Print this Article


ධර්මාචාර්ය විභාග සඳහා අත්වැලක්:

ථෙරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් - 01 කොටස

බෞද්ධ ධර්මාචාර්ය විභාගය – 2016 (2017)

I කොටස

01)

අ) පුරාණ තෙරණුවන් ධර්ම ගුප්තික හා

මහිසාංසික යන දෙනිකායේ ම පිළිගැනීමට පාත්‍ර වූයේ කවරකු වශයෙන් ද?

ආ) ප්‍රථම ධර්ම සංගීතියෙන් පසු පුරාණ තෙරණුවන් මහා කාශ්‍යප හිමියන් සමඟ ඇති කරගත් එකඟතාව කුමක්ද?

2)

අ) අලුත් විනය නීති නොපැවැත්වීමත්, බුදුරදුන් පැනවූ ශික්ෂා පද සියල්ල නොවෙනස් ව තබා ගැනීමත් පාදක

කොටගෙන ප්‍රථම ධර්ම සංගායනාවේ දී පිළිගත් සංරක්ෂණවාදී සම්මුතිය නිසා දෙවැනි ධර්ම සංගායනාවේ දී භික්ෂූන් අතර මතු වූ ගැටලුව කුමක්ද?

ආ) දෙවන ධර්ම සංගායනාවේ දී

සංරක්ෂණවාදී සම්මුතියට පටහැනිව සංශෝධනවාදී පිළිවෙත අනුගමනය කළ භික්ෂූන් හැඳින්වූයේ කවර නමකින් ද?

3)

අ) රහත් බව හීන අධිගමයක් ලෙස දැක්වීමෙන් තහවුරු කිරීමට ඉදිරිපත් කළ පාර්ශ්වයේ නායකයා වූයේ කවරෙක්ද?

ආ) රහත් බව හීන අධිගමයක් ලෙස දැක්වීමෙන් තහවුරු කිරීමට උත්සාහ ගෙන ඇත්තේ කෙබඳු මහායාන සංකල්පයක් ද?

4)

අ) වාත්සීපුත්‍ර හිමියන් ඉදිරිපත් කළ නව මතය කුමක්ද?

ආ) මේ මතයට විරුද්ධව කරුණු ඉදිරිපත් කළ තෙරවරුන්ගේ අදහස් හා ඒවා තහවුරු කිරීමට රචිත ග්‍රන්ථයේ නම් ඉදිරිපත් කරන්න.

5) අ) තාරානාථ තෙරණුවන්ගේ වාර්තා අනුව තෙවැනි ධර්ම සංගායනාවේ දී ශාසනයෙන් නෙරපා දැමූ අය පැවිද්දන් වශයෙන් ජීවත් වූ ප්‍රදේශ මොනවාද?

ආ) අශෝක රජුගේ ධර්මයාත්‍රා වන්දනා ගමනේ දී මාර්ගෝපදේශකත්වය ලබා දුන්නේ කවරෙක්ද?

6)

අ) “පුද්ගල සංකල්පය” යනු කුමක්ද?

ආ) සර්වස්තිවාදයෙන් බිඳී ගිය නිකාය අතර බුද්ධ පූජා හා ස්තූප පූජා ගැන පි‍්‍රයමනාපතාවක් දැක්වූ නිකාය කුමක්ද?

7)

අ) බුද්ධඝෝෂ හිමියන් මනෝරථපුරණී නම් අටුවා ග්‍රන්ථය ලියුවේ කවර නිකාය ග්‍රන්ථයක් උදෙසාද?

ආ) මේ අටුවා ග්‍රන්ථය ලිවීමට ආරාධනා කළේ කවරහුද?

8)

අ) ජගත්දලා විශ්වවිද්‍යාලය ගොඩනැංවූ රජතුමා හා ඔහු අයත් රජ පෙළපත නම් කරන්න.

ආ) මේ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පටිපාටියෙහි ප්‍රමුඛස්ථානයක් හිමිවූයේ කවර විෂයයක් සඳහා ද?

9)

අ) ක්‍රි.ව. 11 වැනි සියවසේ දී ශ්‍රී ලංකාවට පැමිණි භික්ෂූන් දෙනම නම් කරන්න.

