Print this Article


ධර්මාචාර්ය විභාග සඳහා අත්වැලක්: ථෙරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් - 02 කොටස

ධර්මාචාර්ය විභාග සඳහා අත්වැලක්:

ථෙරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් - 02 කොටස

2562 - බෞද්ධ ධර්මාචාර්ය විභාගය - 2017 (2018)

(04) බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය

01 කොටසේ ප්‍රශ්නය ද 02 කොටසින් තෝරාගත් තවත් ප්‍රශ්න හතරක් ද ඇතුළු ව ප්‍රශ්න පහකට පමණක් පිළිතුරු සපයන්න.

I කොටස

01.

1.

අ) ථෙරවාද සම්ප්‍රදාය අනුව භාරතයේ පැවැත් වූ සංගායනා ගණනය කීයද?

ආ) මෙයින් දෙවැනි සංගායනාව පවත්වන ලද්දේ කවුරුන්ගේ මතවාද ඛණ්ඩණය කිරීම සඳහා ද?

2.

අ) ප්‍රථම සංගීතියේ දී සාකච්ඡාවට භාජනය වූ ඉතා වැදගත් ගැටලුව කුමක්ද?

ආ) මේ නිසා විනය සංශෝධන අපේක්ෂා පිරිස් නැඹුරු වී ගියේ?

3.

අ) මහාසංගීති නව සංගායනාව පැවැත්වූයේ

ආ) මේ කරුණ ඉදිරිපත් කරන ලද්දේ

4.

අ) සම්මිතීය නිකායේ ඉතිහාසය ලියුවේ

ආ) මේ නිකායේ වැඩි අවධානය යොමු වූයේ

5.

අ) ධර්මාශෝක සමයට පෙර ථෙරවාද සම්ප්‍රදායෙන් බෙදී ගියේ

ආ) මහා සාංඝිකයන්ගෙන් බෙදී ගිය නිකාය දෙක

6.

අ) පංචස්කන්ධය ගිනි අඟුරු ලෙස සැලකුණේ

ආ) ලොව සියලු දේ සංකල්ප පමණක් බව ඉගැන්වූයේ

7.

අ) මාඝාත නීතිය පැන වූ රජතුමා කවරෙක්ද?

ආ) මාඝාත යනු අර්ථය කුමක්ද?

8.

අ) අශෝක අධිරාජ්‍යයාගේ අනුශාසන ජනතාව අතර ප්‍රචාරය කිරීමට යෙදූ උපාය මාර්ගය කුමක්ද?

ආ) මේ අනුව තම අනුශාසනා ප්‍රචාරයට යොදා ගත් අංශ කුමක්ද?

9.

අ) අශ්වඝෝෂ හිමි ජීවත් වූයේ කවර රාජ්‍ය සමයක දී ද?

ආ) උන්වහන්සේ අයත් නිකාය කුමක්ද?

10.

අ) සමන්තපාසාදිකාව ලිවීමට ආරාධනා කළේ කවුරුන් විසින් ද?

ආ) මේ කෘතියේ කතුවරයාගේ නම කුමක්ද?

II කොටස

02.

1. බුදු දහමේ ඉගැන්වෙන ඇතැම් කරුණු අශෝක අධිරාජයා විසින් සිය පාලන ප්‍රතිපත්ති සඳහා උපයෝගී කරගත් අයුරු එතුමාගේ සෙල්ලිපි ඇසුරෙන් සාකච්ඡා කරන්න.

2. ශ්‍රී ලංකාවට බුදුදහම ලැබුණේ මෙරට පාලකයන් හා භාරතයේ අශෝක අධිරාජයා අතර පැවති සංස්කෘතික සම්බන්ධතාවල ප්‍රතිඵලයක් වශයෙන් බව සනාථ කෙරෙන සාධක ඉදිරිපත් කරන්න.

3. ශ්‍රී ලංකාවේ බුදුදහම පිහිටුවීම හා ආශි‍්‍රතව පවත්නා ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක සාධක විමර්ශනය කරන්න.

03.

1. මහායාන බුදුසමයෙහි ඇතුළත් බෝධිසත්ත්ව සංකල්පය විස්තර කරන්න.

2. ‘බෝධි චිත්තය’ යනු කුමක්දැයි පැහැදිලි කරන්න.

