Print this Article


සෝම සමිඳුන්ගේ ධර්ම සන්නිවේදනයේ වටිනා මූලධර්ම නූතන ධර්ම සන්නිවේදකයන් ආදර්ශයට ගත යුතුයි

සෝම සමිඳුන්ගේ ධර්ම සන්නිවේදනයේ වටිනා මූලධර්ම නූතන ධර්ම සන්නිවේදකයන් ආදර්ශයට ගත යුතුයි

මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි

අතිපූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වී විසි වසරක් පිරීම නිමිත්තෙන්, අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහා නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනයෙන් පසුගියදා (12) බම්බලපිටියේ සිරි වජිරාරාමයේ දී කෘතගුණ පූජා උළෙලක් පැවැත්විණි. අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය බළන්ගොඩ සෝභිත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේ වෙසෙසි දෙසුමකට සහභාගි වූ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන ස්වාමීන් වහන්සේ පැවැත් වූ දේශනය ඇසුරින් මෙම ලිපිය සැකසුණි.

බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන් සමඟ මිථිලා නුවර මඛාදේව උද්‍යානයෙහි වැඩ සිටින වෙලාවේ බුදුරජාණන් වහන්සේ සිනහ පහළ කළ බව ත්‍රිපිටකයේ එන මඛාදේව සූත්‍රාරම්භයෙහි දැක්වෙනවා. ආනන්ද හාමුදුරුවෝ මේ සිනහ පහළ කිරීම දුටු විට එය සුවිශේෂී කාරණාවක් ලෙස වටහාගෙන බුදුපියාණන් වහන්සේගෙන් ඒ ගැන විමසනවා. බුදුරජාණන් වහන්සේ කරුණු අනාවරණය කරනවා පෙර මෙම නගරයෙහි හිටිය මඛාදේව රජතුමාගේ කතාව ගැන.

ඒ කතාව අපි හැමෝම දන්නවා. ඒ දැහැමි පාලකයා දැහැමි ලෙස රට පාලනය කරමින් සිටින අවස්ථාවක කරණවෑමියා විසින් රජුගේ නර කෙසක් පෙන්වා දුන් කල තමන්ගේ දෙටු පුතුට රාජ්‍ය පවරා තවුස් දිවියට නික්ම යන්නේ ඒ පුතුට ද තමාගත් මේ පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමින්. රජතුමා සිය පුතුට කියනවා ඔබ එහි අන්තිම පුරුෂයා නොවන්න. ඔබගේ ඊළඟ පරම්පරාවටත් එය දායාද කරනන්න කියලා.

මඛාදේව සූත්‍රයේ ඒ අතීත කතාව ස්මරණය කරන බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය අවසානයේ මෙසේ දක්වනවා.

“ආනන්දය, මම වනාහි නුඹට මෙසේ කියමි. මා විසින් පිහිටන ලද මේ යහපත් පැවතුමට අනුව පවතින්න. තෙපි මාගේ වංශයෙහි අන්තිම පුරුෂයෝ නොවවු. ආනන්දය, මාගේ වංශයෙහි වූ යම් පුරුෂයකුගේ කල්හි මෙසේ වූ යහපත් පැවතුමක් සිඳීයාම වී ද හෙතෙම ඔවුන් අතර අන්තිම පුරුෂයා වෙයි. ආනන්දය, එහෙයින් තොපට මම මෙසේ කියමි. මා විසින් පිහිටන ලද මේ යහපත් පැවතුමට අනුව පවතින තෙපි මාගේ වංශයෙහි අන්තිම පුරුෂයෝ නොවව් කියලා.

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට මේ දෙන ඔවදන ඉතා වැදගත්. අපේ සෝම හාමුදුරුවන් වහන්සේ, මේ ඔවදන් හිස් මුදුනින් පිළිගෙන ඉටු කළ අපේ කාලයේ මහා ධර්ම සන්නිවේදකයාණන් වහන්සේ උන්වහන්සේ එය හරියට ම වටහා ගත්තා.