ආ) මේ භික්ෂූන් දෙනම පැමිණෙද්දී ශ්‍රී ලංකාවේ රාජ්‍ය කරවූ රජතුමා කවරෙක්ද?

10.

අ) බුදුපිළිම නෙළීම ආශි‍්‍රතව පැතිර ගිය කලා සම්ප්‍රදාය කෙතෙක් දැයි නම් කරන්න.

ආ) අනුරාධපුර පන්කුලියේ අශෝකාරාමයේ බුදු පිළිමයෙන් නිරූපණය වන්නේ කවර මුද්‍රාවක් ද?

II කොටස

02)

1) සර්වාස්තිවාද නිකායේ උන්නතිය උදෙසා කණිෂ්ක රජුගෙන් සිදු වූ සේවය පහදන්න.

2) කණිෂ්ක පාලන සමයේ දී කළ සංගායනාවේ දී කීර්තිධර ලේඛකයෙකු වූ අශ්වඝෝෂ හිමියන්ගෙන් සැලසුණු

සේවය විස්තර කරන්න.

3) “බෞද්ධ ඉතිහාසය හා සාහිත්‍ය අතින් සලකන කල කණිෂ්ක සංගායනාව අතිශය වැදගත් තැනක් උසුලයි.” මේ අදහස විමර්ශනය කරන්න.

03)

1) මහායාන බුදුසමයෙහි දාර්ශනික හා ආගමික අංශ යටතේ අවධානයට පාත්‍ර වන ඉගැන්වීම් ගැන හැඳින්වීමක් කරන්න.

2) මහායාන බුදුදහමෙහි ඉගැන්වෙන “බෝධිචිත්තය” ගැන හැඳින්වීමක් කරන්න.

3) අමිතාභ බුදුන් ආශි‍්‍රතව පවත්නා ඇදහිලි හා විශ්වාස ගැන සමාලෝචනයක් කරන්න.

04)

1) භාරතයේ වික්‍රමශිලා විශ්වවිද්‍යාලයේ පැවති අධ්‍යාපන තත්ත්වය පැහැදිලි කරන්න.

2) මෙම විශ්වවිද්‍යාලයේ ප්‍රවේශ පරීක්ෂණය භාර වූ ද්වාර පණ්ඩිතවරුන් හඳුන්වා ඔවුන්ගේ කාර්යභාරය පැහැදිලි කරන්න.

3) වික්‍රමශිලා විශ්වවිද්‍යාලයෙහි අධිපතිභාවය ඉසිලූ ශ්‍රී ඥාන හෙවත් අතීශ හිමියන් ගැන හැඳින්වීමක් කරන්න.

05)

1) “අට්ඨකතා” යන්නෙහි අරුත් පැහැදිලි කරමින් දීඝ, මජ්ක්‍ධිම, සංයුත්ත හා අංගුත්තර අටුවා හැඳින්වෙන සංඥා නාම පිළිවෙළින් දක්වන්න.

2. අභිධර්ම පිටකයට අයත් ග්‍රන්ථ සඳහා ලියූ අටුවා හැඳින්වෙන සංඥා නාම ලියා දක්වන්න.

3. හෙළටුවා යනු කවරේ දැයි පැහැදිලි කරන්න.

06)

1) 18 වැනි සියවසේ දී තායිලන්ත (සියම්) දේශයේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවේ ස්‍යාමෝපාලි මහා නිකායේ ආරම්භය හා උපසම්පදා විනයකර්මය සිදුකිරීම පිළිබඳ විස්තරයක් කරන්න.

2). තායිලන්තයට බුදුසමය හඳුන්වා දෙනු ලැබුයේ ධර්මාශෝක රාජ්‍ය සමයේ භාරතයේ සිට වැඩම කළ ධර්ම දූතයන් මඟින් බව තහවුරු කෙරෙන සාධක කවරේදැයි හඳුන්වා දෙන්න.

3). ථෙරවාදී බුදු දහම ව්‍යාප්තව පවත්නා අග්නිදිග ආසියාතික රටවල් පිළිබඳ හැඳින්වීමක් කරන්න.