3. මහායාන බුදුසමයෙහි දැක්වෙන අමිතාභ බුද්ධ වන්දනාව පිළිබඳ විස්තරයක් කරන්න.

04.

1. භාරතයේ නාලන්දා විශ්වවිද්‍යාලයේ ආරම්භය හා සංවර්ධනය පිළිබඳ හැඳින්වීමක් කරන්න.

2. නාලන්දා විශ්වවිද්‍යාලයේ ප්‍රවේශ

පරීක්ෂණයේ ස්වරූපය කෙබඳු වී දැයි විමර්ශනයක් කරන්න.

3. නාලන්දා විශ්වවිද්‍යාලයේ ඉගැන්වූ

විෂය ධාරා පහ විස්තර කරන්න.

05.

1. ‘හෙළටුවා’ යනු කවරේ දැයි හඳුන්වා දෙන්න.

2. බුද්ධදත්ත හිමියන් විසින් ලියන ලද අටුවා හා අනෙකුත් ග්‍රන්ථ පිළිබඳ සමාලෝචනයක් කරන්න.

3. පෙළ පොත්වලට පසුව රචනා කළ වැදගත් පාලි ගද්‍ය ග්‍රන්ථ දෙකක් ගැන විස්තර කරන්න.

06.

1. සද්ධර්මපුණ්ඩරික සූත්‍රය පිළිබඳ හැඳින්වීමක් කරන්න.

2. ජපානයේ පැතිර ගිය නිචිරෙන් නිකාය ගැන විස්තරයක් සපයන්න.

3. සෙන් බුදුසමයේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණ හඳුන්වා දෙන්න.

07.

1. ලක්වැසියන් අතර පැතිර ගිය ථෙරවාද බෞද්ධ සම්ප්‍රදාය පොදුජන විශ්වාසවලට අනුකූලව ක්‍රමයෙන් හැඩගැසුණු ආකාරය පැහැදිලි කරන්න.

2. ශ්‍රී ලංකාවේ අනුරාධපුරයේ ආරම්භ වූ බුදුසමය රෝහණ ජනපදය තෙක් පැතිර යාමට බල පෑ හේතු සාධක විස්තර කරන්න.

3. දුටුගැමුණු රජුගේ දේශපාලන කාර්යයේ සඵලතාව සඳහා අදාළ පසුබිම කාවන්තිස්ස රජතුමා විසින් සකස් කළ බවට දැක්විය හැකි හේතු සාධක කවරේදැයි පිරික්සන්න.

08.

1. බෞද්ධ ස්තූප නිර්මාණය ආරම්භයේ දී හා පරිණාමයේ දී දක්නට ලැබුණු

විශේෂතා මොනවා දැයි පැහැදිලි කරන්න.

2. වටදාගෙය හඳුන්වා, ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන වටදාගෙවල් පිළිබඳ විස්තරයක් කරන්න.

3. බෞද්ධ ස්තූප වර්ග නම් කොට, ඒවායින් හතරක ආකෘතික ලක්ෂණ හඳුන්වා දෙන්න.


පිළිතුරු

I කොටස

01.

1. අ) තුනයි

ආ) වජ්ජිපුත්තක භික්ෂූන්ගේ මතවාද ඛණ්ඩණය සඳහා

2. අ) ඛුද්දානුඛුද්දක ශික්ෂා පද

ආ) අභිනව නිකායක් ආරම්භ කිරීමට

3. අ) පංචවස්තුව අරබයා

ආ) මහාදේව තෙරුන්

4. අ) භාවවිවේක

ආ) පුද්ගල සංකල්පය උදෙසා

5. අ) වාත්සීපුත්‍රයන්

ආ) ඒකබ්බොහාරික හා ගොකුලික

6. අ) ගොකුලිකයන්

ආ) ඒකබ්බොහාරිකයන්

7. අ) ධර්මාශෝක

ආ) සතුන් නොමැරීමයි

8. අ) සෙල්ලිපි මඟිනි

ආ) ගිරිලිපි, පර්වතලිපි, ස්තම්භලිපි

9. අ) කණිෂ්ක රාජ්‍ය සමයේ

ආ) සර්වාස්තිවාදය

10.අ) බුද්ධසිරි තෙරුන්

ආ) බුද්ධඝෝෂ හිමි

II කොටස

02.

