Print this Article


ප්‍රශ්න ගැටලු නුවණින් දකින්න

ප්‍රශ්න ගැටලු නුවණින් දකින්න

අප ලබා ගන්නා මනුෂ්‍ය ජීවිතය ඕනෑම තැනකින් පටන් ගෙන ඕනෑම තැනකට පරිවර්තනය කරන්න පුළුවන් ශක්තියක් ඇති බව බුද්ධ දේශනාවන් තුළින් පැහැදිලි වේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මනුෂ්‍ය ජීවිතය යහපත් පැත්තකට පරිවර්තනය කිරීම ගැනයි.

බුද්ධ දර්ශනය ප්‍රායෝගික ජීවිත දර්ශනයකි. එදිනෙදා කරන, කියන, සිතන ක්‍රියාකාරකම් නුවණ මෙහෙයවීම තුළින් යහපත් අයහපත් දෙය තෝරා බේරා ගත හැකි ය. තමාටත්, අන් අයටත් දෙපාර්ශවයට ම අයහපත් වන දෙයක් වේ නම්, එය දැන දැක වහාම ඉන් ඉවත් විය යුතු ය. එය යහපත් දෙයක් නම් එය වහා ක්‍රියාත්මක කළ යුතු ය. කාය, වචී, මනෝ යන ද්වාරවලින් සිදුවන සුචරිත දේ යහපත් දෙයක් හැටියටත්, දුශ්චරිත දේ නරක හැටියටත් නුවණින් මෙනෙහි කළ යුතු ය.

මේ අයුරින් සිත පුරුදු පුහුණු කළ ගුණවත් අයගෙන් තමන්ටත් අනුන්ටත් අයහපතක් නම් සිදු නොවේ. මෙසේ දහම් මාර්ගයේ ගමන් ගන්නා ඔහු සැමදා නිරාමිස සතුට විඳින, සතුට පරම ධනය කොටගත් අයකු විය හැකි ය.

‘කුක්කුට මිත්ත’ නම් වැදි පුත්‍රයාගේ කතාව තුළින් ගැඹුරු දහම් කතාවක් සන්නිවේදනය කරයි.

සෝවාන් ඵලයට පැමිණි වැදි පුත්‍රයාගේ බිරිඳ තම සැමියාට සතුන් මැරීම සඳහා උදව් කරන බවක් පෙන්නුම් කරයි. දිනකට සිය ගණනක් සතුන් මැරීම සඳහා අවශ්‍ය උපකරණ සකස්කර ගැනීමට බිරිඳගෙන් වැදි සැමියාට විශාල උපකාරයක් ලැබේ. වැදි සැමියාගෙන් ලැබෙන අණ අනුව ඇය දුනු ඊතල, දැල්, මදු, පොරෝ ආදිය ගෙනවුත් දුන්නා ය. ඒ දේවල් ගෙන ඇය මුවන් මැරීම සඳහා සැමියා සමඟ වනයට ද පිවිසුනා ය. සැමියාගේ ජීවනෝපාය සඳහා වෙහෙස වන ඇය අකුසලයක් කර ඇති බව පිටතින් බලන කාට වුවත් වැටහෙන බවක් පෙනේ. නමුත් බුද්ධ දේශනාව අනුව එවැන්නක් සිදු නොවේ.

“චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” යන බුද්ධ වචනයට අනුව චේතනා මූලික සිත එහි නොයෙදෙන නිසා ඇයට ඉන් අකුසලයක් සිදු නොවේ.

ඇය උදව් කරන්නේ සතුන් මරන්නට නොවේ. සැමියාගේ ඉල්ලීම පරිදි වචන ඉටු කිරීමයි. මරණ චේතනාව ඇයට නැත. ඉන් ලාභයක් අපේක්ෂා කරන්නේ ද නැත.

මේ සංසිද්ධීන් වර්තමාන සමාජ තලයේ කුඩාම ඒකකය වන පවුල තුළට ගළපා බැලීම වටින්නේ ය. නිවසට එන සැමියා වර්තමාන බොහෝ බිරින්දෑවරුන් පිළිගන්නේ කෙසේද යන්න ගැටලුවකි. උදාහරණයක් ලෙස මත්ද්‍රව්‍ය පාවිච්චි කර එන සැමියා ගැන මොහොතකට හිතමු. සැමියා කරන්නේ වැරැදි වැඩක් බව අපි ද පිළිගනිමු. බොහෝ විට සමාජ සම්මතය තුළින් ඔහුට ලැබෙන දඬුවම ඉතා දුක්බර විය හැක.

බුදුපියාණන් වහන්සේ සප්ත භරියා සූත්‍රයෙන් දාස භාර්යාව අගය කර ඇත. දාස භාර්යාවක් ලෙසට නැණවත්ව ක්‍රියා කරන එවැනි බිරින්දෑවරුන් සමාජ සම්මතයට අනුවම නොසිතා ඔවුහු මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණයට අනුව සිය පවුල් සංස්ථාව ගොඩනඟා ගැනීමට වෙහෙසෙති.

එසේ නොවී තරහින් (ද්වේශ) ආක්‍රෝෂ පරිභව කරමින් පහර දෙමින් සැමියා අපහසුතාවකට පත්කරන එම තත්ත්වය තුළ පුංචි යුද්ධයක් ඇතිවීමට ඉඩ තිබේ. ඉන් වැළකීමට බුද්ධ දර්ශනය තුළ කියවෙන ධර්මය අසා දැනගෙන ජීවිතය හැඩ ගසා ගැනීම අනිවාර්ය වේ.

තම වැරැදි පිළිගෙන, වැරැදි නිවැරැදි කරගෙන අධිෂ්ඨානයෙන් යුතුව වීර්ය, නුවණ, සිහිය ඉපදෙන අයුරින් කටයුතු කරන්නේ නම් සියලු කරදර, දෝෂ හිරු දුටු පිනි බිඳු සේ වියළී යන්නේ ය. එවිට වලාකුළින් මිදුන සඳක් සේ තමන් තුළ ප්‍රඥා ආලෝක මෝදු වීමට පටන් ගන්නේ ය.