ධර්මාචාර්ය විභාග සඳහා අත්වැලක්:
ථෙරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් - 03 කොටස
යටදොළවත්තේ ජිනසිරි හිමි
2562 - බෞද්ධ ධර්මාචාර්ය විභාගය -
2018 (2019)
(04) බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය
01 කොටසේ ප්‍රශ්නය ද 02 කොටසින් තෝරාගත් තවත් ප්‍රශ්න හතරක් ද ඇතුළු ව ප්‍රශ්න පහකට
පමණක් පිළිතුරු සපයන්න.
I කොටස
01.
1.
අ) පුරාණ තෙරුන් ප්‍රථම සංගීතිය
ප්‍රතික්ෂේප කළේ ඇයි?
ආ) මේ කරුණ සඳහන් ව ඇත්තේ කවර ග්‍රන්ථවල ද?
2.
අ) ථෙරවාද සම්ප්‍රදායේ පසුබිම සකස් කිරීමටත් අභිනව නිකායන්හි ආරම්භය සඳහා නැඹුරු
වීමටත් හේතු වූ ප්‍රශ්නය කුමක්ද?
ආ) මේ ප්‍රශ්නය මතු වූයේ කවර
අවස්ථාවකදී ද?
3.
අ) ථෙරා හෙවත් පැරැණි පෙළේ භික්ෂූන් වහන්සේගේ මූලිකත්වයෙන් ආරම්භ වූ සංගායනාව කුමක්
ද?
ආ) මේ කාරණය මඟින් හෙළි වන්නේ උන්වහන්සේ තුළ පැවැති කවර අරමුණක් ද?
4.
අ) රහත් බව හීන අධිගමයක් ලෙස දක්වා ඇත්තේ කවර සංකල්පයක් මඟින් ද?
ආ) මෙහිදී බුද්ධත්වය පමණක් ශ්‍රේෂ්ඨ අධිගමය ලෙස සලකනු ලබන ඉගැන්වීම කුමක්ද?
5.
අ) සංඝ සමාජය නිකාය පහකට බෙදී ගියේ කවර රාජ්‍ය සමයකට පූර්වයේ දී ද?
ආ) මෙහිදී මහායානයෙන් බෙදී ගිය එක් නිකායක් නම් කරන්න.
6.
අ) වාත්සීපුත්‍ර හිමියන්ගේ අනුගාමිකයන් බෙදී ගිය නිකාය දෙකක් නම් කරන්න.
ආ) මේ නිකාය අතුරෙන් වාත්සීපුත්‍ර හිමියන්ගේ මතවාද විමර්ශනය කරමින් ග්‍රන්ථයක්
සම්පාදනය කළ නිකාය කුමක්ද?
7.
අ) මහාවස්තුව නමැති ග්‍රන්ථය කවර නිකායට අයත් කෘතියක් ද?
ආ) මේ නිකායේ මූලික ඉගැන්වීම දක්වන්න.
8.
අ) ධර්මයාත්‍රා ක්‍රියාත්මක කළ භාරතීය නරපතියා කවරෙක්ද?
ආ) ධර්මයාත්‍රා යටතේ මේ රජතුමා සමෘද්ධියට පත් කළ අංග දෙක කවරේද?
9.
අ) බෝධි චර්යාවතාරයේ කතුවරයා කවරෙක්ද?
ආ) මේ කෘතියෙන් ඉගැන්වෙන මූලික කරුණ කුමක්ද?
10.
අ) අත්ථසාලිනී අටුවාව ලියන ලද්දේ කවුරුන් විසින් ද?
ආ) මේ කෘතියට වස්තු විෂය වූ පාලි නිකාය ග්‍රන්ථය හා එය අයත් වන පිටකය දක්වන්න.
II කොටස
02.
1. අශෝක රජතුමාගේ ධර්ම විජය
සංකල්පය කෙටියෙන් හඳුන්වන්න.
2. එතුමාගේ සෙල්ලිපි ඇසුරෙන් මේ සංකල්පය විස්තර කරන්න.
3. මේ සංකල්පය යටතේ භාරතය තුළ ධර්ම ප්‍රචාරය සඳහා යෙදූ ක්‍රමෝපාය
විමර්ශනය කරන්න.
03.
1. ධර්ම සංගායනාවක් පැවැත්වීම සඳහා කණිෂ්ක රජතුමා යොමු වූ හේතු මොනවාද?
2. මේ සංගායනාව පැවැත්වූ ස්ථානය හා ඊට සහභාගි වූ භික්ෂු පිරිස පිළිබඳ විස්තරයක්
කරන්න.
3. මේ සංගායනාව මඟින් සිදු වූ ප්‍රතිඵල සමාලෝචනය කරන්න.
04.
1. මහායාන හා හීනයාන ද්විභේදය කෙටියෙන් හඳුන්වන්න.
2. ථෙරවාදයෙන් මහායානය බෙදී ගිය ආකාරය ඓතිහාසික සාධක මගින් විස්තර කරන්න.
3. මහායාන බුදුසමයේ ඉගැන්වීම්වල පවත්නා ආගමික හා දාර්ශනික අංශ දෙක නිදසුන් මගින්
විභාග කරන්න.
05.
1. භාරතයේ බෞද්ධ විශ්වවිද්‍යාල දෙකක් තෝරාගෙන ඒවා පිහිටි ස්ථාන, ආරම්භක රජතුමා හා
ප්‍රධාන ආචාර්යවරයා යන කරුණු ඇතුළත් වන සේ කෙටි හැඳින්වීමක් කරන්න.
