Print this Article


සිත අපිරිසුදු කරන අරමුණු හඳුනා නොගතහොත්...

සිත අපිරිසුදු කරන අරමුණු හඳුනා නොගතහොත්...

‘දුල්ලභො මනුස්සස්ස පටිලාභෝ’ යනුවෙන් බුදුපියාණන් වහන්සේ අපගේ මිනිස් උප්පත්තිය ඉතා වටිනා එකක් බව නොයෙක් විට දේශනා කළ සේක. “දුල්ලභංච මනුස්සානං’ යනුවෙන් ද දේශනා කළහ.

මෙතරම් වටිනා මිනිස් ආත්මයක් උරුම කර ගෙන සිටින අප එම වටිනාකමට සරිලන සාධාරණයක් ඒ සඳහා ඉටු කළා ද? ඉටුකරමින් සිටින්නේ ද? ජිග්ගල හා මනුස්ස චුති සූත්‍රවලින් ද පෙන්වා ඇත්තේ මිනිස් උපතේ වටිනාකමයි. එසේ නම් ඒ සඳහා සාධාරණයක් නොකොට අප තිරිසන් සතුන් මෙන් මිය පරලොව ගියහොත් අපට උරුම වෙන්නේ සතර අපායයි.

බුදුන් වහන්සේගේ දේශනාවලට අනුව මරණයෙන් පසුව බොහෝ සත්වයින් නැවත උප්පත්තිය ලබන්නේ සතර අපායේ ය. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වන විට අප සතර අපායේ උපත ලැබ සිටියහොත් ත්‍රිවිධ රත්නය අපට මුණ නොගැසේ.

කල්ප ගණනාවකින් පහළවන ඒ මහා ප්‍රාඥයාණන් වහන්සේ ලොව පහළ වී ලොව ඒකාලෝක කර පිරිනිවන්පාන තෙක් අප සතර අපායෙන් මිදී නැතිනම් අපට උන්වහන්සේගේ පිහිට පිළිසරණ අපට ලබා ගත නොහැකි ය. නමුත් අද වන විට අප එහි නැත. බුදු බණ ශ්‍රවණය කළ හැකි තැනක අපි ඉපදී සිටින්නෙමු. ඒ අනුව ඔබ අපි පින්වත් පිරිසක් වන්නේ ම යි.

තවත් කල්ප ගණනාවකින් අනතුරුව බුදුවරයකු පහළවන විට අප බුදුබණ අසන්න, බුදු බණ ගැන හිතන්න හැකි විදිහේ කයක් සිතක් නැති තැනක් වූ අරූපී බඹතලයක හෝ අසඥතලයක හෝ ඉපිද සිටියහොත් අපට බුදුහිමි රැකවරණය අහිමි වේ. අද අපට එවැනි උපතක් සිදුවී නැත. එනිසා අපි වාසනාවන්තයෝ වෙමු.

(තවත් කල්ප ගණනාවකින් පසුව තුන් ලොවම ඒකාලෝක කරමින් බුදුවරයකු පහළ විය. ඒ වන විට අප පවුලක ය. ත්‍රිවිධ රත්නයට බැණ වදිමින් සිට මරණයට පත් විය. එවරත් අපට ත්‍රිවිධ රත්නය අහිමි විය. තවත් කල්ප ගණනාවකින් පසුව බුදුපියාණන් වහන්සේ නමක් ලොව පහළ විය. එසේ පහළ වූ බුදුහිමියන්ගෙන් බණ අසා තේරුම් ගැනීමට තරම් නුවණක් නොතිබුණි. මන්දබුද්ධිකව, අදගොළු බිහිරිව, උප්පත්තිය සකස් වී තිබිණි. එවරත් බුදුහිමි පහස අහිමි විය.

තවත් විටෙක දී ක්ෂණසම්පත්තිය සහිත ව හොඳ මිනිස් ආත්මයක් ලැබීය. එහෙත් ඒ ඒ උපත සකස් වී තිබුණේ අබුද්ධෝත්පාද කාලයක. එවරත් බුදුපහස අහිමි විය. තවත් අවස්ථාවක මිනිස් උපතක් සකස්වී තිබුණේ ප්‍රත්‍යක්ෂ දේශයක ය. එහි බුදු උපතක් නැත. පිටසක්වල උපත ලැබූ අපට බුදුබණ අසා දුක කෙළවර කර ගැනීමේ වාසනාව අහිමි විය. එහෙත් දැන් අප ඉපදී සිටින්නේ ත්‍රිවිධ රත්නය බැබළෙන රටක් තුළ ය.

