Print this Article


පුර පෑළවිය සඳ - 02 කොටස

පුර පෑළවිය සඳ

02 කොටස

සාමණේරයන් වහන්සේ නමකගේ ජීවිතය අලලා ලියැවුණු නව කතාව

සිරිමල් මාමා දුටු සාමණේරයන්ගේ උගුර කට වියැළුණි. දංගස් දෙබලෙන් කඩිමුඩියේ නැඟිටගත් නමුත් පහළට බසින්නට නම් හිතක් නැත.

සිරිමල් මාමා තමන් ආ දා පටන් දඟ වැඩක් කළ විට අල්ලා ගන්නේ ම කන් පෙත්තෙනි. මාමාගේ නියපොත්තට අසුවී තදවෙන තමන්ගේ කන්පෙත්ත හොඳටෝ ම රිදේ.

ඊටත් වඩා අද මාමාගේ අතේ දිග කෝටුවකි.

බහින්නයි කීවේ බිමට.... පෙනේද තියෙන ඇට්ටරකම.

මං කොච්චර කිව්ව ද ලොකු හාමුදුරුවන්ට ඔය මුඩුක්කුවල එවුවන්ව මේ පන්සලේ නම් මහණ කර ගන්ට එපා කියල.

කෝ ඇහුවැයි.... කනවා..... වනසනවා පන්සලයි ශාසනෙයි දෙකම....

කවදාක හරි තොලොන්චි වෙන්නෙ පන්සලත් ඩෝසර් කරලා.

කෝටුව අතින්ගත් සිරිමල් මාමා දත්මිටි කයි. සාමණේරයන්ට දැන්නම් ගසෙන් බහින්නට කොහෙත්ම නොහැකි ය. තමන් හාමුදුරු කෙනෙක් කියාවත් සිරිමල් මාමා තකන්නේ නැති වීම පුදුමයකි.

මහණ වෙන්න පන්සලට ආ දිනවලත් බොහෝ විට ගුටි ලැබුණේ සිරිමල් මාමාගෙන් ය. මහණ වූවාට පසු නම් ගමේ බොහෝමයක් අය වැන්දහ. ඒත් සිරිමල් මාමාත්, කීප දෙනෙකුත් වඳිනවා තබා සිනා මූණක්වත් පෙන්වූයේ නැත.

හරි ඉන්නවකො, මං කීවමනෙ බහින්න බැරි...

සිරිමල් මාමා ඔය යන්නේ නම් හොඳකට නොවන බව සාමණේරයන් දනී. කේලමක් එක දෙක දහය කොට කියන්නට සිරිමල් මාමා කොහොමත් දක්ෂ ය.

ඉක්මනින් ගසින් බැස සිවුර පොරවාගත් සාමණේරයන් දැන් හරිම තැන්පත් ය. හෙමින් හෙමින් කතා කරන්නට පෙරම ආවාසය දිහාවට යා යුතු ය. එවිට දඬුවම තරමක් අඩු කර ගන්නට පුළුවන.

ගෙදර ඉන්නා කාලයේ දඟවැඩක් කොට බය වී දිව්වත්, හැංගුණත් බාප්පාගෙන් ලැබෙන දඬුවම නම් අඩුවක් නොවුණි. එබැවින් සැඟවී සිටීමෙන් හෝ දිවීමෙන් පලක් නැත. හිත හිදාගෙන මූණ දිය යුතු ය.

සිරිමල් මාමා ඒ වන විටත් බාගෙට බාගයක් අතිනුත් දමා, කේලම් කියා, ලොකු හාමුදුරුවන්ගේ හිත ගිනි අවුළවා අවසන් ය.

කූඩැල්ලා කොහොමෙයි හාමුදුරුවනේ මෙට්ටෙ තියන්නෙ.

මුඩුක්කුවල උපන්න කාලකණ්ණි කොහොමෙයි මහණදම් පුරන්නේ.

ඒකටත් තියෙන්න ඕනේ, පින.... පින....

සිරිමල් මාමා කියයි.

“ලොකු හාමුදුරුවන්ගේ අතේ වේවැල ය. මූණත් අමුතු ය. සැර පාට ය.

