Print this Article


ගෙවෙන හැම මොහොතකම ජීවිතයට වටිනාකමක් දෙන්න

ගෙවෙන හැම මොහොතකම ජීවිතයට වටිනාකමක් දෙන්න

ඉධ මොදති පෙච්ච මොදති
කත පුඤ්ඤො උභයත්ථ මොදති
සො මොදති සො පමොදති
දිස්වා කම්ම විසුද්ධි මත්තනො

කුසල් කළ තැනැත්තා මෙලොව සතුටු වේ. පරලොව ද සතුටු වේ. දෙලොවෙහි ම සතුටු වේ. තමා ගේ පිරිසුදු වූ කුසල් දැක සතුටු වේ. වෙසෙසින් ම සතුටු වේ.

ඉතා දුර්ලභ ව ලැබූ මනුෂ්‍ය ජීවිතයක් අපි සියලු දෙනා ම ලබා ඇත්තෙමු. ඒ ලැබු මනුෂ්‍ය ජීවිතයේ ද උතුම් ම අවස්ථාව වන්නේ මේ ගෞතම සම්බුද්ධ ශාසනය මුණගැසීමයි. ඒ වගේ ම දුර්ලභව ලැබූ මේ මනුෂ්‍ය ජීවිතයේ ද ආයු කාලය වේගයෙන් පිරිහෙමින් පවතී

සම්මතයට අවුරුදු සියයක් කියා පැවසුව ද, එම ආයු කාලය ද අප සියලු දෙනාට ම එක හා සමාන නොවේ. ඒ ඒ මනුෂ්‍යයාගේ කර්ම ශක්තිය අනුව ඕනෑම මොහොතක් ජීවිතයේ අවසන් මොහොත විය හැකි ය. මනුෂ්‍ය ජීවිතයක උපත සහ මරණය අතර කාලය ගෙවී යන්නේ බොහෝ දුක්ඛ දෝමනස්සයන් සමඟිනි. එයට හේතුව ලෙසින් බුදු දහමේ පෙන්වා දෙන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණ, සෝක, පරිදේව, උපායාස, පරිලාහ මෙන් ම අපි‍්‍රයයන් හා එකතු වන්නට සිදුවීම, පි‍්‍රයයන්ගෙන් වෙන්වීම, කැමති දෑ ඉටුනොවීම ආදී වශයෙනි.

කෙටියෙන් පැහැදිලි කරන්නේ නම්, ආශ්වාසයේ ප්‍රශ්වාසයේ සිට ගතවෙන සෑම තත්පරයක් පාසාම එනම් සෑම ක්ෂණයක් පාසාම මේ ජීවිත කාලය ගෙවෙමින් අවසන් වෙමින් මරණයට සමීප වීම ලෙසයි.

මේ ආකාරයෙන් ගතවෙන මනුෂ්‍ය ජීවිතය තුළ දහම් ඇස පාදාගෙන සසර දුකින් මිදීම සඳහා සතර සම්‍යක් ප්‍රධන් වීර්යය පවත්වා ගත යුතු බවට නිතර මෙනෙහි කරන්න. පස් පව්, දස අකුසල්වලින් මිදෙන්නට යැයි මොනතරම් පැවසුව ද වැඩි පිරිසක් ඒ පිළිබඳ නොසිතයි. එයට හේතුව නම් දුර්ලභව ලබා ඇති මේ මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම අවබෝධ කර නොගැනීමයි.

ඉහත ගාථා පාඨයට තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ධම්මික උපාසකතුමාට ගති නිමිති පහළ වූ අවස්ථාව අරබයා ය.

බුදුරජාණන් වහන්සේ සැවත් නුවර වැඩ සිටින සමයෙහි ධම්මික නම් උපාසකයෙක් සිටියේ ය. ඔහු දැහැමි ය. බොහෝ උපාසකයන්ට ප්‍රධාන වූයේ ය. ඒ වගේ ම උපදෙස් දීමෙහි ද සමතෙකි. මිල මුදල් අතින් දිළිඳු වූව ද ගුණ ධර්මයන්ගෙන් පොහොසත් ය. සිල් ගුණයෙන් පොහොසත් ය.

මේ ධම්මික උපාසකට පුතුන් හත් දෙනෙක් හා දියණිවරු හත් දෙනෙක් ලෙසින් දරුවන් දහ හතර දෙනෙකි. ගුණවන්ත, සිල්වන්ත, පිනට දහමට ද බොහෝ ලැදි බිරිඳ ද උපාසකතුමාට ම සැසඳෙන්නේ දරුවෝ ද තම මව්පියන්ගේ අඩි පාරේ ම ගමන් කළහ. දන් පින් සිදු කළහ. ගුණයහපත් වූහ.

