Print this Article


පහන් සිතක කවි

සඟමිත් ගුණ ගී

රජ කළ යුගයක දී මිසදිටු බමුණු බලේ
වනිතාවගෙ දිවිය මුළුතැන් ගෙයට කළේ
පිබිදෙවු වසන්තය ජිවන සුවඳ මලේ
සිළුමිණ වුණා වනිතා පරපුරට හෙළේ

කොටුවූ බිත්ති හතරට දුක්ගැනවිල්ල
කවුරු ද කියන්නේ ඇය විය සුළැඟිල්ල
වනිතාවනට පැළඳෙවු රන් මිණිතැල්ල
සඟමිත් උත්තමිය හෙළයට අරුණැල්ල

පිරිමිය උත්තම ය ගැහැනිය පිළිකුල් ය
බමුණගෙ කුරිරු මත විසිරෙන පරඬැල් ය
පුමිතිරි වෙනස්කම ගුණ නැණ ළඟ බොල් ය
මඟ පල නිවන් උරුමය ඇය නිවහල් ය

පියරජ සොයුරු ඇරයුම රැකවරණ හැදී
දෙවි දේවතාවරු නිරතුරුව වැදී
ජයසිරි බෝ සමිඳු පෙරටුව බැතින් රැඳී
සඟමිත් උත්තමිය හෙළයට වඩින ලදී

සැනසී නිවී දුක අසහන ගෙයින් ගෙට
මෙත් කරුණා දයා නිදහස විඳින්නට
සසුනෙහි පැවිදි වී මඟපල ලබන්නට
පින පෑදුනා ලක් අම්මා වරුන්හට


පසුතැවීම

සුවඳක් නෑ සතුටක් නෑ
සිත ගින්නෙක දැවෙනා
අඳුරු කුටියෙ නෙත කඳුළින්
මැරි මැරී උපදිනවා
තැටි පිඟානෙ ගිගුරුම් හඬ
ගල් වැලි පොරකන්නේ
තිබහට දෝතට නොවැටී
ලෝදිය ළයේ ගලන්නේ.....
ගිනි හඬ සඳ කිරණ ළඟයි
පූරුවේ කළ පාපෙන් දෝ
මැරී වැටෙයි මගෙ සිත තව
හන්දියේ කඩමණ්ඩියේ
මිතුරන් සතුරන් ළඟ නෑ
උණු කඳුළුයි ගත වෙළෙන්නේ
අඳුරු කුටියේ මැරි මැරී සිත
තව කොපමණ කල් මැරෙන්නේ........

මට බැහැ මගෙ සිත මරන්න
මම හොඳ මිනිහෙක් වෙනවා
පුංචි පුතුට සුදු දෝනිට
වරදක් නෑ සිත් බිඳකට
බුදු බණ ඇසෙනවඈතින්
කළ කම් පල දෙන වදනින්
කෙලෙස ද හිමියනේ මිදෙන්නේ
සිත කළ මේ පාපෙන්....


මුනිදුනි

සුදොවුන් රජතුමා පිවිතුරු පියතුම වූවා
මහමායා දේවිය නිර්මල මව්තුමි වූවා
සිදුහත් කුමරු මෙම දෙපළගෙ පුතු වූවා
මෙම පුත් කුමරු මරු පරදා බුදු වූවා

මුනිදුන් තමයි සද්ධර්මයෙ භාර කරු
බුදු බව පිණිස සසෙර් පාරමී පිරු
පැරදු සේක ඝොර සසරේ රුදුරු මරු
මුනිදුනි ඔබයි මේ ලෝකේ දිලෙන හිරු


ගුරු උතුමාණෝ

සිප් සතර
ලබා දුන්
පැවිදි ගුරු දෙව් උතුමන්
මහණකමේ අරුතින්
ජීවිතය සරු කළෝ
ගුරු දේවයාණෝ
බණ දහම් පොත
වන පොත් කර දුන්
ධම්මපදය බණ පොත
වන පොත් කර දුන්
ගුරු දෙව් උතුමාණන් වහන්සේ
බණ පොතේ අරුතින්
ජීවිතය අරුත්බර කළ
පොඩි කාලයේ පටන්
දහමට සිත යොමු කළෝ
උතුම් පැවිදි ගුරු දේවයාණෝ

