Print this Article


තෙරුවන් සරණ යාමේ උත්තරීතර ඵලය

තෙරුවන් සරණ යාමේ උත්තරීතර ඵලය

අප බෞද්ධයන් බවට පත්වූයේ තෙරුවන් සරණ යාමෙනි. එක් වරක් නොව, දුතියම්පි, තතියම්පි වශයෙන් දෙවනුව ද, තෙවනුව ද තෙරුවන් සරණ යන්නෙමු.

බොහෝ විට මෙකල තෙරුවන් සරණ යාම සිදුවන්නේ සම්ප්‍රදායක් ලෙසනි. එනිසාම ඒ පිළිබඳ සොයා බැලීමක් කරන්නේ නම් ඒ ටික දෙනෙක් පමණි. මෙකල සියලුම දෙනා තෙරුවන් සරණ යන්නේ, ස්වාමින් වහන්සේ කෙනෙකු විසින් තෙරුවන් සරණයෙහි පිහිටුවීමෙනි. නමුත් බුදුරජාණන් වහන්සේගේ කාලයේ කෙනෙක් තෙරුවන් සරණ ගියේ ධර්මය ඇසීමෙන් පසු එම ධර්මය කෙරෙහි සිත පහදවා ගැනීමෙන් පසුව ය. මෙම සරණ යාම් දෙක අතර විශාල වෙනසක් ඇත.

බුදුරජාණන් වහන්සේගේ කාලයේ, කෙනෙක් ධර්මය අසා සිත පහදවා ගෙන, තෙරුවන් සරණ ගිය පසු කරනු ලබන ප්‍රකාශයක් බොහෝ සූත්‍ර දේශනාවල සඳහන් වේ. එනම්

“භාග්‍යවතුන් වහන්ස, අද පටන් ජීවිතය තිබෙන තෙක්ම මම තෙරුවන් සරණ ගිය උපාසකයකු ලෙස පිළිගන්නා සේක්වා. (උපාසකං මං භවංගෝතමෝ ධාරේතු අජ්ජතග්ගේ පාණුපේතං සරණං ගතං) යනුවෙනි.

මෙම ප්‍රකාශයෙහි කොතරම් ගැඹුරු අර්ථයක් තිබේ දැයි විමසා බැලිය යුතු ය.

මේ අයුරින් තෙරුවන් සරණ ගිය පුද්ගලයා ධර්මය කෙරෙහි ඇති පැහැදීම නිසා තවදුරටත් ධර්මයේ හැසිරෙන සිල්වත්, ගුණවත් අයකු බවට පත්වේ.

බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීමට පෙර සිටම බොහෝ දෙනා, පර්වත, ගිරිගුහා, වනස්පති, වෘක්ෂ ආදිය සරණ ගියේ තමන්ට යම් පිහිටක් පිළිසරණක් බලාපොරොත්තුවෙනි. මිනිසුන් තමන්ට ඇති වන බිය තැති ගැනීම නිසා පිහිට බලාපොරොත්තුවෙන් මෙවැනි ගස් වැල්, පර්වත සරණ ගිය බව “අග්ගිදත්ත” බමුණා ඇතුළු පිරිසට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ

බහුං වේ සරණං යන්ති – පබ්බතානි වනානිච

ආරාම රුක්ඛ චේතියානි – මනුස්සා බය තජ්ජිතා යන ධම්මපද ගාථාවෙන් පැහැදිලි වේ. නමුත් මෙවැනි ගස් වැල් සරණ යාම උතුªම් සරණ යාමක් නොවන බවත්, යමෙක් තෙරුවන් සරණ යන්නේ නම්, එය උතුම්ම සරණ යාම බවත්, එම තෙරුවන් සරණ යාමෙන් ආර්ය සත්‍යය අවබෝධ කළ හැකි බවත් ධම්මපදයේ අනෙක් ගාථාවන්ගේ විස්තර වේ. තෙරුවන් සරණ යාමේ අවසාන ප්‍රතිඵලය කුමක්ද යන්න මෙයින් ඉතා හොඳින් පැහැදිලි වේ.

යම් පුද්ගලයකු, වෙනත් පුද්ගලයකු හෝ ගස් වැල් ආදී යමක් සරණ යන්නේ, තමා තුළ ඇති අසරණකමක් උදෙසා පිහිට බලාපොරොත්තුවෙනි. මෙම අසරණ බව තාවකාලික දෙයක් විය හැකි ය. විවිධ පුද්ගලයන්ගෙන්, නෙපෙනෙන අද්භූත බලවේගයන්ගෙන් පිහිට පැතීම බොහෝ දෙනා තුළ දක්නට ලැබෙන සාමාන්‍ය දෙයකි.

තෙරුවන්ගෙන් පිළිසරණ බලාපොරොත්තු විය යුත්තේ මෙවැනි තාවකාලික ගැටලුවකට පිළිතුරක් වශයෙන් නොවන බව ඉහත ධම්මපද ගාථාවන්ගෙන් පැහැදිලි වේ.