1. අශෝක රජතුමාගේ ධර්ම විජය, සුභසාධනය, ආගමික සහනසීලතාව, ධර්මයාත්‍රා යන ප්‍රතිපත්ති ද දේශීිය හා නවරට ධර්ම ප්‍රචාරක කටයුතු ද ගැන විස්තර ඉදිරිපත් කිරීම.

2. ශ්‍රී ලාංකේය පාලකයන් හා අශෝක රජතුමා අතර කිසියම් කාලයක් තුළ සංස්කෘතික සබඳතා පැවති බවට කරුණු ඇත. මහින්දාගමනයට පෙර අරිට්ඨ ඇමැති ප්‍රධාන දූත පිරිසක් අශෝක අධිරාජයා හමුවට ගොස් තිබීම, පඬුරු හුවමාරු කර ගැනීම, ලිපි ගනුදෙනු කිරීම, දෙවන පෑතිස් රජුගේ

අභිෂේකය උදෙසා අවශ්‍ය කකුධ භාණ්ඩ අශොක රජු එවීම, මිහිඳු හිමියන් ඇතුළු දූත පිරිස දෙවනපෑතිස් රජු විසින් හඳුනාගෙන බුදුදහම වැලඳ ගැනීම ආදී වශයෙන් දැක්විය හැකි ය.

3.සාංචි දෙවන ස්තූපයෙහි කරඬුවල මහ තෙරවරුන්ගේ ධාතු තැන්පත් කොට අදාළ නම් සඳහන් කොට තිබීම. නිදසුන් වශයෙන් සපුරිස මජ්ජිම (මජ්ඣන්තික තෙරුන්) සපුරිස කසප ගොතස හෙම වතා චරියස (කස්සපගොත්ත තෙරුන්) දදභිසාර ගොටිපුත්ත (දුන්දුභිස්සර තෙරුන්) ගැන සඳහන් වේ. මේ සියලු දෙනා විවිධ ප්‍රදේශවලට වැඩිය ධර්ම දූතයන් වහන්සේය. ශ්‍රී ලංකාවෙන් හමු වූ ක්‍රි.ව. 1 සියවසට අයත් සෙල්ලිපියක ඉදික තෙරහ, මහිද තෙරහව යන නම් දක්නට ලැබේ. පාලි අට්ඨකතා හා වංශ කතාවල ද මිහිඳු හිමියන්ගේ ශ්‍රී ලංකාගමනය ගැන විස්තර දක්නට ලැබේ. මේ අනුව මිහිඳු හිමියන් ලංකාවට බුදුදහම රැගෙන පැමිණි බව තහවුරු වේ.

03.

1. බෝධිසත්ත්ව සංකල්පය, ධර්මාවබෝධය ලැබීමෙහි ඇලුණු පුද්ගලයා යන අර්ථය මෙයින් ලැබේ. බෝධි චිත්තය ලැබීමෙන් පසු බෝධිසත්ත්වයන්ගේ ශරීර පූජාර්භ වස්තුවක් බවට පත්වේ. මහායාන සූත්‍රවල දැක්වෙන පරිදි බෝධිසත්වවරු අටදෙනෙක් වෙති. බෝධිසත්වවරයෙකු බුද්ධත්වය ලැබීමට පෙර පත්විය යුතු අවස්ථා දහයක් ඇත. මේවා දසභූමි නමින් හැඳින් වේ. පාරමිතා සම්පූර්ණ කළ යුතු වේ. මහාකාරුණ හා මහා ප්‍රඥාව සම්පූර්ණ කළ යුතු වේ.

2. බෝධි චිත්ත යනු බුදු බව ප්‍රාර්ථනා කරන සියලු බෝධිසත්වවරුන් විසින් වැඩිය යුතු දෙයකි. එනම් සියලු සත්ත්වයන් සංසාරයෙන් ගොඩනංවනු පිණිස මම බුදු වෙම්මා යන ප්‍රාර්ථනයයි. බෝධිචර්යාවතාරයෙහි මේ ගැන දීර්ඝ විස්තරයක් ඇතුළත් ය. මේ අනුව බෝධි චිත්තය ලෝකයාගේ මරණ දුක නැති කිරීමේ රසායනයකි. ලෝකයාගේ ව්‍යාධීන් සංසිඳුවන උතුම් ඖෂධයකි. සියලු දෙනාට දුගති නමැති මුහුදින් එතෙර වීමට පිහිට වන නිසා ඒ දණ්ඩකි. ලෝකයාගේ මෝහාන්ධකාරය දුරලන මහා සූර්යයෙකි. දිගු කලක් අන්‍යයන්ට සැපත් ලබා දෙන යාගයක් බඳු ය.

