අවබෝධයට අනුව
නම් ලද බෝධිය
බිබිල,ඇකිරියන්කුඹුර,
බැලුම්ගල ආරණ්‍ය සේනාසනයේ
පොතුහැර විපස්සී හිමි
සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙම බෝධිපාක්ෂික ධර්මයන් උපරිම අයුරින් තම සිත තුළ
දියුණු කරගත් උතුමන් වහන්සේ ය. එම උත්තරීතර අවබෝධය සිදු වන්නේ යම් වෘක්ෂයක් මූලයේ ද
එම වෘක්ෂය එතැන් පටන් බෝධි යනුවෙන් ව්‍යවහාරයට පැමිණේ
උඳුවප් පොහොය දිනයත් සමඟම ලංකාවාසී සියලු බෞද්ධයන්ගේ සිහියට නැඟෙන විශේෂ කරුණ නම්
සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේගේ ලංකාගමනය හා ඒ සමඟ වැඩම වන ලද අනුරාධපුර
මහමෙව්නා උයනේ රෝපිත ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ පිළිබඳ පුවත ය.
අනුලා බිසව ප්‍රධාන ලංකාදීපවාසී කාන්තාවන්ට බුදු සසුනෙහි දායාදය ලැබුණේ උඳුවප්
පොහොය දිනයෙහි බැවින් කාන්තාවන්ට එම දිනය විශේෂ වැදගත් දිනයක් වේ. එකල හෙළදිව රජ කළ
දෙවනපෑතිස් රජතුමන්ගේ විශේෂ රාජ්‍ය අනුග්‍රහය නිසා ලක්දිව සෑම ප්‍රදේශයක ම
ශීඝ්‍රයෙන් බුදුසසුන ව්‍යාප්ත විය. ඒ සඳහා දඹදිව ධර්මාශෝක අධිරාජයාගේ ද කාරුණික
අනුග්‍රහය ලද නිසා සිව් දිසාවේ ම දහම බබළන්නට විය.
දැනට අනුරාධපුර මහමෙව්නා උයනේ උඩමළුවේ රෝපණය කර ඇති ජය ශ්‍රී මහා බෝධින් වහන්සේට
වසර 2330ක පමණ ලේඛනගත ඉතිහාසයක් ඇත. සත්‍ය වශයෙන්ම “බෝධි” ලෙස හඳුන්වන වෘක්ෂයක්
නැත. බෝධි යන පාළි වචනයෙහි තේරුම් අවබෝධය යන්නයි. අපගේ ගෞතම සම්මා සම්බුදු රජාණන්
වහන්සේ “ඇසතු රුක්ෂයක් මුල වැඩ සිටිමින් සම්මා සම්බුදු බවට පැමිණ වදාළ බැවින් එතැන්
සිට ඇසතු වෘක්ෂය බෝධි යන ගෞරවනීය නාමයෙන් හඳුන්වනු ලැබේ.
සියලුම බෝසතාණන් වහන්සේ ගසක් මුල වැඩ සිටිමින් සම්බුද්ධත්වයට පත්වීම ධර්මතාවකි. මෙම
භද්‍ර කල්පයට කල්ප සියයකට පෙර ලෝකයේ පහළ වී වදාළ ‘විපස්සි‘ බුදුරජාණන් වහන්සේට
බෝධිය වූයේ පලොල් (පාඨලී) වෘක්ෂයයි. එකල පලොල් වෘක්ෂය බෝධි නමින් පුද පූජා ලබන්නට
ඇත. මෙයට කල්ප තිහකට පෙර ලෝකයේ පහළ වී වදාළ “සිඛී” බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට
පත් වූයේ හෙලඅඹ (පුණ්ඩරීක) වෘක්ෂයක් මුලදී ය. එබැවින් එකල පුණ්ඩරීක වෘක්ෂය බෝධි
නමින් බොහෝ දෙනාගේ පුද පූජාවන් ලදහ.
සිඛී බුදුරජාණන් වහන්සේගෙන් පසු ලෝකයේ පහළ වී වදාළේ “වෙස්සභූ” බුදුරජාණන් වහන්සේය.
