Print this Article


සුවපත් මනසක් සුවබර දිවියක් - 09 කොටස: යටි සිතේ සැඟව ඇති උදාර ගුණාංග මතු කර ගනිමු

සුවපත් මනසක් සුවබර දිවියක් - 09 කොටස:

යටි සිතේ සැඟව ඇති උදාර ගුණාංග මතු කර ගනිමු

නිරවුල් මනස ජීවිතයේ බොහෝ ප්‍රශ්නවලට නිවැරැදි විසඳුම් ලබා දෙයි. එහෙත් කාර්ය බහුල බව නිසාම බොහෝ දෙනාගේ මනස නිරතුරුව ම ව්‍යාකූල ය. සිත පහසුවෙන් දියුණු කර ගැනීමට භාවනාව උපකාරි වුව ද ආචාර්ය ඇසුරකින් තොරව භාවනාව නිසි ලෙස වැඩිය නොහැකි ය. ලෝකයේ භාවනාවට අවධානය යොමු කරන බොහෝ දෙනා ථෙරවාදී නිකායන්ගේ භාවනානුයෝගිත්වය මහත් සේ අගය කරති. ඒ අතරෙන් ගුරුවරයකු සේ භාවනාව පහසුවෙන් වැඩීමට උපයෝගී කර ගත හැකි කෘතියක් ලෙස ලොව පිළිගැනෙන්නේ ආචාර්ය හේනේපොල ගුණරතන මහනාහිමි විසින් රචිත ර්ඪදඤටභතදඥඵඵ ඪද නතචඪද ඡ්දඨතඪඵඩ (සතිමත් බව වැඩීම) කෘතියයි. එම කෘතිය භාෂා 32කට පරිවර්තනය වී ඇති අතර, අමෙරිකාව තුළ පමණක් මුද්‍රිත පිටපත් ලක්ෂ සියයක් ඉක්මවා අලෙවි වී ඇත. උන්වහන්සේගේ සතිමත් බව වැඩීමේ ලිපි පෙළ සෑම පසළොස්වක පෝදාක ම බුදුසරණ පුවත්පතේ පළවන අතර මේ එම ලිපි මාලාවේ නව වැන්නයි.

භාවනාව පුහුණු වීමෙන් පසු මෙම පුරුද්ද අපගේ පැරැණි මමත්වයෙන් කෙරෙන සංසන්දනය වෙනුවට ආදේශ වී අනාගතයේ දී එය ඉතා ස්වභාවික ලෙස, පෙනෙනු ඇත. එහි ප්‍රතිඵල වශයෙන්, අප හොඳ තේරුම් ගැනීමේ හැකියාවක් ඇති පුද්ගලයින් බවට පත් කෙරෙයි. අනෙක් අයගේ අඩුපාඩු පිළිබඳ අපි එවිට කලබලයට පත් නොවෙමු. සියලු ජීවීන් සමඟ සමාදානයෙන් සිටීමට අපි පුරුදු වෙමු.

භාවනා අරමුණු බොහෝ තිබෙන නමුත්, තරමක් දුරට හෝ මානසික ඒකාග්‍රතාවක් අත්කර ගැනීම සඳහා ඔබගේ මුළු අවධානය ම හුස්ම හෙළීම මත යොමු කිරීමෙන් පටන් ගන්නා ලෙස අපි අවධාරණය කරමු. ඔබ මේ පුහුණු වන්නේ ගැඹුරු සමාධියක් හෝ ශුද්ධ මානසික ඒකාග්‍රතා ක්‍රමයක් නොවන බව සිහි තබා ගන්න. ඔබ පුහුණු වන්නේ එළැඹි සිහිය ඇතිකර ගැනීමට ය. ඒ සඳහා අවශ්‍ය වන්නේ යම් ප්‍රමාණයක චිත්ත ඒකාග්‍රතාවක් පමණ ය.

