Print this Article


නව ආධිපත්‍ය ධුරයට

නව ආධිපත්‍ය ධුරයට

දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක , උපාධ්‍යාය ධුරන්ධර, අග්ගමහාපණ්ඩිත මැටරඹ හේමරතන නාහිමිපාණන් වහන්සේ අපවත් වීමෙන් පුරප්පාඩු වූ ගාල්ල යටගල රාජමහා විහාරය , රුහුණු මාගම සිතුල්පව්ව රාජමහා විහාරය , රුහුණේ මගුල් මහාවිහාරය, උණවටුණ වැල්ලේ දේවාල විහාරය, යද්දෙහිමුල්ලේ අමරසිංහාරාමය, තල්පේ හැඩිදෙමළකන්දේ සේලුත්තරාරාමය, උණවටුණ බෝධිරාජ විහාරය, අම්පිටියාගොඩ ගුණරතනාරාමය යන අෂ්ට මහා විහාරස්ථාන සහ කළුතර බෙත්තාරාමය, ඓතිහාසික ආකාසචේතිය රාජමහා විහාරය යන තදනුබද්ධ විහාරස්ථානයන්හි ආධිපත්‍යය සහ හෙට්ඨාචල පරිවේණාධ්‍යක්ෂ පදවිය යටගල රාජමහා විහාර සඟ පරපුරේ සෑම හිමිනමකගේ ම එකඟත්වයෙන් සම්මුති පත්‍රයක් මඟින් විශ්‍රාමලත් විදුහල්පති ශාස්ත්‍රපති තල්පේ අරියජෝති මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත පිරිනමා තිබේ.

තල්පේ අරියජෝති මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වී වදාළ ඉලුක්පිටියේ ජිනරතන මාහිමි, වත්තේහේනේ රතනසාර නාහිමි සහ වත්තේහේනේ පියරතන මාහිමි යන හිමිවරුන්ගේ ආචාර්යයත්වයෙන් පැවිදි බව ලබා වත්තේහේනේ රතනසාර නාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් 1966 වර්ෂයේ දී මල්වතු මහා විහාරයේ දී උපසම්පදාව ලබා තිබේ.

විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ උපාධිධරයකු වන අභිනව නාහිමිපාණන් වහන්සේ අපවත් වී වදාළ මැටරඹ හේමරතන නාහිමිපාණන් වහන්සේගේ කනිෂ්ඨ පැවිදි සහෝදරයා වන අතර යටගල රාජමහා විහාර සඟ පරපුරේ වැඩ සිටින ජ්‍යෙෂ්ඨතම සංඝ නේතෘවරයණන් වහන්සේ වෙති.