Print this Article


සම්බුදු දහම පවතින තාක් බුදුරජාණන් වහන්සේ ජීවමාන වෙති

සම්බුදු දහම පවතින තාක් බුදුරජාණන් වහන්සේ ජීවමාන වෙති

ලෝකයෙහි “බුද්ධ” යන උත්තම ශබ්දය කලාතුරකින් ඇසෙන්නකි. සමහර කාලවල දී කල්ප ගණනාවකිනුත් අසන්නට නො ලැබෙන්නකි. ‘බුද්ධ’ යන උතුම් ශබ්ද මාත්‍රය පවා එ තරම් දුර්ලභ නම්, බුදුවරයන් වහන්සේගේ පහළවීම අතිශයින් දුර්ලභ බව නුවණැත්තන්හට තේරුම් ගැනීම අමාරු නැත.

බුදුරජාණන් වහන්සේ නම්; චතුරාර්‍ය සත්‍යය ධර්ම ස්වයම්භු ඥානයෙන් (තමන් වහන්සේගේ ම නුවණින්) අවබෝධ කොට වදාළ මහොත්තමයන් වහන්සේ ය. උන්වහන්සේ දත යුතුතාක් දහම් අතැඹුලක් සේ (අතෙහි තිබෙන නෙල්ලි ගෙඩියක් මෙන්) හැම ලෙසින් ම දැන වදාළ සේක. ශීල - සමාධි - ප්‍රඥා - විමුක්ති - විමුක්ති ඥාන දර්‍ශනාදී ගුණයෙන් උත්තරීතර වන සේක. සවාසන සකල ක්ලේශයන් නසා තුන්ලොවෙහි අසම වූ සේක. බෞද්ධයන්ගේ අනුශාසකයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ම වන සේක.

අන් සමයන්හි ශාස්තෘවරු මෙන් තථාගතයන් වහන්සේ සියල්ල මැවීම් - රැකීම් -නැසීම් කරන ශාස්තෘවරයෙක් නොවෙති. සත්වයා දුකින් ගලවන්නෙක් හෝ සැපතෙහි අලවන්නෙක් හෝ නොවෙති. ශාපකිරීම් - දඬුවම් දීම් ආදියෙහි සමත් වූ සර්වබලධාරී අදෘශ්‍යමාන දෙවියකු වශයෙන් හෝ හඳුන්වනු නො ලබති. උන්වහන්සේ ක්‍රිස්තු පූර්‍ව 563 - 518 කාලය තුළ මේ මිනිස් ලොව ම වැඩසිටි සේකැ’ යි බෞද්ධ ඉතිහාසය පමණක් නො ව ලෝක ඉතිහාසය ද ලක්‍ෂ ගණන් නෂ්ටාවශේෂ හා සෙල්ලිපි ද උන්වහන්සේගේ ශ්‍රී මුඛ දේශනා නම් වූ ත්‍රිපිටක ධර්‍මය ද හොඳීන් කියාපායි.

බුදු වූ මහෝත්තමයන් වහන්සේ වනාහි සුමේධ තාපස කාලයේ සිට ම දානාදි පෙරුම් පුරා ක්‍රමයෙන් ගුණ නුවණින් වැඩෙමින් අවුත් බුද්ධත්වය ලබා ගත් සේක.

බුද්ධකාරක ධර්ම

“බුද්ධො’හං බොධයිස්සාමි - මුත්තො’හං මොචයෙ පරෙ

තිණ්ණො’හං තාරයිස්සාමි - සංසාරොඝා මහබ්භයා”

මම සිවුසස් දහම් අවබෝධ කොට, අනුනුදු අවබෝධ කරවන්නෙමි. මම සසර බැම්මෙන් මිදී අනුනුදු සසර බැම්මෙන් මුදවන්නෙමි. මම බිහිසුණු සසර මහ වතුරෙන් එතෙර වැ අනුනුදු සසර මහ වතුරින් එතෙර කරවන්නෙමි.