ඔබ බලාපොරොත්තු වන්නේ එළැඹි සිහිය වර්ධනය කරගෙන ඒ තුළින් සත්‍යය තේරුම් ගැනීමට උපකාරී වන විදර්ශනාව හා ප්‍රඥාව ලබා ගැනීමට ය. මනස හා සිරුර අතර පවතින සංකීර්ණ ක්‍රියාකාරී සම්බන්ධතාව ගැන දැන ගැනීමට ද ඔබට උවමනාව ඇත. ජීවිතය සැබෑ සාමකාමි හා ප්‍රීතිමත් එකක් වීම සඳහා සියලුම මානසික පීඩාවන් පළවා හැරීම ඔබගේ බලාපොරොත්තුවයි.

පවතින දේ ඒ ආකාරයෙන් ම දැක ගන්නා තෙක් සිත පවිත්‍ර කළ නොහැක. “දේවල් පවතින ආකාරයෙන් ම දැකීම” යන්නෙහි අර්ථය එතරම් පැහැදිලි නැත. භාවනාවට ආධුනිකවූවන් මෙහි අරුත කුමක් දැයි විමසති. හොඳීන් දෑස පෙනෙන ඕනෑම කෙනෙකුට සියල්ලක් ම පැහැදිලිව බලා ගත හැකි හෙයිනි.

භාවනා පුහුණුව මඟින් ලබා ගන්නා, “ඇති දේ ඒ සැටියෙන් දැක ගැනීම” ගැන සඳහන් කරන විට, පියවි දෑසෙන් දැක ගැනීම අදහස් නොකෙරෙයි. ඒ ප්‍රඥාව තුළින් දැක ගැනීම වෙයි. එනම් ලෝභ, ද්වේෂ, මෝහ ආදිය නිසා පක්ෂපාතී නොවූත්, පූර්ව නිගමන නිසා කිළිටි නොවූත් දැක්මකින් කායික මානසික ක්‍රියාකාරකම් ඒ සැටියෙන් ම දැකීමයි. අප්‍රසන්න සිදුවීම් සඟවා හෝ නොසලකා හැර ප්‍රියජනක දේ පමණක් ග්‍රහණය කර ගැනීමට සාමාන්‍ය ජීවිතයේ දී අපි පුරුදුව සිටිමු. මෙයට හේතුව අපගේ සිතට ආශාව, ක්‍රෝධය හා මුළාව මගින් කරන බලපෑම් ය. මමත්වය හෝ “තමා” යන සංකල්පය අපගේ විනිශ්චයට බාධා ඇතිකර, විකෘති කරයි.

අප එළැඹි සිහියෙන් යුතුව ශාරීරික දැනීම් දකින විට, ඒවා මානසික නිර්මාණ සමඟ පටලවා නොගත යුතුයි. මක්නිසාද, කිසිම මානසික බලපෑමකින් තොරව වුවද ශාරීරික දැනීම් හටගත හැකි බැවිනි.

උදාහරණයක් ලෙස ගත් කල, දිගු වේලාවක් වාඩි වී සිටින විට පාදයේ හෝ පිටකොන්දේ අපහසුතාවක් ඇතිවීමට පුළුවන. එය මනසට වහාම දැනී ඒ පිළිබඳ බොහෝ සිතිවිලි ඇති කරයි. එවිට, එම හැඟීම් මානසික නිර්මාණයක් සමඟ පටලවා නොගෙන, වේදනාව වෙන් කොට ගෙන, එය සිහියෙන් දැකිය යුතුයි. වේදනාව විශ්ව මානසික සාධක හතෙන් එකකි. ස්පර්ශය, සංජානනය, අවධානය, චිත්ත ඒකාග්‍රතාව, ජීව බලය හා චේතනාව ඉතිරි මානසික සාධකයන් ය.

තවත් අවස්ථාවක අපට, අමනාපය, බිය හෝ රාගය වැනි චිත්ත වේගයක් ඇතිවුනා යැයි සිතමු. එවිට, වෙනත් කිසිවක් සමඟ පටලවා නොගෙන ඇති සැටියෙන් ම ඒ දෙස බැලිය යුතුයි. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන යන ස්කන්ධ කොටස් සියල්ල එක මිටියකට ගෙන, සියල්ලම වේදනා නොහොත් විඳීම් යනුවෙන් වැරැදි ලෙස සිතුවොත් වේදනාවට හේතුව අපහැදිලි වීමෙන් අපි මුළාවට පත්වෙමු. අන් සියලුම මානසික සාධක නොසලකා හැර, වේදනාව (විඳීම) පිළිබඳ පමණක් කල්පනා කරන විට, සත්‍යය වටහා ගැනීම අසීරු වෙයි.

