Print this Article


බෞද්ධයා ප්‍රබුද්ධයකු විය යුතුයි

බෞද්ධයා ප්‍රබුද්ධයකු විය යුතුයි

අවුකන බුදු පිළිම වහන්සේ ජීවමාන බුදුරුවකි. දක්ෂ ගල්වඩුවකු විසින් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ප්‍රකට වන සේ නෙලූ විස්මිත නිර්මාණයකි. එහි බුදු රදුන්ට කලාත්මක සිවුරක් පොරවා ඇත. ඒ තුළත් උන්වහන්සේ ලොවට දෙසු අපිස් බව ප්‍රතිනිරූපණය කරයි. ඒ එසේ නම් ඊට යළි සිවුරු පෙරවිය යුතු ද? මේ පැනය පැන නැඟෙන්නේ පසුගිය දින අසන්නට වූ පුවතක් කරණ කොට ගෙන ය.

යම් කිසි බෞද්ධයන් පිරිසක් මෙම පිළිම වහන්සේට සිවුරක් පෙරවීමයි. බෞද්ධ අබෞද්ධ ලෝ වැසියන්ගේ සිත් පහන් කළ මෙම ප්‍රතිමාවට සිවුරු පෙරවීම බොහෝ දෙනාගේ කතා බහට ලක් වූවා පමණක් නොව සමහර අය ප්‍රකම්පනයට පත් කළහ.

බෞද්ධයා ආමන්ත්‍රණය කරන විට පින්වත්නි යැයි කියයි. පින් ඇති තැනැත්තා යන අර්ථයෙන් යුත් “ පින්වත්” යන පදය තද්ධිත නාම පදයකි. බෞද්ධයා පින් ඇත්තෙක් වන්නේ කරුණු කිහිපයක් පදනම් කොට ගෙන ය.

* බුද්ධොත්පත්ති කාලයක ඉපදීම.

* ශී‍්‍ර සද්ධර්මය පවතින කාල වකවානුවක ඉපදීම.

* මනුෂ්‍යයකුව ඉපදීම.

* ක්ෂණ සම්පත්තිය හෙවත් අංග සම්පූර්ණ මනුෂ්‍යයෙක්ව ඉපදීම.

* මිථ්‍යා දෘෂ්ටිකයකු නොවී සම්‍යක්දෘෂ්ටික ව ඉපදීම ඔහු ලද පුණ්‍යවන්ත භාවයයි.

මේ විශ්වයෙහි බුද්ධ කියන වචනය ද නොමැති කාල වකවානු පවතියි. එමෙන් ම බුදුවරයෙකුගේ ධර්මය නොමැති කාල වකවානු වෙයි. දහම්සොඬ රජු ලොව පහළ වූ කල සතර පද ගාථාවක් දත් අයකු මුළු රාජ්‍යයේ ම සිටියේ නැත. මනුෂ්‍ය ආත්මභවය ලබන්නේ දුර්ලභව ය. එය කණ කැස්බෑවා විය සිදුරෙන් බලන්නා සේ දූර්ලභ අවස්ථාවකි. මන්ද බුද්ධික නොවී ලෙඩ ඇඳේ නොවැටී, අවයව සම්පූර්ණ ව මිනිස් ආත්මභවයක් ලැබීම ද දුර්ලභව ලැබූ දෙයකි. මේ සියල්ල පින් කළ හැකි හේතු වෙයි. බුදු කෙනකු ලොව නැති කල, ශී‍්‍ර සද්ධර්මය ලොව නැති කල පින් කළ නොහැක.

මේ සියල්ල සම්පූර්ණ වුව ද පින් කරන තැනැත්තා සම්‍යයක් දෘෂ්ටිකයකු නොවී, මිථ්‍යා දෘෂ්ටිකයකු වී නම්, පින්කම් ලෙස කරනුයේ ගොන්කම් ය.

