Print this Article


භික්ෂූන් වහන්සේගේ දෛනික අවශ්‍යතා අනුව දානමය ආහාර තෝරා ගන්න

භික්ෂූන් වහන්සේගේ දෛනික අවශ්‍යතා අනුව දානමය ආහාර තෝරා ගන්න

අපගේ ගරුතර බුද්ධ පුත්‍රයන් වහන්සේ ආරක්ෂා කර ගන්නට දායක දායිකාවන්ගෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටුවිය යුතු වනවා. උන්වහන්සේට දානය සැකසීමේ දී වඩාත් සෞඛ්‍යවත් ව හා ආරක්ෂිත ව දානය පිළියෙළ කිරීම ඉතාම වැදගත්. එය පින් පිරෙන උතුම් පින්කමක් ද වනවා. සෞඛ්‍ය සම්පන්න ආහාර තෝරාගෙන දානය සකස් කිරීමට මාහැඟි මඟ පෙන්වීමක් මීට වසර කිහිපයකට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශය හා බෝ නොවන රෝග ඒකකය විසින් ඉදිරිපත් කළ “පූජනීය භික්ෂු මහා සංඝරත්නය සඳහා සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක්” යන මැයෙන් කළ ප්‍රකාශනයේ ඇතුළත් වෙනවා. කාලීන අවශ්‍යතාව සලකා සෑම පුර පසළොස්වක පෝදාකම බුදුසරණ කලාපයේ එය කොටස් වශයෙන් පළ කෙරෙනවා.

සවස් කාලයෙහි ගිලන්පස

ස්වාමීන් වහන්සේට ගිලන්පස ලෙස පානය කළ හැකි පෝෂණීය ගිලන්පස කිහිපයක් පහත දැක්වේ. මේවායේ කැපසරුප් භාවය අනුව සවස් හා රාත්‍රී කාලයේ ගිලන්පස ලෙස පානය සුදුසු වේ.

මිශ්‍ර පලතුරු යුෂ

පැපොල්, අන්නාසි, අඹ, දේශීය පැණි දොඩම්, දේශීය දෙළුම්, බෙලි, අලිගැටපේර, පැණිකොමඩු, පැෂන්පෘට්, නෙල්ලි, නාරං සහ සියඹලා වැනි විවිධ පලතුරු මිශ්‍ර කිරීමෙන් සාදා ගන්නා මිශ්‍ර පලතුරු යුෂවල පෝෂණ ගුණය අධික අතර ගිලන්පස ලෙස පිළිගැන්වීම සුදුසු ය. තනි පලතුරු වර්ගයකින් ද පෝෂ්‍යදායි ගිලන්පසක් සාදා ගත හැකි ය .

අලිගැටපේර යුෂ ,දිවුල් යුෂ,අඹ යුෂ, පැපොල් යුෂ,දේශීය පැණි දොඩම් යුෂ, දේශීය නාරං වර්ග ශරීරයට අත්‍යවශ්‍ය ඔමෙගා 3 හිතකර මේද අම්ලය අලිගැටපේරවල අඩංගු අතර ශරීරයට අවශ්‍ය විටමින්, ඛනිජලවණ හා ප්‍රතිඔක්සිකාරක බොහොමයක් මෙම පලතුරු යුෂවල අන්තර්ගත වේ.

ඖෂධීය පාන වර්ග

තේ, කෝපි, කොත්තමල්ලි, රණවරා, නීරමුල්ලි, බෙලිමල්, බෙලිගැට (වියළි), ඉරමුසු, පොල්පලා වැනි ඖෂධීය පාන වර්ග

ජලය සහ ස්වභාවික පාන වර්ග

ශරීරය තුළ සිදුවන විවිධ පරිවෘත්තීය ක්‍රියාවලි සඳහා ජලය අත්‍යවශ්‍ය වේ. දිනකට එක් භික්ෂූන් වහන්සේ නමක් ජලය වීදුරු 6 - 8ක් අතර ප්‍රමාණයක් (දළ වශයෙන් ලීටර් 1.5 -2ක්) පානය කිරීම අවශ්‍යය. දිනකට අවශ්‍ය ජල ප්‍රමාණය දවස පුරාම සමාන ව බෙදී යා යුතු අතර, ජලය පානය කිරීම සඳහා පිපාසය දැනෙන තුරු සිටීම සුදුසු නොවේ.

