ආයු වර්ණ
සැප බල දෙන ආහාර දානය
මහව,උඩගම ශ්‍රී ඉන්දසුමන මහ පිරිවෙන්හි
ප්‍රවීණාචාර්ය , ප්‍රවචන කීර්ති ශ්‍රී ලේඛන ශාස්ත්‍රී
ගලගෙදර රතනවංස හිමි
ඕනෑම කෙනකුට මුළු ජීවිත කාලය පුරාවට අනුගමනය කළ හැකි ජීවිතය හා බැඳුණු වටිනා
ක්‍රියාවලියක් බුදුදහමේ උගන්වා ඇත. උපත හා මරණය අතර කාලය ජීවත් වීම යනුවෙන්
හැඳින්වේ. විශේෂයෙන් උසස් මනසක් ලැබූ මිනිසුන් සඳහා ජීවත්වීම ආවාට ගියාට කළ නොහැකි
ය.
එය සදාචාර සම්පන්න හා යුතුකම්, වගකීම් පද්ධතියක් තුළ නිමග්නව සිදු කිරීමට අවශ්‍යව
ඇත. ඒවායෙන් මඟහැරීමට, කිසිවකුට පුළුවන්කමක් නැත. එසේ මඟහරින්නේ නම් හෝ පැහැර
හරින්නේ නම් හෝ එය මිනිසත්කමට පටහැනිය. ඒ පිළිබඳ බුදුදහම තුළ විස්තරාත්මකව දේශනා
කොට ඇත.
බුදුරජාණන් වහන්සේ දානය වශයෙන් එම කරුණු ත්‍රිපිටකය තුළ හඳුන්වා දී ඇති අතර, එහි
සමාජමය වටිනාකමක් ද අන්තර්ගත වී ඇති බව ද දක්නට ලැබේ.
අප ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙනවා යනු එම ක්‍රියාවල නිරත වීම ය. එම කරුණ
පිළිබඳ පරීක්ෂා කර බැලීමෙන් මේ ලෝක ධාතුව තුළ අප හා බැඳුණු සියලු ක්‍රියාකාරකම් ඒ
හා බැඳී පවතින බව වැටහේ. ප්‍රඥාවෙන් විමසා බැලීම තුළින් ඒ පිළිබඳ හොඳින්ම
ප්‍රත්‍යක්ෂ වේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලබාගෙන සෑම සමාජ සංස්ථාවක ම
පැවතිය යුතු කරුණක් ලෙස මෙය විග්‍රහ කොට ඇත.
එම උතුම් ගුණාංගය බුදුරජාණන් වහන්සේගේ මුළු ජීවිතය පුරාම ගම්‍යමාන වේ. සෑම ජීවිතයක්
තුළම එම කරුණු ප්‍රගුණ කරන්නේ නම්, එය සාර්ථක ජීවිතයකට අඩිතාලමක් වනවාට කිසිදු
සැකයක් නැත. ඒ නිසා එම කරුණ පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් වේ.
දානය නම් දීමයි. එනම් පරිත්‍යාගය යි. බුදුරජාණන් වහන්සේ බොහෝ තැන්වල දී දානයට මුල්
තැන දී ඇති බව බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා, දසරාජ ධර්ම,
දස පුණ්‍ය ක්‍රියා, දස පාරමිතා, සතර සංග්‍රහ වස්තු ආදී තැන් ඒ සම්බන්ධව වැදගත් වේ.
දානය නම් වූ මෙම පුණ්‍ය ක්‍රියාව බුදුරජාණන් වහන්සේ තරම් ප්‍රගුණ කළ උත්තමයෙක් මේ
තුන් ලෝකයේ ම නොමැත. උන්වහන්සේගේ මුළු ජීවිතය පුරාම එය යාව ජීව ක්‍රියාවලියක්
වශයෙන් පැවති බව ඉතා පැහැදිලි ය. එය බුදු බව ලබන අන්තිම ආත්මය දක්වාම නොකඩවා ම සිදු
කරන ලදහ.
භෞතික වශයෙන් ද, ආධ්‍යාත්මික වශයෙන් ද වැදගත් වන මාතෘකාවක් වශයෙන් දානය හැඳින්වීමට
පුළුවන. එදිනෙදා ජීවත් වන සමාජ සංස්ථාව පිළිබඳ විමසා බැලීමේ දී මෙම දානය සත්ත්වයාට
මොන තරම් සමීප මාතෘකාවක් ද යන්න පැහැදිලි වේ. දානයේ ප්‍රභේද රාශියක් ඇත. ප්‍රධානම
දෙයක් හැටියට දානය වශයෙන් අප ආහාර පාන පරිත්‍යාග කරනු ඇත. ඒවා කබලිංකාහාර වශයෙන්
හැඳින්වේ.
