Print this Article


පින් කරන්නේ අවිද්‍යාව නිසා ද?

පින් කරන්නේ අවිද්‍යාව නිසා ද?

හැකි තරම් ජිවත් වන කාලය තුළ කාමභෝගි සැප සම්පත් විඳීම ඔවුන්ගේ එකම අරමුණ බවට පත් වෙලා තිබෙනවා. ඉතින් මේ කියන ත්‍රිවිධ තෘෂ්ණාවම නැවත සත්වයාගේ හට ගැනීමට හේතු කාරක වෙනවා. ඒ විදිහට බලන කොට මේ තෘෂ්ණාව තමා නැවත ඉපදීමක් අපට ලබා දෙන්නේ

මේ ලෝකයේ ජීවත් වන අප හැමදෙනාම මේ සසර ගමන තුළ කෙළවරක් නැති ගමන්මඟක නියැළී සිටිින්නේ අවිද්‍යාව හා තෘෂ්ණාව මුල් කර ගෙන සිදු කරන කර්ම නිසයි. ඒ කර්ම ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් වෙනවා. එහි දී අපේ ඊළඟ භවය ඇති වීමට මේ පින් පව් දෙකම හේතු වෙනවා.

ඉතින් ලෝක තත්වය හැබෑ ලෙස ම නො දැනීම අවිද්‍යාව කියලයි ධර්මයේ පෙන්වා දෙන්නේ. අර්හත් මාර්ග ඵලයට එහෙමත් නැත්නම් සසර කෙළවර කරන නිවන් මඟ සාක්ෂාත් කර ගන්නේ දස සංයෝජනයන් අතුරෙන් අවසාන වශයෙන් මාන උද්ධච්ච අවිජ්ජා කියන මේ කෙලෙස් තුන ප්‍රහීණ කිරීම තුළිනු යි.

යම් පුද්ගලයෙක් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් සෝවාන් ආදි මාර්ගඵල හතරෙන් අවසාන වශයෙන් අනාගාමි තත්වයට පත් වුවත් අවිද්‍යාව කියන කෙලෙස් ගතිය අවසාන වන්නේ නැහැ. රහත් ඵලයට පත් වූ පසුවයි මේ සංයෝජනය අවසාන වශයෙන් ක්ෂය වන්නේ. ඉතින් මේ කියන අවිද්‍යාව නිසා රැස් කරන කර්ම නිසා භව ගමන දිගු වෙනවා.

බුදුරජාණන් වහන්සේ මේ අවිද්‍යා තෘෂ්ණා දෙක සංසාර ගමනේ ශීර්ෂය විදිහටයි පෙන්වා දී තිබෙන්නේ. සත්වයා දිව්‍යලෝක, මනුෂ්‍යලෝක වැනි සුගතිභූමිවල උත්පත්තිය ලබන්නේ මෙම අවිද්‍යාව හා තෘෂ්ණාව මුල් වීමෙනු යි.

අපි ඊ ළඟට අවිද්‍යාව යන්නෙහි ස්වභාවය විමසා බලමු. අවිද්‍යාව නිසා සියලුම ආකාරයේ දුක් ඇති වීමටත්, සියලුම ආකාරයේ සැප විඳීමටත් හේතුවන කර්ම රැස කරනවා. චතුරාර්ය සත්‍යය සම්බන්ධයෙන්, පටිච්චසමුප්පාදය සම්බන්ධයෙන් යථාවත් ලෙස නො දැනිම නැති නම් අනවබෝධය අවිද්‍යාව ලෙස හඳුන්වා තිබෙනවා. අපි මේ අවිද්‍යාව යන්න විවිධ අර්ථ දැක්විම්වලට අනුව විස්තර කළත් ඒ විස්තර කරන අපිත් අවිද්‍යාවෙන් තමයි ඒ ප්‍රකාශ කරන්නේ.

ඉතින් ඒ තත්වය නිවැරැදිව පෙන්වා දෙන්නේ අවිද්‍යාව දුරු කළ ආර්ය උත්තමයන් වහන්සේ විසින් පමණක් ම යි. මේ නිසා නො දැනිම හෙවත් මෝහය යන මේ අකුසල සිතිවිල්ල අවිද්‍යාව කියාත් අපිට පෙන්වා දෙන්නට පුළුවන්.

ඊ ළඟට අපි තේරුම් ගත යුතු වන්නේ තෘෂ්ණාව හෙවත් තණ්හාව කියා විස්තර වන්නේ කුමක්ද යන්න පිළිබඳව යි. තෘෂ්ණාව ධර්මයේ උගන්වන හැටියට කොටස් තුනකට වෙන් වෙනවා. කාම තණ්හා, භව තණ්හා හා විභව තණ්හා කියල යි ඒ.

ඉතින් මේ භව තෘෂ්ණාව නිසා තමයි සුගතියට පත්විමට හේතුවන කුසල හෙවත් සරල අදහසින් ගත්තොත් පින්කම් කරන්නේ. ඒ කරුණ අභිධර්මයෙහි පෙන්වා දෙන්නේ ලස්සන උපමාවකින්.