අපි තෙරුවන් සරණ යන්නේ, ධර්මය හැර වෙනත් කිසිදු අයුරකින් පිළිසරණක් ලැබිය නො හැකි, උපන්නා වූ සියලු දෙනාට ම පොදු ගැටලු කීපයකට පිළිතුරක් ලබා ගැනීමේ අදහසිනි. එනම් වයසට යාම, ලෙඩවීම, මරණයට පත් වීම හා නැවත ඉපදීම යන ගැටලු වේ.

ලෙඩ වූ විට වෛද්‍ය විද්‍යාවේ දියුණුව නිසා ප්‍රතිකාර ගෙන සුව කර ගත හැකි ය. නමුත් නැවත ලෙඩවීමක් සිදු නොවේ යැයි කියා කිව නො හැකි ය.

වයසට යාම විවිධාකාර බාහිර උපක්‍රමවලින් වසා ගන්නට උත්සාහ කළත් එයින් නිදහස්වීමට කිසිවකුටත් බැරි වේ. මරණය හා නැවත උපත වෙනස් කළ හැක්කේ කාටද? ගිහි වේවා, පැවිදි වේවා, ස්ත්‍රියක් වේවා, පුරුෂයකු වේවා මෙම කරුණු හතර තමා පීඩාවට, දුකට පත් කරන බව නිතර සිහිපත් කළ යුතු බව (අභිණ්හං පච්චවේක්ඛිතබ්බං) බුදුරජාණන් වහ්නසේ “ඨාන” සූත්‍රයේ දී (අංගුත්තර නිකාය) දේශනා කොට වදාළා.

නිතර සිහිපත් කළ යුතු බව දේශනා කොට වදාළේ ඒ පිළිබඳ අපගේ අවධානය අඩු නිසාමය. නමුත් හොඳින් විමසා බැලුවොත් අපගේ ජීවිතයේ ඇති බරපතළම ගැටලු වන්නේ මෙම කරුණු බව හොඳින් ම පැහැදිලි ය. අනෙකුත් සියලු ගැටලු ප්‍රශ්නවලට කුමන හෝ විසඳුමක් සොයා ගත හැකි වුවත් මෙම ගැටලුවලට ධර්මය හැර වෙන කිසිදු පිළිසරණක් නැත.

මෙකල ද බොහෝ දෙනා තමන්ට ඇතිවන හදිසි කරදර විපත් සඳහා මෙන් ම තමන් තුළ ඇති අපේක්ෂා ඉටු කර ගැනීමේ අදහසින් පිරිත් දේශනා, බෝධි පූජා ආදී විවිධ වතාවත් සිදුකරනු දක්නට ලැබේ. ඒවායින් යම් ආකාරයක පිහිටක්, සැනසීමක් ලැබිය හැකි ය. නමුත් පරිපූර්ණ වූ පිළිසරණක් ලැබීමට නම් මෙවැනි පුද පූජා පමණක් ප්‍රමාණවත් නොවේ.

මෙහිදී, තෙරුවන් සරණ යාමෙන් ලෙඩවීම, වයසට යාම, මරණය යන ගැටලුවලට පිළිතුරක් ලැබෙන්නේ කෙසේද යන කරුණු ඉතා හොඳින් තේරුම් ගත යුතු ය. තෙරුවන්හි ඇතුළත් ධම්ම රත්නය පුද්ගලයකු නොවේ. පුද්ගලයකු නොවන දෙයක් අපට පිළිසරණ වන්නේ කෙසේද?

උපමාවක් ලෙස අප හොඳින් පුහුණුූ කළ ශිල්පයක් තිබේ නම්, ඒ ශිල්පය භාවිතයෙන් ආදායම් උපදවා ගෙන සතුටින් ජීවත් විය හැකි ය. එමෙන්ම, වයසට යාම, මරණය ආදියෙහි දී දුක් නොවී සිටිය හැකි ආකාරය ධර්මයෙහි කියා දෙයි. එම ධර්මයට අනුව අපගේ ජීවිතය පුහුණු කළහොත් අපට ද වයසට යාම, මරණය ගැටලුවක් බවට පත් නොකර දුක් නොවී සිටිය හැකි ය.

“ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී” (ධර්මයේ හැසිරෙන කෙනා ධර්මය විසින් ආරක්ෂා වේ) ධම්මික ථේර ගාථාවන්හි සඳහන් මෙම ධර්ම පාඨය බෞද්ධයන් බොහෝ දෙනකු විසින් දන්නා කරුණකි. මෙයින් පැහැදිලි වන්නේ පුද පූජා, වත් පිළිවෙත් ආදිය නිසා අද්භූත පිළිසරණක්, රැකවරණයක් ලැබෙන බව නොවේ. ධර්මයේ හැසිරීම යනු සීල, සමාධි, ප්‍රඥා වශයෙන් තමා තුළම ධර්මය දියුණුූ කර ගැනීමයි. පන්සිල්, අටසිල් ආදී සිල්පද සමාදන් වී ආරක්ෂා කිරීමේ දී, එය පංචනීවරණ යටපත් කොට සමාධිය පිණිස, මූලික වශයෙන් කය, වචනය සංවර කිරීමක් බව තේරුම් ගෙන තිබීම ඉතා වැදගත් ය. සීලය හොඳින් ආරක්ෂා කර ගන්නා අතරම සමාධිය පිණිස ද උත්සාහ දැරිය යුතු ය.

සමාධිය, අවබෝධය පිණිස උපකාර වන බව “සමාධිං භික්ඛවේ භාවේත, සමාහිතෝ, භික්ඛවේ භික්ඛු යථාභූතං පජානාති” මහණෙනි සමාධිය පුරුදු කරන්න, සමාධිය පුහුණූු කළ භික්ෂුව සත්‍යය ඒ අයුරින්ම අවබෝධ කරයි යන සම්බුද්ධ දේශනාවෙන් ඉතා හොඳින් ඔප්පු වේ. සීල, සමාධි, ප්‍රඥා යන මේ ප්‍රතිපදා මාර්ගයෙන් හැර, වෙනත් අයුරකින් පරිපූර්ණ රැකවරණයක් බලාපොරොත්තු වීම ධර්මය තුළම මුළාවට පත්වීමකි.

සියල්ල අවබෝධ කළ බුදුරජාණන් වහන්සේ ද, රහතන් වහන්සේද, වයසට ගියහ. මරණයට පත්වූහ. (පරිනිර්වාණයට පත්වූහ) එසේ නම් ධර්මය අවබෝධ කිරීම, වයසට යාම, මරණය ආදියට පිළිතුරක් වන්නේ කෙසේද? ධර්මය අවබෝධ කිරීමේ ප්‍රතිඵලය නම්, වයසට යාම, මරණය ආදිය වැළැක්වීම නොව ඒ අවස්ථාවල දී දුකට වැළපීමට පත් නොවීමයි.

බොහෝ විට අප දන්නේ රහතන් වහන්සේ නැවත උපතක් නො ලබන නිසා දුකින් නිදහස් වූ බවයි. එය ද සත්‍යයකි. නමුත් රහතන් වහන්සේ මේ ජීවිතයේ දී ම, දුකට හේතුවන කිසිවක දී දුකට පත් නොවේ. මම, මගේ යන අදහස ඇති තාක් සියලු දෙනාම විවිධ ආකාරයෙන් දුකට පත් වේ. මම, මගේ යන අදහස මුළුමනින් ම ප්‍රහානය කළ (දුරු කළ) රහතන් වහන්සේ කිසිදු කරුණකින් දුකට පත් නොවේ.

“අධිමුත්ත” රහතන් වහන්සේ එක්තරා අවස්ථාවක කැලයක් මැදින් ගමන් කරයි. කැලයේ සිටි සොර මුලක් අධිමුත්ත රහතන් වහන්සේ අල්ලාගෙන, මරා බිලි පූජාවක් දීමට සැරසෙයි. සොරුන් බිලි පූජාවට අවශ්‍ය දේ රැස් කරමින් ආයුධ මුවහත් කරමින් ගිනි දල්වන විට උන්වහන්සේ පසෙකට වී භාවනා කරයි. මෙය දුටු සොර නායකයා උන්වහන්සේ වෙතට පැමිණ පුදුමයට පත් වී මෙසේ ප්‍රකාශ කරයි.

“ස්වාමීනි, මීට පෙර අපි මනුෂ්‍යයකු බිලි දෙන්නට සැරසෙන විට, ඒ පුද්ගලයා විලාප දී ඇඬුවා. සමහර පුද්ගලයන්ට සිහි නැති වුණා. ඒ සියලුම දෙනා තමන්ව නිදහස් කළොත් තමන් සතු සියලු ධනය අපට දෙන බව පැවසුවා. ඒත් ඔබ වහන්සේ කිසිම බියක්, තැති ගැනීමක් නැතිව ඉතාම සතුටින් නිහඬව භාවනා කරනවා.” අධිමුත්ත මහරහතන් වහන්සේගේ පිළිතුර වූයේ

මට අතීතයේ සිටි බවට ද, අදහසක් නැත. අනාගතයේ සිටිය යුතු බවට ද අදහසක් නැත. සංස්කාරයෝ ඇතිව නැතිව යයි. මා කුමකට වැළපෙන්න ද?

මෙවැනි අභීත ප්‍රකාශයක් කළ හැකි වූයේ ධර්මයෙන් ලත් පිළිසරණ නිසා ය. තෙරුවන් සරණ යාමේ උත්තරීතර ප්‍රතිඵලය මෙයයි.