07)

1) ප්‍රාග් මහින්ද යුගයේ දී මළගියවුන් පිළිබඳ විශ්වාසය සමාජයේ දැඩිව පැවති බව තහවුරු කෙරෙන සාධක විමර්ශනය කරන්න.

2. සත්ත්ව ඝාතනය වළක්වා සතුන් කෙරෙහි කරුණාව දැක්වීමට මහජනතාව යොමු කළ ශ්‍රී ලාංකේය රජවරු පිළිබඳ විස්තරයක් කරන්න.

3. බුද්ධ ශාසනයේ දියුණුව උදෙසා

වළගම්බා රජතුමාගෙන් ඉටු වූ සේවය ඇගයීමට ලක් කරන්න.

08)

1) බෞද්ධ ස්තූප නිර්මාණයේ ආරම්භය හඳුන්වා, ප්‍රාග් මහින්ද යුගයේ දී ශ්‍රී ලංකාවේ නිර්මාණය කරන ලදැයි සැලකෙන ස්තූප ගැන විස්තරයක් කරන්න.

2) බෞද්ධ ස්තූපයක ඇතුළත් විය යුතු අංගෝපාංග කවරේ දැයි විමර්ශනය කරන්න.

3) විවිධ ස්තූප වර්ග හඳුන්වා, ඒවායේ හැඩයන් නිදසුන් මඟින් පැහැදිලි කරන්න.

පිළිතුරු

I කොටස

01)

1) අ) ස්වකීය ආදී පුරුෂයා ලෙස

ආ)පුරාණ තෙරුන් තමා විසින් ධර්මය හා විනය යම් පරිද්දකින් භාග්‍යවතුන් වහන්සේගෙන් අසන ලද්දේ ද එලෙස තමන් වහන්සේ ධර්ම විනය දරන බව කීහ.

2) අ) විනය ශික්ෂාපද සංශෝධනය වන පරිදි දස වස්තුන් සම්මත කර ගැනීම

ආ)වජ්ජි පුත්තක භික්ෂූන් නමින්

3) අ) පුද්ගල සංකල්පයයි. පරමාර්ථික වශයෙන් පුද්ගලයෙක් ඇති බව උන්වහන්සේගේ මතය විය.

ආ) පරමාර්ථික වශයෙන් පුද්ගලයෙක් නැත යන අදහස රචිත ග්‍රන්ථය කතා වස්තු ප්‍රකරණයයි.

4) අ) පුද්ගල සංකල්පයයි. පරමාර්ථික වශයෙන් පුද්ගලයෙක් ඇති බව උන්වහන්සේගේම මතය විය.

ආ) පරමාර්ථික වශයෙන් පුද්ගලයෙක් නැත යන අදහස රචිත ග්‍රන්ථය කතා වස්තු ප්‍රකරණයයි.

5. අ) ගාන්ධාර කාශ්මීරය

ආ) උපගුප්ත හිමි

6. අ) මහිසාසක ධර්ම ගුප්තික නිකාය

ආ) ධර්ම ගුප්තික නිකාය

7. අ) ථේරවාදයේ අංගුත්තර නිකාය ග්‍රන්ථය උදෙසා

ආ) ජෝතිපාල තෙරුන්ගේ හා ත්‍රිපිටකයාගත ජීවක උපාසකතුමාගේ ඇරයුමින්

8. අ) රාමපාල රජු – පාල රාජ පෙළපත

ආ) තත්ත්‍රයානා බුදුසමයට

9) අ.උත්තරෂීව – ජප්පට භික්ෂුව

ආ) 1 වන විජයබාහු රජු

10) අ) මථුරා කලා සම්ප්‍රදාය – ආන්ද්‍ර බුදුපිළිම සම්ප්‍රදාය – ගන්ධාර කලා සම්ප්‍රදාය

ආ) විතක්ක හෝ අභය මුද්‍රා යන දෙකෙන් එකකි.

II කොටස

02)

1) සර්වාස්තිවාදී භික්ෂූන්ගේ ප්‍රධානත්වයෙන් සංගායනාවක් පැවැත්වීම.

