Print this Article


බදුල්ල විහාරගොඩ විද්‍යොත්තංස පිරිවෙන් නූතන ඉතිහාසයේ නියමුවාණෝ දික්කාපිටියේ පඤ්ඤාලෝක නා හිමි

බදුල්ල විහාරගොඩ විද්‍යොත්තංස පිරිවෙන් නූතන ඉතිහාසයේ නියමුවාණෝ දික්කාපිටියේ පඤ්ඤාලෝක නා හිමි

බදුල්ලේ විද්‍යොත්තංස පිරිවෙන් විහාරස්ථානය ආරම්භ කර ඇත්තේ 1895/08/03 වැනි දින දීය. ඒ අඹේවෙල දේවරක්ඛිතාභිධාන මහා ස්ථවිර පාදයන් වහන්සේගේ හා පාලුගම සුභද්‍රාරාමාධිපති ව වැඩ විසු ශ්‍රි සුමංගල දේවරක්ඛිතාභිධාන ඌව දිසාවේ ප්‍රධාන සංඝනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ද ශිෂ්‍ය රත්නයක් වූ මාලිගාකන්ද විද්‍යොදය පිරිවෙණේ දීප්තිමත් ශිෂ්‍යයකු වු පාලුගම සුභද්‍රාරාමවාසී දිවිතොටවෙල ශ්‍රි බුද්ධප්පිය ස්වාමි පාදයාණන් වහන්සේ විසිනි.

ශාසනික වශයෙන් හා ජාතික අධ්‍යාපනික වශයෙන් විශාල ලෙස කැප වූ සහ නූතනයේ දී කැප වන බොහෝ ගිහි පැවිදි උගත් පිරිසක් මෙම පරිවෙණස්ථානයෙන් අධ්‍යාපනය ලබා ඇත.

බදුල්ලේ විද්‍යොත්තංස පිරිවෙණේ වත්මන් නියමුවාණන් වහන්සේ වන්නේ අතිගරු පරිවෙණාධිපති, විද්‍යොත්තංස පිරිවෙන් විහාරය, ඉඹුල්ගොඩ සිරි දුමින්දාරාමය යන උභය විහාරාධිපති ඌවේ ස්‍යාමවංශික නිකායේ පාලුගම විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක ධුරන්ධර දික්කාපිටියේ පඤ්ඤාලෝක නායක ස්ථවිර පාදයන් වහන්සේ ය.

ඌව උඩුකිඳ පළාතේ වැලිමඩ දික්කාපිටිය ගම් පියසෙහි විජේකෝන් මුදියන්සේලාගේ උක්කුබණ්ඩාර සහ තෙන්නකෝන් මුදියන්සේලාගේ රම්මැණිකා යන යුවතිපතීන් දෙපළට දාව 1964 පෙබරවාරි 01 වැනි දින ජන්ම ලාභය ලද උන්වහන්සේ විද්‍යොත්තංස පිරිවෙණේ ආදිකර්තෘවර පාලුගම පේමානන්ද ස්ථවිර පාදයන් වහන්සේට තිබූ සම්බන්ධතාව මත 1976 සැප්තැම්බර් මස 04 වැනි දින පාලුගම ශ්‍රී අත්ථදස්සී ස්වාමිපාදයන් වහන්සේගේ ආචාර්යත්වය යටතේ මෙම පිරිවෙන් විහාරස්ථානයේ දී පැවිදි භූමියට පත්විය.

බදුල්ලේ විද්‍යොත්තංස පිරිවෙණෙන් මූලික අධ්‍යාපනය ලැබ, කොළඹ මාලිගාකන්ද විද්‍යොදය පිරිවෙණෙන් ප්‍රාචීන අධ්‍යාපනය ලැබීය. කැලණි විශ්ව විද්‍යාලයට ඇතුළත් ව වාග්විද්‍යාව විෂයය පිළිබඳ පන්ති සාමාර්ථයක් සහිත ගෞරව උපාධියක් ලබා ගන්නා ලදහ.

එවකට කෘත්‍යාධිකාරි හිමියන් වශයෙන් කටයුතු කළ පාලුගම පේමානන්ද ස්ථවිර පාදයන් වහන්සේ 1983 දී අපවත් වූ හෙයින් ඉතා ළාබාල අවදියේ දී ම දික්කාපිටියේ පඤ්ඤාලෝක නාහිමියන් කෘත්‍යාධිකාරී හිමියන් ලෙස පත්විය. ඉන්පසු පරිවෙණාධිපති ස්වාමින්ද්‍රයන් වහන්සේ වශයෙන් කටයුතු කළ විචිත්‍ර පරිත්තභාණී පාලුගම අත්ථදස්සි ස්වාමිපාදයන් වහන්සේ 1988 දී අපවත්විම හේතුවෙන් දික්කාපිටියේ පඤ්ඤාලෝක නායක ස්ථවිර පාදයන් වහන්සේ විහාරාධිපති හිමියන් වශයෙන් පත්විය.

අනතුරුව 1991 පෙබරවාරි 01 දින පරිවෙනාධිපති හිමියන් වශයෙන් පත් වූ උන්වහන්සේ අවුරුදු 33ක කාලයක් පරිවෙණාධිපති ධුරය හොබවමින් මේ දක්වා ම වැඩ කටයුතු සිදුකර ගෙන එනු ලබයි.

බදුල්ලේ විද්‍යොත්තංස පිරිවෙණ අංග සම්පූර්ණ පිරිවෙන් විහරස්ථානයක් කිරීමේ නිමැවුම් කරුවාණන් වහන්සේ වන්නේ දික්කාපිටියේ පඤ්ඤාලෝක ස්වාමිපාදයන් වහන්සේ ය.

උන්වහන්සේගේ අධ්‍යාපනික ආගමික සේවාවන් අතර පිරිවෙනෙහි අධ්‍යාපන කටයුතු පන්ති පටිපාටියට අනුව විධිමත් කිරිම සුවිශේෂි වෙයි. මීට අමතරව පැරැණි සංඝාවාසය පූර්ණ වශයෙන් ප්‍රතිසංස්කරණය කිරිම, නව විහාරගෙය නිර්මාණය කිරීම, අභිනව වාහල්කඩ, නව පිරිවෙන් ශාලාව සහිත තෙමහල් ශිෂ්‍ය නේවාසිකාගාරය ඉදිකිරීම, ත්‍රිවිධ චෛත්‍ය සහිත අභිනව විහාර පරිශ්‍රය නිර්මාණය කිරීම ඒ අතර ඉතාමත් වැදගත් වෙයි.

නුතනයෙහි විද්‍යොත්තංස පිරිවෙණෙහි බලන බලන අත යම් ප්‍රභාවයක් වේ නම්, ඒ සීලාදී ගුණඝණෝපේත දික්කාපිටියේ පඤ්ඤාලෝක නායක යතිවර පාදයන් වහන්සේගේ කැපවිමේ අග්‍ර ඵලයයි. මේ උන්වහන්සේට පිදෙන කෘතෝපහාරයයි.