Print this Article


පහන් සිතක කවි

උඳුවප් සඳ

අවසානයක් නොමැතිව මහවැසි වැස්ස
ඉල්මහ ගෙවී ඇරඹුණි චිරි චිරි වැස්ස
එළඹෙන පොහෝ දින වසරේ අග්ගිස්ස
උඳුවප් සඳරැසින් වඩවයි සිත තොස්ස

අරි අට ඇමැති ගොස් මහ භාරතය වෙත
රජුහට සැලකලා මෙහි තතු සසුන් ගත
හරියට පහදවා දඹදිව රජුගෙ සිත
සසුනට අරුණ සැලසූවා මෙලක වෙත

සම්බුදු සමිඳුගෙ උත්තම සිරිපතුල
පහසින් උතුම් වූ සමනොල ගිරිකුල
තරණය කරන ගමනේ පිරුමට මුල
සිහිපත් කරන්නේ උඳුවප් සඳ දිදුල

****

අනියත

දෙනෙතට උපැස දාලත් අඩුවෙනි ඉටුව
සවනට පතිත වීලත් බොඳවය කැටුව
හිසවට කෙස ද පෑමත් සුදටම දුටුව
දිවියට නොවෙද මේමත් කළ එන පටුව

පැණි රස කන්න බැහැ, දියවැඩියා මුසුව
ලුණු ලෙස ගන්නෙ නැහැ, ලේ පීඩන පසුව
තෙල විස වෙන්නෙ මහ මේදය ලෙස, දෙසුව
සිය කුස මැන්නෙ, රහ කෑමට නොම හසුව

තනියට කෙනෙක් සමඟයි ගමනක විරිය
යනවිට දණිස් කකියයි හිඳගනු පිරිය
දකිනට මගක් නොමවයි හිතවතු සිරිය
කුමකට හඬක් අනියතමයි දිවි සැරිය

****

වෙහෙර මළු පෙත

වෙහෙර මළු පෙත - හරි මනස්කාන්තයි
දැල්වූ පහන් වැට - සිරියාවයි. පින් පාටයි
වැනෙන්නේ පවනට - නිවන් පත පතා
දකින නෙත සිත සැදැහැ බවක් දනවයි.

පොහොයදාට විහාරයේ - මල් වට්ටි ටික
මන බඳනා ගානයි - ගාථා කියලා පූජා කරන්නේ
අලංකාරයට වට්ටිය තුළ - පෙළ ගැසිලා
හරි ලස්සනට හැඩ - වැඩ වීලා
හරි පින් පාටයි - නිවන් පතන්නේ

****

පෙම්බර අම්මාට

අඩ සිය වසක් ගෙවුණා අම්මේ ඔබ නැතිව
ළඟ ඉන්නවා වාගෙයි මට තවම
ඔබ ගුණ වරුණ සිහි කොට සැමදා මල් පිදුව
තවමත් සිහි වෙනවා ඔබෙ සොඳුරු දිවි මතක

මලේ රේණු මල අමතක කරා දෝ
විලේ නෙළුම් විල තනිකර ගියාදෝ
හිතේ සිසිල මා අතහැර ගියාදෝ
අම්මේ නුඹ ඉතින් මා තනිකර ගියාදෝ