Print this Article


හැකි පමණින් යුතුකම් ඉටු කරනවා නම් පසුතැවිලි දුරු වෙනවා

හැකි පමණින් යුතුකම් ඉටු කරනවා නම් පසුතැවිලි දුරු වෙනවා

යම්කිසි බෞද්ධයකු තම ජීවිත කාලයේ දී හැකි පමණින් මේ යුතුකම් ඉටු කෙරේ නම්, ඔහුට කිසිවිටෙකත්, පසුතැවිල්ලක් ඇති නොවන්නේ ය. කවර හෝ මනුෂ්‍යයකුට සාමාජික වශයෙන් වැදගත්කමක් උසස් තැනක් ලැබෙන්නේ මේ යුතුකම් සම්පූර්ණ කිරීමෙන් පමණකි

කතංච ගහපතිපුත්ත අරියසාවකා ජද්දියා පටිච්ඡාදි හොති ජ ඉමා ගහපතිපුත්ත දිසා වෙදිතබ්බා පුරත්ථිමා දිසා මාතාපිතරො වෙ දිතබ්බා දක්ඛිණ දිසා ආචරියා වෙදිතබ්බා පච්ඡිමා දිසා පුත්තදාරා වේදිතබ්බා උත්තරා දිසා මිත්තාමච්චා වේදිතබ්බා, හෙට්ඨිමා දිසා දාසකම්ම කරා වෙදිතබ්බා උපරිමා දිසා සමණබ්‍රාහ්මණා වෙදිතබ්බා.

ගෘහපතිය, ආර්ය ශ්‍රාවකයා කෙසේ නම් සදිසාවන් අවුරාගනී ද ගෘහපතිය, මේ සදිසාවෝ දත යුත්තාහ. මා පිය දෙදෙන පෙර දිග ය, ගුරුවරු දකුණු දිග ය, අඹුදරුවෝ බස්නාහිර දිග ය, මිතුරෝ උතුරු දිග ය, දැසිදස් ආදීහු යට දිග ය, මහණ බමුණෝ උඩ දිග ය.

සමාජයේ ජීවත් වන පුද්ගලයෙකු වශයෙන් ද බෞද්ධයකු වශයෙන් ද නොයෙක් අතට යුතුකම් ඉටු කළ යුතුව ඇත්තේ ය. තමා අවට තිබෙන නැඟෙනහිර, දකුණ, බටහිර, උතුර, උඩ, යට යන දිශාවන් තමාට එපා යැයි මඟ හරින්නට බැරිවෙන්නාක් මෙන් තමා සිටින තත්ත්වය අනුව මවුපිය, ගුරුවරු, අඹුදරු, මිතුරු, ශ්‍රමණ සේවක යන මේ බන්ධූන්ට යුතුකම් කිරීමට බැඳී ඇත.

එසේ යුතුකම් ඉටු කිරීම සදිසා නමස්කාරය වශයෙන් සිගාල ගෘහපති පුත්‍රයාට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර දුන්හ. දිසා සය වශයෙන් උපමා කළ මේ කොටස් හයේ පුද්ගලයෝ දොළහක් සිටිති. මවුපිය - දරු, ගුරු - ශිෂ්‍ය, භාර්යා - පුරුෂ, මිතුරු - මිතුරි, පැවිදි - ගිහි, සේවක - ස්වාමි වශයෙනි. මෙයින් ඇතැම් පුද්ගලයකු විසින් කීප විදිහකට ම යුතුකම් ඉටු කළ යුතුව ඇත්තේ ය. එනම් එක් කෙනෙක් තමන්ගේ පුතුන්ට පියා වන අතර තම පියාට පුතා ද වේ. එසේම ඔහු තම ගුරුවරයාට ගෝලයා වන අතර තම ගෝලයාට ගුරුවරයා ද වන්නේ ය. ඔහුම තම සේවකයාට ස්වාමියා වන අතර තම ස්වාමියාට සේවකයා ද වන්නේ ය. ඔහුම තම මිත්‍රයාට මිත්‍ර වන අතර අනිකාට ද එසේම වේ. තම කුල දේවතාවන්ට දායකයා ද වන්නේ ය.