විභාෂා ග්‍රන්ථ සකස් කොට ආරක්ෂා කිරීම

2) මුලදී සටහන් වශයෙන් පැවති විභාෂා ග්‍රන්ථ (අටුවා කතා ශාස්ත්‍රීය ලේඛන වශයෙන් සැකසීම භාරව තිබුණේ අශ්වඝෝෂ හිමියන්ට ය. විභාෂා ග්‍රන්ථ ඉගැන්වීම ගැන උන්වහන්සේ විශේෂ අවධානයක් යොමු කළහ.

11 පිටුවෙන් ...

මේ අනුව සර්වාස්තිවාදයට අයත් ග්‍රන්ථ සැකසීම අතින් මේ හිමියන්ට ලැබුණේ වැදගත් ස්ථානයකි.

3) කණිෂ්ක සංගායනාව බෞද්ධ ඉතිහාසය හා සාහිත්‍යය අතින් වැදගත් තැනක් උසුලන්නේ විභාෂා නමින් හැඳින්වෙන සර්වාස්තිවාදි ග්‍රන්ථ සංස්කෘත භාෂාවෙන් ලියා තැබීම හා ඒවා සුරක්ෂිතව තැන්පත් කිරීම නිසා ය.

03)

1) මහායාන බුදුදහමෙහි බෝධිසත්ත්ව සංකල්පය දැඩි ලෙස අවධාරණය කෙරේ. ලොව සියලු දෙනාම බුද්ධත්වය ප්‍රාර්ථනා කරන්නෝ ය. බෝධිසත්වරුන් වශයෙන් හැම දෙනාම බෝධි චිත්තය වැඩිය යුතු ය.

පරහිත නිරත භාවය මහායානය ස්වභාවයයි. එනිසා හැම දෙනාම බුද්ධත්වය ප්‍රාර්ථනා කරයි. බුදුවරයකු සතු ධර්මකාය, නිර්මාණකාය හා සම්භෝගකාය යන ත්‍රිකාය ගැන ඉගැන්වේ.

මහායානයේ ධර්මය ඉදිරිපත් කරනුයේ සංස්කෘත භාෂාවෙනි. මහායානයෙහි දාර්ශනික අංශය හා ශුද්ධ තර්කය ගැන විශේෂ අවධානය යොමු කෙරේ. වන්දනාමාන ගැන විශේෂ ඇදී යාමක් ඇත. මන්ත්‍ර හා තන්ත්‍ර කෙරෙහි යොමු වේ. අමිතාභ බුදුරජාණන් වහන්සේ ගැන විශේෂ භක්තියක් පවතී.

2) සියලු බුදුවරුන් බෝධිසත්ත්ව අවධියේ සිට බුද්ධත්වය සඳහා බෝධි චිත්තය වැඩිය යුතු ය. ලෝකයාගේ දුක් දුරලීමට ද, දිව්‍ය මනුෂ්‍ය සම්පත් ලබා ගැනීමට ද බෝධි චිත්තය ඉවහල් වේ. බෝධි චිත්තය වඩන්නා බුද්ධ පුත්‍රයෙකි. සුර අසුර ආදී කාගේත් වන්දනාවට පාත්‍ර වේ. බෝධිප්‍රණිධි හා බෝධි ප්‍රස්ථාන වශයෙන් බෝධි චිත්තය දෙවිධි වේ. බෝධිචිත්ත ප්‍රතිලාභයෙන් පසු බෝධිසත්ත්වයන්ගේ සිරුර පූජාර්භ ශරීරයක් බවට පත් වේ.

3) මහායානිකයන් විශ්වාස කරන පරිදි අමිතාභ බෝධිසත්ත්වයන් කෙරෙහි ඇති භක්තිය මඟින් විමුක්තිය ලබාගත හැකි ය. “නමෙ අම්ද බුත්සු” යන්න නිතර ජප කිරීමෙන් විමුක්තිය සලසා ගත හැකි ය යන විශ්වාසය මහායානිකයන් අතර පවතී. අමිතාභ බුදුන් අදහන වෙනම නිකායක් ද ජපානයේ පවතී. අමිතාභ බුදුන් ගැන විශ්වාසය වඩාත් පැතිර ගියේ පෙරදිග රටවල ය. චීනයේ හා ජපානයේ අමිතාභ බුදුන් අදහන බව පෙනේ.