මෙසේ සිතා බුදු බව පතමින් පැරුම්දම් පුරන්නට වන් මහ බෝසතාණෝ කෙත් - වත් -විමන් - රන් - රුවන් ද, දැසි දසුන් ද, අඹු දරුවන් ද, ඇස් ඉස් මස් ලේ ද, සිය දිවි ද පුදමින් දානය ද, හැම දුසිරිත් මඩිමින් සුසිරිතෙහි යෙදෙමින් ශීලය ද, කාමාදීනව හා නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස් සලකා කාම වස්තූන්ගෙන් හා කාම චින්තාවන්ගෙන් නික්මීම යැ යි කියන ලද නෛෂ්ක්‍රම්‍යය ද, හැමදැයක ම ඇති තතු වටහා ගත හැකි පරිදි ප්‍රඥාව ද, අවහිරකම් සිය දහසක් පැමිණියත් පසුබට නො වී අදහස මුදුන් පමුණුවා ගැනුමට ප්‍රයත්න කිරීම නම් වූ වීර්‍යය ද, ලැබෙන තාක් ගැහැට - හිරිහැර ගැන කෝප මාත්‍රයකුදු නො කොට සිය සිත්හි ලා ඉවසා ගත හැකි අධිවාසනය යි කියන ලද ක්‍ෂාන්තිය ද, නොරැවටිල්ල - පොරොන්දු නො කඩ කිරීම නම් වූ සත්‍යය ද, යහපත් දැයක් කිරීමට කළ අදහසෙහි ම තදින් එල්බ සිටීම නම් වූ අධිෂ්ඨානය ද, කිසි භේදයක් නො කොට කවුරුන් කෙරෙහිත් සම සේ සිතන ස්වභාවය වූ මෛත්‍රිය ද, අටලෝ දහම් ආදියෙහි අකම්පිතව විසීම නම් වූ උපේක්‍ෂාව ද යන මේ දස පාරමිතාවන් හැම අත් බැව්හි දී ම තුන් තුන් පරිද්දෙන් පිරූහ.

එ පමණක් ද නොව නෑයනට සංග්‍රහ කිරීම නම් වූ ඥාත්‍යර්‍ථචර්‍්‍යාය. ලෝකයාට හිත සුව සැලසීම නම් වූ ලෝකාර්‍ථ චර්‍යාව ය, කරන කියන දෑ සිය දියුණුවට අවහිර නො වන සේ නුවණින් කිරීම ය යි කියන බුද්ධි චර්‍යාව, යන ත්‍රිවිධ චර්‍යාවෙන් ද, සුදුසු කල්හි දීම ය, ප්‍රිය වචන බිණීම ය, ඇසුරු කරන්නවුන්ගේ අභිවෘද්ධිය පිණිස කටයුතු කිරීම ය, නිසි තන්හි දී සමානාත්මතාවයෙන් යුතුව පැවැත්ම ය යන සතර සංග්‍රහ වස්තුවෙන් ද, උතුම් දරුවන් දීම ය, මහඟු වස්තුව දීම ය, උතුම් භාර්‍යාවන් දීම ය, ඇස් කන් නාසාදි ශරීරාවයව දීම ය, ජීවිත පරිත්‍යාගය යන පංචමහා පරිත්‍යාගයෙන් ද , මේ ඈ බුදුකුරු දම් පුරමින් සිය ගුණ නුවණ මුහුකුරුවමින් අවුත් වෙසතුරු අත්බැව්හි දී මහපොළොව කම්පා කොට මහා දන් දී, ඉන් සැව, තුසිත දෙව්ලොව උපන්හ.

එහිදී දෙව්බඹුන්ගේ අයැදුමෙන් පස්මහ බැලුම් බලා ඉන් සැව, සුදොවුන් රජු නිසා මහාමායා අග රැජින කුසින් මනුලොව එළිය දුටහ. එවක් පටන් එකුන් තිස් වසක් ගිහිගෙයි වැස, මහබිනික්මන් කොට උරුවෙල් දනව්වෙහි වෙසෙමින් සාවුරුද්දක් දුෂ්කර ක්‍රියා කොට බුදු වන්නට නො සමත් වූවාහු මැදුම් පිළිවෙත්හි පිහිටා බුද්ධගයාවෙහි මහ බෝමැඩ දී වෙසක් පුණු පොහෝදා ලොවුතුරා බුදුවැ වදාළ සේක.

මෙ කල උන්වහන්සේ ජීවමාන ව වැඩ නොසිටිතත් “යො වො ආනන්ද මයා ධම්මො ච විනයො ච දෙසිතො පඤ්ඤත්තො සො වො මමච්චයෙන සත්ථා”

ආනන්දය, මා විසින් නුඹලාට යම් කිසි ධර්‍මයක්, විනයක් දෙසන ලද නම්, පණවන ලද නම්, ඒ ධර්ම විනයයෝ මා ඇවෑමෙන් නුඹලාගේ ශාස්තෘන් වහන්සේ වන සේකැ යි දේශනා කළ හෙයින් බුද්ධ ධර්මය පවත්නා තුරු ම බුදුරජාණන් වහන්සේ ජීවත් වන්නාක් මෙනි.

මෙසේ වනුයේ බුද්ධානුශාසනය නො කිළිටිව පවත්නා කල්හි අධිශීල - අධිචිත්ත - අධිප්‍රඥා යන ත්‍රිවිධ ශික්‍ෂා පූරණය කළ හැකි බැවිනි. ලෝකයෙහි සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පහළ වීමෙන් “බුද්ධරත්නය” පහළ විණැ යි සැදැහැත්තෝ තුටු පහටු වෙති.

අග්ගමහා පණ්ඩිත විනය විශාරද ධර්මකීර්ති ශ්‍රී සුමංගල විද්‍යාවතංස ආචාර්ය වැලිගම සිරි ඤාණරතන මහ නාහිමි ලියන ලද ලිපියක් ඇසුරෙනි.