“ඒක නාම කිං සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා” පළමු කාරණය වන්නේ කවුරුත් ආහාරයෙන් ජීවත්
වීම ය. සත්ත්වයාගේ ජීවිතය උදෙසා ආහාර පළමු ශක්තිය වී තිබීම එයින් පැහැදිලි වේ.
ආහාර පරිත්‍යාගය තුළින් සත්ත්වයාට අත්‍යවශ්‍යම කරුණු පහක් සම්පූර්ණ වේ. එනම් ආයුෂය,
වර්ණය, සැපය, බලය, ප්‍රඥාව යන්න යි. කෙනකුට ආහාර වේලක් දීම යනු මෙම කරුණු පහ දුන්නා
හා සමාන ය. එතුළින් ද පැහැදිලි වන්නේ ජීවන ගමනට දානය යාවජීව ක්‍රියාවලියක් වන බව ය.
එහි නොපෙනෙන බලවේගය වන්නේ පුණ්‍ය ශක්තිය යි.
පින වර්ණයක් වශයෙන් හෝ ද්‍රව්‍යයක් වශයෙන් හෝ මැන ගැනීමට පුළුවන් දෙයක් නොවේ. එසේ
වුව ද දන් දීමෙන් පින් රැස් වෙන බව ප්‍රත්‍යක්ෂය. උදාහරණයක් වශයෙන් විදුලිය, සුළඟ
ආදිය පෙන්වා දීමට පුළුවන. විදුලිය අපට නොපෙනෙන දෙයකි. නමුත් එහි ශක්තිය ආලෝකය හා
වෙනත් යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක වීම තුළින් වටහාගත හැකි ය.
ගිහි බෞද්ධයින් විසින් භික්ෂූන් වහන්සේ උදෙසා සාංඝික වශයෙන් දාන පූජා කිරීම සුලභ
දෙයකි. අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලය ම එකට එකතු කොට පොදු වශයෙන් දෙන දානය
සාංඝික වන අතර, එහි විපාක “අනන්තං අප්පමෙය්‍යං වදාමි” අනන්ත අප්‍රමාණ වන්නේ ය.
සමාජමය වශයෙන් ගත් කල්හි දානය තුළ ඇත්තේ සමඟිය, සමාදානය, සහජීවනය වැනි උතුම්
ගුණාංගයි. යම්කිසි විදියකින් කෙනකුට හෝ පිරිසකට කරදරයක්, විපතක් වූ කල්හි අන්‍යයාට
උදවු උපකාර කරන්නේ එම උතුම් සංකල්ප මත ය. එතුළින් සිදු වන්නේ කියා නිම කළ නොහැකි
උතුම් ක්‍රියාදාමයකි. උදාහරණයක් වශයෙන් අපට නොයෙකුත් විපත්වලට මුහුණ දීමට සිදු වේ.
ස්වභාවික විපත්, සොර සතුරු කරදර ආදියට නිරන්තරයෙන් මුහුණ දීමට සිදු වේ. පසුගිය කාල
වකවානුවල දී ලංකාව තුළ නොයෙක් ස්වභාවික විපත් නිසා නොයෙක් දෙනාට උන්හිටි තැන් පවා
අහිමි විය. කෝටිපතියන් සුළු මොහොතින් දුගී දුප්පතුන් බවට පත් විය.
එවැනි අවස්ථාවල දී දානය නොහොත් පරිත්‍යාගය මිනිස් සන්තානය තුළ වඩාත් දියුණු තියුණු
ආකාරයෙන් සිදු වන අයුරු අපි දුටුවෙමු. අප ද එවැනි අවස්ථාවල දී අපට හැකි පමණින් එම
උතුම් පින්කම් උදෙසා උර දුන්නෙමු. ඇඳුම්, පැලඳුම්, ආහාර පාන, බේත් හේත් හා මිල
මුදල්වලින් ද එම පරිත්‍යාගයන් සිදු විය. රටේ නන් දෙසින් විශාල වශයෙන් ධන සම්පත්
තිබෙන උදවියත් සාමාන්‍ය මට්ටමින් යමක් කමක් තිබෙන උදවියත් එම පරිත්‍යාග කිරීමට දායක
වූ අයුරු පුදුම සහගත ය.