2. මෙම විශ්වවිද්‍යාල දෙකෙන් එකක අධ්‍යයන කටයුතු සඳහා ශිෂ්‍යයන් තෝරාගත් ආකාරය
විස්තර කරන්න.
3. ඉහත (2) සඳහා ඔබ තෝරා ගත් විශ්වවිද්‍යාලයේ ඉගැන්වූ විෂය ක්ෂේත්‍රය විමර්ශනය
කරන්න.
06.
1. මහායානය පැතිර පවත්නා රටවල් දෙකක් තෝරාගෙන ඒවායේ බුදුසමය හඳුන්වා දුන් ආකාරය
කෙටියෙන් දක්වන්න.
2. මියන්මාරයේ (බුරුමයේ) හෝ තායිලන්තයේ හෝ ථෙරවාදී බුදුසමයේ ආරම්භය සිදු වූ ආකාරය
පැහැදිලි කරන්න.
3. පහත යෙදුම් අතුරෙන් හතරකට කෙටි විවරණ සපයන්න.
07.
1. ශ්‍රී ලංකාවේ බුදුදහම ආරම්භ වූ ආකාරය කෙටියෙන් දක්වන්න.
2. මිහිඳු මාහිමියන් ශ්‍රී ලංකාවේ පැවැත් වූ ධර්ම දේශනා සඳහා තෝරාගත් පාලි සූත්‍ර
සහ ධර්ම ග්‍රන්ථ හඳුන්වා උන්වහන්සේ එබඳු ධර්ම කොටස් තෝරා ගැනීමට හේතු වී යැයි
සැලකෙන සාධක පරීක්ෂා කරන්න.
3. ශ්‍රී ලංකාවේ පැවැත් වූ ධර්ම දේශනා සඳහා මිහිඳු මාහිමියන් යොදා ගත් භාෂා මාධ්‍යය
ඉන්දු ආර්ය ගණයට අයත් සිංහල ප්‍රාකෘතය ද නැති නම් වෙනත් භාෂා ව්‍යවහාරයක් දැයි
නිදර්ශන සහිතව විමර්ශනය කරන්න.
08.
1. ගන්ධාර හෝ මථුරා හෝ බුදුපිළිම සම්ප්‍රදාය කෙටියෙන් හඳුන්වන්න.
2. ප්‍රතිමාඝර යනු කවරේදැයි හඳුන්වා ඒවා පිහිටි ස්ථාන දෙකක් විස්තර කරන්න.
3. බුදු පිළිම නෙළීමේ දී යොදා ගත් විවිධ මුද්‍රා හඳුන්වා, මේවා අතුරෙන් වඩාත්
ජනපි‍්‍රය මුද්‍රා කවරේ දැයි විමර්ශනය කරන්න.
පිළිතුරු
I කොටස
01.
1.
අ) භික්ෂූන් සඳහා බුදුරදුන් දී තිබූ අවසර කීපයක් ප්‍රථම සංගීතියෙන් අනුමත කළ
විනයෙන් බැහැර වීම.
ආ) ධර්මගුප්තික හා මහිංසාසක යන නිකාය දෙකේ ග්‍රන්ථවල
2. අ) බුද්දානුබුද්දක ශික්ෂාපද
ආ) ප්‍රථම සංගීතියේ දී
3. අ) දෙවන ධර්ම සංගායනාව
ආ) පැරණි සංරක්ෂණශීලි සම්මතය.
4. අ) අර්හත් සංකල්පය
ආ) මහායාන ධර්මය
5. අ) ධර්මාශෝක රාජ්‍ය සමයට
ආ) ඒක ව්‍යවහාරික හෝ ගෝකුලික
6. අ) ධර්මෝතතරීය හා භද්‍රයානික
සම්මිතීය හා ෂණ්ණාගාරික
ආ) සම්මිතීයයන්
7. අ) ලෝකෝත්තරවාදී නිකාය
ආ) බුදුරජාණන් වහන්සේගේ ස්වභාවය ලෝකෝත්තර වූවක් බව
8. අ) පි‍්‍රයදර්ශි / ධර්මාශෝක රජු
ආ) ආර්ථික හා සදාචාරාත්මක සමෘද්ධිය
9. අ) ශාන්තිදේව පාද
ආ) බෝධි චිත්තය
10.අ) බුද්ධඝෝෂ හිමි
ආ) ධම්මසංගනී, අභිධර්ම පිටකය
II කොටස
02.
1. බුදුදහම ගැඹුරින් හදාරා ඒ ඇසුරින් සකස් කර ගත් සංකල්ප මේ යටතේ ඇතුළත් වේ. ධර්ම
විජය ප්‍රතිපත්තිය රටවැසියාගේ අවනත බව ලබා ගැනීම සඳහාත් දෛනික ජීවිතය වර්ධනය කිරීම
සඳහාත් යොදා ගෙන ඇත. මෙහි දී බෞද්ධ ආචාරධර්ම හා සමාජ ධර්ම උපුටා රටවැසියා වෙත
ඉදිරිපත් කෙරේ. රජතුමා ද මේ ධර්ම පිළිපැද්දේ ය. මේ ඉගැන්වීම් ක්‍රියාවෙන් පැහැදිලි
කළේ ය. රජතුමා මේවා සෙල්ලිපිවල කොටා මහජනතාවට ඉදිරිපත් කර තිබේ.