04)

1) වික්‍රමශිලා විශ්වවිද්‍යාලයේ විෂයමාලාව නාලන්දාවට සමාන විය. ශ්‍රාවක යානා හා මහායාන බුදුදහම පිළිබඳ ඉගැන්වීම් සාමාන්‍ය පරිදි සිදු විය. තන්ත්‍රයානය පිළිබඳ විශේෂ ස්ථානයක් ලැබිණ. මේ ආයතනයේ පාලන කටයුතු සම්පූර්ණයෙන් ම සිදුවූයේ ආචාර්ය මණ්ඩලයේ මාර්ගෝපදේශකත්වය යටතේ ය. ආචාර්ය මණ්ඩලය, අධ්‍යාපන මණ්ඩලය, පරිපාලන මණ්ඩලය, විනය මණ්ඩලය, ප්‍රවේශ මණ්ඩලය ආදී වශයෙන් මණ්ඩලවලට බෙදී පාලන කටයුතු සිදු කෙරිණ.

නවක ශිෂ්‍යයන් බඳවා ගැනීමේ දී දැඩි ප්‍රවේශ පරීක්ෂණයකට භාජන කරන ලදී. ආචාර්ය මණ්ඩලය 118 දෙනෙකුගෙන් සමන්විත විය. පරිපාලන කටයුතු සඳහා ආචාර්යවරුන් හා සම පුද්ගලයෝ සතර දෙනෙක් වූහ. මෙසේ 114 දෙනෙක් අධ්‍යාපන, පරිපාලන හා විධායක කටයුතු භාරව සිටියහ. විවිධ කාර්ය සඳහා වෙන් වශයෙන් පත් කළ සේවක පිරිස් ද වූහ.

2) පෙරදිග දොරටුව – රත්නාකර ශාන්ති

බටහිර දොරටුව – වාගිශ්වර කීර්ති

උතුරු දොරටුව – නරෝපා

දකුණූ දොරටුව – ප්‍රඥාකරමතී

පළමු දොරටුව – රත්න වජ්‍ර

දෙවන දොරටුව – ඥාන ශ්‍රී මිත්‍ර

3) අතීශ හිමි (ක්‍රි.ව.980 -1053) අතිශය සම්භාවනීය යතිවරයෙක් විය. මෙතුමාගේ කීර්තිය බෞද්ධ රටවල පැතිර පැවතිණ. ටිබෙට් බෞද්ධයෝ මේ හිමියනට විශේෂ ගෞරවයක් දැක්වූහ. මෙතුමාගේ පාලන කාලය තුළ විශ්වවිද්‍යාලය ඉතා දියුණු විය. මේ විශ්වවිද්‍යාලයේ දීප්තිමත් යුගය වූයේ මෙතුමාගේ පාලන සමයයි. ඓතිහාසික වාර්තා අනුව මෙකල වික්‍රමශිලාව නාලන්දාව පවා අභිබවා ඇත.

ටිබෙට් ජාතික තක්ෂෝ හිමියන්ගේ ආරාධනා පරිදි ක්‍රි.ව. 1038 දී මේ හිමියෝ ටිබෙට් දේශයට වැඩම කොට 15 වසරක් එහි ධර්මදූත කටයුතුවල නියැළී සිටියහ.

05)

1) අට්ඨකතා යනු පාලි ත්‍රිපිටක සාහිත්‍යයේ ඇතුළත් ධර්මය උදෙසා ලියන ලද විවරණ හා විස්තර වර්ණනායි. මේ අටුවාවලට පදනම් වූයේ මෙරට පැවති හෙළටුවායි. හෙළටුවා පාදක කොට ගෙන පාලි අට්ඨකතා ලියා ඇත්තේ භාරතයේ සිට මෙහි පැමිණ භික්ෂූන් වහන්සේ විසිනි.