3. අමිතාභ බුද්ධ වන්දනාව යනු ගෞරවාර භක්තියෙන් යුතුව එම බුදුන් වන්දනා කිරීමයි. මේ අනුව නමෝ අමිත බුත්සු යන පාඨය ජප කිරීම මඟින් විමුක්තිය ලද හැකි ය යන විශ්වාසය මහායාන බෞද්ධයන් අතර පවතී. මේ ඇදහීම පාදක කරගත් වෙනම නිකායයක් ජපානයේ පවතී. චීනයේ ද මේ ඇදහීම පැතිරී ඇත.

04.

1. නාලන්දා විශ්වවිද්‍යාලයේ ආරම්භය හා සංවර්ධනය

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයට අයත් විශ්වවිද්‍යාලයකි. මේ විශ්වවිද්‍යාලය පළමු වන කුමාරගුප්ත රජතුමා (ක්‍රි.ව. 415 - 455) විසින් ගොඩනංවන ලදී. බුද්ධගුප්ත, තථාගතගුප්ත, බාලාදිත්‍ය හා වජ්‍ර රජුන් විසින් වර්ධනය කරන ලදී. මෙය නේවාසික සරසවියකි. මෙහි නිවැසි භික්ෂු සංඛ්‍යාව දස දහසකට නො අඩු විය. හියුංසියෑං වැනි චීන සංචාරක භික්ෂූන් විසින් මේ ආයතනයේ දියුණුව විස්තර කර ඇත.

2. ප්‍රවේශ පරීක්ෂණය - මෙහි පැමිණි ශිෂ්‍ය සංඛ්‍යාව විශාල වූ නිසා ප්‍රවේශය ඉතා තරගකාරී විය. විශ්වවිද්‍යාලයේ ඉගෙනීමට එන අපේක්ෂකයා දොරටු අසල වූ තෙමහල් ද්වාර මන්දිරයෙහි නතර විය යුතු ය. ප්‍රවේශ පරීක්ෂණය මෙහිදී පැවැත්විණි. ධර්ම ශාස්ත්‍රයන්හි නිපුණ, විවාදයන්හි ප්‍රවීණ පඬිවරු අපේක්ෂකයන් පරීක්ෂා කළහ. මේ පරීක්ෂණයෙන් සමත් වූයේ ටික දෙනෙකි.

3.

1) භාෂා අධ්‍යයනය - මේ යටතේ සංස්කෘත භාෂාව හා එයට අදාළ වාග්විද්‍යාව, ඡන්දස්, ව්‍යාකරණ, අලංකාර, නිරුක්ති ආදිය විය.

2) බුද්ධ ධර්ම අධ්‍යයන - මේ යටතේ මහායානය හා අනෙකුත් බෞද්ධ නිකායවලට අයත් දර්ශන උගත යුතු විය.

3) දර්ශන අධ්‍යයන - වෛදික, සාංඛ්‍ය, යෝග, න්‍යාය, වෛශේෂික, පූර්ව මීමාංසා, උත්තර මීමාංසා හා ජෛන දර්ශන උගත යුතු විය.

4) ලෞකික විෂය අධ්‍යයන - මේ යටතේ රාජ්‍ය පාලනය, වාණිජ කටයුතු කෘෂිකර්මය ආදී විෂය ඇතුළත් විය.

5) ලලිතකලා අධ්‍යයන - මේ යටතේ සෞන්දර්ය විෂය මාලාව ඇතුළත් විය.

05.

1. හෙළටුවා - ත්‍රිපිටකය උදෙසා සිංහලෙන් ලියැවුණු අර්ථව්‍යඛාන හෙළටුවා නමින් හැඳින් වේ. හෙළටුවා ග්‍රන්ථ තුනක් ගැන සඳහන් වේ. මහා අට්ඨකතාව ඉන් එකකි. එනම් ප්‍රධාන අටුවාවයි. අනෙක මහාපච්චරියයි. මෙය පඩච්චකදී ලියූ අටුවාවක් ලෙස සැලකේ. තෙවැන්න කුරුන්දිය යි. මෙය කුරුන්දි වෙල්ලි ප්‍රදේශයේ ලියූවක් සේ සැලකේ.