වෙස්සභූ බුදුරජාණන් වහන්සේට සම්බුද්ධත්වය සඳහා උපකාර වූයේ ‘සල්” වෘක්ෂයයි. ඉන්පසු
මේ භද්‍ර කල්පයේ පළමුවරට සම්බුදු බව ලැබුවේ “කකුසඳ” බුදුරජාණන් වහන්සේ ය.
මහරි (සිරිස්ස) ගසක් සෙවණේ දී උන්වහන්සේ සම්බුදු බව ලත් සේක. එබැවින් එකල බෝධි
ලෙසින් ව්‍යවහාර වූයේ මහරි වෘක්ෂයයි. “කෝණාගමන” බුදුරජාණන් වහන්සේ දිඹුල් (උදුම්බර
= අත්තික්කා) ගසක් සෙවණේ දී සම්බුදු පදවි ලත් සේක. අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේට
පෙර ලෝකයේ පහළ වී වදාළ “කස්සප” බුදුරජාණන් වහන්සේ නුග (නීග්‍රෝධ) ගසක් සෙවණේ
සම්බුද්ධත්වයට පත්වී වදාළ සේක. එකල බෝධි නමින් පුද පූජා ලැබුවේ නුග වෘක්ෂයයි. මෙසේ
ඒ ඒ කාලවලදී සම්බුද්ධත්වයට පත්වීමට උපකාර වන වෘක්ෂ බෝධි යන පූජනීය නාමයෙන් ව්‍යවහාර
වෙමින් දෙව් මිනිසුන්ගේ පුද පූජා ලබයි.
සත් බුදුරජාණන් වහන්සේලාට බුදුබව ලැබීම පිණිස උපකාරි වූ බෝධි පිළිබඳව “මහා පදාන’
සූත්‍රයෙහි (දීඝ නිකාය) සඳහන් වන අතර, සූවිසි බුදුරජාණන් වහන්සේලාට අයත් බෝධි
පිළිබඳව“ පූජාවලිය” ආදී වංශකථාවල සඳහන් වේ. ඒ අනුව නා, කුඹුක්, උණ, සපු ආදී වෘක්ෂ ඒ
ඒ කාලවලදී සම්බුදු පදවි ලත් බුදුරජාණන් වහන්සේලාට සෙවණ ලබාදී උපකාර වී ඇත. එමෙන්ම
අනුරාධපුර මහමෙව්නා උයනේ සිව් බුදුරජාණන් වහන්සේගේ බෝධින් වහන්සේ රෝපණය වී ඇති බව
වංශකතාවල සඳහන් වේ.
“බෝධි’ යනු අවබෝධයයි. එනම් සමාධිමත් සිතකින්, අනිත්‍ය බව පිළිබඳ ලබන අත්දැකීමයි.
ධර්මයේ “බෝධිපාක්ෂික” ධර්ම 37ක් සඳහන් වේ. එනම් සතර සතිපට්ඨානය, සතර සම්‍යක්
ප්‍රධාන වීරිය, සතර ඉද්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල සප්ත බොජ්ඣංග, ආර්ය අෂ්ටාංගික
මාර්ගය යන 37යි. අවබෝධයට උපකාර වන අංග යන අර්ථයෙන් මේවා බෝධිපාක්ෂික ධර්ම ලෙස සඳහන්
වේ. වෙන් වෙන් වශයෙන් සඳහන් කළත් මේවා විපස්සනාව කළ එකට වැඩෙන අංග බව “මහාසලායතනික”
සූත්‍රයෙහි (ම.නි.3) ඉතා පැහැදිලිව සඳහන් වේ.
පුහුණුවේදී සිත තුළ දියුණු වන එකම අංගය විවිධ නම්වලින් හඳුන්වාදී ඇත. උදාහරණයක් ලෙස
සතර සතිපට්ඨානයම, සති ඉන්ද්‍රිය, සති බලය, සති සම්බොජ්ඣංගය, සම්මා සති වශයෙන් විවිධ
අයුරින් විස්තර කර පෙන්වා දී ඇත. සතිය ( සිහිය) අවබෝධය පිණිස දියුණු කළ යුතු අංගයක්
වේ. වීරිය අවබෝධය පිණිස දියුණු කළ යුතු අංගයක් වේ. මේ අයුරින් අවබෝධය පිණිස දියුණු
කළ යුතු අංග බෝධි පාක්ෂික ධර්ම වේ.
සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙම බෝධිපාක්ෂික ධර්මයන් උපරිම අයුරින් තම සිත තුළ
දියුණු කරගත් උතුමන් වහන්සේය. එම උත්තරීතර අවබෝධය සිදු වන්නේ යම් වෘක්ෂයක් මුල ද එම
වෘක්ෂය එතැන් පටන් බෝධි යනුවෙන් ව්‍යවහාරයට පැමිණේ.
මේ නිසා බෝධින් වහන්සේට පුද පූජා වන්දනා කරන විට, එම උත්තරීතර අවබෝධය පිළිබඳ යම්
වැටහීමක් ඇතිව ධර්ම ගෞරවයෙන් යුතුව එය සිදු කරයි නම් ඉතා වටිනා කුසලයක් එයින් අයත්
කර ගත හැකි ය.
මෙකල බොහෝ විට බෝධිපූජා, වන්දනා සිදු කරනු ලබන්නේ ලෞකික ජීවිතයේ යම්
බලාපොරොත්තුවක්, ප්‍රාර්ථනාවක් ඉටු කර ගැනීම පිණිස ය. ඒවායෙහි ද යම් පිහිටක්
නොලැබෙනවා නොවේ. නමුත් ඉහත අයුරින් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳ දැඩි
විශ්වාසයෙන් යුතුව, ධර්ම ගෞරවයෙන් යුතුව එම පූජා සිදු කරයි නම් ඉතා උසස් ප්‍රතිඵල
ලබා ගත හැකි වේ. අටුවාවන්හි සඳහන් වන අයුරින් බුදුරජාණන් වහන්සේට පූජා පැවැත්වීම
ආකාර 3කින් සිදු කළ හැකි ය. ශාරීරික ධාතුන් වහන්සේ නිධන් කොට ඇති චෛත්‍ය රාජයාණන්
වහන්සේ හා එම ධාතුන් වහන්සේ, ශාරීරික වශයෙන් පූජා කළ හැකි ය.
අවබෝධය පිණිස සෙවණ දී උපකාරි වූ බෝධින් වහන්සේ “පාරිභෝගික” වශයෙන් පිදුම් ලැබිය
යුතු වේ. එමෙන්ම පිළිම වහන්සේට උද්දේසික වශයෙන් පුද පූජාවන් සිදු කළ හැකි ය. කුමන
ආකාරයකින් වේවා, බුදුරජාණන් වහන්සේට කරන පූජාවක් වශයෙන් සලකා ධර්ම ගෞරවයෙන්, ශාස්තෘ
ගෞරවයෙන් යුතුව සිදු කරයි නම් සැම දෙනාට ම අප්‍රමාණ පින් පල නෙළා ගත හැකි වේ.
මෑත කාලීනව පින්කම් සිදු කිරීමේ දී බොහෝ දෙනෙක්, ශාස්තෘ ගෞරවය කෙලෙසන ආකාරයෙන්
අවිචාරවත් ලෙස කටයුතු කිරීම කනගාටුවට කරුණකි. එමෙන්ම ඔවුන් එය තමන්ගේ සද්ධාව ලෙස
හුවා දැක්වීම ඔවුන්ගේම මෝඩකම හුවා දැක්වීමකි. පිළිම වහන්සේ මතට නැඟ සිවුරු පෙරවීම,
බෝධින් වහන්සේගේ අතු පහත් කර කොඩි ගැට ගැසීම, චෛත්‍ය රාජයන් වහන්සේගේ පේසාවළලු
අපවිත්‍ර වන ආකාරයෙන් මල් පහන් පූජා භාණ්ඩ තැබීම යන මේවා කොතරම් ගැළපේ දැයි නැවත
සිතා බැලිය යුතු ය. බුද්ධිමත් ලෙස පින්කම් කර අප සැම දෙනාම දෙලොව සැප සලසා ගැනීමට
උත්සාහ කරමු. |