[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

කාටත් සාධාරණ කර්ම න්‍යාය

කාටත් සාධාරණ කර්ම න්‍යාය

කර්මය හා එය විපාක දීම පිළිබඳ සාකච්ඡා කිරීමේ දී පළමුව කර්මය යනුවෙන් දේශනා කොට ඇත්තේ කුමක්දැයි තේරුම් ගත යුතු ය. කර්මය කුසල අකුසල යනුවෙන් දෙයාකාර ය.

අපගේ මනසේ හොඳ මෙන් ම නරක වශයෙන් ද චෛතසික පහළ වේ. ඒ අතර ලෝභ, ද්වේෂ, මෝහ වැනි අකුසල චෛතසික මුල් වී සිදුවන ක්‍රියා අකුසල කර්ම වශයෙන් ද අලෝභ, අද්වේෂ, අමෝහ වැනි කුසල චෛතසික මුල් වී සිදුවන ක්‍රියා කුසල කර්ම වශයෙන් ද හඳුන්වා දීමට පුළුවන. අකුසල කර්ම තුළින් දුක්ඛිත ආත්මත්, කුසල කර්ම තුළින් සුඛිත ආත්මත් ලබා දෙනු ඇත.

එහිදී කර්මය පිළිබඳ අවධානය යොමු කිරීමේ දී සිත මූලික වන අයුරු වටහා ගත යුතු ය. එසේ වුව ද එය විපාක දීමේ දී සෑම කර්මයක් ම එකම අයුරින් විපාක නොදෙනු ඇත. එහිදී විපාක දීම සම්බන්ධයෙන් කර්ම බලවේගය කොටස් 04කට බෙදෙනු ඇත. එනම්,

දිට්ඨ ධම්ම වේදනීය කර්මය - එනම් මේ ආත්මයේ කරන ලද කර්මයකට මෙහිදී ම විපාක දීමයි. චුල්ලේකසාටක, සුමන මල්කරු වැනි අය දිට්ඨධම්මවේදනීය වශයෙන් කුසල කර්මවල විපාක ලැබූ අය වූහ. අද සමාජයේ වුව මවුපියන්ට තාඩන පීඩන කරන, සතුන් මරණ, නොයෙක් අකුසල් කරන අයට දිට්ඨධම්ම වේදනීය වශයෙන් අකුසල කර්ම විපාක ලැබෙන අයුරු අපි දැක ඇත්තෙමු. එසේත් නොවේ නම් දූ දරුවන්ට හෝ එහි විපාක ලැබීමට සිදුවේ. එසේත් නොමැති නම් තම සම්පත්වලට හෝ හානි සිදුවේ. සුප්‍රබුද්ධ, චිංචිමානවිකාව වැනි අය බුදුරදුන් කල ම දිට්ඨධම්මවේදනීය වශයෙන් අකුසල් කර්මවල විපාක ලැබූවන් වූහ.

උපපඡ්ඡ වේදනීය කර්මය - එනම් දෙවන භවයේ දී විපාක දෙන කර්මයයි. මෙසේ විපාක දෙනු ලබන්නේ කුසල පක්ෂය නම් අෂ්ට සමාපත්තිත්, අකුසල පක්ෂයෙන් නම් පඤ්චානන්තරීය කර්මත් බව දක්වා තිබේ. නොපිරිහුණු ධ්‍යාන ඇත්තන් බඹලොව ඉපදීම. ආනන්තරීය කර්ම කළ වූවන් අපායෙහි ඉපදීම ද ඒකාන්තයෙන් වන්නේ ය. එක් සමාපත්තියකින් බඹලොව උපන් කල්හි අනික් සමාපත්ති අහෝසි කර්ම වේ. උපපජ්ජවේදනීය වශයෙන් කුසල කර්මවල විපාක ලැබූවන් ලෙස මට්ඨකුණ්ඩලී, ධම්මික උපාසක වැනි අයත්, අකුසල කර්ම විපාක ලැබූවන් ලෙස තෝදෙය්‍ය වැනි සිටුවරු ද බුදුන් දවස ඉතා ප්‍රකට චරිත වූහ.

අපරාපරීය වේදනීය කර්මය - එනම් කවදා හෝ කොතැනක දී හෝ විපාක දෙන කර්මය යි. ඒ සම්බන්ධ ව ධම්ම පදයේ පාප වග්ගයේ 12 වැනි ගාථාව ඉතා වැදගත් වේ.

න අන්තලික්ඛේ න සමුද්ද මජ්ඣෙ
න පබ්බතානං විවරං පවිස්ස
න විජජතී සො ජගතිප්පදෙසො
යත්තට්ඨිතො මුඤ්චෙය්‍ය පාප කම්මා

එහි අදහස වන්නේ අහසේ සිටියත්, මහ මුහුද මැද සිටියත්, ගිරි ගුහාවක සැඟවී සිටියත් කර්ම විපාකයෙන් නිදහස් වීමට අපහසු වන බවයි. සුනීත, සෝපාක වැනි අය රහත් වූයේ එබඳු කුසල් විපාක වශයෙන් පැමිණීමෙනි. මුගලන් තෙරුන්, චක්ඛුපාල තෙරුන් වැනි උතුමන්ට වුව ද අකුසල විපාකය විඳින්නට ලැබුණේ ද අපරාපරීය වේදනීය කර්මයට මුහුණදීමට සිදු වීමක් වශයෙනි.

