[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ගාලු මාතර දෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවි ලද අක්මීමන පියරතන නා හිමි

ගාලු මාතර දෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවි ලද අක්මීමන පියරතන නා හිමි

සංඝශෝභන ගුණ පූජිත අක්මීමන පියරතන ස්වාමීන් වහන්සේගේ උදාර ලෝක ශාසනික සේවය අගය කළ අපේ මල්වතු මහා විහාරීය මහා නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සානුනායක කාරක මහා සංඝ සභාව වෙතින් උන්වහන්සේ ගාලු මාතර දෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවියට පත් කර ඇත

ගා/අක්මීමන තොටගොඩ පඤ්චථුපාරාමාධිපති අක්මීමන පියරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ සානුනායක කාරක මහා සංඝ සභාවේ සමානච්ඡන්දයෙන් සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදින්න අත්ථදස්සි යන ගෞරව නාම සම්මුතිය සහිත ව ගාලු මාතර දෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවියට පත් කිරීම නිමිත්තෙන් ශ්‍රී සන්නස් පත්‍රය පිරිනැමීමේ පුණ්‍ය මහෝත්සවය පසුගිය 21 දා සිදුවිය.

මහනුවර රාජ පූජිත මල්වතු මහා විහාරීය මංගල උපෝසථාගාරයේ දී ශ්‍රීමත් මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය අභිමානවත් ව සිදුවිය. අභිනව නායක ස්වාමීන් වහන්සේ පිළිගැනීමේ අභිනන්දන උලෙළ මෙම මස 27 දින ප.ව. 2.30ට අක්මීමන තොටගොඩ පඤ්චථුපාරාමයේ දී මල්වතු විහාර පාර්ශ්වයේ අනුනායක අග්ගමහා පණ්ඩිත, සද්ධම්ම ජෝතිකධජ, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, සාහිත්‍ය චක්‍රවර්ති ගම්පහ වික්‍රමාරච්චි වෛද්‍ය විශ්වවිද්‍යාලයේ කුලපති නියංගොඩ සද්ධර්ම කීර්ති ශ්‍රී සංඝරක්ඛිත විජිතසිරි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ගිහි පැවිදි සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට සංවිධානය කර ඇත.

1954 ජන 23 වැනි දින කාරියවසම් හපුතන්ත්‍රිගේ එඩ්වින්, සොපායා විජේරත්න යන දම්පතීන්ට දාව හපුතන්ත්‍රීගේ චන්ද්‍රසිරි නමින් උපත ලැබූ, මේ පින්වත් කුල කුමරු මූලික අධ්‍යාපනය අක්මීමන මහා විද්‍යාලයීය හාලියගොඩ පාසල තුළින් ලබා පුරාකෘත පුණ්‍ය මහිමයෙන් විහාරාධිපති අක්මීමන සුධම්ම මහා ස්වාමීන් වහන්සේගේ සහ අතිගරු අක්මීමන පුඤ්ඤරතන ස්වාමීන් වහන්සේගේ ද ශිෂ්‍ය රත්නයක් ලෙස අතිගරු කුඹල්වැල්ලේ ධම්මරතන හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන්, අතිගරු කණ්නිමඩුවේ ධම්මිස්සර ස්වාමීන් වහන්සේගේ කර්මාචාරත්වයෙන් අක්මීමන පියරතන සාමණේර නමින් පැවිදි විය.

1967 දී කුඹල්වැල්ල ශ්‍රී රේවත විශ්වවිද්‍යාල පිරිවෙනට ඇතුළත්ව මූලික ධර්ම ශාස්ත්‍රෝද් ග්‍රහණය කර නුගේගොඩ සුභද්‍රාරාම පිරිවෙනට ඇතුළත් ව වැඩිදුර ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණය කරන ලදී.

විසි වයස් සම්පූර්ණ ව උගතමනා බණ දහම් උගෙන 1977 ජුනි 17 දින මහනුවර රාජ පූජිත මල්වතු මහා විහාරීය මංගල උපෝසථාගාරයේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටියහ.

2001 ජනවාරි මස 23 වැනි දින ස්වකීය ගුරුදේවයන් වහන්සේගේ අපවත් වීමෙන් පසු විහාරාධිපති පදවියට පත්ව පඤ්චථුපාරාම විහාරය සියලු විහාරාරාංගයන්ගෙන් සමලංකෘත දර්ශනීය විහාරස්ථානයක් බවට පත් කළ අතර, ශ්‍රී විමලජෝති දහම් පාසලේ ප්‍රධානාචාර්ය ධුරය දරමින් පළාතේ දරුවන් ගුණ නැණ දෙකින් පිරිපුන් පිරිසක් බවට පත් කරන්නට කරනු ලබන මෙහෙවර ප්‍රශංසා කටයුතු ය.

අපේ පියරතන නාහිමියන් සරල සුගම අපිස් දිවියක් ගත කරන අතර, ඝෘජු, අවංක, එඩිතර, ශීල වෘද්ධ, ගුණ වෘද්ධ, තපෝ වෘද්ධ යතිවරයන් වහන්සේ නමක් ලෙස ජන කීර්තනයට පත්ව ඇත.

උන්වහන්සේ මධුර ස්වරභාණි දේශකයන් වහන්සේ නමක් වන අතර ඉන්දියාව, තායිලන්තය, බුරුමය, සිංගප්පූරුව, අමෙරිකාව ආදි රටවල ද සංචාරය කරමින් ධර්ම ප්‍රචාරක කටයුතුවල ද නිරත විය.

සංඝශෝභන ගුණ පූජිත අතිගරු අක්මීමන පියරතන ස්වාමීන් වහන්සේගේ උදාර ලෝක ශාසනික සේවය අගය කළ අපේ මල්වතු මහා විහාරීය මහා නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සානුනායක කාරක මහා සංඝ සභාව වෙතින් උන්වහන්සේ ගාලු මාතර දෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවියට පත් කර ඇත.

උන්වහන්සේගේ උපන්දිනය නිමිති කර ගනිමින්, පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් ඉදි කළ සිව් මහල් සංඝාවාස මන්දිරය, ධාතු මන්දිරය, කෞතුකාගාරය ද පදවි ප්‍රාප්ති උපහාර අභිනන්දන උලෙළේ දී විවෘත කිරීමට නියමිත ය.

27 වැනි දින සර්ව රාත්‍රික පිරිත් දෙසුමක් පවත්වා 28 දින ශතාධික මහා සංඝරත්නය විෂයයෙහි දන් පිදෙනු ඇත. අභිනව නා හිමියන්ට තුණුරුවන්ගේ සරණින් සියලු දෙවි රැකවරණින් ශත වර්ෂාදී කාලයක් ලෝ සසුන් දෙකට වැඩ වඩන්නට ශක්තිය දිරිය බලය ලැබේවා'යි ආශිංසනය කරමි.

දුරුතු පුර පසළොස්වක

ජනවාරි 24 බදාදා අ.භා. 09.54
පුර පසළොස්වක ලබා 25 බ්‍රහස්පතින්දා අ.භා. 11.27 ගෙවේ. 25 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 25

Second Quarterඅව අටවක

පෙබරවාරි 02

Full Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]