Print this Article


ටෑං රාජ වංශයට නෑකම් කියන නිරිතදිග චීනයේ බෞද්ධ වෙහෙරබිම හුවායන් පන්සල

ටෑං රාජ වංශයට නෑකම් කියන නිරිතදිග චීනයේ බෞද්ධ වෙහෙරබිම හුවායන් පන්සල

චීනයේ චොංචිං හි ජියුලොන්පෝ දිස්ත්‍රික්කයේ කන්ග්යුවාන්හි පිහිටි හුවායන් පන්සල දැකබලා ගැනීමට අවස්ථාවක් ලැබුණි. එය නිරිතදිග චීනයේ විශාලතම සෙන් වනාන්තර දහයෙන් එකක පිහිටා ඇති හොඳම පුරාණ විහාරස්ථාන දහයෙන් එකකි. විශාල හා තේජාන්විත විහාරස්ථානයකි.

හුවායන් විහාරය ටෑං රාජ වංශයේ ඉදිකරන ලද්දකි. එය චොංචිං හි විශාලතම බෞද්ධ විහාරය වේ. විහාරයේ ඇතුළත හා පිටත ෆයින් හා උණ ගස්වලින් සශ්‍රීක වී ඇති අතර හුවායන් පන්සල සෙන් බුද්ධාගමට අයත් වේ.

ලෙන් සහ උල්පත් ඇති නිසා වර්ෂා ජලය පර්වත ගල් ගුහා මුදුනේ සිට පහළට විසිරී මල් මෙන් හැඩැතිව වැටුණ බැවින් පැරැන්නන් එම ගුහාව “හුවායන්” ලෙස නම් කර ඇත. තවත් මතයක් වන්නේ මුල් ක්විං රාජ වංශයේ ෂෙන් කේ භික්ෂුව රාත්‍රියේ දී පංච වර්ණ නෙළුම් සිහින දුටු බවයි. එබැවින් මෙම ස්ථානය හුවායන් ලෙස හැඳීන්විණි.

“හුවායන්”යන්නෙහි සරල තේරුම ‘දීප්තිමත් පර්වතය’, ‘ මල්මාලය ’ යන්නයි. හුවායන් මුලින් ම ගල් ගුහාවක් වූ අතර, පසුව පන්සලක් බවට පත්ව ඇත.

මම මහායාන පන්සලක අත්දැකීමක් ලබා තිබුණේ නැත. අපි විහාරස්ථාන ප්‍රවේශයෙහි වූ රන් පිළිමය වඳීන්නට විහාර භූමියට ඇතුළු වුනෙමු. විහාරස්ථානයේ වඩාත්ම ගාම්භීර දෙය නම් එළිමහනේ ඇති එම රන් බුද්ධ ප්‍රතිමාවයි. චීනයේ පළමු එළිමහන් රන් බුද්ධ ප්‍රතිමාව එයයි.

බුද්ධ ප්‍රතිමාව “බුද්ධ සූත්‍රයේ” අන්තර්ගත බුදුන් වහන්සේගේ “තිස් දෙහැවිරිදි පෙනීම” සහ “අසූවිධ පුණ්‍ය බව” අනුව නිර්මාණය කර ඇත. හුවායන් පන්සල ‘ ආධ්‍යාත්මික දර්ශනය” ලෙස හඳුන්වයි. විහාරයට දිගු ඉතිහාසයක් ඇත. විහාරස්ථානයේ අනෙක් පස ඇති නෙළුම් මාලිගය තේජාන්විත ය. විශ්මයජනක ය.

ඉන්පසු අපි ප්‍රධාන හාමුදුරුවෝ හමුවීමට විහාරස්ථානය තුළට ගියෙමු. තරුණ හිමිනමක් අප පිළිගෙන අසුන්වල වාඩිකර වාචීන තේ ගෙනැවිත් අපට සංග්‍රහ කළහ. ටික වෙලාවකින් ලෝගුවක් මෙන් ඇඳගත් දෝජියෙන් නායක හිමියන් අප හමුවට පැමිණි අතර උන්වහන්සේ පළමුව සුහදශීලි ලෙස අප හා ආ ගිය තොරතුරුත්, දෙරට අතර සම්බන්ධතා ගැනත් කතා කළහ. ඉන් පස්සේ හමුදුරුවෝ අපිව බෞද්ධ පුස්තකාලයට කැටුව ගියහ.