ආ මෙහෙ එමු, මෙහෙ එමු... මොකද්ද මේ කළැයි කියන්නේ”?

ළඟට යන්නත් බය සිතේ. උගුර වේළි ගොසිනි. සාමණේරයන් අපහසුවෙන් ම ලොකු හාමුදුරුවන්ට පසඟ පිහිටුවා වැන්දේ ය.

“ආයෙ මොනව අහන්න ද හාමුදුරුවනේ....

පාරක් දෙකක් දුන්න නම් තේරේවි මහණකම් කරන හැටි.”

සිරිමල් මාමා හදන්නෙම සාමණේරයන්ට ගුටි ඉල්ලා දෙන්න ම ය.

ලොකු හාමුදුරුවන්ටත් සාමණේරයන් ගැන තරමක් දුක ය. ඒත් කරන්නේ ම නොහොබිනා ඇට්ටර වැඩ ය. ආ දා පටන් කොයිතරම් කීවත් ඇට්ටරකම්වල කිසිම අඩුවක් නම් නැත.

සිරිමල් කියන්නේත් ඇත්ත ය. දායකයෙක් දායිකාවක් දැක්කා නම් ශ්‍රද්ධාව එතැනින් ඉවර ය.

බොහෝ දායක කාරකාදීන්ට පන්සලේ කුඩා දරුවන් කියා කොටසක් කොහෙත්ම නැත. ඉන්නේ හාමුදුරුවරු ය. සිටිය යුත්තේ තැන්පත්වය. අල්පේච්ඡව ය.

“ඇට්ටරකමේ කෙරවළක් නෑ. පොඩිනම වඳුරෙක් ද පෙරභවේ. ගස් උඩමයි වැඩ....”

ලොකු හාමුදුරුවෝ කියන්නේත් බොරුවක් වන්නට බැරි ය. පෝය දා නන්ද හාමුදුරුවන් බණට කී ජාතක කතාවේත් අපේ බෝසතාණන් වහන්සේ ද වඳුරෙක්ව ඉපිද සිටියහ.

කෙසේ වෙතත් කාගෙනුත් ගුටි කෑ යුතු, බැණුම් ඇසිය යුතු මොකක්දෝ කරුමයක් සසරේ තමන් කර ඇති බව නම් සාමණේරයන්ට නො අනුමාන ය.

“දැන් ඊයෙ පාඩම් කරවපු වන්දනා ගාථා මතක ද?”

දඬුවම් කිරීම පසෙක දා දැන් ලොකු හාමුදුරුවෝ ගාථා පාඩම් ගන්නට හදයි. ගාථා පාඩම් දෙන්නට නොහැකි වූවොත් වැරැදි දෙකකි. එවිට දඬුවම බරපතළ වන්නටත් හැකි ය. නිහඬව සිටියොත් තත්ත්වය වඩාත් බරපතළ විය හැකිය.

“එහෙමයි ලොකු හාමුදුරුවනේ”.... පොඩිනම කියයි.

ඔව් කියන්නට සුදුසු නැත. ලොකු හාමුදුරුවන් සමඟ කතා කරද්දී “ඔව්” වෙනුවට කිවයුත්තේ ‘එහෙමයි’ කියා ය.

මේ මොහොතේ නම් කොහොමටවත් කට වරදවා ගත යුතු නොවේ.

“හා එහෙම නම් කියමු බලන්න. පූජාව පිළිගන්න කියන ආරාධනා ගාථාව“ ලොකු හාමුදුරුවෝ අසති.

මොනවදෝ ගාථා වගයක් නම් පාඩම් කෙරෙව්වේ ය. ඒ නන්ද හාමුදුරුවන් විසිනි. ඒත් ඒවායෙන් කොයි ගාථාව මේ මොහොතේ කියන්න දැයි අදහසක් පොඩි නමට දැන් නැත.

කකුල් දෙකත් ගැහෙන්නේ ය. බඩගින්න අතුරුදන් වූයේ වේවැල දුටු වේලේ පටන් ය.