මා දන්නා එක්තරා පුද්ගලයකු විය. ඔහු ආයතනයක සේවය කොට ඉන් විශ්‍රාම ගොස් අර්ථ සාධකය ගත් විට ඔහුට දානයක් දීමට සිත් විය. ඔහු දානයට තෝරා ගත්තේ නගරයේ සිටි යාචකයන් ය. ඔහු යාචකයන්ට ආරාධනා කර තම නිවසට ගෙන්වා ගෙන පළමුව කළේ ඔවුන්ට මත් වතුර දීමයි. මත් වතුර බී සමහරු තව තවත් ඉල්ලති. සමහරු කෑ මොර දෙති. සමහරු සණ්ඩු සරුවල් වෙති. එකම කලබැගෑනියකි. අවසානයේ ඔහුට ද බැණ වදිමින් යාචකයෝ විසිර ගියහ. පිසූ ආහාර කිසිවකුටත් දිය නොහැකි විය.අසල්වාසීහු ද ඔහුට දෝෂාරෝපණය කළහ. දානය ගැන වැටහීම තිබුණ ද දෙන්නේ කාටද, දෙන්නේ මොනව ද? දෙන්නේ කෙසේ ද? යන වැටහීම ඔහුට නොතිබුණි. ඒ නිසා ඔහුගේ දානයෙන් ඔහුට පිනක් සිදු නොවිණි.

අප සිත තුළ ලෝභ, ද්වේෂ, මෝහ අකුසල් මුල් වෙයි. පින්කම් කරද්දී මේ අකුසල් මුල් යටපත් වෙයි. කුසල මුල් වූ අලෝභ , අද්වේෂ, අමෝහ හට ගනියි.පින, පිනක් වන්නේ මේ කුසල මූලයන් තුළින් පින කළොත් පමණි. මෙලොව සතුට ලැබෙන්නේ එවිටයි. පරලොව සතුට ලැබෙන්නේ එවිටයි. පිනක් කළා යැයි වඩ වඩාත් සතුටු විය හැක්කේ එවිටයි. බුදුරජාණන් වහන්සේ අපට අවවාද කරන්නේ යම් කි‍්‍රයාකාරකමක් කොට පසුතැවිලි නොවේ ද, සතුට පිරි මුහුණින් එහි ප්‍රතිඵල භුක්ති විඳී ද ඒ කි‍්‍රයාකාරකම් කරන්න, එසේ වූ දෙය පින් වේ. එසේ නොමැතිව යමක් කොට පසුතැවිලි වීමට සිදු වේ නම්, එහි ප්‍රතිඵලය කදුළු පිරි මුහුණින් භුක්ති විඳින්නට සිදු වේ නම්, එය නොකළ යුතු ය යන්නයි. එය පව් වේ. අප කළ යුත්තේ අපට සතුටු විය හැකි, අනුන්ට සතුටු විය හැකි, දිගු කාලීන සතුටක් විඳිය හැකි කටයුතුයි. කථා කළ යුත්තේ එවන් වචනයි. සිතිය යුත්තේ එවන් සිතිවිලියි. තමන්ටත් හිරිහැරයක් වූ, අනුන්ට හිරිහැරයක් වූ, සිතන සිතන මොහොතක් මොහොතක් පාසා පසුතැවිල්ල, දුක, වේදනාව ලැබෙන කටයුතු නොකළ යුතුයි.

ආශාව, ද්වේෂය යටපත් වුව ද අපගේ බොහෝ බෞද්ධයෝ මෝහය, මුළාව, අවිද්‍යාවෙන් යුක්ත වෙයි. හඳුන්කූරු දල්වන විට විහාරයෙන් පිටත ඒ සදහා තැනක් තිබුණ ද විහාරය තුළ ම, බුදු පිළිමය අසල ම පත්තු කරයි. පහන් දැල්වීමෙහි දී ද එසේ ය. එයින් විහාරගෙය, බුදුපිළිම වහන්සේ, හඳුන්කූරු, පහන් දුමින් විනාශ වන බව නොවැටහෙයි. හඳුන්කූරු පැකට්, පහන්තිර පැකට්, තෙල් ගෙනා තෙල් බෝතල් විහාර ගෙය තුළ, විහාර මළුව තුළ දමා ඒ තැන් ද අපිරිසුදු කරයි. බුද්ධ පූජාව තබන විට සැමට පළමුව තබන්නට අන් අය පෙරළාගෙන ඉදිරියට එයි. පිරිත් නූලක් බැඳ ගන්නට ගිය ද අනුන් පෙරළා ඉදිරියට එන අවස්ථා වෙයි. වර්තමානයේ පිරිත් නූල් බඳීන්නේ අලංකාරයටයි. මෙය බෞද්ධයාගේ මූළාවයි. මෝඩ කමයි. අවිද්‍යාවයි.