අහෝසි කර්මය - දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් විපාක නොදුන් කර්ම අහෝසි කර්ම බවට පත් වේ. අහෝසි කර්මවල ස්වභාවය වන්නේ තමන් කරන ලද කුසල කර්ම බලගතු නම් සුළු සුළු අකුසල කර්මවලට විපාක දීමට අවස්ථාවක් උදා නොවීම ම යි. උදාහරණයක් වශයෙන් අටමහා කුසල්වලට අයත් පළමු පින්කම වන කඨින චීවර පූජාවක් වැනි ඉතා බලගතු කුසල ක්‍රියාවක් සිදුකර ගෙන ඇති කෙනකුට තමා අතින් සිදුවී ඇති සුළු සුළු අකුසල කර්ම විපාක දීමට අවස්ථාවක් උදා නොවෙනු ඇත.

කර්ම බලවේගය ගත් කල්හි එයට සාපේක්ෂව තවත් කරුණු 04ක් න්‍යායාත්මක ව සිදු වන බව වටහා ගත යුතුව ඇත.

සියල්ල කර්මයට භාර දීමට සිතන අය අවබෝධ කර ගත යුතු වන්නේ සියල්ල කර්මයෙන් ම සිදු නොවන බවයි. ඒවා නියාම ධර්ම වශයෙන් හඳුන්වා දී ඇත. ඒ අතර උතු නියාම වශයෙන් සෘතුවලට අනුව යම් යම් දේ සිදුවීමත්, බීජ නියාම වශයෙන් ගස් වැල් හා සත්වයින් විවිධ අයුරින් පෙනී සිටීමත්, චිත්ත නියාම වශයෙන් සිතේ ස්වභාවය අනුව යම් යම් දේ සිදු වීමත් ධම්ම නියාම වශයෙන් ස්වභාව ධර්මයට අනුව යම් යම් දේ සිදුවීමත් දැක්වීමට පුළුවන. නමුදු අප තේරුම් ගත යුත්තේ නියාම ධර්ම අතරින් කර්ම නියාමය ම බලවත් බවයි.

කර්මය විපාක දීම කාටත් පොදු වූ ධර්මතාවක් බව බුදු දහමට අනුව අවබෝධ කර ගත යුතු ය. බුදු, පසේබුදු, මහ රහතුන් යන උතුමන්ට ද එම කර්ම බලවේගයෙන් ගැලවීමට හැකියාවක් නොතිබුණි. ඒ අතර බුද්ධ චරිතයේ සිදුවීම් දෙස අවධානය යොමු කිරීමෙන් ඒ පිළිබඳ හොඳින් අවබෝධ කර ගත හැකි ය. බුදුරජාණන් වහන්සේට ජීවිතයේ යම් යම් අවස්ථාවල මුහුණ පාන්නට සිදු වූ සිදුවීම්වලට ද කර්මය බලපා ඇත.

බුදුරජාණන් වහන්සේට සය අවුරුද්දක් දුෂ්කර කියා කිරීමට හේතු වූ අකුසල කර්මය පිළිබඳ විමසීමේ දී කාශ්‍යප බුදුරදුන් කල ජෝතිපාල නම් මානවක ව ඉපිද සිටි කාලයේ දී කාශ්‍යප බුදුරදුන් දැක මේ මුඩු ශ්‍රමණයාට බුදු බව කොයින්ද? එය පරම දුර්ලභ එකකැයි යනාදී වශයෙන් බැණ වැදුන සේක. එහි විපාකයක් වශයෙන් අන්තිම ආත්ම භවයේ දී සය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කිරීමට හේතු වූ බව සඳහන් වේ.

මේ ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේත් විවිධ කර්ම විපාකවලට මුහුණ පෑවා නම් පුහුදුන් වැසියාට එය සාමාන්‍ය දෙයකි. එම විපාක කර්ම බලවේගය මතම සිදු වන ඒවා බව ඉතා පැහැදිලි ය. එසේ නම්, බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේටත් කර්ම විපාක පොදුවේ බලපාන්නේ නම් පුහුදුන් සාමාන්‍ය පුද්ගලයින් පිළිබඳ කවර කතාද?

අද සමහර දෙනෙක් අකුසල් කර්ම රැස් කරන්නේ කවදාවත් ඒවායේ විපාක නොලැබෙන්නේ යැයි යන ආකාරයෙන් ය. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මුළු සිතම දූෂිත කර ගෙන එය ශාරීරික වශයෙන් ඔප් නංවාගෙන කර්ම රැස් කරනු ඇත. අකුසල් කිරීමේ දී එය මී පැණි සේ සිතුව ද එය විපාක දීමේ දී ඇඬූ කඳුළින් යුක්තව විඳීමට සිදුවන බව අවබෝධ කර ගත යුතු ය. එසේ සිතා අප නිරතුරුව ම කුසල ක්‍රියා සිදු කිරීමටත්, අකුසල ක්‍රියා නොකිරීමටත් වග බලාගත යුතු ය. චේතනාව ම කර්මය වන බැවින් චේතනාව පිරිසුදුකොට ගෙන දුර්ලභව ලැබූ මිනිසත් බව අර්ථවත් කර ගැනීමටත්, සතර අපාදී දුක්වලට පත් නොවීමටත්, උතුම් නිවනින් සැනසීමටත් අධිෂ්ඨාන කර ගනිමු.

දුරුතු පුර අටවක

ජනවාරි 17 බදාදා අ.භා. 10.12 පුර අටවක ලබා 18 බ්‍රහස්පතින්දා අ.භා. 08.50 ගෙවේ.
18 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 18

Full Moonපසළොස්වක

ජනවාරි 25

Second Quarterඅව අටවක

පෙබරවාරි 02

Full Moonඅමාවක

පෙබරවාරි 09

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]