අතීත රාජවංශවල බොහෝ සාහිත්‍යධරයින්, ප්‍රභූවරුන් සහ ප්‍රසිද්ධ පුද්ගලයින් අතීතය ගැන විමසීමට හෝ භික්ෂූන් වහන්සේ බැහැ දැකීමට හෝ සෙන් දහම ඉගෙන ගැනීමට හෝ මෙහි පැමිණ ඇත. ඔවුන් දස දහස් ගණනක් කවි, ඵලක, යුගල සහ සෙල්ලිපි මත ලියා ඇත.

පසුගිය රාජවංශවල ප්‍රභූවරුන් සහ ප්‍රකට පුද්ගලයින් විසින් ලියන ලද අක්ෂර වින්‍යාස කාව්‍ය රාශියක් එහි තාමත් ඉතිරි කර ඇත. එහි බෞද්ධ ග්‍රන්ථ සහ විවිධ සමාජ විෂයයන් පිළිබඳ විශාල පොත් එකතුවක් ඇත. ශාක්‍යමුනි බුදුන්, බෝධිසත්ත්ව, බෝධිධර්ම, සහ බෞද්ධ ග්‍රන්ථ වෙළුම් 700 කට වැඩි ප්‍රමාණයක් ඇත. මේ සියල්ල ගැන විස්තර කිරීම් කළේ නායක හාමුදුරුවන් විසින් ම ය.

ඉන් පසු අප බෞද්ධ කලා කෞතුකාගාරයට කැඳවා ගෙන ගියහ. මාස්ටර් දෝජියෙන් හිමියන් අප හා පැවසුවේ සම්ප්‍රදායික සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීමට අධිෂ්ඨාන කර ගෙන ඇති අතර මල් චිත්‍ර, තේ චිත්‍ර, සම්ප්‍රදායික චීන සිතුවම්, සුවඳ දුම්, සටන් කලාව ඇතුළු විවිධ දේ ආරක්‍ෂා කිරීමට කටයුතු කරන බවයි.


දෝ ජියන් මහා නායක හිමියෝ

විහාරයේ ශාක්‍යමුනි (බුදුන් වහන්සේ), අවලෝකිතේශ්වර සහ බෝධි ධර්මගේ පාෂාණ ප්‍රතිමා මෙන් ම ටිබෙට් ග්‍රන්ථවල වෙළුම් ද බොහෝ තිබුණි. එය විශාල සංස්කෘතියක ප්‍රදර්ශනාගාරයකි. මහා පුරා විද්‍යාත්මක ඉතිහාසයක් එහි සුරක්ෂිත ව පවතී. විවිධ ඓතිහාසික වූ අනුස්මරණ එහි මහත් උවමනාවෙන් ආරක්ෂා කොට තිබේ. එක් විශේෂ දෙයක් නම් බුදුන් වහන්සේ සැතපෙන විට කොට්ටය සේ හිසට තැබූ ගල ගෞරවාන්විත ව තැන්පත් කොට තිබීමයි. ඉන්දියාවට ගිය චීන සෙබළුන් විසින් එය චීනයට රැගෙන ගොස් ඇති බව කියැවේ.

හුවායන් විහාරයේ ඇති දුර්ලභ වස්තු අතර බුදුන් වහන්සේගේ සැබෑ දේහ ධාතු හා බෙයියේ සූත්‍රය ඇතුළත් වේ. ප්‍රධාන වශයෙන් බෞද්ධ ප්‍රතිමා, හැන් ගඩොල්, පිඟන් භාණ්ඩ, පෝසිලේන් සහ ලෝකඩ භාණ්ඩ වැනි දේ මඟින් දේශීය මානව ශාස්ත්‍ර ඉතිහාසය කෙරෙහි අවධානය යොමු කරයි. එම බෞද්ධ කෞතුකාගාරයේ දුර්ලභ වස්තු විශ්මයජනක ය.