2. බුද්ධදත්ත හිමියන් ලියූ අටුවා ග්‍රන්ථ මෙසේය. මධුරත්ථවිලාසිනි නමින් හැඳින්වෙන බුද්ධවංශ අටුවාව, විනය පිටකය හකුළුවා ලියූ විනය විනිච්ඡය, අභිධර්ම පිටකය හකුළුවා ලියූ අභිධම්මාවතාරය උන්වහන්සේගේ කෘති අතර වේ. අභිධම්මාවතාරය ගද්‍ය හා පද්‍ය යන දෙකින් ම ලියා ඇත.

3. පෙළ පොත්වලට පසුව රචනා කළ වැදගත් පාලි ග්‍රන්ථ අතර මිළින්ද ප්‍රශ්නය, පේටකෝපදේශය හා නෙත්තිප්පකරණය යන ග්‍රන්ථ ඇතුළත් කළ හැකි ය. මිළින්ද ප්‍රශ්නය නාගසේන හිමි හා මිළිඳු රජු අතර ඇති වූ ප්‍රශ්න විසර්ජන ගැන තොරතුරු දැක්වේ. පේටකෝපදේශය හා නෙත්තිප්පකරණය ලියා ඇත්තේ බුද්ධ ධර්මය ථෙරවාද විභජ්ජවාද ක්‍රමයට අර්ථ විවරණය කරන විධික්‍රම නිරවුල්ව දැක්වීම සඳහා ය.

06.

1. සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය - පුද්ගල විමුක්තිය පිටුදැක විශ්ව විමුක්තිය අවධාරණය කිරීම සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ සාරාර්ථයයි. කිසිදු විශේෂතාවක් නොදක්වා සමස්ත ලෝක සත්ත්වයාට ම විමුක්තිය උදා කිරීම එහි අරමුණයි. එහි බුදුරජාණන් වහන්සේ මූර්තිමත් කොට දැක්වෙන්නේ විශ්ව විමුක්තියේ ප්‍රතිමූර්තියක් ලෙසට ය. විවිධ විචිත්‍ර විෂමතා හා විවිධතා සමාජයෙහි පැවතිය ද ඒ සියලු ජන කොටස්වලට ම ශාන්තිය උදා කිරීම බුදුරදුන්ගේ අභිලාෂය විය. මේ ගම්භීර ධර්මය නිර්දේශ කරන සද්ධර්මපුණ්ඩරික සූත්‍රය විවිධ බෝසත් සිරිත් මඟින් ඒ පණිවුඩය ජන හද ගැබ තුළ තැන්පත් කළේ ය.

2. නිච්රෙන් නිකාය දහතුන් වන සියවසේ දී නිචිරෙන් නම් හිමිනමක විසින් අමිද භක්තිය විවේචනය කරමින් සද්ධර්මපුණ්ඩරික සූත්‍රය පමණක් නියම බුදුසමය බවත් ඊට නමු ම්‍යො හෝ රෙංග ක්‍යො යනුවෙන් නමස්කාර පාඨය ජප කිරීම ප්‍රමාණවත් බවත් පවසා නව සම්ප්‍රදායක් ආරම්භ කෙරිණ. ඔහුගේ අනුගාමිකයෝ අද ඔහුට නියම බුදුන් වහන්සේ ලෙස පුද පූජා කරති. ජපානයේ වඩාත්ම ලෞකික නිකාය සේ සැලකෙන්නේ නිචිරෙන් නිකායයි.

