Print this Article


ශ්‍රී සද්ධර්මයෙහි සඳහන් සුනාමි ව්‍යසනය

ශ්‍රී සද්ධර්මයෙහි සඳහන් සුනාමි ව්‍යසනය

ලංකා ඉතිහාසයේ අතිශය ඛේදනීය දිනය වශයෙන් සනිටුහන් වී ඇත්තේ 2004 දෙසැම්බර් මස 26 වැනි දිනයයි. සුවිසල් මන්දිර පවා විනාශ වී ගියේ නිමේෂයකිනි. මුහුද ගොඩගැලීමත් සමඟ හැටදහසකට අධික ජනතාවකගේ ජීවිත විනාශ විය. ටොන් ගණන් බර යකඩ පවා ඇඹරී පොඩිවී ගියේ අදහාගත නොහැකි සේ ය. මහ ජල කඳක ශක්තිය බලය කෙබඳු දැයි එදා අපට වැටහිණි.

ආදිතම ජනයා ජලය මහා බලගතු දෙවියකු සේ අදහා ඇති බව සංස්කෘත ග්‍රන්ථවලින් ප්‍රකට වේ. මෙවැනි මහ විපත් අද ඊයේ පමණක් සිදු වූවක් නොවේ. මීට වර්ෂ 200 කට පමණ පෙර එනම්, ක්‍රි.පූ. 2 වන ශත වර්ෂයේ කැලණිතිස්ස රජතුමාගේ කාලයේ දී මුහුද ගොඩ ගලා ලංකාවට අයත් වූ කුඩා දිවයින් විශාල සංඛ්‍යාවක් ද ගම් දනව් දහස් ගණනක් ද මුහුදුබත් වී ඇති බව මහාවංශය, සද්ධර්මාලංකාරය වැනි ග්‍රන්ථවලින් හෙළි වේ.

එපමණක් ද නොව කැලණිතිස්ස රජුගේ කාලයට බොහෝ පෙර, එනම් රාවණා රජුගේ කාලයේ දී පවා මුහුද ගොඩගලා මන්නාරමේ සිට තූත්තුකුඩුව දක්වා වීදි ලක්ෂ ගණනක් මුහුදට යට වූ බව රාජාවලිය නම් ග්‍රන්ථයේ සඳහන් ය.

මුහුද ගොඩගැලීම පිළිබඳ පැරැණිම ප්‍රවෘත්ති සඳහන් වන්නේ ත්‍රිපිටකයේ ය. ත්‍රිපිටකය යනු බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ඇතුළත් ග්‍රන්ථයයි.

පාලි භාෂාවෙන් මුහුද ගොඩගැලීම හඳුන්වන්නේ ඌමී, උම්මි යන වචනවලිනි. මේ මහ විපතත් සමඟ අප බසට එක් වූ අලුත් වදනක් නම් “සුනාමි” යන්නයි. මුහුදේ ඇතිවන මහත් භූමිකම්පාවකින් පසු ගොඩබිමට ගලා එන භයානක ජල කඳ සුනාමි යනුවෙන් ජපන් භාෂාවෙන් ව්‍යවහාර කරයි. ඇතැම් විට පාලි “ඌමී” වචනයේ ආභාසයෙන් සුනාමි යන ජපන් වචනය සකස් වී ඇතැයි සැකයක් උපදියි. සුනාමියක් පිළිබඳ සඳහන් ඉපැරැණි ප්‍රවෘත්තිය ජාතක පොතේ එන සමුද්දවාණිජ ජාතකයෙන් ප්‍රකට වේ.

සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ දසවැනි ග්‍රන්ථය වූ ජාතක පාලියේ සමුද්දවාණිජ ජාතකයේ මෙසේ සඳහන් වේ. එනම්,

“තිපඤ්ච රත්තූප ගමමිහි චන්දෙ
වෙගො මහා හොහීතිසාගරස්ස
උපලාපයං දීපමිචං උළාරං
මා වොවධි ගච්ඡථ ලෙණමඤ්ඤං”

හඳ පසළොස් රැයක් ඉක්ම ගිය කල සයුරේ රළ වේගයෙන් වැඩි වෙයි. මේ මහ දූපත යට කරමින් තොප නො නසාවා රැකවරණය ඇති අන් තැනකට යවු වශයෙනි.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජ කෙනෙක් රාජ්‍ය කරන කල්හි එක්තරා ගම්මානයක වඩුවෝ දහසක් සිටියෝ ය. ගම්වැසියෝ එම වඩුවන්ට ඇඳ, පුටු, ගෙවල්, දොරවල් සාදා ගැනීම පිණිස අත්තිකාරම් මුදල් මෙන්ම අමුද්‍රව්‍ය ද දුන්හ. එහෙත් පොරොන්දු වූ පරිදි වඩුවන්ට එම කටයුතු ඉටු කළ නොහැකි විය.