2. විනය පිටකය, අංගුත්තර නිකාය, සුත්ත නිපාත, සිඟාලෝවාද, මංගල, පරාභව ආදී සූත්‍ර
ඇසුරින් මේ අදහස් සකස් වී ඇත. මෙවැනි බොහී අදහස් එතුමාගේ ගිරිලිපිවල ඇතුළත් ය.
සත්ත්වයන්ට හිංසා නොකිරීම හා නොමැරීම නිසා මිනිසුන්ගේ ධාර්මික දියුණුව ඇතිවීම,
ආධ්‍යාත්මික සංවර්ධනය ධර්මවිජය ප්‍රතිපත්තියෙන් ඇතිවීම, බිලිපූජා හා සමජ්ජ වැනි
ආගමික උත්සව පැවැත්වීම තහනම් කිරීම, ආදිය මෙහිදී විස්තර කළ හැකි ය.
3. මේ පිළිබඳ විස්තර අශෝක රජතුමාගේ ගිරි ලිපි මඟින් හෙළි වේ. අලුත් විජිත දිනීම
වෙනුවට ධර්මයෙන් ජය ගැනීම, අවිහිංසා ප්‍රතිපත්තිය මගින් සතුන් මැරීම නවතාලීම,
මාලිගාවේ මස් පිණිස සතුන් නොමැරීම, (මාඝාතය) මිනිසුන් මෙන් ම සතුන් උදෙසා ද සුබ
සාධන කටයුතු කිරීම, පරාර්ථ චර්යාවෙහි නියැළීම, දයාව, දානය, සත්‍යය, පිරිසුදු බව ආදී
යහපත් ක්‍රියාවන්හි නියුක්ත වීම, තමාට අවමන් කරන අයට පවා සමාව දීම, ඉවසීම පුරුදු
කිරීම, ප්‍රත්‍යන්ත දේශ වාසීන් තුළ විශ්වාසය දැනවීම, ඔවුන්ගේ බිය තුරන් කිරීම ආදී
කරුණු මෙහිදී ඉදිරිපත් කළ හැකි ය. ආගමික සහනශීලතාව යටතේ සියලු ආගම් කෙරෙහි
සැලකිලිමත් වීම, වැරදිකරුවන්ට දඬුවම් දී ඔවන් පුනරුත්ථාපනයෙහි යෙදවීම තවත් වැදගත්
අංශයි.
03.
1. මේ රාජ්‍ය සමයේ දී සංඝ සමාජය විවිධ නිකායවලට බෙදී ඒ ඒ නිකාය පිළිගත් පරිදි ධර්මය
ඉදිරිපත් කිරීමට යාම නිසා ධර්මය පිළිබඳ පරස්පර විරෝධී මත ඇතිවීම, මෙසේ එකිනෙකට
විරුද්ධ මත ඉදිරිපත් කිරීම නිසා රජු ව්‍යාකූලතාවට පත්වීම, මෙසේ පැවති විවිධ මත
නිරාකරණය කරමින් බුදුදහම උත්තරීතර තත්ත්වයට නඟා සිටුවීම සඳහා ඒ ඒ නිකායගත පිළිගත්
ප්‍රතිපත්ති මත ත්‍රිපිටක ධර්මය විස්තර කිරීමට අදහස් කිරීම.
2. මේ සංගායනාව පවත්වන ලද්දේ කාශ්මීරයේ ය. සහභාගි වූ වැඩි දෙනා සර්වාස්තිවාදීන් ය.
ප්‍රධානත්වය ගත්තේ පාර්ශ්ව හා වසුමිත්‍ර යන ස්ථවිර දෙනම යි. රහතන් වහන්සේලා පන්සිය
නමක් ද, බෝධිසත්ත්වවරුන් පන්සියයක් ද, සාමාන්‍ය බුද්ධිමතුන් දෙසිය පනහක් හෝ
එක්දහසක් සහභාගි වූ බව දේශාටන වාර්තාවල දැක්වේ.
3. විනය, සූත්‍ර අභිධර්මය යන පිටකත්‍රය සඳහා ව්‍යාඛ්‍යාන ග්‍රන්ථ ලියවා සෙල්මුවා
මංජුසාවල බහා විශේෂ ස්තූපයක තැන්පත් කරවීමට රජු ක්‍රියා කළේ ය. මේ ග්‍රන්ථ
හැඳින්වෙන්නේ විභාෂා නමිනි. මේ ධර්ම ග්‍රන්ථ ආරක්ෂා කරන ලෙසත්, මිථ්‍යා ලබ්ධිකයන්
විසින් රටින් බැහැර පැහැර ගෙන යාමට ඉඩ නොලැබෙන ලෙසත් යක්ෂයන් අණ කරවා රැකවරණ ද
සලස්වන ලදී. එසේම ඉගෙනීමට අවශ්‍ය කෙනෙකුට කාශ්මීර දේශයෙන් බැහැර නොකොට එහි දී ම ඒවා
පරිහරණය කිරීමට ඉඩ ප්‍රස්තාව සලසන ලදී. මුලදී සංස්කෘතයෙන් රචිත මේ ග්‍රන්ථ පසු
කාලයේ දී චීන භාෂාවට පරිවර්තනය කෙරිණ. විවිධ සම්ප්‍රදායයන් විසින් වෛභාෂික යන නාමය
සර්වාස්තිවාදයට භාවිත කරන ලද්දේ විභාෂා ශාස්ත්‍ර ඉගැන්වීම් විෂයෙහි සුවිශේෂ
අවධානයක් මොවුන් යොමු කළ බැවිනි.