දිනකට පානය කළ යුතු ජල ප්‍රමාණය පහත සමීකරණය ආධාරයෙන් සොයා ගත හැකි ය.

* ජලයට අමතරව තේ, කෝපි, තැඹිලි, කුරුම්බා, කොළ කැඳ හා ඖෂධීය ස්වභාවික පාන වර්ග, ගිලන්පස සඳහා යොදා ගැනීම සුදුසු වේ.

* තැඹිලි, කුරුම්බා වැනි ස්වභාවික පාන වර්ගවල ද, බෙලිමල්, රණවරා, ඉරමුසු, කොත්තමල්ලි, තේ, හරිත තේ (green tea) හා කොළ කැඳ වැනි ඖෂධීය පාන වර්ගවල ද ශරීරයට හිතකර ඛනිජලවණ, විටමින් හා ඖෂධීය ගුණයන් අන්තර්ගත වේ.

* කෘත්‍රිම සිසිල් බීම හා කෘත්‍රිම පලතුරු යුෂ බොහොමයක් සීනිවලින් පිරී ඇත. තව ද මෙම කෘත්‍රිම බීම වර්ග හා කෘත්‍රිම පලතුරු යුෂ පිළියෙළ කරනු ලබන්නේ කල් තබා ගැනීමට යොදන රසායනික ද්‍රව්‍ය, වර්ණ කාරක, රස කාරක හා සුවඳ කාරක එකතු කිරීමෙනි. මෙම රසායනික ද්‍රව්‍ය ආසාත්මිකතාව, ඇදුම, හතිය, පීනස හා පිළිකා වැනි රෝග තත්ත්වයන් ඇතිවීමට හේතු විය හැකි බැවින් ස්වභාවික පාන වර්ග ගිලන්පස සඳහා පිළිගැන්වීම සුදුසු ය.

භික්ෂූන් වහන්සේ නමක් සඳහා අවශ්‍ය දෛනික ශක්ති අවශ්‍යතාව දළ වශයෙන් කිලෝ කැලරි 1600 -1800ක් ලෙස සැලකිය හැකි ය. මෙය උදෑසන හා දහවල් ප්‍රධාන ආහාර වේල් 02ක් ලෙසත්, හිමිදිරි පාන්දර පානය කරනු ලබන ගිලන්පස පානය ( තේ/කෝපි/ කොළ කැඳ) හා අපරභාග ගිලන්පස වශයෙන් වන ආහාරවේල් අතර, මෙම කැලරි ප්‍රමාණය බෙදී යා යුතු ය.

වගුවෙහි එක් එක් ආහාරවල ඇති කැලරි ප්‍රමාණය සඳහන් කර ඇත. දාන වේලක අන්තර්ගත ආහාරවල ඇති කැලරි ප්‍රමාණය වෙන වෙනම ගණනය කිරීමෙන් දාන වේලක තිබිය යුතු ආහාර හා ප්‍රමාණයන් පිළිබඳ දළ අදහසක් ලබා ගැනීමට දායකයන්ට මෙන්ම භික්ෂූන් වහන්සේට ද හැකි වනු ඇත.

උදෑසන හා දහවල් ආහාරය සඳහා විවිධ වූ ආහාර ලබා දෙන අතර, එක ආහාර වේලකින් ගත යුතු කැලරි ප්‍රමාණය ඉහත වගුවේ සඳහන් ආහාරවල ඇති කැලරි වෙන වෙනම ගණනය කර ලබා ගැනීම තුළින් වැඩි කැලරි ප්‍රමාණයක් පරිභෝජනය කිරීමට සැලසෙන අවස්ථා වළකමින් භික්ෂූන් වහන්සේට සුදුසු ශරීර ස්කන්ධ දර්ශකයක් පවත්වා ගෙන (18.5 - 24.9) බෝ නොවන රෝගවලින් වැළකී නීරෝගිමත් ජීවිතයක් ගත කිරීමට අවස්ථාව සලසා ගත හැකි ය.

තවත් වටිනා ලිපියක් දුරුතු පුර පෝදා කලාපයේ පළවේ