ඉහත සඳහන් අට්ඨදුෂ්ඨක්ඛණවලින් මිදුණ බුද්ධෝත්පාදකාලයක, ක්ෂණසම්පත්තිය සහිතව කල්‍යාණ මිත්‍රයා හමුව, ශ්‍රී සද්ධර්මය අසා දැන ගැනීමට සුදුසු උපතක් සකස් වීම නිසා ඔබ අපි වාසනා වන්තයෝ වෙමු. වචනයේ පරිසමාප්ති ආර්ථයෙන් ම අපි වාසනාවන්ත පින්වන්තයෝ වෙමු. එසේ නම් අපි දැන් කුමක් කළ යුතු ද? කුමක් කළේ ද?

සියලු දුකින් මිදීමේ ප්‍රතිපදාව අනුගමනය කොට අමා මහ නිවන ක්‍ෂාක්ෂාත් කළ යුතු වන්නේ ම ය. බුදුපියාණන් වහන්සේ අනුදැන වදාළ ප්‍රතිපදාවේ එන ගමන් මාර්ගයේ ගමන් ගන්නවා දැයි සොයා බැලිය යුතු ය. නොඑසේ නම් මඟ වරද්දවා ගෙන අපායගාමී ප්‍රතිපදාවක ගමන් කරන්නේ ද? නොඑසේ නම් දිගින් දිගට ම සසර හදන මාර්ගයක ගමන් කරන්නේ දැයි නුවණින් මෙනෙහි කළ යුතුව ඇත. අනුසෝතගාමීව යන ගමනක් වේ දැයි නුවණින් බලා ඒ ගමන් මඟ පටිසෝතගාමී මාර්ගයකට හැරවීම සිදු කළ යුතු ය.

‘සබ්බ පාපස්ස අකරණං – කුසලස්ස උපසම්පදා

සචිත්ත පරියෝදපනං – ඒතං බුද්ධානු සාසනං

යනුවෙන් සෑම බුද්ධ ශාසනයක් තුළින් ම සන්නිවේදනය වෙන්නේ සියලු පව් නොකිරීමත්, කුසල් දහම් වැඩීමත්, සිත පිරිසුදු කිරීමත් (සමථ විදර්ශනා වැඩීම) කළ යුතු බවයි. ඉහත දෙවැනි හා පළමු වැනි පද දෙකින් කියැවෙන අරුතට අනුව බුද්ධ ශාසනයක් නොපවතින කාලයක වුව ද එම පින්දහම් සිදුවන බවයි. එහෙත් සෑම බුද්ධ ශාසනයක් ම තුළින් කියැවෙන්නේ ආශ්‍රව කෙලෙස් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කිරීමේ වැඩ පිළිවෙලක් ගැනයි. එම වැඩ පිළිවෙළ සොයා ගත් බුදුරජාණන් වහන්සේ ඒ මාර්ගය සියලුම සත්වයින්ට හෙළි පෙහෙළි කර දුන්හ. දුකින් මිදීමේ සම්පූර්ණ මෙම ප්‍රතිපදාව අනුගමනය කිරීම සඳහා මනසින් උසස් වූ නුවණක් ඇති මිනිස් සත්වයා පෙරමුන ගෙන ක්‍රියා කළ යුතු බවයි. ඒ සඳහායි ඔබ අප උසස් වු මිනිසත් බව සියලු අට්ඨ දුට්ඨක්ඛණ වෙන්වී දුර්ලභ මිනිස් ආත්මය ලැබුවේ.

මේ ආත්ම භාවය අවභාවිත නොකොට භාවිත කයක් හා සිතක් ලෙසට සංවර්ධනය කොට නිවන් දැකීමට නම් අනුදැන මාර්ගයේ ගමන් කළ යුතු ය.