3. සෙන් බුදු සමය - 12 වන සියවසේ සිට සෙන් බුදු සමය ජපානයට හඳුන්වා දෙනු ලැබීය. ජපන් බෞද්ධ නිකාය අතුරෙන් සුවිශේෂී ස්ථානයක් මෙයට හිමි වේ. සෙන් යන ජපන් වචනය චාන් යන් චීන වචනය අනුව සකස් වූවකි. සෙන් සම්ප්‍රදායෙහි ජීවය භාවනාවයි. එහෙත් සෙන් යනු හුදු භාවනාව පිළිබඳ අතිරේක අවධාරණයක් පමණක් නොවේ. භාවනාව සමඟ සම්බන්ධ ප්‍රඥා ප්‍රතිලාභය අරමුණු කර ගත් අතිවිශේෂ සංස්කෘතියක් සෙන් මඟින් නිරූපණය වෙයි. අත්‍යන්තයෙන් සියුම් වූත් ගැඹුරු වූත් වින්දන ශක්තියක් සෙන් ජීවන ක්‍රමය මඟින් තීව්‍ර කෙරෙන අතර, පරමාර්ථ සත්‍යාධිගමය පිළිබඳ සුවිශේෂ ආකල්පයක් එමඟින් ඉදිරිපත් කර ඇත. එය විශේෂයෙන් ම දෘෂ්ටිවාද, මතිමතාන්තර විෂයෙහි ඇලෙන මිනිස් මනස ඒවා වෙතින් විමුක්ත කොට විද්‍යා උත්පාදනය පිණිස පවිත්‍ර කිරීමෙහි මූලික බෞද්ධ පරමාර්ථය නිර්භීත ලෙස අවධාරණය කරයි.

07.

1. ලක්වැසියන් අතර පැතිරගිය ථෙරවාද බුද්ධාගම පොදුජන විශ්වාසවලට අනුකූලව හැඩ ගැසුණු ආකාරය දක්නට ඇත.ප්‍රේතයන්, දෙවියන් හා යකුන් පිළිබඳ අදහස්වලට යොමු වී සිටි ශ්‍රී ලාංකේය සමාජයට යථෝක්ත විශ්වාසවලට ළංවන ආකාරයෙන් පේතවත්ථු, විමානවත්ථු ග්‍රන්ථවල ඇතුළත් ප්‍රේතයන් හා දෙවිවරුන් පිළිබඳ කතා පුවත් ඉදිරිපත් කිරීමට මිහිඳු හිමියෝ යොමු වූහ. එසේම වෘක්ෂ වන්දනාවට පුරුදු වී සිටි මෙරට සමාජයට බුදුසමයෙහි ඇතුළත් බෝධි වෘක්ෂ වන්දනාව හඳුන්වා දී ඇත. ධාතු, පූජාව, ස්තූප හා ස්තූප වන්දනාව මිහිඳු හිමියන් මෙරටට ගෙන ආ බුදුසමයේ විශේෂත්වයක් උසුලයි. සිංහල බෞද්ධයන් අතර අද පවා දක්නට ලැබෙන අත පැන් වත් කිරීම මෙරටට පැමිණි බුදුසමයේ විශේෂ ලක්ෂණයක් විය. මේ සිරිත බුද්ධ කාලයේ දී පැවතිණ. අනේපිඬු සිටුතුමා ජේතවනාරාමය බුදුපාමොක් මහසඟනට පූජා කළේ අත පැන් වත් කිරීමෙනි.

මිහිඳු මාහිමියන් හඳුන්වාදුන් සංස්කෘතිය ශ්‍රී ලංකාවේ ස්ථාපනය වූයේ දසට කුලයක ශිල්පී ශ්‍රේණි ගෙන්වා මෙහි විවිධ බෞද්ධ ගෘහනිර්මාණ, කලාශිල්ප ආදිය ව්‍යාප්ත කිරීමෙනි. මේ සියලු කරුණු මේ ථෙරවාද බුදුදහම පැතිර යාමට ඉවහල් විය.