දරුවකු වශයෙන් මවුපියන්ට කළ යුතු යුතුකම්,

* මවුපියන් මහලු වූ කල ඔවුන් පෝෂණය කිරීම

* වැඩක් ඇති වූ කල කටයුතු කිරීම

* කුලවංශය ආරක්ෂා කිරීම

* දායාද හෙවත් උරුමය ආරක්ෂා කිරීම

* පරලෝසැපත් වූ කල පින් පෙත් දීම

මවුපියන් විසින් දරුවන්ට කළ යුතු යුතුකම්

* පාපයෙන් වැළැක්වීම

* පින්කම්හි යෙදවීම

* ශිල්ප ශාස්ත්‍ර ඉගැන්වීම

* සුදුසු කල්හි ආවාහ විවාහ කර දීම

* සුදුසු කල්හි දායාද පවරාදීම

ශිෂ්‍යයන් විසින් ගුරුවරුන්ට කළ යුතු යුතුකම්

* ගුරුවරුන් දැක හුනස්නෙන් නැඟිටීම

* උපස්ථාන කිරීම

* මනාකොට ඇහුම්කන් දීම

* වතාවත් කිරීම

* මනාකොට ශිල්ප ශාස්ත්‍ර ඉගෙනීම

ගුරුවරුන් විසින් ශිෂ්‍යයන්ට කළ යුතු යුතුකම්

* මනාකොට හික්මවීම

* මනාකොට ඉගැන්වීම

* ඉතුරු කර නොගෙන ඉගැන්වීම

* මිත්‍රාමාත්‍යාදීන්ට හඳුන්වාදීම

* සෑම තැන්හිම ආරක්ෂාව සැලසීම

පුරුෂයා විසින් භාර්යාවට කළ යුතු යුතුකම්

* පි‍්‍රය වචනයෙන් කතා කිරීම

* බිරිඳට අවමන් නොකිරීම

* පර ස්ත්‍රීන් සේවනය නොකිරීම

* වස්තුව හා ප්‍රධානකම පවරාදීම

* ආභරණ ගෙනදීම

භාර්යාව විසින් ස්වාමිපුරුෂයාට කළ යුතු යුතුකම්

* ගෙදර කටයුතු මනාකොට ඉටු කිරීම

* සැමියාගේ නෑ මිතුරන්ට මනාකොට සංග්‍රහ කිරීම

* පරපුරුෂ සේවනය නොකිරීම

* වස්තුව ආරක්ෂා කිරීම

* කම්මැළි නොවී සියලු කටයුතු කිරීම

තමා විසින් මිත්‍රයාට කළ යුතු යුතුකම්

* ප්‍රමාදයක් වූ විට රැකීම

* ප්‍රමාදයක් වූ විට මිත්‍රයාගේ වස්තුව රැකීම

* බියක් ඇති වූ කල්හි ආරක්ෂා කිරීම

* විපතක් ඇති වූ විට අත් නොහැරීම

* මිතුරාගේ දරු මුනුබුරන්ට සැලකීම

මිතුරා විසින් තමාට කළ යුතු යුතුකම්

* දීම

* පි‍්‍රය වචන කතා කිරීම

* හිත වැඩ පිණිස වැඩ කිරීම

* සමානාත්මතාව

ස්වාමියා විසින් සේවකයාට කළ යුතු යුතුකම්

* හැකියාව පරිදි කටයුතුවල යෙදීම

* සුදුසු පරිදි බත් වැටුප් දීම

* ගිලන් වූ කළ උවටැන් කිරීම

* රසවත් ආහාර ඇතිවිට බෙදා දීම

* සුදුසු කල්හි විශ්‍රාම දීම

සේවකයා විසින් ස්වාමියාට කළයුතු යුතුකම්

* කලින් අවදිවීම හෙවත් වැඩපළට ඒම

* පසුව නිදීම හෙවත් වැඩපළෙන් යාම

* දුන් දේ පමණක් ගැනීම

* මනාකොට කටයුතු කිරීම

* ස්වාමියාගේ ගුණ කීම

ගිහියන් විසින් පැවිදි පක්ෂයට කළ යුතු යුතුකම්

* මෛත්‍රී සහගතව වැඩ කිරීම

* මෛත්‍රී සහගතව කතා කිරීම

* මෛත්‍රී සහගතව සිතුම් පැතුම් කිරීම

* ගෙදොර නොවසා තැබීම

* සිව්පසය ප්‍රදානය කිරීම

පැවිදි පක්ෂය විසින් ගිහි පක්ෂයට කළ යුතු යුතුකම්

* පවින් වැළැක්වීම

* පින්කම්හි යෙදවීම

* හොඳ හිතින් ආශීර්වාද කිරීම.

* නොදත් දේ කියා දීම.

* දත් දේ ප්‍රගුණ කිරීමට

* ස්වර්ග මෝක්ෂ මාර්ගය කියා දීම.

යම්කිසි බෞද්ධයකු තම ජීවිත කාලයේ දී හැකි පමණින් මේ යුතුකම් ඉටු කෙරේ නම්, ඔහුට කිසිවිටෙකත්, පසුතැවිල්ලක් ඇති නොවන්නේ ය. කවර හෝ මනුෂ්‍යයකුට සාමාජික වශයෙන් වැදගත්කමක්, උසස් තැනක් ලැබෙන්නේ මේ යුතුකම් සම්පූර්ණ කිරීමෙන් පමණකි.

මේවා කට පාඩම් කරගෙන සිහියේ තබාගෙන ඉටු කිරීමෙන් තමන් ඇසුරු කරන ඒ කිසිම කෙනකුගෙන් කරදරයක් නොවන්නාක් මෙන් ම තමා නිතර නිදහස් සිතකින් ජීවත්වීම ද සිදු වන්නේ ය.

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපි ලේඛන ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.