දීඝනිකාය අටුවාව – සුමංගල විලාසිනි

මජ්ක්‍ධිම නිකාය – පපංචසූදනී

සංයුත්ත නිකාය – සාරත්ථප්පකාසිනී

අංගුත්තර නිකාය – මනෝරථපූරණ

2) අභිධර්ම පිටකය – ධම්මසංගනී – අත්ථසාලිනී අටුවාව

විභංග – සම්මෝහවිනෝදනී අටුවාව

කථාවත්ථු

පුද්ගලපඤ්ඤත්ති

පඤ්ඤප්පකරණට්ඨකතා

ධාතුකතා

යමක

පට්ඨාන

3) හෙළටුවා යනු ත්‍රිපිටක ධර්මය උදෙසා සිංහල භාෂාවෙන් ලියා තැබූ අටුවායි. මේ අටුවා 03ක් ගැන සඳහන් වේ. එනම් මහා අට්ඨකතා, මහාපච්චරිය හා කුරුන්දි යනුවෙනි.

06)

1) ක්‍රි.1733 -1758 කාලයේ දී තායිලන්තයේ දේවමහා ධම්මරාජ රජු දවස වැලිවිට සරණංකර හිමියන්ගේ ඉල්ලීම පරිදි පට්ටිපොළ මොහොට්ටාලගේ නායකත්වයෙන් උපසම්පදාව ගෙන ඒම සඳහා කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා දූත පිරිසක් තායිලන්තයට යැවීය. ධම්මරාජ රජතුමා මේ දූත පිරිස ගෞරවාදරයෙන් පිළිගෙන උපාලි තෙරුන් ප්‍රමුඛ තායි භික්ෂූන් විසිනමක් ද ඇමැතිවරුන් සත් දෙනෙකු ද රන් බුදු පිළිමයක් ද ලංකාවට එවීය. ක්‍රි.ව.1753 දී ලක්දිවට සැපත් වූ උපාලි මහතෙරණුවන් ප්‍රමුඛ තායි භික්ෂූහු පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර හිමියන් ප්‍රමුඛ ලාංකික සාමණේර භික්ෂූ පිරිසක් උපසම්පාද කළහ. ලක්දිව දැනට ඇති ස්‍යාමෝපාලි මහානිකාය ආරම්භ වූයේ මේ උපසම්පදා විනය කර්මය මඟිනි.

2) බෞද්ධ පුරාවෘත්තයන්හි සෝණ හා උත්තර යන දෙදෙනාම ධර්මප්‍රචාරය පිණිස සුවණ්ණ භූමියට වැඩම කළ බව සඳහන් වෙයි. තායිලන්ත වැසියෝ එම සුවණ්ණ භූමිය සිය රට සේ පිළිගනිති. මජුම්දාර් මතය අනුව සුවණ්ණ භූමි ප්‍රදේශයට තායිලන්තය ද ඇතුළත් ය. පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික සාධක අනුව මේ ප්‍රදේශයේ මුල් පදිංචිකරුවන් වූ මොන්වරුන් ඉපැරැණි අවදියේ සිට භාරතය සමඟ සබඳතා පවත්වා ඇත. මේ සබඳතා විෂයයෙහි මලයා අර්ධද්වීපය වැදගත් මධ්‍යස්ථානයක් වූයේ ය. භාරතීය හුරුවක් ඇති 5 වැනි සියවස තරම් අතීතයට දිවෙන නටබුන් මලය අර්ධද්වීපයෙන් ලැබී ඇත. එසේ ලද භාරතීය බලපෑම් ඇසුරෙන් මොන්වරුන් බුදුසමය වැලඳ ගෙන පන්සල් හා බුද්ධ ප්‍රතිමා නිර්මාණයෙහි නිරත වූ බවත් තමාගේම කලා සම්ප්‍රදායයක් නිර්මාණය කළ බවත් කිව හැකි ය. මේ තත්ත්වය ද්වාරවතිය අගනුවර කොටගත් දකුණු තායිලන්තයෙහි දක්නට ලැබේ.