එයට හේතුව වන්නේ බුදුදහම තුළින් උගන්වා වදාළ එම උතුම් සංකල්පය. මිනිස් සන්තානයේ යටි
පතුලට ම කිඳාබැස තිබීම ය. සියලු දෙනා එකමුතුව එවැනි අසරණ අයට උපකාර සිදු කළහ. අසරණ
වූ අය එක් තැනකට එක්රැස් කොට විශාල හට්ටි, මුට්ටි තුළ ආහාර දවස් ගණන් උයමින් බෙදූ
ආකාරය අපට අමතක කළ නොහැකි ය. මෙම සිද්ධාන්තය ජීවත් වන කාලය තුළ ජීවිතය හා ගහට
පොත්තත් පොත්තට ගසත් සේ බැඳී පවතින්නකි. ඒ පිළිබඳ තර්කයක් නොමැත. අප රටේ කොතැන
බැලුව ද දානය නොහොත් පරිත්‍යාගය විවිධ අයුරින් දැක බලා ගත හැකි ය.
තවද වැඩිහිටි නිවාස, ළමා නිවාස, ආබාධිත පිරිස් සිටින ස්ථාන මේ ආදී වශයෙන් නොයෙක්
ස්ථාන උදෙසා ද දානය නොහොත් පරිත්‍යාගය සිදු කරනු ඇත. එවැනි ස්ථානවල දී දානය සමඟ ම
වත්පිළිවෙත් ද සිදු කරන ආකාරය දැක ගත හැකි ය. එය චරියාමය වෙනසක් ඇති කිරීමට ද
හේතුවක් වනු ඇත. දන් දීමේ දී බාල, තරුණ, මහලු ආදී වයස් මට්ටමක් ද නොමැත. එම නිසාම
විවිධ පිරිස් ඒ උතුම් කර්තව්‍ය උදෙසා ඇප කැප වීම ඉතා ඉහළ මට්ටමින් සිදු වේ.
අද ලෝකය ගත් කල විවිධ රටවලින් අසරණ පිරිස්වලට පීඩාවට පත් රටවල් උදෙසා ඉහළ මට්ටමින්
පරිත්‍යාග සිදු කරනු ඇත. සෝමාලියාව, ඉතියෝපියාව වැනි රටවල ආහාර හා අත්‍යවශ්‍ය
පහසුකම් නොමැතිව දහස් දෙනා මරණයට පත්වෙති. එසේ වුව ද පරිත්‍යාග කිරීම ද නොකඩවා සිදු
වනු ඇත. මුළු ලෝකයම සාමූහික අත්වැලක් සේ එකට හිඳින්නේ මෙම උතුම් ක්‍රියාවලිය නිසා
බව කීවොත් එය ඉතා නිවැරැදි ය. මෙම උතුම් ක්‍රියාවලිය මිනිසුන් තුළ නොමැති වූ කල
විශාල ප්‍රශ්න ජාලාවකට මුහුණ දීමට සිදු වේ. එය ක්‍රමක්‍රමයෙන් වැඩිදියුණු වන අයුරු
දැකීම ද සතුටට කරුණකි.
අප රටේ නොයෙක් සමිති සමාගම් දැක බලා ගත හැකි ය. ඒවා තුළින් සිදු වන්නේ ද
පරිත්‍යාගයකි. ග්‍රාමීය මට්ටමින් පවතින මරණාධාර සමිති තුළින් කෙනකු මරණයට පත් වූ
කල්හි විශාල පරිත්‍යාගයක් කරනු ඇත. හාල්, පොල්, මුදල් ආදිය එකතු කොට මළ ගෙවල්වලට
දීම දිගු කලක සිට පැවතගෙන එන මහඟු සේවාවකි. සාමාන්‍ය මට්ටමින් ජීවත් වන ගම්මාන තුළ
වුව ද සිදු වන මෙම පරිත්‍යාග වැඩපිළිවෙළ අසරණ වූ අවස්ථාවක මිනිසුන්ට විශාල ශක්තියක්
සේ ම අරපිරිමැස්මක් ද වන්නේ ය.