04. 1 මහායානයේ බුද්ධ සංකල්පය වැදගත් වේ. එනම් බුද්ධත්වයට පැමිණීමෙන් සංසාර
විමුක්තිය ළඟා කර ගැනීම යි. ථෙරවාදයේ අර්හත් සංකල්පය වැදගත් වේ. එනම් බුද්ධ, පච්චෙක
බුද්ධ, අරහත් යන ත්‍රිවිධ බෝධි අතුරෙන් එකකට පැමිණ සංසාර විමුක්තියට පැමිණීමයි.
බෝසත්වරුන්ට වැඳුම් පිදුම් කරන්නන් මහායානිකයන් ලෙස ද එසේ නොකරන්නන් හීනයානිකයන්
ලෙස ද සැලකේ.
2. දෙවැනි ධර්ම සංගායනාව පැවති අවස්ථාවේ දී දස අකැප වස්තුව පිළිගත් විශාල භික්ෂු
පිරිසක් සංගීතිකාරක භික්ෂු පිරිසෙන් වෙන් වෙන්ව සංගීතියක් පැවැත් වූ බව ද ඒ නිසා මේ
පිරිස මහාසාංඝික නාමයෙන් හැඳින් වූ බව ද, ඓතිහාසික මූලාශ්‍රයන්හි දැක්වේ. ථෙරවාද
සම්ප්‍රදායේ ප්‍රධානත්වය හිමි වන්නේ භික්ෂූන් වහන්සේට ය. මහාසාංඝිකයන් ගිහියන්ට ද
උසස් තත්ත්වයක් ලබා දී ඇත.
බෝධිසත්ත්ව සංකල්පය අනුව ගිහි - පැවිදි සියලු දෙනාම බුද්ධාංකුරයෝ ය. මහාසාංඝික
සම්ප්‍රදාය ඉදිරිපත් කළ මත හතරක් ඇත. එනම් බුද්ධ සංකල්පය (බුදුරදුන්ගේ
අතිමානුෂිකත්වය) අර්හත් සංකල්පය (අර්හත්වය පහත් කොට සැලකීම), ශුන්‍යතා සිද්ධාන්තය
හා පුද්ගල නෛරාත්ම්‍යය හා ධර්ම නෛරාත්ම්‍යය (ආත්මයක් නොමැතිකම) යන කරුණුයි. මේ
සංකල්ප ක්‍රමයෙන් සංවර්ධනය වී මහායානයේ ආරම්භය ඇති විය.
3. ආගමික හා දාර්ශනික යනු මේ අංශ දෙකයි. බෝධිසත්ත්ව චර්යාවෙහි මහත්වය ප්‍රකට
කෙරෙන්නේ ආගමික අංශයේ උත්කෘෂ්ටතාව ප්‍රකට කරන ස්වරූපයෙනි. මේ යටතේ බුද්ධ චරිතය
බුද්ධ වන්දනා, බෝධි වන්දනා, චෛත්‍ය වන්දනා, ප්‍රදක්ෂිණා හා ආචාර විධි ආදියෙන් සෑදී
ඇත.
මේ අනුව ලලිත විස්තරය, සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය, ජාතකමාලා, බෝධිචර්යාවතාරය, ශික්ෂා
සමුච්චය, මහාවස්තු ආදී ග්‍රන්ථ ආගමික අංශයේ වර්ධනයට ඉවහල් වේ.
මහායාන බුදුසමයෙහි දාර්ශනික අංශය කෙරෙහි විශේෂ අවධානය යොමුවේ. මේ අංශයේ අග්‍ර ඵලය
වනුයේ ශුන්‍යතා හා විඥාන වාද යි. ආචාර්ය නාගර්ජුනපාද වැනි තාර්කිකයන් මේ දාර්ශනික
සම්ප්‍රදායේ වර්ධනයට ඉමහත් සේවයක් කර ඇත.
05.
1. නාලන්දා - රජගහට සැතපුම් හයක් උතුරෙන් පිහිටි ඔරගාමන් ප්‍රදේශයේ පිහිටා ඇත.
ශක්‍රාදිත්‍ය හෙවත් පළමු වන කුමාරගුප්ත රජතුමා විසින් ගොඩ නංවන ලදී. ශිලභද්‍ර/
මහතෙර ප්‍රධාන ආචාර්යවරයා විය.
වික්‍රමශීලා - මගධයෙහි ගංගා නදිය අසබඩ පිහිටා තිබිණ. පාල රාජ පරම්පරාවට අයත්
ධර්මපාල රජතුමා විසින් කරවන ලදී. ප්‍රධාන ආචාර්යවරයා වූයේ මහාචාර්ය කම්පාල
තෙරණුවන්, දීපංකාර ශ්‍රී ඥාන හෙවත් අතිශ තෙර
ඔදන්තපුර - නාලන්දා විශ්වවිද්‍යාලයට සැතපුම් හයක් පමණ නුදුරින් පිහිටියේ ය. ගෝපාල
රජු විසින් මේ විශ්වවිද්‍යාලය ආරම්භ කරන ලදී. ප්‍රධාන ආචාර්යවරයා ගැන සඳහන් නොවේ.