3.ථෙරවාද බුදු දහම පැතිර පවත්නා අග්නිදිග ආසියාතික රටවල් අතර බුරුමය හැඳින්විය හැකි ය. බුරුමයේ බුදු සමය පැතිර යාම ගැන විවිධ අදහස් පවතී. තපස්සු භල්ලුක දෙදෙන බුරුම ජාතිකයන් බවත්, ඔවුන් බුදු සමය හඳුන්වා දුන් බවත් එක් මතයකි. බුදුරදුන් බුරුම රටට වැඩම වූ බවට ද තවත් මතයක් පවතී. අනෞරථ රජතුමා ථෙරවාද බෞද්ධ සාහිත්‍යය ගැන විශේෂ උනන්දුවක් දැක්වූ බව සැලකේ. මේ රජතුමා 11 වැනි සියවසේ දී ලක්දිවට දූතයන් එවා ධර්ම ග්‍රන්ථ ගෙන්වා ගත් බව ද ඓතිහාසික කරුණකි. ථෙරවාද බුදු දහම පැතිර ගිය අග්නිදිග ආසියාතික තවත් රටක් නම් තායිලන්තයයි. අනෙක් රටවල් වනුයේ කාම්බෝජය, ලාඕසය හා වියට්නාමයයි.

07)

1) පණ්ඩුකාභය කුමරුගේ දෙමවුපියන්ට හිතවත්ව සිටි කාලවේල හා චිත්තරාජ කුමරුගේ මාමාවරුන් විසින් මරා දැමූ බවත්, යක්ෂයන් වී උපන් බවත්, ඔවුන් කුමරුගේ පුද පූජාවලට ලක් වූ බවත් මහාවංසය සඳහන් කිරීම, පණ්ඩුකාභය රජ පවුලට හිතවත්ව සිටි දාසියක මිය ගිය පසු යක්ෂණියක ව උපන් බවත් ඇයට රජු පුද පූජා පැවැත් වූ බවත් සඳහන් වීම.

මහේජ නමැති යක්ෂයා සඳහා පණ්ඩුකාභය රජු දේවාලයක් කළ බව සඳහන් වීම.

මිහිඳු හිමියන් මුල් ධර්ම දේශනාවල දී විමානවත්ථු හා පේතවත්ථු කතා තෝරා ගැනීම මඟින් මිය ගිය අයගේ කතා පුවත් මතු කර දැක්වීම.

පණ්ඩුකාභය රජුට උපකාර කරමින් සිට මිය ගොස් යක්ෂණික් ව උපන් වළවාමුබ් යන අයට පුද සත්කාර කිරීම.

2) ආම්මණ්ඩගාමිණී අභය රජු ශ්‍රී ලංකාව පුරා සතුන් මැරීමේ තහනම් නියෝගය (මාඝාතය) පැනවීය. පළමු වන පරාක්‍රමබාහු රජ සතර පෝය දිනවල ගොඩබිම හා ජලචර සතුන්ට අභය දානය දුන්නේ ය. මේ ආදර්ශයෙන් ජනතාව ද සත්ව ඝාතනයෙන් වැළකීමට තීරණය කළ බව පැහැදිලි ය.

3) ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම වළගම්බා යුගයෙහි සිදුවූ ඓතිහාසික සිද්ධියකි. සතුරන්ගෙන් ගැලවීම සඳහා මේ රජතුමා ලක්දිව සැඟවී සිටි විවිධ ස්ථානවල ගල් ලෙන හා විහාර කරවූ බව ද ඉතිහාසයෙහි සඳහන් ය.

08)

1) බුදුරදුන් ජීවමාන යුගයේ දී ම චෛත්‍යය නිර්මාණය පැවති බව සැරියුත් මුගලන් අගසවු දෙනම පිරිනිවන් පෑ කල්හි භෂ්මාවශේෂ තැන්පත් කොට චෛත්‍ය තැනවීමෙන් පැහැදිලි වේ. බුදුරදුන් පිරිනිවන් පෑ පසු ශ්‍රී දේහයට කෙසේ ගරුබුහුමන් දැක්විය යුතු දැයි අනඳ හිමියන් විමසූ කල්හි උන්වහන්සේගෙන් ලැබුණූ පිළිතුරෙන් ද හෙළි වන්නේ චෛත්‍ය නිර්මාණය පිළිබඳ අදහස එකල පැවති බවයි.

