Print this Article


හොඳට – නරකට මිතුරු ඇසුර

හොඳට – නරකට මිතුරු ඇසුර

දුවේ පුතේ මම අද ඔබට කියා දෙන්නට යන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ පාප මිතුරන් හා කල්‍යාණ මිතුරන් පිළිබඳව යි. සිඟාලෝවාද සූත්‍රය තුළින් එය එකින් එක පෙන්වා දී තිබේ.

අපි බලමු පාප මිතුරෝ කවුරුන් ද යන්න. පාප මිත්‍රයෝ සිව් දෙනෙකි. එනම් අඤ්ඤදත්ථුහර, වචීපරම, අනුප්පියභාණි හා අපායසහාය යි.

අඤ්ඤදත්ථුහර මිතුරා

හිස් අතින් පැමිණ මොනවා හෝ රැගෙන යයි. ටිකක් දී වැඩියෙන් ලබා ගැනීම අපේක්ෂාව යි. තමාට බියක් ඇති විට පමණක් උදව් කරයි. තම ආත්මාර්ථය සඳහා ම ඇසුරු කරයි.

වචීපරම මිතුරා

අතීතයෙන් සංග්‍රහ කරයි, අනාගතයෙන් සංග්‍රහ කරයි, වැඩක් නැති දෙයක් ම කරයි, කරදරයක් ඇතිවූ විට මඟහැර යයි.

අනුප්පියභාණි මිතුරා

වැරැදිවලට අනුබල දෙයි. මිතුරා නැති තැන අගුණ කියයි. මිතුරා ඇති තැන වර්ණනා කරයි.

අපාය සහාය මිතුරා

මත්ද්‍රව්‍ය භාවිතයට සහාය වෙයි, අවේලාවේ වීදි සංචාරයට සහාය වෙයි. සැණකෙළි සංදර්ශනය සඳහා සහාය වෙයි. දූ කෙළිය සඳහා සහාය වෙයි.

දුවේ පුතේ, මේ මිතුරන් හතර දෙනා ඇසුරු කරන්නට නම් එපා. බොහෝම භයානක යි. ආත්මාර්ථකාමී, වචනයට පමණක් සීමා වූ, මිතුරා දුගතියට පොළඹවන කුරිරු අදහස් ඇති, යටින් ගිනිගෙඩි දෙන මෙවන් මිතුරන් ඔබ ආශ්‍රය කරනවා නම් අදම ඉවත් වෙන්න. මෙවන් මිතුරන් ඇසුරෙන් අහිතකර ප්‍රතිඵල මිස හිතකර කිසිවක් සිදු වෙන්නේ නැත.

එවැනි කතා පුවත් බෞද්ධ සාහිත්‍යය තුළින් මනා ලෙස දැකිය හැකියි. ඒ අතරින් අංගුලිමාල, අජාසත්ත වැනි චරිත ඔබ කො පමණවත් අසා ඇතිනේ. වර්තමාන සමාජයේ එවැනි මිතුරන් ඇසුරු කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල දැක ඇතිනේ. මෙම පාප මිත්‍රයන් ඔබේ ජීවිතයට ළං කර නො ගන්නට කටයුතු කරන්න.

දුවේ පුතේ, අපි බලමු ඇසුරු කළ යුතු මිතුරන් කවුරුන්ද යන්න, බුදුරජාණන් වහන්සේ සිඟාල ගෘහපතියාට මේ ගැන දේශනා කර තිබෙනවා. ඒ අය තමයි උපකාරක, සමාන සුඛ දුක්ඛ, අත්ථාක්ඛායි, අනුකම්පක, යන මිතුරන්

උපකාරක මිතුරා –

පමා වූ මිතුරා රැක ගනී. පමාවූ මිතුරාගේ සම්පත් ආරක්ෂා කරයි. බියක් වූ විට පිහිට වෙයි. වැඩක් ඇති කල්හි ඕනෑවටත් වඩා සම්පත් දෙයි.

සමාන සුඛ දුක්ඛ මිතුරා

මිතුරාට තම රහස් කියයි, මිතුරාගේ රහස් රකියි. විපතක් වූ විට අත් නො හරී, මිතුරා වෙනුවෙන් ජීවිතය වුව ද පුද කරයි.

අත්ථක්ඛායි මිතුරා

පාපයෙන් වළක්වයි, යහපතෙහි යොදවයි, නො ඇසූ යහපත් දේ ඇසීමට සලස්වයි. ස්වර්ග මාර්ගය පෙන්වා දෙයි.

අනුකම්පක මිත්‍රයා

මිතුරා පිරිහුණු කල්හි සතුටු නොවේ. මිතුරා දියුණු වූ කල්හි සතුටු වෙයි. දොස් කියන අය වළක්වයි. ගුණ කියන අය පසස යි.

මෙවන් කලණ මිතුරන් ඇසුරු කිරීමෙන් ඔබේ ජීවිතය ආලෝකවත් කර ගන්නට පුළුවන්. ඒ පමණක් නොවේ, දුවේ පුතේ ඔබ මෙවැනි මිතුරන් ඇසුරු කිරීමෙන් ඔබේ වටිනා ජීවිතය ආලෝකවත් වෙනවා. එම ඇසුර නිසා සමාජයේ සුවඳ හමන මලක් බවට පත්වනවා. දුවේ පුතේ පාප මිතුරන් ඇසුරු නො කරන්න. යහපත් මිතුරන් ඇසුරු කරන්න අදිටන් කර ගන්න.