Print this Article


ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කිවුලේගෙදර නාරද අනු නාහිමි උපහාර පිදෙයි

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කිවුලේගෙදර නාරද අනු නාහිමි උපහාර පිදෙයි

තලවතුගොඩ සුධර්මාරාමාධිපති, විනයාචරිය, සද්ධම්මාචරිය, ප්‍රවචන කීර්ති ශ්‍රී, ශාසන වංශාවතංස ශ්‍රී ජිනානන්ද වංශාලංකාර භාෂා සාහිත්‍ය විභූෂණ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය කිවුලේගෙදර නාරද අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ උඩරට අමරපුර නිකායේ අනුනායක පදවියෙන් පිදීම නිමිත්තෙන් ප්‍රකාශිත 'ඡන්දෝලංකාර' ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කිවුලේ ගෙදර නාදර අනුනාහිමි උපහාර ශාස්ත්‍රීය ලේඛනාවලී දොරට වැඩුම පසුගිය දා (18) ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ශ්‍රී සුමංගල සභාසදයේ දී සිදු කෙරිණි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය කුලපති අතිපූජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාරභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැති එම උත්සවයේ මුඛ්‍ය දේශනය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් විසින් ද, ඡන්දෝලංකාර දෘෂ්ටාන්ත පිළිබඳ දේශනයක් මහාචාර්ය මැදගම්පිටියේ විජිතධම්ම හිමියන් විසින් ද පවත්වනු ලැබිණි.


මැදගම්පිටියේ විජිතධම්ම හිමියන් විසින් කිවුලේගෙදර නාරද අනුනාහිමිපාණන් වෙත ඡන්දෝලංකාර ශාස්ත්‍රීය ග්‍රන්ථය පිළිගැන්වූ අවස්ථාව

මහාචාර්ය මැදගම්පිටියේ විජිතධම්ම හිමි, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මීපිටියේ සීලරතන හිමි සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුනිල් දෑරංගල මහතාගේ සංස්කාරකත්වයෙන් හා පණ්ඩිත ගංගොඩඅරාවේ හේමාලෝක හිමි සහ ගෞරව ශාස්ත්‍රවේදී රජිත් නාමසිංහ මහතාගේ සහාය සංස්කාරකත්වයෙන් එළිදැක්වුණු මෙම උපහාර ශාස්ත්‍රීය ලේඛනාවලී සිංහල, පාලි හා සංස්කෘත ඡන්දෝලංකාර පිළිබඳ අධ්‍යයනය කරන, පර්යේෂණ කරන, විශ්ව විද්‍යාල විද්‍යාර්ථීන්ට පරිශීලනය කළ හැකි මාහැඟි ග්‍රන්ථයකි.

"පද්‍ය බන්ධනයේ දී විවිධ ගායනා රටා සම්පාදනය කර ගැනීමට අවශ්‍ය මූලික සිද්ධාන්ත ඇතුළත් මඟ පෙන්වීම සිදු කෙරෙන්නේ ඡන්දස් ශාස්ත්‍රයෙනි. කිසියම් රටාවකට අයත් පද්‍යයක එක් පේළියක තිබිය යුතු අකුරු ප්‍රමාණය තීරණය කිරිම ඡන්දසෙහි ප්‍රමුඛ කාර්යයි. එම පේළියෙහි ඇති පදවල උච්චාරණ විධිය හෙවත් ගුරු ලඝු පිහිටීම වෘත්තය නමින් හැඳින්වේ. කිසියම් උක්තියකට (කීමකට) කාව්‍යමය ස්වරූපයක් ආරෝපණය කරන්නට තරම් ප්‍රබල වූ යෙදුම අලංකාර සේ සැලකෙයි.

සිංහල, පාලි, සංස්කෘත යන කවර භාෂාවකින් නමුත් කාව්‍යමය නිර්මාණයක් කිරීමට යමෙකුට ආශාවක් ඇති වුවහොත් ඔහුට ඡන්දස් අලංකාර ශාස්ත්‍රය පිළිබඳ දැනුමක් හා පරිචයක් තිබිය යුතු ම ය” යැයි ඡන්දෝලංකාරහි පසුවදනෙහි මෙම සුවිශේෂී ග්‍රන්ථය පරිශීලනය කිරීමෙහි වටිනාකම පිළිබඳ සඳහනක් වෙයි.

මහාචාර්ය කිවුලේගෙදර නාරද අනුනාහිමිපාණන් වහන්සේ පිළිබඳ අප්‍රකට වූ ද, සුපේශල, ශික්ෂාකාමී, ධර්ම විනයධර භික්ෂූන් වහන්සේ නමක ලෙස උන්වහන්සේ මෙතෙක් ආ පැවිදි මඟ පිළිබඳ මහාර්ඝ තොරතුරු රැසකින් මෙම උපහාර ග්‍රන්ථය ශෝභමාන ය.