අපේ ඉතිහාසය පුරාම අධ්‍යයනය කළා ම අපිට එක එක කාලවල සමාජ ප්‍රතිසංස්කරණවාදීන් හමුවෙනවා. විවිධ තලවල, විවිධ ක්ෂේත්‍රවල. දුටුගැමුණු රජතුමාත් සමාජ ප්‍රතිසංස්කරණවාදියෙක්. එදා ජාතියට එරෙහිව ගොඩනැඟුණු බලවේග පරාජය කරන්න එතුමා ගත් ක්‍රියාමාර්ග මොන තරම් ප්‍රබලද? පළමු වැනි විජයබාහු රජතුමා, රුහුණු ප්‍රදේශයේ ඉඳලා කීර්ති කුමාරයා වෙලා අනුරාධපුරය අරාජිකවෙලා විසි දෙවසරක් තිබුණාට පස්සෙත් එදා සේනා සංවිධානය කරගෙන බුදල්නාවන්ගේ සහයෙන් අනුරාධපුරයට ඇවිල්ලා සොළි සේනාව පැරදවූවා. රාජධානිය පොළොන්නරුවේ පිහිටුවලා අපට නැවත රටක් උරුම කරලා දෙනවා.

ඒ වගේ බැලුවාම දුටුගැමුණු රජතුමා, විජයබාහු රජතුමා ඒ ඉටු කළ මහා කාර්යභාරය මේ රටේ පැවැත්මට, ජාතියේ පැවැත්මට මොන තරම් හේතුවුණා ද?

සාහිත්‍යමය වශයෙන් බැලුවොත් ගුරුළුගෝමීලා, විද්‍යාචක්‍රවර්තිලා, ධර්මසේන හාමුදුරුවෝ වගේ අය කළ කාර්යභාරය අනුවත් සමාජ ප්‍රතිසංස්කරණවාදීන් හැටියට හඳුන්වන්න පුළුවන්. පොළොන්නරු යුගයේ සමාජ පසුබිම විමසා බලන කල්හි විශේෂයෙන් හින්දුදේව වාදය මොනතරම් තදින් ඉස්මතුව තිබුණා ද කියල අදත් අපිට එහි ශිව දේවාල දෙස බලනවිට පෙනෙනවා. ඒ බලවේග පරාජය කරන්න මේ මහා බෞද්ධ පඬිවරුන්ට පුළුවන්කම ලැබුණා. ගුරුළුගෝමීන්, විද්‍යා චක්‍රවර්තීන් නොවෙන්න අපේ සාහිත්‍යය ම වෙනත් මඟක යන්න තිබුණා. බුදුරජාණන් වහන්සේ අතිශයෝක්තියෙන් හරි ඉස්මතු කරලා මිනිසුන්ට, දෙවියන්ට වඩා බුදු හාමුදුරුවන්ගේ විශිෂ්ටත්වය ඉස්මතු කර දුන්නා.

කුරුණෑගල යුගය වන විට සිව්වැනි පැරකුම්බාවන් නොසිටින්නට සිංහල බස පවා මීට වඩා වෙනස් වෙන්න තිබුණා. එතුමා බසට ආදරය කළ මහා පාලකයෙක්.

නුවර යුගයේ දී අපේ වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජයාණන් වහන්සේ. ප්‍රතිසංස්කරණවාදියකු හැටියට නූතන යුගයේ සමාරම්භකයාණන් වහන්සේ. කොළඹ යුගයේ දී අනාගාරික ධර්මපාලතුමා. එතුමාගේ කාර්යභාරය අපිට මොන තරම් ද? එදා මිෂනාරී සමාජ වටපිටාව වෙනස් කරලමින,් ඉංගී‍්‍රසි ජාතිකයින් විසින් ගොඩනඟපු අපට නුහුරු සභ්‍යත්වය වෙනස් කරලා සිංහල උරුමය, අපේ සංස්කෘතික උරුමය රැක ගන්න කරපු ක්‍රියා මාර්ගය ඉතා වැදගත්.

අන්න ඒ අතරට නිරන්තරයෙන් ම අපේ සෝම සමිඳුන් ඇතුළත් වෙනවාමයි. උන්වහන්සේට ඒ කාර්යභාරය කරන්න ලැබුණේ කෙටි කාලයයි.

කාර්යභාරය තුළ අපේ ත්‍රිකුණාමලේ ආනන්ද මහා නායක මා හිමිපාණන් වහන්සේ සඳහන් කළා සේ සෝම හාමුදුරුවන්ගේ දර්ශනය මොනතරම් වටිනවා ද? 'සදාචාරය', ජාතියට සෞභාග්‍යය උදාකරයි කියන මතය කේන්ද්‍ර කරගෙනයි උන්වහන්සේ සෞභාග්‍යයේ දොරටුව ලියන්නේ. එය අප හැම කල්හිම කියවා බැලිය යුතුයි. උන්වහන්සේ කී එක් අදහසක් උන්වහන්සේට උපහාර පිණිස අප සිහිපත් කළ යුතුයි.