මරණයට පත්විමට නියමිත ගව දෙනක් වතුර බීමට ආශාව ඇති වූ විට එහෙම ඇල් වතුර බොන්නට පටන්ගෙන එයින් යම් සැනසීමක් ලබන්නට උත්සාහවත් වෙනවා වගේ පින්කම් කිරීමෙන් දුක් සහිත සසර දිවි ගෙවනු වෙනුවට සුගති භූමියක උපත ලබා තාවකාලික ආශ්වාදයක් පමණක් ලබනවා යන්නයි එයින් කියැවෙන්නේ.

එයින් අදහස් කරන්නේ භව තෘෂ්ණාව නිසා සසර දික් වීමක් එයින් සිදුවන බව නොවේ ද ? නැවත නැවතත් සසර ඉපදීම සිදුවන නිසා ඒ පුද්ගලයා දසවිධ කුසල කර්මයන් සිදු කර දිව්‍ය ලෝකාදියෙහි උපත ලබා තාවකාලික වින්දනයක් නම් ලබනවා වෙන්නට පුළුවනි. ඒ වුණත් භව ගමනේ අවසානයක් දකින තුරු දුක් විඳීමේ අවසානයක් දැක ගත්නට හැකියාවක් නම් නැහැ.

මේ විදිහට කුසල් රැස්කිරීම වගේම ඒ කුසල චේතනා නිසා පින් සිතිවිලි ක්‍රියාත්මක වීමෙන් ලබන විවිධාකර මට්ටමේ තාවකාලික සැප සම්පත් විනා එය සසර පැවැත්මේ අවසානයක් නොවන බව අප තේරුම් ගත යුතු වෙනවා. ඉතින් ඒ කියන තණ්හාව ඇති වන්නේ ම අවිද්‍යාව නිස යි.

මේ තෘෂ්ණාව හෙවත් ලෝභය, ආශාව නිසා ඒකාන්ත වශයෙන් ම පුනර්භවය හෙවත් නැවත ඉපදීම සිදු වෙනවා. ඉතින් එහෙම නම් මේ ලෝකයේ දුක ඉපදීමට හේතු වන කාම, භව හා විභව යන මේ ත්‍රිවිධ තෘෂ්ණාව ම ඔය කියන දුක ඇති වන්නට හේතු වෙනවා.

මෙහි කියන කාම තණ්හාව නම් පංචකාම සම්පත් සම්බන්ධයෙන් අප තුළ ඇති වන ආශාව යි. රූප, ශබ්ද, ගන්ධ, රස හා ස්පර්ශ කියන මෙ කාම වස්තූන් කෙරහි සත්වයාගේ සිත ඇද බැඳ තබන ගතිය ක්ලේශ කාම කියලා විස්තර වෙනවා.

ඊ ළඟට භව තණ්හාව කියා කියන්නේ භවයන් පිළිබඳ සිත්හි ඇති කර ගන්නා වූ ධ්‍යාන සුවය හා බැඳුණ සිතිවිල්ල යි. ඒ පමණක් නොව ධ්‍යානලාභීන් විසින් රූප අරූප භවයන් පිළබඳ ඇති කර ගන්නා වූ සිතිවිල්ල ද භව තෘෂ්ණාවට වැටෙනවා. භවය ප්‍රාර්ථනා කිරීමක් මෙයින් අදහස් වන නිසා සත්වයාගේ සදාකාලික පැවැත්මක් යන හැඟීමට බර විම නිසා මෙහි ශාස්වත දෘෂ්ටිය ද ඇති වීමට හේතු වෙනවා.

ඒ වගේම තමා විභව තණ්හාව. මෙයින් අදහස් කරන්නේ මරණින් පසු නැවත සත්වයාගේ පැවැත්මක් නැහැ. ඒ නිසා ජිවත්වන කෙටි කාලය තුළ හැකි තරම් සැප සම්පත් වි¼දීම, මෙවැනි දෘෂ්ටි ඇත්තවුන් විසින් ඇති කර ගන්නා අදහසකි. ඒ නිසා සැප සම්පත් අරමුණු කොට ඔවුන් විසින් සිදු කරන විවිධ ක්‍රියාකාරකම් ඔවුන්ගේ සුඛවිහරණය පිණිස ම පවත්වා ගෙන යාමට උත්සාහවන්ත වෙනවා.

මේ තත්වය අද මේ සමාජය තුළ ද බහුල වශයෙන් දක්නට ලැබෙන බව අප විසින් අමතක කරන්නට හොඳ නැහැ. මෙවැනි සිතිවිලි මත ක්‍රියා කිරිම පිළිබඳ ඔවුන්ට විනිශ්චයක් අවශ්‍ය වන්නේ නැහැ. හැකි තරම් ජිවත් වන කාලය තුළ කාමභෝගි සැප සම්පත් විඳීම ඔවුන්ගේ එකම අරමුණ බවට පත් වෙලා තිබෙනවා. ඉතින් මේ කියන ත්‍රිවිධ තෘෂ්ණාව ම නැවත ස්ත්වයාගේ හට ගැනීමට හේතු කාරක වෙනවා. ඒ විදිහට බලන කොට මේ තෘෂ්ණාව තමා නැවතත් ඉපදීමක් අපට ලබා දෙන්නේ.