අවිද්‍යාව යනු නොදැනීමයි. නොවැටහීමයි. අනවබෝධයයි. මුළාව මෝඩකම යනු මෙයයි. අවිද්‍යාව ක්ලේෂයකි. මේ ක්ලේෂය පදනම් කොටගෙන අප පව් කරයි. පින වරදවා හිතයි. පව වරදවා හිතයි. මිථ්‍යාවන්හි නිරත වෙයි. අවිද්‍යාව නිසා අප කරන සමහර පින්කම්හි පින සම්පූර්ණ ව ලබන්නට අපට හැකියාවක් නැත. අවිද්‍යාව දියුණුවට බාධාවකි.

නක්කත්ත ජාතකයෙහි විවාහයක් තීන්දු කොට අනතුරුව මනාලිය ගෙන එන දින නැකැත් සුද්ධිය නැතැයි එදින මනාලිය ගෙන එන්නට නොයා නැකැත් සුද්ධිය ඇති දින මනාලිය ගෙන එන්නට ගිය විට එම මනාලිය වෙනත් මනාලයකුට විවාහ කර දුන්නා සේ අවිද්‍යාවෙන් කරන කටයුතු නිසා බොහෝ පාඩු, නින්දා, අපකීර්ති, දුක් ලබන්නට සිදු වෙයි.

බෞද්ධයා ප්‍රබුද්ධයකු විය යුතුයි. ලෝකය පිළිබඳ යථාර්ථය දැකි ය යුතු ය. එසේ දැකීම විද්‍යාවයි.

යමෙක් මේ ලෝකය දුක තුළ පදනම් වූ ලෝකයක් බව දනී නම්, ඒ දුක හටගන්නේ තෘෂ්ණාව, ආශාව නිසා බව දන්නේ නම් , දුක නැති කොට නිරෝධයක් නිවනක් ලැබිය හැකි බව දන්නේ නම්, ඒ නිවන ලබන්නට අංග අටකින් යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කළ යුතු බව දන්නේ නම්, ඔහු අවිද්‍යාවෙන් බැහැර වූවෙකි. ලෝකයේ යථාර්ථය දන්නෙකි. ප්‍රබුද්ධයකි. නිවන් දකින්නෙකි.

එසේ නොදකින්නා භව සංසාරය තුළ දුක විඳ විඳ සැරි සරන්නෙකි. මන්ද භව චක්‍රයෙහි පළමු ගරාදිය අවිද්‍යාවයි. පටිච්ඡ සමුප්පාදයෙහි පළමු පුරුක අවිද්‍යාවයි. සංසාරයෙහි අප ඇද බැඳ තබන රැහැන් සංයෝජන තුළ අවිද්‍යාව වෙයි. අවිද්‍යාවෙන් යුක්ත වූ විට පව් කරයි. සසර යළි යළිත් ඉපිද දුක් විඳියි.

මතක භක්ත ජාතකයෙහි බමුණෙක් දෙවියන් සතුටු කරන්නට එළුවන් මරා බිළි පූජා පවත්වයි. එසේ මරන්නට ගෙන ආ එළුවකු මරන්නට ගෙන යද්දී බොහෝ සතුටින් යයි.ඊට හේතුව විමසූ විට තමනුත් පෙර ආත්මයේ දී මෙවන් බමුණකු වූ බවත්, එසේ සතුන් මරා බිළි පූජා කළ නිසා එළු ආත්මයෙහි පන්සිය වතාවක් ඉපිද හාරසිය අනුනව වතාවක් බෙලි කැපීම් ලද බවත්, මේ තමාගේ පන්සිය වන බෙලිකැපීම බවත්, ඉන් පසුව යළි බෙලි කැපීමක් නොලබන බවත් පැවසීය.

මෙය බොරු කරන්නට බමුණා මෙම එළුවා නොමරා තැබුව ද ඌ තණ කොළ කමින් ඇවිද යද්දි අසල වූ ගල් පර්වතයට හෙනයක් ගසා එහි ගල් පතුරක් කැඩී එයින් උගේ බෙල්ල කැපිණි. අවිද්‍යාව නිසා දුක් විදින්නේ මෙලෙසයි.

එහෙයින් සුදනනි. අවිද්‍යා හැර අවබෝධයෙන් පින්කම් කොට සසර ගමන කෙළවර කර ගනිමු.