අපගේ අසන්තෘෂ්ටිය හා අවිද්‍යාව (ඇත්ත ඇති සැටියෙන් නොදැකීම) ජය ගැනීම සඳහා අනිත්‍ය පිළිබඳ ප්‍රත්‍යක්ෂ දැනුම ලබා ගැනීමට අවශ්‍යය. අසන්තෘෂ්ටිය ගැන ලබන ගැඹුරු දැනුම එයට හේතු වන තෘෂ්ණාව ජය ගැනීමට උපකාරී වෙයි. මමත්වය පිළිබඳ වැරැදි වැටහීමට මුල්වන අවිද්‍යාව ජය ගැනීමට අනාත්මතාව පිළිබඳ දැනුම උපකාරී වෙයි. මෙම ගැඹුරු දැනුම් ලබා ගනු සඳහා අප මුලින් ම සිත හා කය වෙන වෙන ම දැකිය යුතු ය. ඒ සමග ම ඒ දෙක අතර පවත්නා අන්‍යොන්‍ය සම්බන්ධය ද දැකිය යුතු ය. අපගේ දැනුම තියුණු වීමත් සමඟ සිත හා කයට අයත් සියලු ස්කන්ධ කොටස් එකිනෙකට උදව්වන සැටිත් කිසිදු එක් කොටසකට තනිව පැවැත්මක් නැති බවත් දකින්ට හැකි වෙයි.

මෙහිදී ශක්තිමත් සිරුරක් සහිත අන්ධ මිනිසා හා දෑස පෙනෙන නමුත් ඇවිදීමට නොහැකි මිනිසා සම්බන්ධ ප්‍රකට උපමාවේ නියම තේරම පැහැදිලිව ම දැක ගැනීමට පිළිවන. ඔවුන් දෙදෙනා එක් වූ විට, අන්ධ මිනිසාගේ කර මත වාඩිවන අබ්බගාත මිනිසා ඔහුගේ මඟ පෙන්වන්නා වී දෙදෙනාගේ ම ඉලක්කය කරා පහසුවෙන් යා හැකි බව මනාව පෙන්නුම් කරයි.

එලෙසම, ශරීරයට තනිවම කිසිවක් කළ නොහැකි ය. එය හරියට අනිත්‍යයේ සත්‍යයට ගොදුරු වී, ජරාවට පත් වී, මරණයට පත්වෙනවා හැරෙන්නට වෙනත් කිසිවක් කර ගත නොහැකි ලී කොටයකට සමාන ය. සිරුරේ සහාය නොමැතිව, මනසට පමණක් කළ හැකි කිසිවක් ද නැත. එක් වී, ඔවුන් කෙතරම් පුදුමාකාර දේ කරනවා ද කියා, මනස හා සිරුර දෙස එළැඹි සිහියෙන් යුතුව බලන අපට මනාව වැටහෙයි.

එකතැන වාඩිවී සිටීමෙන් තරමක් දුරට එළැඹි සිහිය වඩා ගැනීමට අපට හැකි වන්නේ ය. දින කිහිපයක හෝ මාස කිහිපයක ධර්ම විවේකයකට ගොස්, අපගේ හැඟීම්, දැනීම්, අප්‍රමාණ සිතිවිලි සමූහය හා විඥානයේ විවිධ තත්ත්වයන් නිරීක්ෂණය කිරීම මගින්, ක්‍රම ක්‍රමයෙන් අප සන්සුන් හා සාමකාමී බවට පත්වේ. සාමාන්‍ය ජීවිතයේ දී එක තැනකට වී භාවනා කරමින් මුළු කාලයම ගත කරන්නට ඉඩකඩ ලැබෙන්නේ නැත. එම නිසා අපගේ එදිනෙදා ජීවිතයේ දී බලාපොරොත්තු නොවූ තත්ත්වයන් ඇතිවූ විට ඒවා හොඳීන් හසුරවා ගැනීමට පහසු වන අන්දමට, අපගේ එළැඹි සිහිය ප්‍රයෝජනයට ගැනීම සඳහා ක්‍රම සොයා ගත යුතුයි.

