Print this Article


සතුට සැනසුම යුතුකම් ඉටුවන තරමට ය

සතුට සැනසුම යුතුකම් ඉටුවන තරමට ය

දස මසක් කුසෙහි දරා, අපමණ දුක් විඳ, ගතෙහි ශක්තිය කැටිකොට කිරි කර පොවා හදා වඩා, කවා පොවා පෝෂණය කර අප ව රැක බලා එන්නේ මව්තුමියයි. තම කුසෙහි පිළිසිඳ නොගත්ත ද, ලේ කිරි බවට පත් නොවුණ ද සිය ශරීරය ද ඒ තරමට ම වෙහෙසා, අපමණ දහදිය මහන්සියෙන් මව සේ ම අපගේ දුක සැප දෙකෙහි ම ඉන්ද්‍රඛීලයක් මෙන් නොසැලී, අප රැක බලා ගත්තේ පියතුමායි.

මේ නිසා ම අපගේ තථාගත බුදුරජාණන් වහන්සේ “මාතා පිතු ගුණ අනන්නා” ලෙසින් මව්පියන්ගේ ගුණ අනන්ත බව දේශනා කළ සේක. මව්පියෝ දරුවනට බොහෝ උපකාර ඇත්තෝ ය. දරුවන්ගේ ජීවිත රකින්නෝ ය. පෝෂණය කරන්නෝ ය. යනුවෙන් වදාළ සේක.

ඒ වගේ ම මව්පියෝ තම සිත, ගත ගැන නොසලකා තම දරුවන් සනසන්නෝ ය. තම කුස ගැන නොසිතා දරුවන්ගේ කුස පුරවන්නෝ ය. තමා කිසිදා නොලද සැප තම දරුවනට ලබා දීමට උත්සාහ ගන්නෝ ය. එලෙසම ගතින් සිතින් දිවා - රෑ දෙකෙහි ම සෙවණැල්ලක් මෙන් අත නොහැර තම දරුවන් සමීපයෙහි ම සිටින්නෝ ය. දරුවන්ගේ අඩු ලුහුඬු බොහෝ දුටුව ද දරු සෙනෙහස ඒ සියලු දේට යටපත් වී යනු ඇත. මව්පියන් සිය දරුවනට දක්වන සෙනෙහස, ඇල්ම මහ සයුරේ දිය කඳ පරදා යන තරම් ය.

අප මහ බෝසතාණෝ ද මව් - පිය උපස්ථානය උසස් ලෙස සැලකූහ. ඇත් රජු ව ඉපිද තම දෑස් අන්ධ මව පෝෂණය කළ අයුරු “මාතුපෝෂක” ජාතකයෙන් ද, පෙන්වා දේ. තම දෑස් අන්ධ මව හා පියා දෙදෙනා ම පෝෂණය කළ අයුරු “සාම ජාතකයෙන් කියයි.” වඳුරකුව ඉපිද තම මව වෙනුවෙන් සිය දිවි පිදූ අයුරු “නන්දිය” ජාතකයෙන් ද දැක ගත හැකි වේ. බෝසතාණන් වහන්සේ බුදු වූ පසු ද මව්-පිය ගුණ වැනීමෙන් පමණක් නොනැවතුණහ. බුදුරජාණන් වහන්සේ ආදර්ශයෙන් ම එය ලෝකයට පෙන්නුම් කළහ. ඒ තමන් වහන්සේ ඉපිද සතියකින් මියගිය මව සොයා දෙව්ලොවට වැඩමවා සදහම් දෙසූහ. තමන් වහන්සේගේ පියාණන් දකිනු පිණිස විසි දහසක් මහරහතන් වහන්සේ සමඟින් හැට යොදුන් මඟ පා ගමනින් ම වැඩම කළහ. උන්වහන්සේගේ ඉතා ආදර්ශ සම්පන්න හ. මේ නිසා ම සැරියුත් ආදී මහ සංඝයා වහන්සේ ද බුදුරජාණන් වහන්සේ අනුගමනය කළහ.

යම් පුද්ගලයෙක් දැහැමින් තම මවත් - පියාත් පෝෂණය කරන්නේ ද, මව්පියන් කෙරෙහි කරන ලද සත්කාරයෙන් ඔහුට මෙලොව දී ම නුවණැත්තෝ පසසත්. පරලොවෙහි දී ද දෙවියන් හා සතුටු වන්නේ ය” යැයි වංගීස සූත්‍රයෙහි සඳහන් ය.