2. අනුරාධපුරයෙන් ආරම්භ වූ බුදුසමය රෝහණය තෙක් පැතිර යාම - දෙවනපෑතිස් රජුගේ කනිටු සොයුරු මහානාග කුමරු අනුරාධපුරයෙන් පලාගොස් රුහුණේ මාගම රාජ්‍යයක් පිහිටුවා ගෙන තිබිණ. ඔහුගේ පරපුරෙන් ආ කාවන්තිස්ස රජු කැලණියේ විසූ තිස්ස රජුගේ දියණිය සරණ පාවා ගත්තේ ය. මේ විවාහය රෝහණයේ ප්‍රබල රාජ්‍ය දෙක එක්සත් කරන්නක් විය. මේ කැලණි රාජ වංශය කතරගම දසබෑ රජවරුන් නමින් පැවති රාජ වංශය සමඟ ඥාති සම්බන්ධයක් ගොඩනඟා ගත් බව කොටා දැමූ හෙළින් ලද ලෙන් ලිපි ඇසුරෙන් මහාචාර්ය පරණවිතාන හෙළිදරව් කොට ඇත. මේ දසබෑ රජවරු ගෝඨාභය රජු විසින් මරා දමන ලදහ. මේ ඝාතනය නිසා ඇති වූ ජන විරෝධය කාවන්තිස්සගේ විවාහය නිසා තුනී වන්නට ඇත. අනුරාධපුරය සතුරන් අත පැවති සමයේ කාවන්තිස්ස රුහුණේ දේශපාලන බලවේග එකතු කිරීමෙහි නියැළී සිටියේ ය. ගිරි නුවර හා සේරු යන දෙරටේ රජුන් උපක්‍රම මඟින් තම පක්ෂයට නතු කර ගැනීමට කාවන්තිස්ස ක්‍රියා කළේ ය. මෙසේ රට එක්සත් කිරීම සඳහා ක්‍රියාත්මක වූ බලවේගය වූයේ බුදුසමයයි.

3. දුටුගැමුණු රජුගේ කාර්යභාරයේ සාඵල්‍යය සඳහා කාවන්තිස්ස රජු අදාළ පසුබිම සකස් කිරීම - තම රාජ්‍යය බලා ගැනීම දුටුගැමුණු කුමරුටත් දිගාමඩුල්ල බලා ගැනීම සද්ධාතිස්ස කුමරුටත් පැවරූ කාවන්තිස්ස රජතුමා සේනාව පිරිවරා ගෙන සේරු නුවරට ගියේ ය. සේරු නුවර දාගැබක් කරවා එහි සර්වඥ ධාතුª නිධන් කළේ ය. මේ සඳහා සේරු හා සෝම යන දෙනුවර රජවරුන්ගේ ද සහය ලැබිණ. මෙසේ උපායශීලී ලෙස ස්තූපය ගොඩනැංවීම මඟින් අනෙක් රජුන්ගේ සහාය ලබා ගැනීමට කාවන්තිස්ස රජු සමත් විය. මෙසේ ආගමික පදනමක් මත ජාතිය එක්සත් කිරීමට රජුට හැකි විය. එසේම සේනා සංවිධාන කාර්යයෙහි ද රජු යෙදී සිටියේ ය. මේ අනුව හෙළි වන්නේ දුටුගැමුණු රජුගේ කාර්ය සාඵල්‍යය සඳහා පසුබිම කාවන්තිස්ස රජු සකස් කළ බවයි.

08.

1. බෞද්ධ ස්තූප නිර්මාණයේ විශේෂතා - මෙහිදී සාංචියේ චේතියගිරියේ ථූප නිර්මාණය වැදගත් වේ. ස්තූපය ගල්වැටකින් වට වූ අංගණයක් තුළ පිහිටුවන ලදී. මේ ගල් වැටෙන් අංගනයට ඇතුළුවීමට ප්‍රධාන දිසා හතරට මුහුණලා දොරටු හතරක් තනා තිබිණ. දොරටුවල විවිධ කැටයමින් සැරසූ තොරණ හතරක් ද විය. අංගණය මැද උස් වේදිකාවක් මත ස්තූපය තනා තිබිණ. වේදිකාවට නැඟී ස්තූපය ප්‍රදක්ෂිනා කරමින් පූජා සත්කාර පැවැත්වීමට වන්දනාකරුවන්ට අවස්ථාව හිමි විය. වේදිකාව මුදුනේ පැතලි හැඩයෙන් යුතු අර්ධ ගෝලාකාර හැඩයෙන් දාගැබ නිර්මාණය කෙරිණ. පැතලි මුදුන මත ගල්වැටකින් වටවූ හතරැස් කොටුවක් විය. ඒ මැද සිටුවන ලද යෂ්ටියක් මත සවි කළ ඡත්‍රයක් විය. ධාතු නිධන් කර තිබුණේ අර්ධ ගෝලාකාර ගොඩැල්ලේ ඒ සඳහා තැනූ ධාතු ගර්භයක් තුළ ය.