ඒ සඳහා තවත් සතිපට්ඨානය නම් වූ වටිනා වැඩ පිළිවෙළක් හඳුන්වා දී ඇත. කයේ කය අනුවත්, වේදනාවේ වේදනාව අනුවත්, සිතේ සිත අනුවත්, ධර්මතාවයේ ඒ අනුවත් සිත පිහිටුවා එහි සත්‍යාවබෝධය කරා පැමිණවීමට යෝගී බෞද්ධ ශ්‍රාවකයාට හැකියාව ඇත.

ඒ අනුව සති සතිපට්ඨානය නිවැරැදිව වඩා ඒ හරහා සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පැමිණිය හැකි බව ධර්මය තුළ පැහැදිලි වේ. ඒ සඳහා අවශ්‍ය අංගයක් වූ කල්‍යාණ මිත්‍රයා අපට මේ බුද්ධ ශාසනය තුළින් හමුවී ඇත. සම්මත ලෝකය තුළ හමුවන කල්‍යාණ මිත්‍රයාට වඩා එහා ගිය, නිවන් මඟට උදව් කරන කල්‍යාණ මිත්‍රයා මෙහි සිටී. දෙවනුව ශ්‍රී සද්ධර්මය කල්‍යාණ මිත්‍රයාගෙන් අසා දැක ගත හැකි ය.

දෙවනුව තමන් තුළින් දැකිය යුතු ධර්මතා දෙකක් ගැන කියැවේ. බාහිරින් ලබා ගත නොහැකි වූ මේ අංග දෙක තුළ ඔබ අප බොහෝ දෙනා හිරවී සිටිති.

‘පඥා වංචස්ස අයං ..........නායංධම්මේන දුස්සඥස්ස” යනුවෙන් මගේ ධර්මය ප්‍රඥාවන්තයාට පමණයි. දුෂ්ප්‍රාඥයාට අවබෝධ නොවන බව බුදුපියාණන් වහන්සේ වදාළ සේක. එහෙත් අෂ්ඨදුට්ඨක්ඛනවලින් මිදුණ සෑම පෘථග්ජන ශ්‍රාවකයකුට ම මෙම ධර්මය අවබෝධ කළ හැකි ය. ඒ ගැන බුදුපියාණන් වහන්සේ කාලවකවානු පවා මතක් කර දී ඇත. නිවැරැදිව සතර සතිපට්ඨානය වඩන අයකුට මාර්ග ඵලයකට (නිවන) පත්වීමට උපරිම අවුරුදු හතක් ගත විය හැකි බවත්, අවම දින හතක් ගත විය හැකි බවත් ය.

ඒ සඳහා යෝනිසෝමනසිකාරය සහ ධම්මානු ධම්ම ප්‍රතිපදාව යන අංග දෙක වැඩිය යුතු බව ධර්මයේ සඳහන් වේ. මෙහි පළමු පියවර වන්නේ සිහිය හෙවත් සතිය නිවැරැදිව වැඩීමයි. සතිය යනු එළඹ සිටි මොහොතයි. තමන් කරන දෙයක්, කියන දෙයක්, හිතන යමක් වේ නම් එය සතිමත් ව සිහියෙන් කිරීමයි. ඉන් සිත තුළට පංච ඉන්ද්‍රියන් හරහා ගලා එන රාග ද්වේශ, මෝහ සහිත අරමුණක් අලෝබ, අද්වේශ, අමෝහ යන කුසල අරමුණක් තෝරා බේරා ගෙන සිත අපිරිසිදු වීම සඳහා බලපාන අරමුණූ හඳුනාගෙන ඉන් ඉවත්ව කුසල් අරමුණු තුළ සිත පුරුදු පුහුණූු කළ යුතුව ඇත. මේ මත පිහිටා ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරන යෝගීන්ට බුදුන් වහන්සේ අනු දැන වදාළ මාර්ග ඵලයන්ට පැමිණිය හැකි ය. මේ අනුව ඔබ අප ලබාගත් මිනිස් දිවිය යහපත් පැත්තට නැඹුරු කොට කුසල් දහම් වඩා සිත පිරිසුදු කොට සදාතනික සැපය කරා ළඟා වීමට අද සිට වෙර වීරිය ගන්නා ලෙස මෙත් සිතින් ආරාධනා කරන්නෙමු.