මේ නිසා ඔවුන්ට ගමෙහි වාසය කිරීමට නොහැකි තත්ත්වයක් උදා වූ බැවින් ගම අත්හැර දා යෑමට තීරණය කළහ. ලී දඬුවලින් පහුරු බැඳ අඹුදරුවන් සමඟ එහි නැඟී ගඟ දිගේ පාවී ගොස් මුහුදට වැටුණහ. මුහුද තරණය කරන්නෝ රමණීය දූපතක් දුටුවෝ ය. නොයෙක් මලින් පලතුරුවලින් ගැවසීගත් ඒ රමණීය දූපත වාසයට සුදුසු දැයි සොයා බැලීමට ආයුධ සන්නද්ධ හැඩි දැඩි මිනිසුන් සත් දෙනෙක් පහුරුවලින් බැස ගියහ.

එහිදී හිස රැවුල් වවාගත් නිර්වස්ත්‍ර එක්තරා මනුෂ්‍යයෙක් දුටු ඔවුන් “යක්ෂයෙක්” යැයි බියට පත්ව ඊතලවලින් විදින්නට සැරසෙත්ම “මම යකෙක් නොවේ” යි කෑ ගසා කියා ඔවුන්ට යටත් විය. ඔහුගෙන් දූපත පිළිබඳ තොරතුරු විමසද්දී දැන ගැනීමට ලැබුණේ මෙම රමණීය දූපතේ යක්ෂ රාක්ෂ භය නැතිව වාසය කළ හැකි බව ය මෙහි දෙවියන් අරක්ගත් ස්ථානයක් නිසා මළ මුත්‍ර එළියේ නොකොට වළක් සාරා එහි මලමුත්‍රා කරන ලෙසත්, පරිසර දූෂණය නොකොට ජීවත් විය යුතු බවත් පැවසී ය. පහුරුවල සිටි සියලු පිරිස් දූපතට ගොඩවී ගෙවල් දොරවල් සාදාගෙන සතුටින් ජීවත් වෙති.

මේ වඩුවන් අතරින් ඇතැම් පිරිස් රා ආදිය පෙරා බොමින් අපිරිසුදු ලෙස ජීවත් වෙති. මලපහ කිරීම පවා පරිසරයට හානි වන ලෙස සිදු කරති. මෙයින් කිපුණු දේවතාවෝ මුහුද ගොඩගැලීමට සැලස්විය යුතුයි කතිකා කළහ. ඒ අනුව පුර පසළොස්වක පොහෝ දා මුහුද ගොඩගැලීමට

අධිෂ්ඨාන කළහ. එම දේවතා මණ්ඩලයෙන් එක්තරා දෙවි කෙනෙක් පැමිණ එළඹෙන පසළොස්වක පොහෝ දින මුහුද ගොඩගලන්නේ යැයි සියලු දෙනා දැනුවත් කළහ.

තවත් දෙවියෙක් පැමිණ මුහුද ගොඩගලන්නේ නැත. ඔබ සැම සිත් සේ මෙහි වාසය කරන්න යැයි කීහ.

මෙයින් ඇතැම් මිනිසුන් මුලින් කී දෙවියා කියන්නේ බොරුයි, පසුව දේවතාවා කීවේ සත්‍ය යැයි සිතා ඔවුහු එහි සිටියහ. නුවණැති තවත් පිරිස් මේ බොරුවක් හෝ වේවා, ඇත්තක් හෝ වේවා අප එයට සූදානම් විය යුතු යැයි කතිකා කොට පහුරු ආදිය සකස් කළහ. ඊට අනිත් වඩුවෝ තැලියේ කිඹුලන් සොයන්නේ යැයි කියා උපහාසයට ලක් කළහ. පසළොස්වක් පොහෝ දින උදා විය. මුහුද රළ දණ පමණ ගලා ආවේ ය. පහුරු බැඳි නුවණැති මිනිසුන් එහි නැඟී ගියහ. අනික් මිනිසුන් දිය රළ අවුත් කසළ ආදිය ගසා ගියේ යැයි සතුටට පත්වූහ.

ටික වේලාවකින් උකුළ ප්‍රමාණයට දෙවැනි රළ ආවේ ය. ඉන්පසු නැවතත් කරවට ප්‍රමාණයට ද මිනිසෙක් ප්‍රමාණයට ද මුහුද රළ අවුත් ඔවුන් ගසාගෙන ගියේ ය. මෙසේ කිහිප විටක් වතුර ගොඩගලා හත්වැනි වතාවේ තල් ගස් ප්‍රමාණයට මුහුදු වතුර ගලාගෙන අවුත් සියලු දේ විනාශ විය.

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපි ලේඛන ඇසුරින් සකස් කෙරිණි.