තෘෂ්ණාව පවතින්නේ ම පුනර්භවය ඇති කිරීමට යි. එහෙම නම් මේ තෘෂ්ණාව සත්වයා නැවත නැවත උපදවනවා යන අර්ථය පැහැදිලිව පෙන්වා දෙන භාවිතයක් බුදුදහමෙහි සඳහන් වෙනවා. ඒ තෘෂ්ණාව සත්වයා විසින් ගනු ලබන අරමුණක දැඩිව ගෙන ඇලී පවතින නිසා ඊට නන්දිරාගය කියා විස්තර වෙනවා. ඒ වගේම මේ තෘෂ්ණාව ඒ ඒ භවයන්හි වෙන් වෙන්ව විශේෂ ඇලි ගැලී පවතින ස්වභාවයෙන් ද යුක්ත වෙනවා. එය තත්‍ර තත්‍රාභිනන්දිනී යන්නෙන් කියවෙනවා. ඒ ඒ භවයන්හි එල්බ ගෙන දැඩිව ගත්තා වු ඒ ඒ රූපාදි කාමභෝගි අරමුණු විෂයයෙහි ඇති වූ තෘෂ්ණාව මෙයින් අදහස් කෙරෙනවා.

මෙම තාෂ්ණාවෙහි ගති ලක්ෂණ හතරක් පිළිබඳ සඳහන් වෙනවා. එකක් තමා ආයුහනාර්ථය. මෙයින් අදහස් කරන්නේ භව ගමනට හේතු වන කුසල හා අකුසල රැස්කිරීම යි. ඊළඟට සඳහන් වෙන ලක්ෂණය වන නිදානාර්ථයෙන් කෙරෙන්නේ එම රැස් කරන කුසල අකුසල කර්ම ශක්තිය දුකට හේතුවන හෙවත් දුක ඇති කරන ස්වභාවයක පවතින බව යි. සංයෝගාර්ථය නම් වූ තෙවන ස්වභාවයෙන් අදහස් වන්නේ ඉහත කි දුකට හේතු වන ස්වභාවය සංසාර ගමන හා එක්වන ගතිය යි. හතර වන පළිබෝධාර්ථයෙන් ප්‍රකට වන්නේ එසේ සසර දුක දැක්කත් එය කළකිරීමට හේතු නොවන ආකාරයෛන් ක්‍රියා කිරීම යි.

මේ නිසා තෘෂ්ණාව නිසා සත්වයාගේ උපත නැවත නැවතත් සිදු වීමට, එහෙමත් නැත්නම් සසර පැවැත්මට හේතු වෙන බව මේ කරුණින් පැහැදිලිව ප්‍රකාශ වෙනවා.

මෙයින් පැහැදිලි වන්නේ යකඩයෙන් උපන් මල ඒ යකඩය ම කා විනාශයට පත් කරන්නා වාගේ සත්වයා විසින් කුසල අකුසල වශයෙන් කර්ම රැස් කිරිමට හේතු වන තෘෂ්ණාව ඒ සත්වයාගේ සසර ගමන සම්බන්ධයෙන් කළ කිරීමට හේතුවන පසුබිම දෙදරවා සසර දිගු කිරීමක යෙදී පවතිනවා.

ඉතින් මේ කියැවුණු අවිද්‍යාව හේතුවෙන් සත්වයාගේ භවගමන සකස් කෙරෙන සංඛාර උපදිනවා. මේ කියන සංඛාර පුඤ්ඤාභිසංඛාර, අපුඤ්ඤාභිසංඛාර හා ආනෙඤ්ජාභිසංඛාර යන විදියට තුන් ආකාර වෙනවා.

දාන ශීල හා භාවනා කියලා ආදි කාමාවචර කුසල් සිතිවිලි පුඤ්ඤාභිසංඛාර කියා වෙන් වෙනවා. එමෙන්ම අකුසල සිත් වශයෙන් ඇති වන අකුසල සිතිවිලි අපුඤ්ඤාභිසංඛාර කියලත්, අරූපාවචර කුසල සිත් නිසා ඇතිවන සිතිවිලි ආනෙඤ්ජාභිසංඛාර යනුවෙනුත් කියවෙනවා.

මේ විදිහට විමසා බලනවිට මේ සියලුම සිතිවිලි ඇති විමට හේතු වන්නේ අවිද්‍යාව යි. ඉතින් අවිද්‍යාව නිසා අපි පින් රැස් කරන්නේ, කුසල් රැස් කරන්නේ කියපුවහම එය පැහැදිලි කරන්නට සිදු වන්නේ මේ ආකාරයෙනුයි.