සිංහල ඡන්දෝලංකාර යටතේ සිංහල අලංකාර සම්ප්‍රදායය, ගේය කාව්‍යයන්හි අලංකාර භාවිතය, පාලි ඡන්දෝලංකාර යටතේ පාලි කාව්‍ය විචාර වාදය සහ සුබෝධාලංකාරය, ඡන්දස් ශාස්ත්‍රයේ මූලිකාංග හා විශේෂ වෘත්ත, සුත්ත නිපාතයේ අට්ඨකවග්ගයේ භාවිත ඡන්දස් අලංකාර, සමන්තකූට වණ්ණනාවේ භාවිත ඡන්දස් හා අලංකාර, සංස්කෘත ඡන්දෝලංකාර යටතේ සංස්කෘත ඡන්දස් ශාස්ත්‍රය, අනුරුද්ධශතකයේ ඡන්දස් හා අලංකාර භාවිතය ඇතුළු තවත් සිංහල, පාලි සංස්කෘත ඡන්දෝලංකාර වෙසෙසි මාතෘකා විශාල ප්‍රමාණයකින් ඡන්දෝලංකාර ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කිවුලේගෙදර නාරද අනුනාහිමි උපහාර ශාස්ත්‍රීය ලේඛනාවලී සමලංකෘත ය.

අප අනු නාහිමිපාණන් වහන්සේ උපත ලබා ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ වියළුව කන්දකැටිය කිවුලේ ගෙදර නම් රමණීය ගම් පියසේ ය. ඒ 1962 සැප්තැම්බර් 12 වැනි දින ය. දිසානායක මුදියන්සේලාගේ ටිකිරිබණ්ඩා මහතා සහ දසනායක මුදියන්සේලාගේ ලොකු මැණිකේ මහත්මිය උන්වහන්සේගේ පින්වත් මව්පියෝ වූහ.

අප නාහිමිපාණන් වහන්සේ උතුම් පැවිදි දිවියට පත්වන්නේ 1977 වසරේ අගෝස්තු 28 වැනි දා ය. ඒ අඹුලම්පහ රූපහ උත්තරාරාමයේ දී අති පූජ්‍ය ගෝඩුන්නේ ජිනානන්ද මහා ස්වාමීන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙනි.

1992 වසර වන විට උන්වහන්සේ සද්ධම්මාචරිය හා විනයාචරිය විභාග සමත් වෙමින් ත්‍රිපිටකය පිළිබඳ දැනුම පෘථුල කොට සිටියහ. පාලි බෞද්ධ විශ්වවිද්‍යාලයෙන් සිංහල පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති උපාධිය හිමි කර ගත්හ. 2000 වසරේ දී ඉන්දියාවේ පූනේ විශ්වවිද්‍යාලයට ශිෂ්‍යත්වයක් ලැබ එහිදී දර්ශනශූරී උපාධිය ද හිමි කර ගත්හ.

ඡන්දෝලංකාර, සාහිත්‍යය, තර්කන්‍යාය, ව්‍යාකරණය, සංස්කෘතිය හා ඉතිහාසය පිළිබඳ තමන් වහන්සේ ලැබූ ශාස්ත්‍රීය ශික්ෂණයෙන් හා පරිචයෙන් තම ශිෂ්‍ය ගණයා ශික්ෂණය කිරීමෙහි ලා අප අනුනාහිමිපාණන් වහන්සේ අපමණ කැපවෙති. විශේෂයෙන් භාරතීය ඡන්දෝලංකාර ශාස්ත්‍රය විෂයෙහි උන්වහන්සේ ලබා ඇති පරිචය අන් සියල්ල අභිභවන බව විද්වත්හු සඳහන් කරති.

ගිහි පැවිදි සියල්ලන්ගේ සිත් සතන් අමන්දානන්දනයට පත් කරමින් රාජකීය පණ්ඩිත, මහාචාර්ය අතිපූජ්‍ය කිවුලේගෙදර නාරද ස්වාමීන් වහන්සේ උඩරට අමරපුර මහා නිකාය මඟින් අනුනායක පදවියෙන් පුදනු ලැබීමෙන් එම තනතුර ශෝභමාන වනවා සේ ම සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් තවත් අමිල මෙහෙවරක නිරත වන්නට උන්වහන්සේට ශක්තිය ධෛර්යය ලැබෙනු ඇත. උතුම් අනුනායක ධුරය ඔපවත් කරමින් ලෝ සසුන් වැඩ වඩන්නට අප අනුනාහිමිපාණන් වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේ වා යන්න බුදුසරණ ප්‍රාර්ථනයයි.