සෝමපුර - බංගලා දේශයට අයත් ප්‍රදේශයක පිහිටියේ ය. පාල රජ පරපුරට අයත් දේවපාල රජතුමා
විසින් ආරම්භ කෙරිණ. ප්‍රධාන ආචාර්යවරයා ගැන සඳහන් නොවේ.
ජගද්දලා - රාමපාල රජතුමා විසින් කරවන ලදී. පිහිටි ප්‍රදේශය හෝ ප්‍රධාන ආචාර්යවරයා
ගැන තොරතුරු සඳහන් නොවේ.
වලහී - ඉන්දියාවේ බටහිර ප්‍රාන්තයේ වලහියෙහි පිහිටා ඇත. මෛත්‍රික රජවරුන් විසින්
පිහිටුවන ලදී.
2. ශිෂ්‍යයන් තෝරාගත් ආකාරය - නාලන්දාව - ශිෂ්‍යයන් ඇතුළත් කිරීම සඳහා තියුණු
ප්‍රවේශ පරීක්ෂණයක් විය. ඇතුළුවීමට බලාපොරොත්තු වන ශිෂ්‍යයන් විශ්වවිද්‍යාලයේ
ප්‍රධාන දොරටුව අසල නතර විය යුතු ය. මෙහිදී ප්‍රවේශ පරීක්ෂණය පවත්වන ලද්දේ ධර්ම
ශාස්ත්‍රයෙහි නිපුණ විවාදයෙහි ප්‍රවීණ පඬිවරුන් විසිනි. පරීක්ෂකවරයා අපේක්ෂකයාගෙන්
ගැඹුරු ප්‍රශ්න අසයි. උත්තර දිය නොහැකි ව සමහරු ආපසු හැරී යති. අනෙක්
විශ්වවිද්‍යාලවල ද ශිෂ්‍යයන් තෝරා ගැනීම මීට සමාන විය.
3. නාලන්දා - විෂය ධාරා පහක් යටතේ අධ්‍යාපනය ලබා දී ඇත. එනම්,
1. භාෂා අධ්‍යයන විෂය ධාරාව - භාෂා මාධ්‍යය වූයේ සංස්කෘතිය යි. භාෂාව හා බැඳුණු
වාග්විද්‍යාව, ඡන්දස් ව්‍යාකරණ අලංකාර, නිරුක්ති ආදිය අදාළ විය යුතු විය.
2. බුද්ධ ධර්මය අධ්‍යයන විෂය ධාරාව - මේ යටතේ මහායාන ධර්ම අනිවාර්ය විය. සෙසු
නිකායවල දර්ශන පිළිබඳ පුළුල් දැනුමක් ද ලබා ගත යුතු විය. ශ්‍රාවකයාන බුදුසමය ගැන ද
අවබෝධය අවශ්‍ය විය. බුදුසමයෙන් බිහි වූ තන්ත්‍රයානය, මන්ත්‍ර, ධාරණී, යෝග, සමාධි යන
අංශවලින් මෙය සකස් විය.
3. දර්ශන අධ්‍යයන විෂය ධාරාව - මේ යටතේ පැරැණි සියලු භාරතීය දර්ශන උගත යුතු විය.
චතුර්වේද, බ්‍රාහ්මණ, ආරණ්‍යක, උපනිෂද්, ඇතුළත් විය. සාංඛ්‍ය, යෝග, න්‍යාය,
වෛශේෂික, පූර්ව විමාංසා, උත්තර වීමාංසා යන ෂඩ් දර්ශනය ද, ජෛන සමය ද යෝග ශාස්ත්‍රය ද
ශිෂ්‍යයන් විසින් උගත යුතු විය.
4. ලෞකික අධ්‍යයන විෂය ධාරාව - මේ යටතේ ගිහි ශිෂ්‍යයන්ගේ ප්‍රයෝජනයට අදාළ රාජ්‍ය
පාලනය, වාණිජ කටයුතු, කෘෂිකර්මය ආදී විෂය විය. ඡ්‍යොතීර් ශාස්ත්‍රය, තාරකා
විද්‍යාව, ආයුර්වේදය ආදිය ඉගැන්විණ.
5. ලලිතකලා අධ්‍යයන විෂය ධාරාව - සංගීතය, නැටුම්, මූර්ති ශිල්පය, වාස්තු විද්‍යාව,
කැටයම් කලාව, කාව්‍ය, නාටක බුදුපිළිම, දේවතා රූප, බෝධිසත්ත්ව ප්‍රතිමා නිර්මාණය
පිළිබඳ අධ්‍යයන මේ යටතේ විය.
06.