එදිනෙදා ජීවිතයේ දී මුහුණපාන සිදුවීම් පිළිබඳ කල්තියා ප්‍රකාශ කළ නොහැකි ය. අප ජීවත්වන්නේ හේතුඵල සහිත අස්ථිර ලෝකයක බැවින්, දේවල් සිද්ධ වීමට බොහෝ හේතු කාරණා මූලික වේ.

ඕනෑම අවස්ථාවක දී පාවිච්චි කිරීම සඳහා අප ළඟ තිබෙන මෙවලම් කට්ටලය වන්නේ අපගේ එළැඹි සිහියයි. අප කෝපයට පත්ව ඇති අවස්ථාවක දී සිහි නුවණින් සිත ගැන විභාග කර බැලූ විට අප පිළිබඳ අමිහිරි ඇත්ත සොයා ගැනීමට හැකි වේ.

උදාහරණයක් ලෙස ගත් කල, අපගේ ආත්මාර්ථකාමී බව, “මම” යන සංකල්පය සමග ඇති බැඳීම, මතයන් හි එල්ලීගෙන සිටීම, අප හරි ය හා අනෙක් අය වැරැදිය යනුවෙන් සිතීම, පක්ෂපාතී බව හා අප අපට ම ආදරය, කරුණාව නොදක්වන බව පෙනෙනු ඇත. අමිහිරි නමුදු මෙම සොයා ගැනීම ඉතාමත් ඵලදායී අත්දැකීමකි. අවසානයේ දී මෙය, මුල් බැස ගත් මානසික හා ආධ්‍යාත්මික දුක්පීඩාවලින් අපව මුදාගනු ඇත.

එළැඹි සිහිය වඩා ගැනීම යනු සියයට සියයක්ම තමා සමඟ අවංක වීමට පුරුදු වීම ය. අපගේ සිත හා කය දෙස බලා සිටින විට, පිළිගැනීමට අප්‍රසන්න දේ දැක ගැනීමට හැකි වෙයි. ඒවාට අකැමැති වන අපි ඒවා ප්‍රතික්ෂේප කරමු. අප අකැමැති දේ් මොනවාද? ආදරය කරන අයගෙන් වෙන්ව ජීවත් වීමටත්, ආදරය නොකරන අය සමග විසීමටත් අප අකැමැති ය.

මිනිසුන්ට පමණක් නොව යම් යම් ස්ථාන, අදහස්, මත, විශ්වාස හා තීරණවලට ද අප අකැමැති ය. ස්වභාවික ව අපට සිදුවන දේවලට ද අපගේ කැමැත්තක් නැත. අපගේ බාහිර පෙනුම ආරක්ෂා කර ගැනීමේ බලවත් අභිලාෂය නිසා වයසට යෑම, රෝගී වීම, දුර්වල වීම හෝ වයස පෙන්නුම් කිරීම ගැන අප අකැමැති ය. අප පිළිබඳ ඇති අභිමානය නිසා කිසිවෙක් අපගේ වැරැදි පෙන්වා දීම ගැන අපි සතුටු නොවෙමු. තමා පිළිබඳ මුළාවට පත්ව සිටින අප, තව කෙනෙක් අපට වඩා ඥානවන්තවීම රුස්සන්නේ නැත. මේවා ලෝභ, ද්වේශ හා මෝහ යන මූලික අඩුපාඩු සම්බන්ධයෙන් අපගේ පෞද්ගලික අත්දැකීමෙන් ගතහැකි උදාහරණ කිහිපයක් ය.

