Print this Article


ජය සිරි මහ බෝ පෙළහරක අසිරිය

ජය සිරි මහ බෝ පෙළහරක අසිරිය

රන් කටාරමක් එක්ක මහ බෝ රජුන් අහසට පැන නැග්ගා. දෙව් බඹුන්ගේ වන්දනා පෙරටුව වළා ගැබෙන් වැසී නො පෙනී වැඩ සිටියා. සත්වැනි දවසේ වළාකුළු නැති අහසේ නොයෙක් ප්‍රාතිහාර්යයන් දක්වමින් මිහිමඬලට වැඩම කළා.

අවසරයි ස්වාමීන් වහන්ස, මේ උඳුවප් පුන් පෝ දින අනුරපුර උඩමළුවේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ රෝපණය වූ දිනයයි. ඒ ගැන පැහැදිලි කළොත් ...

අපගේ බුදුරජාණන් වහන්සේ සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවට අප්‍රමාණ කැපකිරීමක් කරලා පෙරුම් දම් පුරලා මනුලොව මහාමයා මවු කුස පිළිසිඳ ගත්තා.

හරියට ම දසමස ගෙවෙද්දී ඒ පින්බර මයා මවු කුසින් ලුම්බිණි සාල වනෝද්‍යානයේ දී වෙසක් පුන් පොහෝ දින උපත ලැබුවා. ඒ පින්වන්ත මොහොතේ දී තමයි අපගේ ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ මේ මිහි මඬලේ පැන නැග්ගේ.

මේ ලෝකයේ මධ්‍ය මණ්ඩලයේ තමයි සම්මා සම්බුදුවරු ලොවට පහළ වන්නේ. ඒ පින්බිමේ ම යි වජිරාසනය පහළ වන්නේ. උතුම් ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ පහළ වන්නේ ඒ පුණ්‍ය භුමියේ ම යි. ඒ ජය භුමියේ තමයි අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දසමරුන් පරදවා සම්බුදු බව ලබන්නේ. එවැනි භූමියක් මේ ලෝකේ තවත් නෑ.

අප මහ බෝසතුන්ට බාධා කරන්නට ගිනි වරුසා, සුළි සුළං, දිය වරුසා, උණු අළු වරුසා, ගල් වරුසාවලින් එක දිගට පහර දුන්නා. පුරන ලද පාරමී බලයෙන් අපගේ මුනිදුන් නො සැලී වැඩ සිටියේ මේ ජය ශී‍්‍ර මහා බෝ රජු අසල සිංහ රාජයෙක් වගේ. ඒ ගිනි වරුසා එද්දී අපගේ සම්මා සම්බුදු රදුන් පිටුපසට වී සිටි ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේගේ බෝ පත්‍රයකටවත් හානියක් කරන්නට මර සේනාවට බැරි වුණා.

ඒ මොහොතේ මේ ලෝකයේ දෙවිවරු පවා ඇස් කන් වසාගෙන සක්වලෙන් පිටතට වී බිරාන්තව සිටියා. නමුත් ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ අප මුනිදුන් හට සෙවණ සලසාලමින් නොසැලී වැඩ සිටියා. ශ්‍රී සම්බුද්ධත්වයේ අසිරිය දකිමින් වැඩසිටි ඇසතු බෝධීන් වහන්සේ ශී‍්‍ර සද්ධර්මාවබෝධයට උපකාර කළ බෝධිය යන අර්ථයෙන් “ බෝධි වෘක්ෂය ” යැයි එතෙක් පටන් ප්‍රකට වුණා.

වජිරාසන භූමියෙන් අප ලක් දෙරණට වැඩම කරගෙන පැමිණි ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේගෙන් ආශ්චර්යවත් වූ අත්භූත වූ සිදුවීම් වූවා නේද ?

ඔව්. ඒ විජය ශ්‍රී ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශී‍්‍ර ශාඛා මහා බෝධීන් වහන්සේ මේ වන විටත් රාජ පූජිත අනුරාධපුර උඩමළුවේ විරාජමානව වැඩ සිටිනවා. මහා බෝධීන් වහන්සේ අපට සිතාගන්නවත් බැරි තරම් ආශ්චර්යවත්.

