළ කරන ගමන් ම ය.

“ මට පොඩ්ඩක් මුණගැහෙන්න ඕනෙ. ආරාධනාවක් තියෙනව කරන්න.”

“ මුදලාලි මහත්තය බුද්ධ පූජාව තැම්පත් කරන්න එහෙනම්. මං නායක හාමුදුරුවන් දැනුවත් කරන්නම්. සම්බුද්ධ පූජාව අවසන් වෙලා හම්බවෙන්න පුලුවන්නෙ. “

පිළියෙළ කළ සම්බුද්ධ පූජාව වැස්මකින් වසා මුදලාලි වෙත දිගු කරන ගමන් නන්ද හාමුදුරුවෝ කීවත් මුදලාලිට සම්බුද්ධ පූජාවට කැමැත්තක් නම් නැත.

සම්බුද්ධ පූජාව අතට ගත්තේ ලියන මහත්තයා ය. මුදලාලි නෝනා බුදු මැදුර අසල මල්වට්ටි සකසනවා වන්නට ඇත.

“ අද වෙලාවක් නෑ පොඩි හාමුදුරුවනේ. වැඩ ගොඩයි. වත්තෙ පොල් කඩන දවස අද..

දැම්ම හම්බවෙන්න තිබ්බ නම් හොඳයි.”

දානය ගෙනෙන බොහෝ අය මෙසේ ය. සංඝ ගෞරවය තබා ලොව්තුරා බුද්ධ ගෞරවයවත් හරිහැටි පිහිටා නැති හැඩකි.

ඔවුනට දානය කියන්නේ පාංශුකූලය කර ගන්නට, බණ පිරිත කර ගන්නට, සමාජ තත්ත්වය පවත්වා ගන්නට උදව් කරනවාට, පන්සලට දෙන පොඩි පහේ සන්තෝෂමක් පමණි. ඉන් එහා පිනක් හෝ කුසලයක් ගැන හැඟීමක් බොහෝ දෙනකුට නොමැත.

නන්ද හාමුදුරුවන් නායක හාමුදුරුවන්ට පණිවිඩය දෙන්නට පිටත්ව වැඩියේ කිසිවක් නොකියමිනි. මුදලාලි මහත්තයා තමන් දෙස බැලුවේවත් නැත්තේ ඇයි. නන්ද හාමුදුරුවන්ට නම් ආයිබෝවන් කියා හෝ වැන්දේ ය. සමහර විටක ඉස්සර තමන් දැක ඇතත් තට්ටයත්, සිවුරත් නිසා දැන් අඳුනගන්නට නොහැකි වන්නට ඇත. සාමණේරයන් සිතන්නේ එසේ ය.

කෙසේ වෙතත් සම්බුද්ධ පූජාවට කෑල්ලක් තැබීමට කැපූ ඇපල් ගෙඩියත්, කෝලිකුට්ටු ඇවරියත් දමිත හිමියන්ට රැස් විහිදෙනවා සේ පෙනේ.ඒ අස්සෙන් කෑම සුවඳ බඩගින්නත් අවුස්සන්නේ ය.

හිත යන්නේ ම ඉතිරි ඇපල් ගෙඩියට ය. සිරිමල් මාමා නොසිටියත් මුදලාලි ඉදිරියේ නම් එසේ හැසිරෙන්නට බැරි ය. ඒ පන්සලේ හොඳම හොඳ දායක මහතෙකි.

“ මොකද්ද බං සිරිමල් මේ උඹලගෙ ලොකු හාමුදුරුවෝ කරන්න හදන්නෙ. “

භාජන සෝදමින් සිටි සිරිමල් මාමා මුදලාලි මහත්තයා දෙස බැලුවේ එවෙලේ ය. කතා කරන්නට වේලාවක් බලබලා සිටියත් නන්ද හාමුදුරුවෝ සිටි නිසා එය බැරි විය. නන්ද හාමුදුරුවෝ දාන ශාලාවෙ නැති බවක් ඔහු දන්නෙ හැරී බැලූ මොහොතේ ය.

තමන්ගේ වචනයට පිළිතුරු ප්‍රමාද වූයෙන් මුදලාලි මහතා ආයෙත් කතා කරන්නට විය.

“ දායකයො බොහෝම කලකිරිල ඉන්නෙ. මේවා අපේ පන්සල් බං, හාමුදුරුවන්ගෙ නෙමෙයි. දායකයො මෙව්ව හැදුවෙ වියදම් කරලා.

එහෙම හාමුදුරුවන්ට ඕනෙ ඕනෙ හැටියට මෙව්ව කරන්න දෙන්න බෑ සිරිමල්...”

මුදලාලි මේ කියන්නෙ කුමක් ගැනද? නන්ද හාමුදුරුවන් ඉදිරියේ නායක හාමුදුරුවන් යැයි ආමන්ත්‍රණය ලැබූ ලොකු හාමුදුරුවෝ දැන් නිකන්ම නිකන් හාමුදුරුවෝ බවට පත්වී තිබේ.

“ අනේ අප්පේ.. මොකද්ද මුදලාලි මහත්තය ඒ..? “

සිරිමල් මාමාගෙ සැර හොඳටෝ ම බාල ය. ලොකු හාමුදුරුවන් ඉදිරියේවත් සිරිමල් මාමා මෙතරම් බෙල්ල නමන්නේ නම් නැත.

දුරුතු පුර පසළොස්වක

ජනවාරි 24 බදාදා අ.භා. 09.54
පුර පසළොස්වක ලබා 25 බ්‍රහස්පතින්දා අ.භා. 11.27 ගෙවේ. 25 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 25

Second Quarterඅව අටවක

පෙබරවාරි 02

Full Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]