Print this Article


මරණය සිහි කිරීම අසුබ ද?

මරණය සිහි කිරීම අසුබ ද?

දුප්පත්, පොහොසත්, උගත්, නූගත්, රූපී, විරූපී, ස්ත්‍රී, පුරුෂ, බාල, මහලු, බලවත්, දුර්වල ආදී නොයෙක් බෙදා වෙන් කිරීම් ලෝකයේ කොතෙක් දකින්නට ලැබුණත් සම්බුද්ධ ශාසනයේ මේ සියලුම දෙනා බෙදෙන්නේ කොටස් දෙකකට යි. ඒ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා සහ අශ්‍රැතවත් පෘථග්ජනයා ලෙසයි.

ඒ ශ්‍රැතවත් ශ්‍රාවකයාත්, අශ්‍රැතවත් පෘථග්ජනයාත් මෙතරම් දුරක් රැගෙන ආවේ, මේ බියකරු සසර යි. සසරේ ස්වභාවය එය යි. අපගේ සිත ම තමයි අපට සසරේ මේ තරම් දුරක් සුගති, දුගති ලෝකවල ඉපදෙන්නට කටයුතු කළේ. මේ සිතමයි අපව කුසල් දහම් තුළ යොදවන්නේත් පාපයටත් යොදවන්නේත් අපට භාග්‍යවතුන් වහන්සේ වදාළේ මේ සිත විශ්වාස නොකර සිත වඩන්න කියලයි. මේ සිත පුළුල් කරගෙන ධර්මය පුරුදු කරන ලෙසට යි. එයට අපට උපකාරී වන්නේ සමථ හා විදර්ශනා භාවනා යි.

ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඇත්ත ඇති සැටියෙන් දකින්න සිත පුහුණු කරමින් ඉන්න කෙනෙක්. ලෝක ධර්මයන්ට මුහුණ දෙද්දී ඔහුට සිහිවෙන්නේ ම භාග්‍යවතුන් වහන්සේ වදාළ සුමිහිරි දහම යි. බුදුරජාණන් වහන්සේ මේ ලෝකය අවබෝධ කරගත් බවත්, ඒ ශ්‍රී සද්ධර්මය මුල, මැද, අග පිරිසුදු දහමක් බවත්, ඒ ශ්‍රාවක සංඝරත්නය හැම කල්හිම රාග, ද්වේෂ, මෝහ නසන ප්‍රතිපදාවේ ගමන් කරන බවත් සිහි කරනවා.

ඒ අතරට ඒ ශ්‍රාවකයා මෙනෙහි කරනවා මේ හැමදේ ම දුකයි, දුකට අයිති දේ වෙනස් වෙනවා. වෙනස් වන දේ තමා වසඟයේ පවත්වන්නට බැහැ කියලා ඒ අතරට නිරන්තරයෙන් මෙත් සිත පුරුදු කරනවා. බුදු ගුණ, දම් ගුණ, සඟ ගුණ සිහි කරනවා. තමා රකින සීලය සිහිකරමින් සීලානුස්සති භාවනාව පුරුදු කරනවා. මේ හැම ආකාරයට ම ශ්‍රැතවත් ශ්‍රාවකයා වඩන්නේ, ගමන් කරන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ යි.

ඒ අතරට ශ්‍රාවකයා විශේෂ දෙයක් කරනවා. ඒ අප්‍රමාදී වීමයි. අප්‍රමාද වීමට ඔහු නිතර නිතර මරණ සතිය වඩනවා. “මම මේ මොහොතේ හෝ මිය යන්න පුළුවන් කෙනෙක්” කියා සිහි කරනවා. මේ ශරීරය බොහෝම පරිස්සමට පරිහරණය කළ යුතු දෙයක් බව ශ්‍රාවකයා දන්නවා. මරණය කියන ධර්මතාවට මම ඕනෑම මොහොතක නිරාවරණය වෙලා සිටින්නේ කියා ඔහු අවබෝධයෙන් පසුවෙනවා. එනිසා ම ඔහුට වෙලාවක් හෝ අවස්ථාවක් නැහැ අනුන් ගැන සොයන්න. ඕපාදූප කතා කරන්න. වෛරය, ද්වේෂය, ගුණමකු බව සිතේ පෝෂණය කරන්න. සාධාරණ, අසාධරණකම් වැරැදි අඩුපාඩු සමඟ ඔට්ටු වෙන්න කාලයක් නැහැ. නූපන් කුසල් උපදවන්නත්, උපන් කුසල් වැඩි දියුණු කරන්නත් ආර්ය ශ්‍රාවකයා අප්‍රමාදි වෙනවා. උපන් අකුසල් ප්‍රහාණය කරන්නත්, නූපන් අකුසල් නූපදවා සිටින්නටත් ඔහු අප්‍රමාදී වෙනවා. ඒ අප්‍රමාදී බව උපදින්නේ සිත විශ්වාස කිරීමෙන් නොවෙයි. ධර්මය විශ්වාස කිරීම තුළින්.

මරණය කියන දේ අපට නුහුරු නුපුරුදු වචනයක් නොවේ. අප කුඩා කාලයේ පටන් අසා තිබෙනවා ආච්චි මැරුණා, සීයා මැරුණා, බාප්පා මැරුණා කියලා. නමුත් ඇතැම් වෙලාවට අද වෙනතුරුත් අපට පැහැදිලි තේරුමක් නෑ ඒ මරණය කියන අකුරු හතර ගැන. අප සමාජයේ අතැම්විට මරණය ගැන කියූ විට මූසල කථා කියන්න එපා කියලා කියනවා ඔබත් අසා ඇති. ඒත් ඉපදීම තුළ ඇත්තේ මරණය පමණයි. ඉපදීම සමඟ අපි ලෙඩවීම, වයසට යාම, සහ මරණය උරුම කරගෙනයි එන්නේ. එය නියත දෙයක්ය. කිසිවකු නො මළ ගෙයක් හොයා ගන්න බැහැ. ඒ වගේම අපගේ ආදරණීයන් මරණයට පත් වෙද්දී ඔහුගේ හෝ ඇයගේ ගුණ කියමින් අපි හඬා වැළපෙනවා. දුක් වෙනවා. නමුත් කාලයත් සමඟ ඒ දේට හුරු වීමක් අප තුළ පිහිටනවා.

එනිසා බුදුරජාණන් වහන්සේ සරණ ගිය ආර්ය ශ්‍රාවකයන් ලෙස අපිත් මරණය කියන ධර්මතාව ය ට මුහුණ දීමට ජීවත්ව සිටිය දී ම පුරුදු පුහුණු වෙමු. මරණානුස්සතිය දිනපතා වඩමු. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කොට සසර දුකින් මිදීමට අධිටනක් ඇති කර ගනිමු.