සිංහල දීපයට වැඩම කළ මිහිඳු මහරහතන් වහන්සේ ලක් බුදු සසුන පිහිටුවද්දී එක් දවසක් දඹදිව අග රජ වූ අශෝක මහ රජුට සංදේශයක් ලැබුණා. සිංහල දීපයට විජය ශී‍්‍ර ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශී‍්‍ර ශාඛා රත්නය වැඩමවා දෙන ලෙසටයි ඒ පණිවිඩය.

අරිට්ඨ අමාත්‍යතුමා ප්‍රධාන දූත පිරිසේ මෙම ඉල්ලීම කොහොම ඉටු කළ යුතු දැයි අශෝක මහ රජතුමා මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගෙන් විමසූවා.

“මහරජාණෙනි, බෝධීන් වහන්සේ ලක් දිවට සැපත් විය යුතු ය. එය සම්බුද්ධ අධිෂ්ඨානයකි”. යනුවෙන් මහරහතන් වහන්සේ දන්වා සිටියා.

ධර්මාශෝක මහරජතුමා දහසක් මහරහතන් වහන්සේත්, දහසක් ප්‍රාදේශීය රජවරුනුත් සමඟ නොයෙක්, මාණික්‍යයන්ගෙන් විසිතුරු වූ නොයෙක් ධජ පතාකවලින්,නොයෙක් මල්දමින්, නොයෙක් ශබ්ද පූජාවන් පවත්වා මහ බෝ රදුන් ළඟට රැස් වුණා. ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ වටතිර දමා ආවරණය කළා , ඇඳීලි බැඳ වන්දනා කරගෙන බෝධි ශාඛා වහන්සේ රන් කටාරමේ රෝපණය වේවා! සිතා බෝධීන් වහන්සේ දෙස බලාගෙන සිටියා. ඒ වෙලේම දක්ෂිණ ශී‍්‍ර ශාඛා රත්නයේ සතර රියනක් පමණත් -බෝධි කඳත් ඉතිරි වෙලා අනික් ශාඛාවන් නො පෙනී ගියා. මේ ප්‍රාතිහාර්ය දුටු අශෝක මහ නිරිඳුන් “ ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේට මාගේ දඹදිව රාජ්‍ය පූජා කරමි යි ” දඹදිව රාජ්‍යයෙන් බෝ රජුන් අභිෂේක කළා.

බෝධීන් වහන්සේ ස්වර්ණමය කටාරමේ රෝපණය කරන්නට මොහොත එළඹුණා. “මේ උතුම් මහ බෝධීන් වහන්සේ සීහල දීපයේ පිහිටිය යුතු නම්, ගෞතම සම්මා සම්බුද්ධ සාසනය කෙරෙහි මාගේ පැහැදීම සත්‍යයක් නම්, මහ බෝ රජුන් තමන් වහන්සේ ම ඡේදනය වී මෙහි තිබෙන රන් කටාරමේ පිහිටා වදාරන සේක්වා!” යි අධිෂ්ඨාන කළා.

ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශී‍්‍ර ශාඛා රත්නය, සෘද්ධියෙන් පහළ වුන මුල් සියයක් එක්ක මහත් වූ සෘද්ධියෙන් ඡේදනය වී අහසට පැන නැගී ස්වර්ණ කටාරමේ රෝපණය වුණා. මහ පොළොව මොහොතක් කම්පා වුණා. බෝ පත්‍රවලින් විහිදුන ෂඩ් වර්ණ බුද්ධ රෂ්මි ධාරාවෙන් මුළු සක්වලම සෝභමාන වුණා. රන් කටාරමත් එක්ක මහ බෝ රජුන් අහසට පැන නැග්ගා. දෙව් බඹුන්ගේ වන්දනා පෙරටුව වළා ගැබෙන් වැසී නො පෙනී වැඩ සිටියා. සත්වැනි දවසේ වළාකුළු නැති අහසේ නොයෙක් ප්‍රාතිහාර්යයන් දක්වමින් මිහිමඬලට වැඩම කළා. ප්‍රාතිහාර්යයන් දැකීමෙන් සතුටට පත් වුණ අශෝක මහ රජතුමා දඹදිව රාජ්‍යයෙන් බෝධීන් වහන්සේ පුද දුන්නා.

