Print this Article


අනවබෝධය නිසා සතර අපායේ දොරටු විවර කර ගන්නා හැටි

අනවබෝධය නිසා සතර අපායේ දොරටු විවර කර ගන්නා හැටි

සීලය හෙවත් අවබෝධයෙන් යුතු විනය, සංවරයෙන් යුතුව ලෞකික ජීවිතය පවත්වා සතර අපාය වළක්වන ආධ්‍යාත්මික ජීවිතය දියුණුකරගත යුත්තේ නොවේ ද? මෙලොව වශයෙන් පවත්නා පණ ඇති හෝ පණ නැති සියලු වස්තූන්ගේ සම්බන්ධකම් මෙලොවට පමණකි. එම සම්බන්ධකම් තාවකාලිකය. මේ සම්බන්ධකම් නිසා දුකින් පිරි සසරක් නිර්මාණය කරගත යුතු ද? මේ දුක්ඛිත සසරින් එතෙර වෙමු ද? එහි පිළිතුර තම තමන්ගේ දැනුම අවබෝධය මත තීරණය කළ යුත්තකි

කර්ම භවය සහ උප්පත්ති භවය ලෙස භවගාමී උප්පත්ති කොටස් දෙකකින් බෙදා දැක්වෙයි. මෙම ආකාර දෙකට ම මූලික වන්නේ ස්කන්ධ පඤ්චකයයි. රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ නම් වූ පඤ්ච උපාදාන ස්කන්ධයේ ක්‍රියාත්මකවීම ම භවගාමීත්වයයි.

කෙටියෙන් සඳහන් කරන්නේ නම්, ඉපදෙමින් මරණයට පත්වීම නම් වූ ස්කන්ධ පඤ්චකයේ හටගැනීම සහ විසිරයෑමයි. අවිද්‍යාව හෙවත් මුළාව හේතු කොට ගෙන සංස්කාර හෙවත් කර්ම රැස්වීමෙන් ස්කන්ධ පඤ්චකයේ හට ගැනීම හෙවත් භවගාමී ජීවිත සකස් වෙයි.

මෙම භවගාමී ජීවිතයේ යථා ස්වභාවය බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව මෙසේ තේරුම් ගත හැකි ය. “අනමතග්ගෝයං භික්ඛවේ සංසාරෝ පුබ්බාකෝටි න පඤ්ඤායති, අවිජ්ජා නිවාරණනං සත්තානං තණ්හා සංයෝජනානං සංධාවතං සංසරතං”

මේ සසරෙහි කෙළවරක් දකින්නට නැත. ආරම්භයක් නොපෙනේ. අවසානයක් නොපෙනේ. අවිද්‍යාවෙන් වැසුණු, තෘෂ්ණාවෙන් බැඳුණු සත්වයෝ මේ සසරෙහි දිවයති. හැසිරෙති. එසේ යන ගමනේ දී සියලු සත්වයෝ ම ඉතා දරුණු ලෙස ලෙඩ දුක්වලට ගොදුරු වූහ. මහත් සේ ව්‍යසනයන්ට මුහුණ දුන්හ.

මේ මහ පොළව මියගිය නුඹලාගේ සිරුරුවලින් පෝෂණය වී ඇත. එනම්, සුසාන භූමියක් බවට පත් වූයේ ය. අප්‍රමාණ කාලයක් සියලු සත්වයෝ ම සසරෙහි දුක් වින්දෝ ය. තථාගත බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් සරණ ගිය හෝ සරණ යන ගිහි හෝ පැවිදි හෝ සියලු ශ්‍රාවක ශ්‍රාවිකාවන් විසින් මේ ඉගැන්වීම පිළිබඳව මනා සේ සිත් පිහිටවිය යුතුය. ඒ බුදු නැණසින් මෙසේ දේශනා කොට වදාළ සසරේ අති භයානක බව සිතෙහි මනාකොට ධාරණය කර ගත යුතු ය.

බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ දී චතුරාර්ය සත්‍ය අවබෝධ කළහ. ත්‍රිවිද්‍යා ඤාණ උපදවා ගත් සේක. එනම්, පුබ්බේනිවාසානුස්සති ඤාණය, චුතූපපාත ඤාණය සහ ආසවක්ඛය ඤාණයන් ය. මෙහි දී තමන් වහන්සේගේ සහ සසර සත්වයාගේ චුති උපත් පිළිබඳ දුටු සේක.

උන්වහන්සේ දේශනා කොට වදාළේ තිස් එකක් වූ සියලු සක්වල, සියලු සත්වයෝ ම ඔවුනොවුන්ගේ අතීත සසර ගමනේ වඩාත් ම උපත ලබා ඇත්තේ නරක, තිරිසන්, ප්‍රේත, අසුර නම් වූ සතර අපායේ බව ය. නරකයේ කොටස් එකසිය තිස් හයකි. තිරිසන් ලෝකය ප්‍රමාණ කළ නොහැකි ය. ප්‍රේත විෂයයෙහි ප්‍රධාන වශයෙන් කොටස් හතරකි. මේ මනුෂ්‍ය ලෝකයේ සිට දෙන පින් අනුමෝදන් විය හැකි ප්‍රේත විෂයයෙහි පරදත්ථූප ජීවි ප්‍රේත කොටසට පමණි. නරකයෙහි ඒ ඒ නිරයෙහි විඳීමට සිදුවන ආයු කාලය වෙන වෙන ම සඳහන් ය. මනුෂ්‍ය ලෝකයෙහි උප්පත්තියක් ලද අපගේ ජීවිත කාලය උපරිමය අවුරුදු සියයක් නම්, මේ සඳහන් කළ දුගතීන්හි ආයු කල්ප ගණන් පිළිබඳවත් ඇයි අප නුවණින් මෙනෙහි නොකරන්නේ?

තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මය, ඉගැන්වීම් ගැන සිතට නඟා ගැනීමේ දී කෙනකුට ගැටලු පවතී. ධර්මය කෙරේ මනා වූ සිත පහදවා ගෙන නැවත නැවතත් ඒ දහම කෙරේ සිත පුරුදු නොකිරීම නිසා ලෞකික අරමුණුවල ආශාව උපදී. තණ්හා, මද, මාන, දිට්ඨීන්ගෙන් බැඳේ. මෙම අරමුණු තාවකාලික බවත්, මොහොතින් මොහොත මේ සියල්ල වෙනස් විය හැකි බවත් සිතට ගත යුතු ය. මනුෂ්‍ය ආයුෂය උපරිමය වසර සියයකට සීමා වන බව අපට බොහෝ විට සිහියට නොනැඟේ. සසරේ බියකරු බව පිළිබඳ අපි හැම දන්නෙමු. එහෙත් භාවිත, බහුලීකත බව නොමැති නිසා, ලෞකික අරමුණු කෙරේ බැඳෙන්නා වූ ආශාවන් ඉදිරියේ එම දැනුම ද යටපත්ව යයි. දැඩි ලෝභය සහ දොම්නස මෙම සියලු දැනුම ආවරණය කොට මම ය, මාගේ ය නම් සක්කාය දිට්ඨියට හසුවෙයි. මෙහි දී කැමැති අරමුණුවල උපාදානය හෙවත් දැඩිව ගැනීමත්, අකැමැති අරමුණුවල ගැටීම හෙවත් තරහවත් ඇතිවෙයි. මෙහි ප්‍රතිඵලය කෙටියෙන් සඳහන් කරන්නේ නම්, පස් පව්, දස අකුසල්වලට යොමුවීමයි. දැඩි ආශාව, අතෘප්තිකර බව, ගිජු බව, තරහව, ඊර්ෂ්‍යාව, වෛරය, බද්ධ වෛරය, පළිගැනීම, මානය, ගුණමකුබව, අකෘතඥාබව ආදී වූ බොහෝ ක්ලේශයන්ට ගොදුරුවීමයි.

තම තමන් විසින් තම ජීවිතය ලෙස පවත්වා ගන්නා වූ ස්කන්ධ පඤ්චකය දිරාගෙන යන බව, ලෙඩදුක්වලට ගොදුරුවන බව, මරණයට සමීප වන බව අභාවිත සිතකට නොනැඟේ. යම් විටෙක දී සිතට මේ පිළිබඳ හැඟුණ ද ප්‍රබල වූ ආශාව හෝ තරහව ඉදිරියේ ජීවිතයේ යථාර්ථය දැකීමට අකැමැති වේ. ඕනෑම මොහොතක මම ය, මාගේ ය කියන මේ සියල්ල ම මෙලොව තබා යන්නට අපට සිදුවේ.

මොන ආකාරයේ ලෙඩදුක්වලට මුහුණ පාන්නට සිදුවේ දැයි අපි නොදනිමු. කවා, පොවා, නහවා, පිරිසුදු කරමින් හැඩ ගන්වන මේ ශරීරයේ රෝම කූපයක තරම්වත් සැබෑ අයිතියක් අපට නැහැ කියා කුමන මනුෂ්‍යයා ද නොදන්නේ.

ඉහළට ගත් ආශ්වාසය පහළට හෙළා නැවත ආශ්වාස කිරීමට නොහැකි වීම මරණය දැක්වීමකි. එම අවස්ථාව නුවණින් සිහිපත් කරන්නේ නම් මෙම ජීවිතයේ සිතන, සිදු කරන, කියන සියල්ලේම සැබෑ අරමුණ කුමක් විය යුතු දැයි සිහිපත් විය යුතු ය. අනවබෝධයෙන් ආදරයෙන් බැඳෙන, තරහවෙන් ගැටෙන සියල්ලේම සැබෑ ප්‍රතිඵලය නම් සතර අපායට මඟ සකසා ගැනීම ය. එය නිමාවක් දැකිය නොහැකි දුකකි.

සීලය හෙවත් අවබෝධයෙන් යුතු විනය, සංවරයෙන් යුතුව ලෞකික ජීවිතය පවත්වා සතර අපාය වළක්වන ආධ්‍යාත්මික ජීවිතය දියුණුකරගත යුත්තේ නොවේ ද? මෙලොව වශයෙන් පවත්නා පණ ඇති හෝ පණ නැති සියලු වස්තූන්ගේ සම්බන්ධකම් මෙලොවට පමණකි. එම සම්බන්ධකම් තාවකාලිකය. මේ සම්බන්ධකම් නිසා දුකින් පිරි සසරක් නිර්මාණය කරගත යුතු ද? මේ දුක්ඛිත සසරින් එතෙර වෙමු ද? එහි පිළිතුර තම තමන්ගේ දැනුම අවබෝධය මත තීරණය කළ යුත්තකි.