නිමල හාමුදුරුවොත්, පොඩි හාමුදුරුවොත්, සිරිමල් මාමාත්, කසුන් අයියාත් වටවී සිටින්නේ ගුටි ජවනිකාව නරඹන්නට ය. යසෝ අත්තම්මා නම් නැත. දානය පුදා ඈ පිටව යන්නට ඇත. ඈ හිටියා නම් හොඳ ය. බුද්ධි හාමුදුරුවෝවත් පේන්නට නැත. තමන්ට තරමක්වත් ආදරේ උන්වහන්සේ පමණි.

හා කියමු බලන්න.

නිවේදයාමි සම්බුද්ධං....

හා කියමු....

ලොකු හාමුදුරුවෝ මුල පදය අල්ලයි.

ඒ ගාථාව සාමණේරයන්ට හොඳහැටි මතක ය. දැන් නම් බයක් විය යුතු නැත. ලොකු හාමුදුරුවෝ අසන්නේ තමන්ට ලේසිම පුරුදුම ගාථාවකි.

“නිවේදයාමි සම්බුද්ධං

වීතරාගිං මහා මුනිං....

නිමන්තයාමී සුගතං

ලෝක ජෙට්ඨං සරං බරං....”

ඔක්කෝටම හිනා ය. සියල්ලෝ ම සිනාසෙන්නේ ඇයිදැයි සාමණේරයන් නොදනී. තමා ගාථාව කීවා සද්දය වැඩි නිසාවත් ද?

ගාථාවේ ඉතුරු ටිකත් තමන්ට මතක ය. හිනාවෙන්නට හැමෝම පටන් ගත් නිසා කියාගෙන යන්නටත් නොහැකි ය. සාමණේරයන්ට කලින් තිබූ ආත්ම විශ්වාසය දැන්නම් හිතේ නැත. ලජ්ජාවක් දැනේ.

අමාරුවෙන් හිනාව නවත්තා ගත් ලොකු හාමුදුරුවෝ ආයෙත් කියන්නේ ගාථාව නැවතත් මුලසිට කියන්නට කියලා ය.

නිමල හාමුදුරුවෝ තවමත් සිනාසෙයි.

සිරිමල් මාමාට බුලත් විටත් ඉස්මොල්ලෙ ගියේ තදින් සිනා වූ නිසා ය. පොඩි නම නැවතත් හෙමිහිට බිම් බලාගෙන කියයි. කලින් තරමට සද්දයක් දැන් හඬේ කොහොමටවත් ම නැත.

“නිවේදයාමි සම්බුද්ධං

වීතරාගිං මහා මුනිං

නිමන්තයාමී සුගතං

ලෝක ජෙට්ඨං සරං බරං....”

සියල්ලෝම නැවතත් හඬ නඟා සිනාසෙති. සාමණේරයන්ට කිසිවක් නොතේරේ. තමන් ගාථාව නම් හරියටම කී බව හිමියන්ට විශ්වාස ය. එතකොට ඇයි හැමෝම හිනා වෙන්නෙ. සාමණේරයන්ට ගැටලුවකි.

“ලෝක ජෙට්ඨං සරං බරං....

ඒ කොහෙ පොතක ගාථාවක් ද පොඩි නම....

ලෝක ජෙට්ඨං සරං බරං නෙමෙයි

ලෝක ජෙට්ඨං නරාසභං....

යනව, ගිහින් හරියට පොත අරන් පාඩම් කරගෙන එනවා. ආයෙමත් සරං බරං කීවොත් නම් ගුටි තමයි.”

ලොකු හාමුදුරුවෝ කියන්නේ හිනාව ද අමාරුවෙන් තද කරගෙන ය. නමුත් වේවැලත් දිගුකොට කෝපයක් මවා පෙන්නමිනි.

දමිත සාමණේරයන් නැවතත් පසඟ පිහිටුවා වැඳ පිටත්වෙයි. තාමත් පිරිසට හිනාව නම් නවත්වා ගත නොහැකි සේ ය.

කොහොමෙන් කොහොම හරි ගුටිනොකා බේරී ඔයින් ගියා ඇතියැයි සාමණේරයන්ට සිතේ.

(මතු සම්බන්ධයි)