1.මහායානය පැතිර පවත්නා රටවල් ගණනාවක් ම ඇත. විශේෂයෙන් මධ්‍ය ආසියානු රටවල් මේ යටතට
අයත් වේ. මීට අමතර ව චීනය මහායානය පැතිර ගිය වැදගත් රටකි.චීනයේ මුල දී පැවතියේ
කොන්පියුසියස් හා තාවෝ යන ආගම් දෙක යි. බුදු සමය පැමිණියේ නැඟෙනහිර ඉන්දියාවේ සිට
ගෝබී කාන්තාරය හරහා වෙළඳ මාර්ග ඔස්සේ ය. ක්‍රි.ව.62 දී කාශ්‍යප මාතංග නමැති භික්ෂුව
චීනයට බුදු දහම රැගෙන ගිය බව විශ්වාස කෙරේ. එනම් මිං අධිරාජයාගේ පාලන සමයේ දී ය. මේ
පිරිස රජුගේ අනුග්‍රහය ලබා චීනයේ නැවතී සිට මහායාන සූත්‍ර චීන භාෂාවට පරිවර්තනය
කළහ. පසු කාලයේ කුමාරජීව නමැති පණ්ඩිත භික්ෂුව චීනයට වැඩමවා ධර්ම ග්‍රන්ථ චීන
භාෂාවට පරිවර්තනය කළේ ය. චීන ජාතික හියුං සියෑං තෙරණුවෝ ද භාරතයට පැමිණ ධර්මය හදාරා
ග්‍රන්ථ සමූහයක් රැගෙන ආපසු ගොස් ඒවා චීන බසට පරිවර්තනය කළහ. ගුණවර්මන්, බෝධි ධර්ම
ආදී තෙරවරු ද චීනයට වැඩමවා බුදුදහම ව්‍යාප්ත කළහ.
කොරියාව - බුදුසමය කොරියාවට පැතිර ගියේ චීනයේ මැංචුරියාව හා යාලු නදිය හරහා
බුදුපිළිම හා අගනා දහම් පොත් රැගෙන ගිය ධර්මදූතයන් විසිනි. පළමුවෙන් ම වැඩම කළේ චීන
ජාතික සුන්දෝ හිමියන් ය. එවකට කොරියාවේ පාලකයා වූයේ කොරයි රජතුමා ය. ක්‍රමයෙන්
කොරියාව පුරා බුදුසමය ව්‍යාප්ත විය.
2. මියන්මාරය - බුරුමයට බුදුසමය ලැබීම ආශි‍්‍රතව ප්‍රවාද කීපයක් ඇත. එකක් නම්
බුදුරජාණන් වහන්සේ ධරමාන කාලයෙහි ම මෙහි වැඩිය බවයි. වෙළඳුන් දෙදෙනකු විසින් සඳුන්
ලීයෙන් තැනූ ආරාමයක කාලයක් උන්වහන්සේ වැඩ වාසය කළ බවත් සැලකේ. බුදුරදුන්ට ප්‍රථම
දානය පිළිගැන් වූ තපස්සු භල්ලුක දෙපළ බුරුම ජාතිකයන් බවත්, ඔවුනට ලැබුණු කේශ ධාතු
සිංගුත්තර කඳු මුදුනෙහි තැන්පත් කළ බව පැවසේ. මෙකල ස්වේදගොන් නමින් හැඳින්වෙන්නේ මේ
චෛත්‍යයයි. තෙවැනි ධර්ම සංගායනාවෙන් පසු සෝණ සහ උත්තර තෙරුන් ස්වර්ණ භූමිය බුරුමය
ලෙස ද සැලකේ. කෙසේ වෙතත් බුරුමයට බුදුසමය ලැබෙන්නට ඇත්තේ ක්‍රිස්තු පූර්ව පස්වැනි
සියවසේ තරම ය. මෙරටට භාරතයේ සිට පැමිණි සංචාරක වෙළෙඳුන්ගේ මාර්ගයෙන් බුදුසමය
ලැබෙන්නට ඇතැයි යන්න තවත් අදහසකි. අනෞරථ නම් බුරුම රජු භක්තිමත් බෞද්ධයෙක් විය.
3. අ) කල්‍යාණි ශිලා ලිපි ආ) උපාලි මහ තෙරුන් වහන්සේ ඉ) කුමාරජීව ඊ) නමෝ අමිද
බුත්සු උ) ශ්වේදගොන් ඌ) හියුං සියෑං එ) කාශ්‍යප මාතංග හිමි
අ) කල්‍යාණි ශිලාලිපි - බුරුමයේ ධම්මචෙතිය රජු රජවීමට පෙර බුරුම තෙරවරුන් පිරිසක්
පොළොන්නරු යුගයේ දී ශ්‍රී ලංකාවට පැමිණ උපසම්පදාව ලැබූහ. මෙසේ දෙවිසි නමක් සිව්වන
බුවනෙකබා රජුගේ අනුග්‍රහය යටතේ කල්‍යාණි සීමා මාලකයේ දී උපසම්පදාව ලබා ගත්හ.
බුරුමයේ කල්‍යාණි ශිලාලිපිවලින් හෙළි වන පරිදි ලක්දිව උපසම්පදාව ලැබූ භික්ෂූන්
බුරුමයට වැඩිය පසු කල්‍යාණි සීමා නමින් උපෝසථ කර්ම සිදු කිරීමට සීමා මාලකයක් තැබූ
බව මේ ශිලාලිපියේ දැක්වේ.
ආ) උපාලි තෙරුන් වහන්සේ - උපාලි තෙරුන් ප්‍රමුඛ පිරිස ක්‍රි.ව. 1753 දී ලක්දිවට
වැඩමවා සරණංකර හිමියන් ඇතුළු ශ්‍රී ලාංකේය භික්ෂු පිරිසක් උපසම්පදා කළහ. මෙරට
ස්‍යාමෝපාලි මහා නිකායේ ආරම්භය සිදු වූයේ මේ ආකාරයෙනි.
