Print this Article


ප්‍රකෘතිය විකෘතියට ගෙන යන හලා හල විස

ප්‍රකෘතිය විකෘතියට ගෙන යන හලා හල විස

සුරාපානය යන වචනය තුළ සමස්ත මත්ද්‍රව්‍ය පිළිබඳව ම අන්තර්ගතව ඇත. සුරාව තුළින් මනුෂ්‍යයාගේ ප්‍රකෘති ස්වභාවය නැති කොට විකෘති ස්වභාවයක් ඇති කරනු ඇත. බුද්ධ දේශනය අනුව ගත් කල්හි සුරා යන වචනය තුළ මත්ද්‍රව්‍ය යන සංකල්පය සම්බන්ධ කොට ඇති අයුරු පැහැදිලි වේ.

එනිසාම පංචශීලය තුළ පස්වන ශික්ෂා පදය වශයෙන් ද, එය දක්වා ඇත.

“සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමනී සික්ඛාපදං සමාදියාමි” (මම ප්‍රමාදයට හේතුවන මත්ද්‍රව්‍යවලින් වැළකීමේ සිල් පදය සමාදන් වෙමි.) යනුවෙන් බෞද්ධයාගේ නිත්‍ය ශීලය තුළ සුරාපානයෙන් වැළකීමේ ස්වභාවය නොහොත් සමාජ යහපත උදෙසා චර්යාමය වෙනසක් ඒ තුළ අවශ්‍ය බව අන්තර්ගත කොට ඇත.

සුරාවේ සමාරම්භය පිළිබඳ සොයා බැලීමේ දී ජාතක පොත් වහන්සේ තුළ ඇතුළත් 504 වෙනි “කුම්භ ජාතකය” ඉතා වැදගත් වේ.

බරණැස් නුවර බ්‍රහ්ම දත්ත රාජ සමයේ එක්තරා “සුර” නම් වූ වැද්දෙක් ගස් දෙබලක එකතුව තිබුණු පල් වූ වතුරක් බී එයින් මත්ව එහි සිටි “වරුණ” නම් තපස් කෙනකුට ද ඒවා පානය කරන්නට දීමත්, ඉන්පසු එම තාපසයා ද ඒවා පානය කොට මත්වීමේ කතා පුවතකි. එයින් පසු ඔවුන් දෙදෙනා එම පල් වතුර භාජනවල දමාගෙන නගරයට ද ගෙන ගොස් බොහෝ දෙනාට ඒවා අලෙවි කොට මුදල් ලබා ගත්හ. එරට රජු ද එය දැක සුරාව පානය කොට විශාල සැලිවල සුරාව සැකසූ අතර, පසුව රට පුරාම සුරාව පැතිර ගිය අයුරු වැඩිදුරටත් පැහැදිලි කෙරේ. එහි අවසන් ප්‍රතිඵලය වූයේ බරණැස, සාකේත නුවර රජවරු ප්‍රමුඛ රට වැසියෝ ද සුරා පානය කොට අන් සියලු කටයුතු අතපසු කිරීමෙන් මුළු මහත් රටම අන්ත දිළිඳු බවට පත්වීමයි.

ඉහත කතා පුවතින් සුරාවේ ආරම්භය පිළිබඳ යම් අවබෝධයක් ලබා ගැනීමට පුළුවන්කමක් ඇත.

සුරාපානය යනු මත් වන ද්‍රව්‍යයක් ගැනීම බව අමුතුවෙන් කිවයුතු නැත. සුරාව තුළින් සත්වයාට වන හානිය බුදු හිමි සිඟාලෝවාද සූත්‍රය තුළින් දේශනා කොට ඇත. එහි සුරා පානය නොහොත් මත්ද්‍රව්‍ය භාවිතය තුළින් වන විනාශය දක්වා ඇත. එනම්,

මේ ආත්මභාවයෙහි දී ම ධනය විනාශවීම, කෝලාහල ඇතිවීම, රෝග පීඩාවන්ට ගොදුරු වීම, අපකීර්තිය ඇතිවීම, ලැජ්ජා නැතිව හැසිරීම, නුවණ දුර්වල වීම ආදිය යි.