ලෝභය, ද්වේෂය හා මෝහය අපගේ එදිනෙදා ජීවිතයේ දී අත්දකින විට, එළැඹි සිහිය භාවිත කර ඒවා ලුහුබැඳ ගොස් අල්ලාගෙන ඒවායේ මූලය සොයා ගනිමු. මෙම මානසික ස්වභාවයන් සියල්ලේ ම මූලය ඇත්තේ අප තුළ ය. යමකුගේ ක්‍රියාවක්, වදනක් හෝ හැසිරීමක් හේතුවෙන් කෝපය ඇති කරන්නේ වෛර මූලය බැවින් අප තුළ එය නොපවතින විට කිසිවකුට අප තරහ ගැන්විය නොහැකි ය.

එළැඹි සිහිය ඇතිවිට අපි ඉතා උනන්දුවෙන් ප්‍රඥා සම්පන්න ව අපගේ සිත දෙස බලමු. වෛරය අප තුළ නොපවතින විට, කිසිවකු අපගේ වැරැදි පෙන්වා දුන් කල අපි කෝප නොවෙමු. ඒ වෙනුවට දුර්වල තැන් පිළිබඳ අපගේ අවධානය යොමු කර දීම ගැන ස්තුති වන්තවෙමු. එමගින් අපගේ වැඩි යහපතට අවස්ථාවක් උදාකර දෙන බැවින් අපගේ වරද පහදා දෙන පුද්ගලයින්ට ස්තූති කිරීමට අප ප්‍රඥාවන්ත ව හා සිහියෙන් කටයුතු කිරීම අවශ්‍යය. අපට නොපෙනෙන ස්ථාන තිබෙයි. එම පුද්ගලයා අපගේ කැඩපත මෙන් ක්‍රියා කරයි. ඔහු අපගේ අනුදැනුම නැතිව, අප තුළ සැඟවී ඇති නිධානයක් ගොඩගත් තැනැත්තෙක් සේ සැලකිය යුතුයි.

අපට සංවර්ධනය විය හැක්කේ අපගේ තිබෙන අඩුපාඩු දැන ගැනීමෙන් ය. අපගේ පැවැත්මේ අවසාන පරමාර්ථය වන පරිපූර්ණත්වය සඳහා නොවරදින ක්‍රමය වන්නේ අප වඩාත් යහපත් වීමයි. අප තුළ සැඟවී ඇති එම උතුම් ගුණධර්ම වැඩි දියුණු කළ හැක්කේ, අපගේ දුර්වලතා ජය ගැනීමෙන් පමණක් ය. ජය ගැනීමට ප්‍රථමයෙන් ඒවා මොනවා දැයි දැන ගැනීම අවශ්‍යය.

අප රෝගාතුර වී සිටී නම් එයට හේතුව සොයාගත යුතුයි. එයට ප්‍රතිකාර කළ හැකි වන්නේ එවිට ය. රෝගයෙන් පෙළෙමින් වුව ද, නිරෝගී බව බොරුවට ඇඟවීමෙන් කිසිදිනෙක එයට ප්‍රතිකාර ලබා ගත නොහැකි ය. එලෙසින් ම දුර්වලතා නැතැයි සිතන තාක් කල් අපගේ ආධ්‍යාත්මික මාර්ගය එළි පෙහෙළි කර ගත නොහැක. අපට අපගේ දෝෂ නොපෙනේ නම් ඒවා පෙන්වා දීමට කිසිවෙක් සිටිය යුතුයි. ඔවුන් අපගේ දෝෂ පෙන්වා දුන් විට, සාරිපුත්‍ර තෙරණුවන් මෙන් ඔවුන්ට කෘතඥ පූර්වක විය යුතු ය.

“සත් අවුරුදු වයසැති සාමණේර නමක් වුව ද මගේ වැරැදි පෙන්වා දුන් විට පවා මම ඒවා ඉතා ගෞරවයෙන් පිළිගනිමි.”

සාරිපුත්‍ර රහතන් වහන්සේ සියයට සියයක් එළැඹි සිහිය පවත්වා ගත්, සියලු දෝෂයෙන් තොර වූ බුද්ධ පුත්‍රයෙක් විය. උන්වහන්සේ තුළ කිසි අභිමානයක් නොතිබූ බැවින්, මෙවැනි මානසික තත්වයක් පවත්වා ගැනීමට එතුමාට හැකියාව තිබුණේ ය.