ඉ) කුමාරජීව - කාශ්මීර ජාතික භික්ෂු නමකි. මේ පණ්ඩිත භික්ෂුව චීනයේ ධර්ම ප්‍රචාරක
කටයුතු සඳහා වැඩමවා ගෙන එන ලදී. චීන පඬිවරුන්ගේ ආධාර ඇතිව බෞද්ධ සංස්කෘත ග්‍රන්ථ
චීන භාෂාවට පරිවර්තනය කරන ලදී.
ඊ) නමො අමිද බුත්සු - 12/13 සියවස්වල ජපානයේ පැතිර ගිය නව ආගමික ව්‍යාපාරයක් ලෙස
අමිද භක්තිය හැඳින්විය හැකි ය. මේ පිරිස අමිතාභ බුදුන්ට නමස්කාර කිරීමෙන් විමුක්තිය
ලැබිය හැකි බව සුඛාවතී ව්‍යුහ සූත්‍රය පදනම් කර ගෙන ඉගැන්වූහ. මේ විශ්වාසය ජපානයට
හඳුන්වා දෙන ලද්දේ හෝනෙන් හිමියන් විසිනි.
උ) ශ්වෙදගොන් - තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන් විසින් බුදුරදුන්ගේ කේශධාතු මෙහි
තැන්පත් කර චෛත්‍යය බඳින ලද බව සැලකේ. මේ චෛත්‍යය පිහිටා ඇත්තේ පේගු රාජධානියෙහි
දාගොන් ප්‍රදේශයේ ය. මේ කුඩා ප්‍රදේශය සංවර්ධනය වී මෙකල රැංගුන් නාමයෙන් හැඳින්වේ.
ඌ) හියුං සියෑං - චීන ජාතික බෞද්ධ දේශාටකයෙකි. මෙතුමා භාරතයට පැමිණ නාලන්දා
විශ්වවිද්‍යාලයේ වසර ගණනාවක් සිප්සතර හදාරා බෞද්ධ ධර්ම ග්‍රන්ථ 1335ක් පමණ චීන
භාෂාවට නැඟූහ.
එ) කාශ්‍යප මාතංග හිමි - ක්‍රි.ව. 62 දී මේ භික්ෂුව තවත් භික්ෂූන් කැටුව චීනයට ගොස්
බුදුදහම හඳුන්වා දුන් බව සැලකේ. මෙය සිදු වූයේ චීනයේ මිං අධිරාජයාගේ පාලන සමයේ දී
ය. මේ දූත පිරිස චීනයේ ශ්වේත අශ්ව විහාරයේ නැවතී සංස්කෘත මහායාන සූත්‍ර චීන භාෂාවට
පෙරළා ඇත.
07.
1. බුදුරදුන් ජීවමාන කාලයෙහි දී ම තෙවරක් ලංකාවට වැඩම කළ බව වංසකතාවල දැක්වේ. තෙවන
සංගායනාවෙන් පසු මිහිඳු මා හිමියන් තම දූත පිරිස සමග ලක්දිවට වැඩමවා බුදුදහම
හඳුන්වා දුන් බව ඓතිහාසික හා පුරාවිද්‍යා සාධක මඟින් හෙළි වේ. උන්වහන්සේ පාලි
ත්‍රිපිටකය හා අටුවා රැගෙන මෙරටට වැඩම කළ බවත්, මේ අටුවා සිංහල භාෂාවෙන් ලියා තැබූ
බවත් ඓතිහාසික මූලාශ්‍රයවල දැක්වේ.
2. ප්‍රාග් බෞද්ධ යුගයේ පැවති ඇදහිලි හා විශ්වාසවලට නෑකම් කියන ආකාරයේ ඉගැන්වීම
මුල් කරගෙන පේතවත්ථු, විමානවත්ථු වැනි ග්‍රන්ථවල අදහස් මහජනතාවට ඉදිරිපත් කොට
ඔවුන්ගේ ඇදහිලි වෙනත් මඟකට යොමු කිරීමට මිහිඳු හිමියන් උත්සාහ දරා ඇත. වෘක්ෂ
වන්දනාවට පුරුදුව සිටි ජනතාවට බෝධි වන්දනාව හුරු කරවීමත්, ධාතු පූජාව හා ස්තූප
වන්දනාව හුරු කරවීමත් මෙහිදී සලකා බැලිය හැකි ය. මෙසේ දහමට හුරු කළ ජනතාවට
ක්‍රමයෙන් ගැඹුරු දහම් කොටස් කියා දීමට මිහිඳු හිමියෝ සමත් වූහ.
3. මිහිඳු හිමියන් මෙරට ධර්ම දේශනා කිරීමට යොදා ගත් මාධ්‍යය වූයේ සිංහල
ප්‍රාකෘතියයි. උන්වහන්සේ උජ්ජයින් දේශයේ ප්‍රාකෘතය හෝ පාලි හෝ වෙනත් ප්‍රාකෘතියකින්
හෝ ජනතාව අමතන්නට ඇත. එවකට සිංහලය ප්‍රාකෘති අවස්ථාවේ පැවති නිසා උන්වහන්සේගේ දේශනා
දෙවනපෑතිස් රජු ප්‍රමුඛ ජනතාව අවබෝධ කර ගන්නට ඇත. මෙරට ජනතාවගේ බස් වහර ද ප්‍රාකෘත
ගැන හොඳ අවබෝධයක් ඇති මිහිඳු හිමියන් තේරුම් ගන්නට ඇත. මේ අනුව භාෂා දෙක අතර මේ හැර
මිහිඳු හිමියන් වෙනත් භාෂාවක් යොදා ගත් බවක් නොපෙනේ.
