Print this Article


වැලිගම සිරි ඤාණරතනාභිධාන මහා නාහිමි

1913 ඔක්තෝබර් 14වැනි දින වැලිගම දී උපත ලැබූ අප නාහිමිපාණෝ 1925 නොවැම්බර් 30 වැනි දින වැලිගම ඤාණරතන නමින් පරම පූජනීය අහංගම සිරි විමලසාර මාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් ලෙස අහංගම එළුකැටිය බිම්බාරාම මහා විහාරයේ දී පැවිදි දිවියට පත් වූහ. කොළඹ මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙනින් අධ්‍යාපනය ලබා රාජකීය පණ්ඩිත උපාධිය ද, කොළඹ විශ්වවිද්‍යාලයෙන් ‘විද්‍යා විශාරද’ උපාධිය සඳහා ද උගත් මහ නාහිමිපාණෝ බම්බලපිටියේ සිරි වජිරාරාමාධිපතිව වැඩ විසූ පැළෑණේ සිරි වජිරඤාණ මහ නාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යයෙක් ලෙස මනා භික්‍ෂු ප්‍රතිරූපයක් ගොඩනඟා ගත්හ.

උන්වහන්සේට ප්‍රාචීන ප්‍රතිචීන භාෂා පිළිබඳ තිබූ විශාරදත්වය විස්මයාවහ ය. ත්‍රිපිටක බුද්ධ වචනය කට පාඩමෙන් මතකයෙහි රඳවාගෙන සිටි අතර, විනය ගැටලු විසඳීමෙහි හා විනය කර්මවලදී පෙරමුණ ගත්හ.

1956 වර්ෂයේ බුරුම රටෙහි පැවති ඡට්ඨ සංගායනාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වී සංයුක්ත නිකායෙහි කොටසක් ශෝධනය කිරීම ද, බුද්ධ ජයන්ති ත්‍රිපිටකය සිංහලට පරිවර්තනය කිරීමේදී ජාතක පාලිය තනිව පරිවර්තනය කිරීම ද ශ්‍රී ලංකා රජයෙන් පිහිටු වූ සංක්ෂිප්ත ත්‍රිපිටක මණ්ඩලයෙහි ප්‍රධාන ලේඛක තනතුර ද හෙබවූහ.

මහනාහිමියන් සිදු කළ අනුපමේය යුග මෙහෙවර අනුස්මරණය කරමින් සමරු මුද්දරයක් නිකුත් කිරීමට ද කටයුතු යොදා ඇති අතර, නාහිමිපාණන් වහන්සේ විසින් රචිත ‘බුරුම භාවනා විවේචනය හා මහා මංගල සූත්‍ර වර්ණනාව’ යන ග්‍රන්ථද්වය ද නැවත මුද්‍රණද්වාරයෙන් එළි දැක්වීමට කටයුතු යොදා ඇත.