අපි රහත් භාවයක් ලබා නොගත්තවූන් වූව ද උන්වහන්සේ ලබා ගත් එම තත්වය දිනා ගැනීම සඳහා අධිෂ්ඨාන පූර්වක ව උන්වහන්සේ අනුගමනය කළ යුත්තෙමු.

සැබැවින් ම අපගේ වැරැදි පෙන්වා දෙන්නා මුළුමනින් ම නිවැරැදි පුද්ගලයකු නොවන නමුත්, ඔහුගේ වැරැදි අප පෙන්වා දෙන තුරු ඔහුට නොපෙනේ. එහෙත් අපගේ දුර්වලකම් ඔහු හොඳීන් දනී. වැරැදි පෙන්වා දීම සහ එයට ප්‍රතිචාර දැක්වීම ඉතාමත් ම කල්පනාවෙන් කළ යුත්තකි. කෙනකු අසිහියෙන්, අකාරුණික ව මෙන් ම සැරපරුෂ වදනින් යමකුගේ දුර්වලකම් පහදා දෙයි නම්, ඔහු තමාට හා එම තැනැත්තාට උදව්වකට වඩා හානියක් කරයි. කෝපයෙන් කථා කරන විට සිහිය පවත්වා ගත නොහැකි බැවින් එම තැනැත්තාට පැහැදිලිව යමක් ප්‍රකාශ කිරීමේ ශක්තියක් නැත. එමෙන්ම අසා සිටින්නා ද සැර පරුෂ වදනින් වේදනාවට පත්වන නිසා කියන දේ අසන්නේ හොඳ සිහියෙන් නොවෙයි. කථාවෙන් හා සවන් දීමෙන් ප්‍රයෝජන ලැබීමට නම් සිහියෙන් කථාකිරීම මෙන් ම සිහියෙන් අසා සිටීම ද එකහෙලා වැදගත් ය. එවිට අපගේ සිත තෘෂ්ණාවෙන්, ආත්මාර්ථයෙන්, වෛරයෙන් හා රැවටිල්ලෙන් තොර වේ.

අපගේ අරමුණ

භාවනායෝගීන් ලෙස අප සැමට අරමුණක් තිබීම වැදගත් වේ. එසේ නැතිනම් අපගේ පුහුණුව අඳුරේ අතපත ගෑමක් වැනි ය. කැමැත්තෙන් හා සිහිබුද්ධියෙන් ඉටුකරන සෑම දෙයක් සඳහාම අරමුණක් තිබිය යුතුයි. අනෙක් අයට කලින් ධර්මාවබෝධය ලබා ගැනීම හෝ විශාල බලයක් ලබා ගැනීම හෝ අන් අයට වඩා ලාභ ලැබීම විපස්සනා භාවනා පුහුණු වන්නන්ගේ පරමාර්ථය නොවෙයි. කිසිම භාවනායෝගියකු එළැඹි සිහිය ලබා ගැනීම සඳහා එකිනෙකා සමඟ තරග නොකරයි. අපගේ පරමාර්ථය විය යුත්තේ, යටි සිතේ සැඟවි තිබෙන උදාර ගුණාංග මතුකර ගැනීමයි.

මෙය පස්වැදෑරුම් ය. සිත පවිත්‍ර කිරීම, ශෝකය හා දුක ජය ගැනීම, වේදනාව හා වියෝව ජය ගැනීම, සදාතනික සැනසිල්ල අත්කර දෙන නිවැරැදි මාර්ගයෙහි ගමන් කිරීම හා එමඟින් ප්‍රීතිය අත්පත් කර ගැනීම යන මෙම පස් වැදෑරුම් ඉලක්කය සිහියේ තබාගෙන බලාපොරොත්තුවෙන් හා විශ්වාසයෙන් යුතුව ඉදිරියට පියනඟමු.

මීළඟ කොටස දුරුතු පුර පසළොස්වක පෝදා කලාපයේ