පරාභව සූත්‍රය තුළ දැක්වෙන ගාථා අතර 16 වෙනි ගාථාව වන්නේ,

ඉත්ථිධුත්තෝ සුරාධුත්තෝ
අක්ඛධුත්තෝ ච යෝ නරෝ
ලද්ධං ලද්ධං විනාසේතී
තං පරාභවතෝ මුඛං

යම් මිනිසෙක් ස්ත්‍රීන් කෙරෙහි ලොල් වේ ද, සුරාවෙහි ලොල් වේ ද, දූ කෙළියෙහි ලොල් වේ ද, ලද දෙය වනසයි ද එය පිරිහීමට කරුණක් වන්නේ ය.

සුරාව යනු කෙනකුගේ මුළු ජීවිතයම විනාශ කර ඔහුව ප්‍රපාතයට ඇද දමන විෂබීජයකි. ඉතිහාසය ගත් කල්හි අපේ රටේ මිනිසුන් පංචශීල ප්‍රතිපත්ති ඔස්සේ ජීවිතය පවත්වා ගෙන ගිය අයුරු ඉතා පැහැදිලි ය. නමුදු විදේශිකයන් අප රටට සංක්‍රමණය වීමත් සමඟ ඔවුන්ගේ ආභාසය මත අපේ රටේ බෞද්ධයින් පවා මෙවැනි අධාර්මික පිළිවෙත්වලට යොමු වූ ආකාරය ඉතා පැහැදිලි ය.

වර්තමාන සමාජය තුළ මත්ද්‍රව්‍ය නොමැති තැනක් නැත. මංගල්‍ය, අවමංගල්‍ය පොදු සමාජ උත්සව, සමිති සමාගම් සෑම තැනක ම අද මත්ද්‍රව්‍ය අත්‍යවශ්‍ය ම අංගයක් කොටගෙන ඇත. සමහර අවස්ථාවල දී දරුවන් ඉදිරියෙහි පවා දෙමාපියන් මත්ද්‍රව්‍ය භාවිත කරති. වර්තමානය දුවගේ පුතාගේ උපන්දින සාද පවා පවත්වන්නේ ද මත්ද්‍රව්‍යයත් සමඟ ය.

බුදු හිමියන් මත්ද්‍රව්‍යය පිළිබඳ දේශනා කළ කරුණු කාරණාවන් සමඟ සැසඳීමේ දී මත්ද්‍රව්‍ය පුද්ගලයාගේ මෙලොව පරලොව යන දෙ අංශයම පිරිහීමට පත් කරන්නක් බව පැහැදිලි වේ. එය තමනටත් අනුනටත් නිරන්තරයෙන් විපත් කැඳවන්නකි. විකෘති වූ මනසකට නොකළ හැකි දෙයක් නොමැත. අද ලෝකය දෙස බැලීමේ දී පැහැදිලි වන්නේ බොහෝ දූෂණ, භීෂණ, අපරාධ සිදුවන්නේ මත්ද්‍රව්‍ය භාවිතයත් සමඟ ය.

උම්මත්තා විගත ලජ්ජගුණා භවන්ති
දීනා සදා ව්‍යසන රෝග පරායනා ච
ජාතා භවේසු විවිධෙසු විරූපදෙහා
පීත්වා හලාහලවිසං ව සුරා විපඤ්ඤා

නුවණ නැත්තා වූ පුද්ගලයෝ හලා හල විෂයන් බදු වූ සුරාව පානය කොට අනාගතයෙහි උම්මත්තකයෝ වන්නාහ. ලජ්ජා ගුණය නැත්තෝ වන්නාහ. දිළින්දෝ වන්නා හ. සෑම කල්හි නොයෙක් ව්‍යසන හා නොයෙක් රෝග ඇත්තෝ වන්නාහ. දිළින්දෝ වන්නාහ. නොයෙක් ජාතිවල උපන්නාහු විරූප ශරීර ඇත්තෝ වන්නාහ.

ඉන් පැහැදිලි වන්නේ සුරා පානය කිරීම තුළින් මෙලොව දී ම සත්වයා පිරිහෙන ආකාරය යි. එය තමන්ට පමණක් අයහපත පිණිස පවතින්නක් නොව අන්‍යයන්ට ද විපත කැඳවන්නාහ. සුරාපානය තුළින් මරණයෙන් පසු වුව ද දුක් විඳීමට සිදුවන අයුරු දේශනා කොට ඇත.

