Print this Article


තිස්නව දහසක් දරුවෝ බුද්ධ ධර්මය අසමත් වූයේ ඇයි?

තිස්නව දහසක් දරුවෝ බුද්ධ ධර්මය අසමත් වූයේ ඇයි?

මෙම වර්ෂයේ එනම් 2022 - 2023 වර්ෂයේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් බුද්ධ ධර්මය විෂය සඳහා පෙනී සිටි 238, 038 ක් පමණ වන සිසුන් අතරින් 39000ක් අසමත්වී ඇත. එය ප්‍රතිශතයක් ලෙස සැලකීමේ දී 17%ක් තරම් වූවකි. ථේරවාදී බෞද්ධ රටක්වූත්, උදේ සවස දහම් ඇසෙන අප රටේ දරු පරපුරට මෙස් වූයේ ඇයි දැයි දැන්වත් සිතා බැලිය යුතු නොවේ ද?

මෙසේ වීමට බලපා ඇති හේතු කිහිපයක් අපට පෙන්වා දිය හැකි ය.

දරුවන් දහමින් ඈත් කරවීම.

මෙය දෙමාපියන්ගේ නොසැලකිල්ලෙන් සිදු වේ.

දහම් පාසල් නොයැවීම, නවීන තාක්ෂණයට ඇබ්බැහිවීම, දහම් පොතපත පරිශීලනයට අවස්ථාව ලබා නොදීම, උපකාරක පන්ති කෙරෙහි විශ්වාසය තබා කටයුතු කිරීම, බුද්ධ ධර්මය විෂයට පාසල් පද්ධතිය තුළ ඇති අඩු තක්සේරුව.

මෙයට හැම දෙනා ම වගකිව යුතුයි. බොහෝ විට පාසල් කාලසටහනේ සතියකට දරුවන්ට බුද්ධ ධර්මය ඉගෙනීමට ඇත්තේ කාලච්ඡේද 2 කි. සමහර දාට ඒ වේලාවට අතිරේක වැඩ යොදා ගනීම ද සිදු කරයි. බොහෝ පාසල්වල බුද්ධ ධර්මය ඉගැන්වීමට ගුරුවරු නැත.

“ඕනෑම ගුරුවරයකුට බුද්ධ ධර්මය ඉගැන්විය හැකි ය, යන මිථ්‍යා විශ්වාසය මත විෂය හරිහැටි නොදත් ගුරුවරු ඉගැන්වීමට යෙදවීම. පළපුරුද්දක් නොමැති ගුරුභවතුන් මේ සඳහා යෙදවීම හේතුවෙන් බුදු දහම පිළිබඳ සාවද්‍ය අර්ථකථන සැපයීම. පන්ති කාමරයට ගොස් සිසුන් ලවා පාඩම කියවා ගන්නා ලෙස පැවසීම හෝ තමා පාඩම කියවීම.

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට බුද්ධ ධර්මය හා බෞද්ධ සංස්කෘතිය වැනි විෂයයන් පාසල්වල ඉගැන්වීමෙන් ඈත්වීම. (විදුහල්පතිවරුන්ගේ අකැමැත්ත)

රාජ්‍ය මට්ටමින් කටයුතු කරන ඉහළ නිලධාරින්ගේ අඩු සැලකිල්ල. 2023 ජුනි මස සිට දිවයිනේ සෑම පළාතක්ම ආවරණය වන පරිදි ගුරුවරු බඳවා ගැනීම සඳහා ඉල්ලුම්පත් කැඳවා තිබුණි. ඔවුන්ට මෙන්ම ජාතික පාසල්වලට ද බුද්ධ ධර්මය විෂය අමත වී තිබීම ද ගැටලුවකි.

වර්තමානය වන විට සාරධර්ම පරිහානිය අපට දැකගත හැකි ය. දරුවන් මංමාවත්වල පවා රණ්ඩුවීම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම, මානසික ආතතිය හේතුවෙන් සිය දිවි නසා ගැනීම, මනුෂ්‍ය ඝාතන, පවුලේ ආරවුල්, දික්කසාද බහුල වීම වැනි සමාජ ගැටලු රාශියක් ද උද්ගත වී ඇත. මෙස් වීමට හේතු අපි සොයා බැලිය යුතු ය. මේ සඳහා අපි කුමක් කළ යුතු ද? හේතුඵල දහම උගන්වන බුදුදහමේ ඵලයට පිළියම් සෙවීම නොව හේතු හැඳීනගෙන පිළියම් කළ යුතු ය. ඒ සඳහා දැනටමත් අපි ප්‍රමා ද වැඩියි යනු මාගේ හැඟීමයි.