ලංකාවේ ද මුල් කාලයේ තැනූ චෛත්‍යවල මේ ලක්ෂණ දක්නට ලැබිණ. එහෙත් කල්යාමේ දී මේ ලක්ෂණ වෙනස් විය. පොළොවෙන් මතුපිට තැනූ වේදිකාව පැවති අතර වැලි අතුරන ලද බාහිර වැලි මළුවක් හා ස්තූපයට ආසන්නයේ පිහිටි ගල් ඇතිරූ සලපතළ මළුවක් ද විය. වේදිකාව පේසා වළලු නමින් පසු කාලයේ හැඳින්විණ. දාගැබේ ගර්භය මත පිහිටි කුඩා ගල් වැට හතරැස් කොටුව බවට ද ඡත්‍රයට ආධාරක වූ යෂ්ටිය දේවතා කොටුව බවට ද පත්විය. ඒ මතුපිට ඡත්‍ර කිහිපයක් ම තැබිණ. පසුව මෙය කොත් කැරැල්ල බවට පත්විය. ඒ මුදුනේ කොතක් ද පලඳවන ලදී.

2. වටදාගෙය - ශ්‍රී ලංකාවේ වටදාගෙය ඉන්දියාවේ වටදාගෙවලට වෙනස් වේ. ඉන්දියාවේ චෛත්‍ය ගෘහය පිහිටි කළුගලින් නිර්මාණය වී ඇත. එහෙත් ලංකාවේ ස්තූපය වටා කළුගල් පේළි දෙකක් සිටුවා ඒ මත කවාකාර වහලක් ඉදි කිරීමෙන් වටදාගෙය සැකසිණ. එහි බිම සැලැස්ම මුළුමනින්ම කවාකාර විය. එසේම ඉඩකඩ අති ප්‍රදක්ෂිණා පථයක් විය. හතර පැත්තෙන් ම මළුවට නැඟීම සඳහා පියගැට පෙළ විය. එමෙන්ම සිවු දෙස බලා සිටින බුදු පිළිම හතරක් ද තැම්පත් කර තිබේ. දැනට ශ්‍රී ලංකාවේ ඉතිරි වී ඇති වටදාගෙවල් ඇත්තේ පොලොන්නරුවේ හා මැදිරිගිරියේ ය.

3. බෞද්ධ ස්තූප වර්ග -

ඝන්ඨාකාර, ඝටාකාර, බුබ්බුලාකාර, ධාන්‍යාකාර, පද්මාකාර හා ආමලකාකාරයි.

ඝණ්ඨාකාර - ඝණ්ටාවක හැඩය ඇති ස්තූපයි.

8 - 10 සියවස්වල ලංකාවේ ප්‍රචළිතව පැවතිණ. සියමය, බුරුමය හා ශ්‍රී ලංකාව යන රටවල මේ හැඩයෙන් යුත් චෛත්‍ය බෙහෙවින් ජනපි‍්‍රය වී ඇති බව සැලකේ.

ඝටාකාර - කළයක හැඩය ඇති ස්තූප වර්ගයයි. කතරගම කිරිවෙහෙර, සෝමවතී චෛත්‍යය ආදිය මේ හැඩයෙන් තනා ඇත.

බුබ්බුලාකාර - දිය බුබුළක හැඩය ඇති ස්තූපයි. රුවන්වැලි සෑය, පොළොන්නරුවේ කිරිවෙහෙර හා රන්කොත් වෙහෙර ද මේ ගණයට අයත් වේ.

ධාන්‍යාකාර - ධාන්‍ය ගොඩක හැඩයට කළ චෛත්‍යයයි. ථූපාරාමය මුලින්ම මේ හැඩයෙන් තනන්නට ඇතැයි සැලකේ.

පද්මාකාර - පියුමක හැඩය ගත් ස්තූපයි. දැදිගම කොටවෙහෙර පද්මාකාර හැඩයෙන් යුත් ස්තූපයක් සොයාගෙන ඇත.

ආමලකාකාර - නෙල්ලි ගෙඩියක හැඩයෙන් යුත් චෛත්‍යයයි. මේ හැඩයෙන් යුතු චෛත්‍ය ලංකාවෙන් සොයාගෙන නැතැයි සැලකේ. දැදිගම කොටවෙහෙරින් ආමලකාකාර ධාතු කරඬුවක් ලැබී ඇත.