මෙලෙසින් දැහැමෙන් සෙමෙන් කාලය ගෙවී ගියේ ය. ධම්මික උපාසක ද කෙමෙන් මහලු බවට පත්විය. ලෙඩ රෝගයන්ට ද මුහුණ දෙන්නට විය. මරණාසන්න මොහොතට ළං විය. තම පියා වයෝවෘද්ධ වූව ද දහම් ඇසීමටත්, සංඝයා වහන්සේ දැකීමටත් ඉතා කැමැත්තෙන් සිටින බව දරුවෝ දනිති.

වහා ම තම නිවසට සංඝයා වහන්සේ වැඩම වීම සඳහා දෙවුරම් වෙහෙරට පිටත්ව ගියහ. තම පියා ගැන තොරතුරු පවසමින් සංඝයා වහන්සේට තම නිවසට වඩින ලෙස ඉතා ගෞරවයෙන් ආරාධනය කර සිටියහ. ඒ අනුව සංඝයා වහන්සේ දොළොස් නමක් උපාසක මහතාගේ නිවසට වැඩම කළහ. ධම්මික උපාසකතුමා වැතිරී සිටි සයනය වටා පණවා තිබූ අසුන්හි වැඩ සිටියහ. ඒ දුටු ධම්මික උපාසක තුමා මහත් සතුටට පත්ව

“මේ සිල්වතුන් වහන්සේ දැකීම ම මහත් වාසනාවක් යැයි පවසමින් මම ජරාවෙන් හා රෝගයෙන් පෙළෙමි. මගේ ඉඳුරන් දුබල ය. එහෙයින් මම බොහෝ සෙයින් පුහුණු කරන ලද “සතිපට්ඨාන” සූත්‍රය දේශනා කරන ලෙස සංඝයා වහන්සේගෙන් ඉල්ලීමක් කළේ ය.

ඒ අනුව සංඝයා වහන්සේ ද සතිපට්ඨාන සූත්‍රය දේශනා කළහ. සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන අවස්ථාවේ දී දෙව්ලොව දෙවියන් ද අහසෙහි පෙනී සිටියහ. ඒ අවස්ථාවේ දී ධම්මික උපාසකතුමාට ගති නිමිති පහළ විය.

තමන්ගේ මරණින් පසු පිළිගැනීමට පැමිණි දෙවියන් අහසෙහි සිට කරන ආරාධනය නො පිළිගත්තේ ය. ඒ සතිපට්ඨාන සූත්‍ර දේශනය, දේශනා කොට අවසන් නොමැති නිසාත්, එම දේශනයට තමන් ඉතා කැමැත්තෙන් සූත්‍ර දේශනයට සවන් දෙමින් සිටින නිසාත් දෙවියන්ට ටිකක් නවතින ලෙස ධම්මික උපාසකතුමා පැවසීය. දෙවියන්ට කළ මේ දැනුම් දීම සංඝයා වහන්සේ තමන්ට කළ අයැදුමක් ලෙස සලකා සූත්‍ර සජ්ඣායනය නවතා පෙරළා දෙවුරම් වෙහෙරට වැඩම කළහ.

ධම්මික උපාසකතුමා කලුරිය කොට තුසිත දෙව්ලොව උපන්නේ ය. මෙම සිදුවීම සංඝයා වහන්සේ බුදුරජාණන් වහන්සේට සැලකර සිටියහ. ඒ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ “ධම්මික උපාසකට ගති නිමිති පහළ වූ බවත්, උපාසකව දෙව්ලොව රැගෙන යෑමට පැමිණි දෙවියන් සමඟ ඇති වූ දෙබස භික්ෂූන් වහන්සේට පැවසුවා යැයි සිතා දෙව්රම් වෙහෙරට ආපසු වැඩම කොට ඇති බවත් ය.”

පින් කළවුන් මෙලොවත් සතුටු වෙමින් පරලොවත් අපමණ සැප විඳ බොහෝ සෙයින් සතුටු වන බව වදාළ සේක.

තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ අයුරින් තිස් එකක් සක්වල උපත ලබා ඇති සියලු සත්වයෝ ඔවුන්ගේ අතීත සසරෙහි උපත ලබා ඇත්තේ සතර අපායේ ය. සතර අපායේ ඉපිද ඉන් නිදහස් වීමට නොහැකිව කල්ප ගණන් දුක් විඳ ඇත්තේ ය. ඒ වගේම ප්‍රේත විෂයයෙහි අපවිත්‍ර දෑ ආහාරයට ගනිමින් වචනයකින් කියා නිමකළ නොහැකි තරම් දුක්විඳ ඇත්තෝ ය.

මනුෂ්‍ය ජීවිතයක් ලැබීම ඉතා දුර්ලභ බව, අපට පියවි ඇසින් දැක ගත හැකි තිරිසන් අපාය දකින විට අවබෝධ නොවේද? ඉතාම දුර්ලබව ලැබු මේ මනුෂ්‍ය ජීවිතය පිළිබඳ සිහිපත් කොට ඉන් උතුම්ම ප්‍රයෝජන ලැබීමට විර්යය වැඩිය යුතු බව අවබෝධ කොට ගත යුතු ය.