හුවායන් බෞද්ධ කෞතුකාගාරයේ ඇති හැන් රාජවංශයේ පිඟන් මැටි ප්‍රතිමා හන් රාජවංශයේ මූර්ති කලාවේ වැදගත් කාණ්ඩයකි. එහි ඇති පැරැණි මැටි භාණ්ඩ, සහ ප්‍රාථමික පෝසිලේන් පුරාණයේ සිට අද දක්වා ප්‍රදර්ශනය කරයි. එහි අද්විතීය කලාත්මක චමත්කාරය සාදයි. එය චීන කලා ඉතිහාසයේ කීර්තිමත් පිටුවක් ලියා ඇත.

දෝජියන් මහා නායක හිමියන්ගේ නායකත්වයෙන් විහාරස්ථානයේ සිටින සියලුම භික්ෂූන් වහන්සේ සද්ධර්මය පිළිපදින අතර, ආගමික වතාවත් නොකඩවා සිදු කරති. එහි පැවිදි පරම්පරා හැට දෙකක අත්දැකීම් ඇති අතර, වසර 330 කට වැඩි ඉතිහාසයක් ඇත.

දෝ ජියන් මහා නායක හිමියන් යුනාන් හි ඩාලි වෛද්‍ය විද්‍යාලයෙන් සායනික වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධිය ලබා ගත් අතර, පසුව චීන බෞද්ධ විද්‍යාලයේ අධ්‍යාපනය ලබා උපාධියක් ලබා ගත්තේ ය.

බෝසතාණන් වහන්සේගේ සැබෑ මාර්ගය වන සද්ධර්මය ප්‍රචළිත කිරීමටත්, ජීවීන්ට සෙත සැලසීමටත් උන්වහන්සේ විසින් වසර ගණනාවක් පුරා සිදු කරන ලද ක්‍රියාකාරකම් මාලාව බෞද්ධයින්ගේ පැසසුමට ලක් වෙයි. චීන බුද්ධාගමේ පුණ්‍ය කර්මය කෙරෙහි අවධානය යොමු කිරීම බුදුදහම ව්‍යාප්ත කිරීමටත්, බුදුදහම පිළිපැදීමටත්, දැහැමි විශ්වාසයන්ට මඟ පෙන්වීමටත් ඇති හොඳම ක්‍රමය ලෙස ජියන් මහා නායක හිමියෝ පිළිගනිති.

සමකාලීනව මෙම විහාරස්ථානයේ දෝජියන් මහා භික්ෂූන් වහන්සේ ඇතුළු සංඝයා වහන්සේ ධර්මය පතුරුවා හැරීමට සහ මිනිසුන්ට ප්‍රතිලාභ ලබා දීමට වෙහෙස මහන්සි වී වැඩ කරති. බෞද්ධ විද්‍යාලයේ උප සභාපති ලෙස ද උන්වහන්සේ චීන බෞද්ධ අධ්‍යාපන ආයතනයෙන් වැදගත් සේවාවක් සිදු කරති. උන්වහන්සේ බෙයිජිං බෞද්ධ සංස්කෘතික ආයතනයේ පර්යේෂකයකු ලෙස ද බෞද්ධ පර්යේෂණ පත්‍රිකා කියවීම, මහා පරිමාණ බෞද්ධ සංගීත පුණ්‍ය ප්‍රසංග සංවිධානය කිරීම කරති.

උන්වහන්සේ විශාල සමාජ සේවාවල යෙදෙන බව එහිදී අපට පෙන්වන ලද රූපවාහිනී වැඩසටහනින් දක්නට ලැබුණි. පාසල්, විශ්වවිද්‍යාල, ගම් දනව්, ආපදා සහන, පොත් පත් ප්‍රදානය මේ ආදී බොහෝ දේ එම සමාජ සේවාවනට ඇතුළත්ව තිබුණි.

එහි වැඩ විසූ යතිවරුන් ආගන්තුකයින් පිළිගැනීම හා ඔවුන්ගේ සුහදශීලිත්වය මා සිත් ගත් දෙයකි. නිස්කලංක උද්‍යාන ආකර්ශනීය දසුන් ය. රතු බිත්ති, කොළ පැහැති උළු, කැටයම් කළ බාල්ක සහ පින්තාරු කරන ලද ගොඩනැඟිලි හරහා, තවමත් වසර සියයකට පෙර එහි පැවති නිස්කලංකත්වය සහ අලංකාරය දනවයි.