"වසර දෙදහසක ඉතිහාසය තුළ ශ්‍රී ලංකාවේ සෞභාග්‍ය සම්පන්න කාල පරිච්ඡේදයක් වී නම් එසේ වූයේ සදාචාරය අගය කළ බෞද්ධ රජවරුන්ගේ පාලනයක් තුළම බව අවිවාධයෙන් පිළිගත යුතු ය. අද සිංහලයන් තමන් ගැන උදම් අනන්නේ ද ඒ අතීතයේ නෂ්ඨාවශේෂ පෙන්වමින් ය, යන්න කාහට ප්‍රතික්ෂේප කළ හැකිද? බෞද්ධ රාජ්‍ය සංකල්පයේ නොමිනිය හැකි ශ්‍රේෂ්ඨත්වය ඒ නෂ්ඨාවශේෂ මැනවින් ප්‍රකට කරයි. ශ්‍රී ලංකාවේ ඉංගී‍්‍රසි දේශපාලන සංකල්පය රටේත්, සම්බුද්ධ ශාසනයේත්, සිංහලයාගේත් විනාශය සිදුකරන ආකාරය අද අපේ දෙනෙත් ඉදිරියේ දක්නට ඇත. සෞභාග්‍යයේ ඉලක්කය කරා නොවැරදීම යා හැකි ඒ බෞද්ධ දේශපාලන දර්ශනය අපට ඇත. හීන දීන පරගැති බව හේතුවෙන් ඒ උදාර දර්ශනයට පා පහර දෙන්නෝ මුග්දයෝ නොවෙත් ද? මේ පරගැති බවින් මිදීම සඳහා අප වහාම ක්‍රියා කළ යුතු වේ. ඒ සඳහා බෞද්ධ සදාචාරය පිළිගෙන ඒ අනුව පිළිවෙත් පිරීම අදම ආරම්භ කළයුතු ය.

අපට අහිමි වූ අපේ සදාචාරය නැවත ගොඩනැඟීමේ විප්ලවය ආරම්භ කළ නූතන යතිවරයා අපේ සෝම හාමුදුරුවන් වහන්සේ. එය වදනට සීමා වූ දෙයක් නොවේ. මහරගම ධර්මායතනයේ දී ජන විජය සංවිධානය ආරම්භ කොට පන්සිල් සුරකින සමාජයක් ගොඩනඟනවා. මේ දුරාචාරී වටපිටාව වෙනස් කළ යුතු ය කියන ආස්ථානයේ පිහිටලා, තමන් වහන්සේගේ ධර්ම සන්නිවේදනය ඉතාම සාර්ථකව භාවිතාවට ගත්තා.

උන්වහන්සේ නූතන ධර්ම සන්නිවේදනයේ සාර්ථකම සන්නිවේදකයා. උන්වහන්සේගේ ධර්ම සන්නිවේදනයේ තිබුණා වටිනා මූලධර්ම. ඒ වටිනාකම් අධ්‍යයනය කොට නූතන සන්නිවේදකයන් විසින් භාවිතයට ගත යුතු තරම්. අද ජනපි‍්‍රයතම දේශකයන් කවුරුන් දැයි සොයා බලන්න. ජනපි‍්‍රය දේශකයන් කරන්නේ කුමක් දැයි සොයා බලන්න. ඔවුන් කතා කරන්නේ, ආමන්ත්‍රණය කරන්නේ කාටදැයි බලන්න.

ධර්මයට මාතෘකාවක් නැති, සමාජ විවරණය කරන්නට ධර්මය පදනම් කර නොගන්නා, ඒ වගේම විහිළු තහලුවෙන් මිනිසුන් හිනස්සවන, අසභ්‍ය, දෙබිඩි වදන්වලින් මිනිසුන්ගේ පහත් රස අවුස්සන, ග්‍රාම්‍ය භාෂාවෙන් දහම් දෙසන ඒ දේශකයන් අපට උරුම කරන්නේ අපේ පිරිහුණු ජනමාධ්‍ය විසින් ගොඩනඟන පහත් වින්දනයමයි.

සෝම හාමුදුරුවෝ පැය තුන හතරක් වුණත් එක තැන සිට කියූ දෙසුම් නොසෙල්වී අසාගෙන සිටියේ ධර්මය ද, සමාජය ද, රටේ ජාතියේ අනාගතය ද, ඉතිහාසය ද මේ සියල්ලම කැටි කර ගෙනයි. උන්වහන්සේ අපට හැර දුන් දොරටු අද කාබාසිනියා කොට, විනාශ කොට අවසන්.