08.
1. ගන්ධාර - කණිෂ්ක රාජ්‍ය සමයේ ගන්ධාරයේ ඇති වූ බුදු පිළිමය ගී‍්‍රක - රෝම කලාවේ
ආභාසය ඇති ව ඇපලෝ දේව රූපය ගුරු තන්හි තබා ගෙන නිර්මිත ය. බුදුරජාණන් වහන්සේ
අත්‍යත්කෘෂ්ට මහා පුරුෂයෙකු සේ වටහා ගත් ගන්ධාර ප්‍රතිමා ශිල්පියා ඒ සඳහා යෙදිය
හැකි සියලු ලක්ෂණ බුද්ධ රූපයට ආරෝපණය කළ බව පෙනේ.
මථුරා - ගන්ධාර ප්‍රතිමාවලට සමකාලීන ව මේ ප්‍රතිමා ද නිර්මාණය කෙරෙන්නට ඇත., මධුරා
කලා ශිල්පියා භාරතීය ආභාසය යටතේ බුදු පිළිමය නිර්මාණය කරන්නට ඇත. කලා ශිල්පියා
බුදුරජාණන් වහන්සේ අධිපති දෙවියකු හෝ චක්‍රවර්ති රජකු වශයෙන් සලකා දේව ප්‍රතිමා
හැඩතල උපයෝගි කොට ගෙන බුදුරුව නිර්මාණය කළේ ය.
2. එනම් බුදුපිළිම තබා වන්දනා කළ ගුහා හෝ ගොඩනැඟිලියි. දඹුල්ල ද ප්‍රතිමාවලින්
සමන්විත එවැනි ගුහා ඇතුළත් ස්ථානයකි. ලාංකික කලා ශිල්පියා මෙසේ ස්වභාවික ගුහා
තෝරාගෙන ලෙන් විහාර තැනීය. දොර කවුළු ආදිය යොදා ඉදිරිපස බිත්ති තනා බදාමෙන් පිරියම්
කොට මේවා සකස් කර ඇත. ඇතැම් විට පර්වත ප්‍රාන්තවල පිහිටි ගලෙහි ඉදිරියට නෙරා යන
ආකාරයේ විශාල බුදුපිළිම තනා ඇත. මේවා ආවරණය සඳහා ප්‍රතිමාඝර තැනීමේ දී පර්වත
ප්‍රාන්තය පසුපස බිත්තිය සේ සිටින අයුරින් ඉදිරියෙන් ප්‍රතිමාඝර තනා ඇත. අවුකන,
පොළොන්නරුව, ගල්විහාරය, බුදුරුවගල වැනි ස්ථානවල මේ ප්‍රතිමාඝර දක්නට ඇත. දැවයෙන් හා
උළුයෙන් තැනූ වහලක් සහිත පිළිම ගෙයක් අනුරපුර ඉසුරුමුනි විහාරයේ දක්නට ඇත.
3.
සමාධි මුද්‍රාව - ධ්‍යාන මුද්‍රාව නමින් ද හැඳින් වේ. වීරාසන හෝ පද්මාසන ශෛලියෙන්
හිඳ වැඩසිටි අතර හැරවූ වම් අත්ල මත දකුණු අත්ල පිහිටුවා වැඩ සිටීම ධ්‍යාන
මුද්‍රාවයි. උඩු කය කෙළින් තබා ගෙන ඇත.
ධර්මචක්‍ර මුද්‍රාව - බුදුරදුන්ගේ ධර්ම දේශනා විලාසය සංකේතවත් කෙරෙන්නේ මේ මුද්‍රාව
මඟිනි. දකුණු අත්ල පිටතට හරවා පපුවේ මට්ටමට තබාගෙන එහි දබර ඇඟිල්ලේ හා මහපට ඇඟිල්ලේ
තුඩු දෙක කවයක් සෑදෙන සේ එකට තබා ඇතුළට හැරුණු වම් අතේ ඇඟිල්ල ස්පර්ශ කරන අයුරින්
පැවතීම ධර්මචක්‍ර මුද්‍රාවේ ප්‍රධාන ලක්ෂණයයි.
අභය මුද්‍රාව - දකුණු අත උඩට නංවා ඇඟිලි සම්පූර්ණයෙන් ම දිග හැර අත්ල ඉදිරිපසට
සිටින සේ විවෘත ව හැරීම අභය මුද්‍රාවේ සාමාන්‍ය ලක්ෂණය යි.
විතර්ක මුද්‍රාව - අත්ල පපු පෙදෙසට ප්‍රමාණ වන පරිදි දකුණු අත උඩට නමා දබර ඇඟිල්ල
මාපටඇඟිල්ල උඩට කවයක් ඇතිවන ආකාරයෙන් තබා සිටීම මෙහි ලක්ෂණයයි.
භුමිස්පර්ශ මුද්‍රා - එනම් පොළොව ස්පර්ශ කරන මුද්‍රාවයි. බෝධිසත්ත්ව හා
බුදුපිළිමවලට පමණක් සීමිත ය. හිඳි පිළිමවල පමණක් දක්නට ලැබේ. දකුණු අත දකුණු දණහිස
උඩින් අත්ල ඇතුළට සිටින අයුරින් සියලු ඇඟිලි දිග හැර පහතට යොමු ව තිබීම මෙහි විශේෂ
ලක්ෂණයකි. |