“සුරමේර පානං භික්ඛවේ හෝති තිරච්ජාත යොනි සංවත්තනිකං හෝති” පෙත්ති විසය සංවත්තනිකං හෝති යො සම්බලහුසො “සුරාමේරය පානස්ස විපාකො මනුස්ස භුතස්ස උම්මත්තක සංවත්තනිකා හෝති”

මහණෙනි, සේවනය කරන ලද්දා වූ, වඩනා ලද්දා වූ, බොහෝ කොට කරන ලද්දා වූ සුරාමේරය පානය නරකයෙහි ඉපදීම පිණිස පවත්නේ වේ. පේ‍්‍ර්ත විෂයෙහි ඉපදීම පිණිස පවත්නේ ය. සුරාමේරය පානය කිරීමේ ඉතාම අල්ප විපාකය වශයෙන් මිනිස් ලොව උපන්නවුන්ට උමතු බව ඇති කරන්නේ වේ.

මේ ආදී වශයෙන් බුදු හිමි සුරා පානයෙහි විපාක මෙලෝ වශයෙනුත්, පරලෝ වශයෙනුත් ලැබෙන අයුරු දේශනා කොට ඇත. සුරාපානය මදයටත්, මද ය, අකුසලයටත්, අකුසලය, අපායෝත්පත්තියටත් හේතු වන බැවින් එයින් වැළකීම ඉතා ප්‍රයෝජනවත් වේ.

සුරාපානය නො කිරීමෙන් බොහෝ අකුසල් දුරු කර ගැනීමේ ශක්තිය ඇත.

සුරාපානය කළාට පසු සිතින් කයින් වචනෙන් සිදුවන අකුසලයත් සමඟ එය අපායෝත්පත්තියට හේතුවන බව වටහා ගත යුතු ය.

වෛද්‍ය විද්‍යාවට අනුව වුව ද අද සුරාපානය නිසා ඇති වන බොහෝ රෝගාබාධ හඳුනාගෙන ඇත. ඒ අනුව බැලුවද එයින් වැළකීමට අපහසු නැත. සුරාපානය නිසා මිනිසාගේ ආයුෂ වර්ෂ 10 කින් කෙටි වන බව සොයාගෙන ඇත. ශාරීරික සෞඛ්‍යය පැත්තෙන් ගත්ත ද සුරාපානය සුබ දෙයක් නොවනු ඇත. විනෝදයට හෝ සිතේ දුකට හෝ ප්‍රශ්න ගැටලු නිරාකරණය කර ගන්නා අදහසින් හෝ සුරාපානය කළ ද එහි විපාක ඉතා බරපතළ ය.

මානව සමාජයේ යහපත උදෙසාත්, පී‍්‍රතියෙන් හා බියක් සැකක් නොමැතිව ජීවත්වීම උදෙසාත් දේශනා කළ පංචශීල ප්‍රතිපදාවට අයත් සුරාමේරයෙන් වැළකීමේ සික පදය ආරක්ෂා කිරීමට සෑම කෙනකුම ඇප කැප විය යුතු ය.

සෑම ආගමක් තුළින් ම ඒ පිළිබඳ අඩු වැඩි වශයෙන් කරුණු ඉදිරිපත් කොට ඇත්තේ මිනිසාගේ යහපත උදෙසා ය. ඒ අනුව රටක වගකිව යුත්තන්ගේ පටන් සාමාන්‍ය පුද්ගලයා දක්වාම සෘජුවම බලපාන ඉහත කරුණු පිළිබඳ සිතා එයින් තමන් වැළකීමටත්, අන්‍යයා වළක්වා ගැනීමටත් අප කවුරුත් උත්සාහවත් විය යුතු ය. එතුළින් රටක සමාජයක සැමට ම සමඟියෙන් හා සහජීවනයෙන් ජීවත්වීමට අවශ්‍ය පරිසරයක් ගොඩ නැඟෙනවාට කිසිදු සැකයක් නැත.