රුධිර පරිත්‍යාග අප රටේ සුලභව සිදු වන්නකි. එය පෞද්ගලිකවත්, පොදු වශයෙනුත් අප රට
තුළ සිදු වේ. විශේෂයෙන් පසුගිය යුද වකවානුව තුළ හමුදා සොල්දාදුවන්ට නිරන්තරයෙන්
රුධිරය අවශ්‍ය වූ තැන රට වැසියා එම පරිත්‍යාගය නිර්ලෝභී ව සිදු කළ අයුරු අපට මතකයට
නැඟෙනු ඇත. සමහර රෝගීන්ට ලේ බිඳුවක් දීම තුළින් තව කාලයක් ජීවත් වීම උදෙසා ඔවුන්ට
උපකාරයක් කළා වන්නේ ය. මුදලින් එය කර ගැනීමට අපහසු වූ කල්හි පරිත්‍යාගශීලින්ගේ
රුධිර පූජාව අසරණ ලෙඩුන්ට මහමෙරකටත් වඩා වටින්නේ ය.
තවද ශාරීරික කොටස් පරිත්‍යාග කිරීම ද සුළු පරිමාණයෙන් හෝ අද සිදුවන ලොකු
පරිත්‍යාගයකි. විශේෂයෙන් සමහර දෙනා කරන වකුගඩු පරිත්‍යාගය අද උසස් පරිත්‍යාගයක් සේ
පෙන්වා දීමට පුළුවන. කෙනකුගේ ජීවිතය ආරක්ෂා කිරීම පිණිස තව කෙනෙක් වකුගඩුවක් දීම
යනු කෙනකුට කළ නොහැකි පරිත්‍යාගයකි. එසේ වුව ද දානය පුරුදු පුහුණු කිරීම තුළින් ඒවා
වුව ද කිරීම අපහසු නැත. බෝසතාණන් වහන්සේ ශාරීරික කොටස් දන් දුන් ආකාරය බෞද්ධ
සාහිත්‍යයෙහි ඉතා ප්‍රකට ය. ඇස්, ඉස්, මස්, ලේ යනාදී ශාරීරික කොටස් බවයෙන් බවයට
පරිත්‍යාග කර මුළු ජීවිතය ම පරිත්‍යාග කිරීමට තරම් සිත දියුණු කර ගත්හ. අඹුදරුවන්
පවා දීමට පසුබට නොවූ උන් වහන්සේ ඒ සියල්ල සිදු කළේ ඒ සියල්ලට ම වඩා පරිත්‍යාගය
සංසාර දුකෙන් ලෝක සත්ත්වයා එතෙර කරවීමට ශක්තියක් වන නිසයි.
“සබ්බ දානං ධම්ම දානං ජිනාති”
වශයෙන් දේශනා කළේ කෙසේ කොහොම දන් දුන්න ද ධර්ම දානය, ඒ සියල්ල පරදවා ජය ගන්නා බවයි.
එයට හේතුව සත්වයා සංසාර දුකින් අතමුදවන එකම බලවේගය ධර්මය ම පමණක් වීමයි.
එසේ නම් අප සෑම කෙනකුගේ ම මුළු ජීවිතය පුරාම බැඳී පවතින දානය නොහොත් පරිත්‍යාගය නම්
වූ එම උතුම් ක්‍රියාවලිය තව තවත් ප්‍රගුණ කිරීමට අප උත්සුක විය යුතු ය. ලෞකික හා
ලෝකෝත්තර දෙඅංශයට ම වැදගත් වූ එම උතුම් ක්‍රියාදාමයට අප මොහොතක් පාසා ළං විය යුතු ව
ඇත. විශේෂයෙන් අද එහි වටිනාකම වෙනදාටත් වඩා දැනෙනු ඇත. මනස සුවපත් කරන උතුම් මාහැඟි
ක්‍රියාදාමයක් වූ දානය තුළ නිරත වීම නිසා මුළු දිවිය ම සාර්ථක වනු නියත ය.
පැරැණි ලක්දිව බලු කපුටු දාන, පිපාසය සංසිඳුවා ගැනීමට පින්තාලිය, දන්සල් පැවැත්වීම
ආදිය සිදු කළේ දානයේ අනුසස් දැන හැඳිනගෙන එය සමාජමය ක්‍රියාවලියක් බව සිතා ය. අද
යුගය තුළ ද ඒවා අමතක නොකොට අපට හැකි පමණින් අන්‍යයන්ට උපකාර කිරීම සිදු කළ යුතුව
ඇත. එය දානය නම්, අතිඋතුම් ගුණාංගය තුළ නිමග්න ව සිදු කිරීම ඉතා වැදගත් වේ. |