Print this Article


දෙස් විදෙස්හි කිතුගොස පතළ ආචාර්ය අකුරටියේ නන්ද නාහිමි

දෙස් විදෙස්හි කිතුගොස පතළ ආචාර්ය අකුරටියේ නන්ද නාහිමි

රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය අකුරටියේ නන්ද නා හිමි ජන්ම දිනය ජනවාරි 20 වැනි දිනට යෙදී තිබේ.

ජාතික හා ජාත්‍යන්තර තලයෙහි ඉහළින් ම සම්භාවනාවට පත් ආචාර්ය අකුරටියේ නන්ද නාහිමි සම්බුදු සසුන ආලෝකවත් කරමින් වැඩ වෙසෙන ශික්ෂාකාමී විද්වත් යතිවරයන් වහන්සේ නමකි.

කීර්තිශේෂ භාවෝපගත අතිපූජ්‍ය අකුරටියේ අමරවංස නාහිමියන්ගේ සහ ගාලු කෝරළයේ ප්‍රධාන සංඝනායක ව වැඩසිටි බද්දේගම පුඤ්ඤසාර නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් වර්ෂ 1965 ජුනි 24 වැනි දා පහළකීඹිය පුරාණ මහ විහාරයේ දී උතුම් වූ ප්‍රව්‍රජ්‍යා භාවයට පත් වූහ.

කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධියත්, ශාස්ත්‍රපති උපාධියත්, බෞද්ධ අධ්‍යයනය පිළිබඳ වූ උසස් ඩිප්ලෝමාවත්, දර්ශනපති උපාධියත් පිළිවෙළින් ලබා ගත් නන්ද නාහිමියෝ ඉක්බිති ව එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් ඉංගී‍්‍රසි ඩිප්ලෝමාවත්, තායිලන්තයේ මහාචූලාලංකාර රාජ්‍ය විශ්වවිද්‍යාලය, එංගලන්තයේ මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලය වැනි ඉහළම අධ්‍යාපන ආයතනයන් වෙතින් පශ්චාත් උපාධි, ඩිප්ලෝමා හා දර්ශන විශාරද උපාධිය හිමි කර ගත්හ.

විද්‍යොදය ආයතනාධිපති ලෙස වර්ෂ 1983 සිට 1994 දක්වා ක්‍රියා කළ නන්ද නාහිමියෝ 1994 සිට 1996 දක්වා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස ද, සිංහල ශබ්ද කෝෂයේ ජ්‍යෙෂ්ඨ කර්තෘවරයකු ලෙස ද පසුව එහි ප්‍රධාන කර්තෘ ධුරයට ද පත්ව ඉතා දිගු කලක් අද්විතීය සේවාවන් රැසක් සිදු කළහ.

මහනුවර මල්වතු මහා විහාරය මඟින් කොළඹ නව තොටමුණ සහිත බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය උන්වහන්සේ වෙත පුද කළේ පූර්වෝක්ත සේවාවන් වෙනුවෙන් මහා විහාරය දැක්වූ ඉහළම ඇගැයීමක් ලෙස අකුරටියේ නාහිමි ස්වයංලිඛිත චරිතාපදානයක් ලෙස වර්ෂ 2016 දී මුද්‍රණද්වාරයෙන් පළ කළ “මතක ඇති දා සිට....” ග්‍රන්ථය තුළින් උන්වහන්සේ පිළිබඳ අප නොදත් අසිරිමත් ජීවන තොරතුරු රැසක් දිග හැරෙයි.

එම ග්‍රන්ථයට විශේෂ ප්‍රකාශයක් නිකුත් කරන දිවියාගහ යසස්සි නාහිමියන් සඳහන් කර සිටිනුයේ ගාලු දිසාවෙහි ගිං ගඟ ඇසුරු කොට ගෙන ඈත කාලයේ සිට බිහි වූ ශ්‍රේෂ්ඨතම ගිහි පැවිදි උතුමන්ගේ නාමාවලියෙහි එක් මුතු ඇටයක් වශයෙන් අකුරටියේ නන්ද නාහිමි හඳුන්වා දිය හැකි බවයි.

අකුරටියේ නාහිමි පිළිබඳ කථිකාචාර්ය අරුණ කේ. ගමගේ මහතා “මතක ඇති දා සිට” ග්‍රන්ථයෙහි අපූර්ව චිත්‍රයක් මවා ඇත. එහි එක් කුඩා කොටසකින් මෙම හැඳින්වීම අවසන් කිරීම යෝග්‍ය යැයි හඟිමි.

සෘජු මනසින්, වචනයෙන් හා ශරීරයෙන් ද යුක්ත වන උන්වහන්සේ ප්‍රසන්න දැකුමෙන් යුක්ත වෙති. දහමට හිතැති, තේජෝ ගුණයෙන් යුත් උන්වහන්සේ ඇත් රජකු සේ ගමන් රටාවෙන් යුක්ත වෙති. මනරම් චරියාවෙන් යුක්ත වන, අවංක, විද්වතුන්ගේ සොම්නසට හේතුවන අකුරටියේ නන්ද නම් මේ හිමිපාණෝ බොහෝ කල් සුදිලෙත්වා.