මේ පිළිබඳ තොරතුරු මහා පරිනිබ්බාණ සූත්‍රයෙන් හෙළි වේ. මේ අනුව පෙනෙන්නේ චෛත්‍ය නිර්මාණය බුද්ධ කාලයේ සිට පැවති බවයි.

ප්‍රාග් මහින්ද යුගයේ මෙරට ස්තූප නිර්මාණය පැවති බව පැරැණි බෞද්ධ පිරිස් විසින් තැනූ ගිරිහඬුසෑය මහියංගණය වැනි ස්තූපවලින් හෙළි වේ.

2) චෛත්‍යයක ඇතුළත් විය යුතු අංගෝපාංග අතර ධාතු තැන්පත් කළ ගර්භය වැදගත් වේ. එය ගෝලාකාර හැඩයෙන් යුක්ත විය. රාජ්‍යත්වයේ සංකේතය වන ඡත්‍රය ස්තූපය මුදුනේ පිහිටුවන ලදි. පසු කාලයේ දී ඡත්‍ර කීපයක් ම නංවන ලදී. ක්‍රමයෙන් මේ ඡත්‍ර කොත් කැරැල්ලක් බවට පත් විය. වේදිකාවකින් පිට වූ අංගණයක් තුළ චෛත්‍යය පිහිටුවන ලදී. අංගණයට පිවිසීම සඳහා සිව් දිසාවට මුහුණ ලා දොරටු හතරක් විය. දාගැබ් ගර්භය මතුයෙහි හතරැස් කොටුවක් විය. පසු කාලයේ දී මෙය දේවතා කොටුව බවට පත් විය. ස්තූපයේ අඩිතාලම පොළොවෙන් මතු පිටට පෙනෙන සේ ගොඩ නංවන ලදි.

3)ඝණ්ටාකාර – ඝණ්ටාවක හැඩය ඇති ස්තූප මෙනමින් හැඳින්වේ. බුරුමය, ලංකාව වැනි රටවල මේ චෛත්‍යය ඉතා ජනපි‍්‍රය ය.

ඝටාකාර – කළයක හැඩයට සමාන ආකාරයෙන් තැනූ චෛත්‍යයයි. කතරගම, කිරිවෙහෙර, සෝමාවතී චෛත්‍යය, සිතුල්පව්වේ හා මඟුල් විහාරයේ ස්තූප මුලදී මේ ගණයට අයත් වූ බව සැලකේ.

බුම්බුලාකාර – දිය බුබුළක හැඩයෙන් තැනූ චෛත්‍යයයි. රුවන්වැලිසෑය, පොලොන්නරුවේ කිරිවෙහෙර හා රන්කොත් වෙහෙර මේ ගණයට අයත් වේ.

ධාන්‍යාකාර – ධාන්‍ය ගොඩක හැඩයෙන් තැනූ චෛත්‍යයයි. අනුරපුරයේ ථූපාරාමය මුලදී තැනුයේ මේ හැඩයටයි. ප්‍රතිසංස්කරණවලින් පසුව එය ඝණ්ටාකාර විය.

පද්මාකාර – පියුමක ආකාරයෙන් තැනූ චෛත්‍යයයි. පොලොන්නරුවේ දෙමළ මහා සෑය, බුත්තල යුදගනා ස්තූපය මේ ගණයට අයත් වේ.

ආම්ලකකාර – නෙල්ලි ගෙඩියක හැඩයෙන් තැනූ චෛත්‍යයයි. මේ චෛත්‍යය දුලබය. 11 අග්ගබෝධි රජු ආමලචේතිය නම් ස්තූපයක ඡත්‍රය කර වූ බව චූලවංසයෙහි දැක්වේ. මේ ආකාරයේ ධාතු කරඬුවක් දැදිගම කොට වෙහෙරින් හමු වී ඇත. වෙනත් බෞද්ධ රටවල පලාණ්ඩිවාකාර (ලූනු ගෙඩියක හැඩය) අණ්ඩාකාර, චතුරස්‍රාකාර, අෂ්ටාස්‍රාකාර හා සිලින්ඩරාකාර හැඩයෙන් යුතු චෛත්‍යය තනා ඇති බව සැලකේ.