අපවත් වී වදාළ පැවිදි ගුරු නාරම්මල ශ්‍රී සීලවතී පිරිවෙන් විහාරාධිපති පූජ්‍ය පණ්ඩිත කොබ්බෑවල ධර්මපි‍්‍රය හිමිපාණන් වහන්සේට උපහාර පිණිසයි


බෝ සමිඳු පිහිටෙන් ...

ජයබෝ මුලදි හිමි බුදුබව ලබන වෙලේ
දස බිම්බරක් මරුබල දුරු කරපු බලේ
දහසක් දහම් මන අරිසත් දෙසපු වෙලේ
මහසත් වැඩ සිටියෙ මිගදා අරණෙ කැලේ

බෝ හිමි පිහිටියේ මහමෙව්නා උයනේ
රන්මැලි මහසෑය අනුරාපුරයෙ උනේ
නිරිඳු දුටුගැමුණුමයි ඒ සෑය කළේ
රැස් කිරණින් බැබළෙනවා සෑම කලේ

මිහිඳු සමිඳු වඩ මිස්සක පව්ව වෙත
පෑතිස් නිරිදු දඩකෙළියේ පැමිණි සඳ
රෑ හඳපානෙ දුනු දිය ඇද මුවකු වෙත
ඒ සඳ අදත් පායනවා අඳුර බිඳ

සඟමිත් රහත් මෙහෙණින් බෝ වැඩමෙව්වා
පෑතිස් නිරිඳු ජයමහ බෝ පිහිටෙව්වා
ඒ බව බෝධි වංශය අපහට කිව්වා
ජය බෝ සමිඳු පිහිටෙන් සැනසුම වේවා


දෙදහස් විසිහතරට යමු...

හිරු එන පෙර මඟ අහසේ එළියයි
හිරුදෙවි මංගල ගමනේ සිරියයි
තුරු හිස කූජන ගායනවලිය යි
පිරුවට එළමින් මිහිඳුම නළියයි

පිනි බිඳු බැබළෙන තරු මෙන් දිලිසේ
පැණි බිඳු පිරිලා මල් කෙමි හිනැහේ
තැබු තැබු පියවර බාධක දුරු වේ
හිරු තෙද බලයෙන් සැමට ම ජය වේ

සුදු පිරුවට ඇඳ පේවී ගන්නේ
සුදු මල් වට්ටිය දෝත දරන්නේ
සුදු පින් සිතිවිලි සිහියට ගන්නේ
බුදු හිමි පා මුල සිරස නමන්නේ

පහන් දොරින් හිරු එන මඟ එළිවෙන
පහන් තිරෙන් බුදු කුටිය ද එළිවෙන
පහන් සිතුම් සිතිවිලි නෙක පුබුදන
පහන් වේවි ලොව දොස් හැර මතු දින


වෛරය දුරුවී

ගිජිකුළු පව්ව පාමුල වඩිනා සමිඳු න්
දැක වෛරය ඇවිස්සී දෙව් දත් තෙරිඳු න්
පෙරළු ගලට රුකුල් දුනි තව ගල් දෙකකි න්
බුදු කෙනෙකුන් නසන්නට ලොව නැත ජගතු න්

වැඩිවෙන තුරුම රා පෙවු නාලාගිරි ට
සමිඳුන් වඩින මග යැවුවයි පෙර මග ට
දූවිලි අවුස්සා එන කුංජර යකු ට
බිය වී දනෝ දිවුවයි සී සී කඩ ට

දිවි රැක දුවන මවු ඇකයෙන් වැටි දරු වා
දෙස නෙත් යොමා ආ ඒ දරුවගෙ මරු වා
ශ්‍රී හස්තයට මෙත් දිය දෝතක් පුර වා
විසිරෙව් සැණින් දමනය වී දණ නැමු වා