“යමෙක් තම මවට - පියාට උපස්ථාන කරන්නේ ද හෙතෙම මට උපස්ථාන කරන්නාක් මෙන් යැයි ද බුදුරජාණන් වහන්සේ වදාළහ. මව්පියන්ට උපස්ථාන කිරීමෙහි යුතුකම නොපිරිහෙළා ඉටුකිරීම උතුම් මනුෂ්‍ය ගුණ ධර්මයකි. සම්බුද්ධ දේශනය පුරාම මේ පිළිබඳ සඳහන්ව ඇත.

යහපත් ගුණ ධර්ම පිරි මව්පියන් ලැබීමට දරුවන් ද, යහපත් දරුවන් ලැබීමට මව්පියන් ද පින් ඇත්තෝ විය යුතු ය. සුවහසක් පැතුම් ඇතිව දරුවන් හදා වඩා ගන්නා මවගේත්, පියාගේත් යුතුකම වන්නේ දරුවන් කවා පොවා පෝෂණය කිරීම පමණක් නොව, ගුණ නැණ දෙකෙන්ම පිරිපුන් දරුවන් බවට පත්කිරීමට උත්සුක වීම ය. තම දරුවා උගතකු පමණක් නොව ගුණවතකු බවට ද පත් කිරීම ලෝකයට ම යහපතකි. තම දරුවනට කාරුණික වීම, දයාබරිත වීම, යහපත, අයහපත මැනවින් පෙන්වා දීම අත්‍යවශ්‍ය වේ.

මේ යුගයේ දී ඉතා ප්‍රවේශමෙන් තම දරුවන් රැක බලා ගත යුතු කාලයක් ලෙස ද පැවසිය යුතුව ඇත. දරුවන් තම මව්පියන් ඉවසීම, ස්නේහයෙන් ළයෙහි හොවාගෙන දෙන ඔවදන් මැනවින් පිළිපැදීම, ලෝක සම්මත වැරැදිවලින් අත්මිදීම, යහපත් මිතුරු ඇසුර ආදිය පිළිපැදීම තරුණ දූ පුතුන්ගේ අනාගතයට ආශිර්වාදයකි.

තම මවගේත්, පියාගේත් ගුණය දන්නා සුජාත දරුවෝ සුවච කීකරු දරුවෝම ය. එබැවින් ඒ දරුවෝ කිසිදා තම මව්පියන්ගේ සිත් නොරිදවති. නොබිඳිති. තම මව්පියන් පුහුදුන් ය. ඇතැම් විටෙක නුසුදුසු, අයහපත් ගතිගුණ දුටුව ද ඒ ගැන සිතීම, වෛර කිරීම ද නො කරති. මව්පියනට නොසැලකීම පිරිහීමට හේතුවක් බව පරාභව සූත්‍ර දේශනයෙන් අනාවරණය කෙරේ. එය වසල ගතියක් බව වසල සූත්‍ර දේශනයෙන් ද පැහැදිලි කර දෙයි. අග්බෝ රජු තම මවට චෛත්‍යය වහන්සේ නමකට මෙන් ගරු සත්කාර ඉටු කළ බව මහාවංශයෙහි සඳහන් වේ.

මේ ගරාවැටෙන සමාජය තුළ තව තවත් අයහපතම වැපිරුවේ නම් අනාගතයේ දී එම සාපයෙහි පාපය භුක්ති විඳීමට සියල්ලන්ට ම සිදුවනු ඇත. එනිසා මව්පිය පෝෂණය හා උපස්ථානය යන මාහැඟි උතුම් ගුණය වියැකී සිඳීයෑමට ඉඩ නොදිය යුතු ය. මව්පියන්, දරුවන් ජීවත්වන නිවස ඉසුරින් පිරි දෙව් විමනක් කර ගන්නට නම් මව්පිය දූ දරු සැවොම යහපත් ලෙසින් ජීවත්විය යුතු ය.

“මනුෂ්‍යත්වය නොදත් උගතකු හැදීම අනාගතයේ දී උගත් රාක්ෂයකු බිහිකිරීමක් වැනි ය.” යනුවෙන් රාධක්‍රිෂ්ණන් පඬිතුමා ප්‍රකාශ කර තිබේ. ගුණ නැණ දෙකින් යුතු දරුවන් ම ඉතා ගරු බව සැලකිය යුතු ය.