රන් කටාරමේ වැඩ සිටිය මහ බෝ ශාඛා වහන්සේ - දහ හත්වැනි දවසේ දී බෝ අංකුර නවයක් පැන නැඟුණා. ඒ අසිරිය දුටු මහ රජු නැවතත් දඹදිව රාජ්‍යයෙන් බෝධීන් වහන්සේ පිදුවා.

මහ සයුරේ දී ත්, ලංකාවේ බෝධි රෝපණයේ දී ත් ආශ්චර්යවත් සිදුවීම් සිදුවුණා නේද ?

ඔව්. මේ විදියට මිහිඳු මහරහතන් වහන්සේගේ අනුශාසනා මැද ලංකේෂ්වර තිස්ස නිරිඳුන්ගේ ඉල්ලීමෙන් මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ ආශිර්වාදයෙන් බෝධීන් වහන්සේ සුන්දර නෞකාවක වඩමවා සංඝමිත්තා මහරහත් උත්තමාවියත් සමඟ එකොළොස් නමක් මහරහත් භික්ෂුණින් වහන්සේත්, අරිට්ඨ අමාත්‍යතුමා ඇතුළු පිරිසත් ජය ශී‍්‍ර මහ බෝධීන් වහන්සේට ආරක්ෂාව සහ වත් පිළිවෙත් කරන්නට ඒ ඒ කුල පරම්පරාත් පිටත් කළා.

ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ මහ හිරු මඬලක් වගේ රශ්මි ධාරා විහිදුවමින් මහ සාගරයට ඇතුලු වුණා. හරි පුදුමයි, මුහුදේ පාට පහකින් නෙළුම් මල් පිපුණා. මුහුදේ සැරිසරන සෘද්ධිමත් නාගයන් සංඝමිත්තා මහරහත් උත්තමාවිය ළඟ වැඳවැටිලා ඉල්ලා සිටියා, රන් කටාරමත් සමඟ ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ නාග භවනට දවස් හතක් වඩමවා වන්දනා මාන පුදපූජා කිරීමට ඉඩදෙන ලෙස.

බෝධීන් වහන්සේගේ වැඩමවීම මහරහතන් වහන්සේගෙන් දැනගත් තිස්ස මහ රජතුමා ගෙල වටක් ම මුහුදට බැහැලා හිස් මුදුනින් ම ලක් දෙරණට වඩමවා ගෙන ආවා. මහා සතුටට පත් වුණ මහ රජු ලංකා රජයෙන් ‌බෝධීන් වහන්සේ පිදුම් කළා. තමන් ම දොරටු පාලකයෙක් ලෙස දවස් තුනක් බෝධීන් වහන්සේට ආරක්ෂාව සපයමින් පුද සත්කාර කළා.

සතර බුදුරජාණන් වහන්සේගේ ම බෝධීන් වහන්සේ වැඩසිටි අනුරාධපුර මහමෙව්නා උයනේ දී අද වැනි උඳුවප් පුන් පොහෝ දවසක උතුම් භූමිය බෝධි රෝපණයට සැරසුණා.

රාජාභරණයෙන් සැරසුන දහසයක් වුන කුලයන්ට අයිති පිරිස ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ රථයෙන් පහළට වැඩමවා රෝපණය කිරීමට සූදානම් කළ බිමේ ඉතා පරිස්සමින් තැන්පත් කළා. එ සැණින් බෝධීන් වහන්සේ අසූ රියනක් පමණ උසට අහසට පැණ නැඟලා ෂඩ් වර්ණ විහිදෙව්වා. අහසේ වැඩ සිටි බෝධීන් වහන්සේ ඉර බැස යනවිට උඩමළුවේ රෝපණය වුණා. ඒ වෙලේම මිහිකත කම්පා වුණා, මහ වැසි වැස්සා, ලංකා පොළොවේ මහ බෝධීන් වහන්සේ මුල් ඇදගත්තා.

ලංකා දෙර‌ණේ ගෞතම සම්මා සම්බුදු සසුනට බෝහෝ කල් ආයුෂ ගෙන දෙමින් විජය ශී‍්‍ර ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ මේ දක්වා ම වැඩ වාසය කරනවා. මහ බෝධීන් වහන්සේට වන්දනාමාන පුද සත්කාර කරමිනුයි මේ ශ්‍රී ලංකාව සෞභාග්‍යවත් වුණේ.