Print this Article


වචනය නිසා දුක් විඳි ගොවියාගේ කතාව

වචනය නිසා දුක් විඳි ගොවියාගේ කතාව

රජවරුන්ගේ, මැති-ඇමතිවරුන්ගේ අනුග්‍රහය ඇතිව වෙහෙර විහාර දහස් ගණන් ඉදි වුණා. මේ කාලයේ විහාරවල වැඩ සිටිය භික්ෂූන් වහන්සේ කණ්ඩායම් වශයෙන් දඹදිව වන්දනාවේ යෙදීමේ සිරිතක් තිබුණා. ශී‍්‍ර මහාබෝධීන් වහන්සේගේ දකුණු ශාඛාව ලක්දිවට වැඩම කර තිබුණු නිසා, බුදුරජාණන් වහන්සේ පිට දුන් ජය ශී‍්‍ර මහාබෝධීන් වහන්සේ දැක බලා ගන්නත්, වන්දනා කරන්නත් ගිහි ජනතාව වගේම, පැවිදි පිරිස අතරත් තිබුණේ බොහෝම උනන්දුවක්

මිහිදු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කිරීමත් සමඟ ශ්‍රී සද්ධර්මය ලංකාව පුරා පැතිර ගියා. ගම්දනව්වලින් තරුණයින් පැවිද්ද ලබා ගන්න පටන් ගත්තා. භාවනා කරමින් සෝවාන් ආදී මාර්ග-ඵලවලට පැමිණියා.

රජවරුන්ගේ, මැති-ඇමතිවරුන්ගේ අනුග්‍රහය ඇතිව වෙහෙර විහාර දහස් ගණන් ඉදි වුණා. මේ කාලයේ විහාරවල වැඩ සිටිය භික්ෂූන් වහන්සේ කණ්ඩායම් වශයෙන් දඹදිව වන්දනාවේ යෙදීමේ සිරිතක් තිබුණා. ශී‍්‍ර මහාබෝධීන් වහන්සේගේ දකුණු ශාඛාව ලක්දිවට වැඩම කර තිබුණු නිසා, බුදුරජාණන් වහන්සේ පිට දුන් ජය ශී‍්‍ර මහාබෝධීන් වහන්සේ දැක බලා ගන්නත්, වන්දනා කරන්නත් ගිහි ජනතාව වගේම පැවිදි පිරිසත් අතරත් තිබුණේ බොහෝම උනන්දුවක්.

මේ වන්දනා නඩ මහාකොණ්ඩ කියන තැනින් නැව් නැඟිලා දඹදිව කාවේරි පටුනට ගොඩබැහැලා දඹදිව පූජනීය ස්ථාන වන්දනා කරන්න යනවා.

දවසක් ලංකාවේ වැඩ සිටිය භික්ෂූන් වහන්සේ හත් නමක් කතිකා කර ගත්තා දඹදිවට වැඩම කරලා ජය ශ්‍රී මහාබෝධීන් වහන්සේ දැක බලා ගෙන වන්දනා කර ගෙන වැඩියොත් හොඳයි කියලා. දවසක් නැව් නැඟලා දඹදිවට ගොඩවෙලා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින දිශාව හමුවන මගීන්ගෙන් අහගෙන ගමන් කළා. එක් මඟියෙක් කී සලකුණු වැරැදිලා දවස් හතක් ම ගමන් කරලා තිබුණේ වැරදි පාරක. ඒ මාර්ගය මහා වනාන්තරයක් මැදින් තිබුණේ. හැමදාම හවසට ගල්ලෙනකට හරි, ගහක් මුලකට හරි ගිහින් රාති‍්‍රය ගත කරලා පහුවදා පාන්දරින් ම ආයෙත් ගමනේ යෙදුණා.

මෙහෙම ගමන් කරන කොට මහා වනාන්තරය මැද දී දැක්කා විශාල නඟුලකුත්, වියගහකුත් කර තියා ගෙන කුඹුරකට යන ගොවියෙක්, බොහොම වෙහෙසට පත් වෙලා. ඇග කෘෂවෙලා ගිහින්. බොහෝම දුර්වලයි. කතා කරන කොට ළඟ පාතකවත් ඉන්න බෑ. ඒ වගේම ඇඟෙන් හමන විශාල දුගඳ ඉවසන්න බෑ. පෙනුමත් හරිම අප්‍රසන්නයි. තෙරුන් වහන්සේ දින හතක් තිස්සේ ගමන් කළත් මෙහෙම මනුෂ්‍යයෙක් ව නම් දැකලා තිබුණේ නෑ.

ටික ටික ඒ මනුෂ්‍යයා ළගට සමීපවෙලා මෙහෙම ඇහුවා.

‘අපි බෞද්ධ භික්ෂූන් වහන්සේ, ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ වන්දනා කරන්න යන ගමන් ඉන්නේ. අපට පාර අමතක වෙලා. දවස් හතක් තිස්සේ මං මුළා වෙලා ඉන්නේ. ඔබතුමාට පුළුවන් ද අපට පාර කියලා දෙන්න”යි විමසුවා.

ඒ වෙලාවේ මේ මනුෂ්‍යයා කියනවා.

‘ඔබ වහන්සේ දවස් හතක් විතරයි මං මුළා වෙලා ඉන්නේ. මම මේ පොළොව දූවිලිවලින් පිරි පිරී ගිහින් ගව් හතක් වෙනකම්ම මං මුළා වෙලා ඉන්නේ. අවුරුදු දහස් ගණනක් මම කායික හා මානසික දුක්වලින් පීඩා විඳිනවා’යි කියා සිටියා.

ඔහුගේ ශරීරයත්, කතා විලාසයත් අවබෝධ කර ගත් තෙරුන් වහන්සේ ඔහුට අමතලා’

ඔබ මෙතරම් කාලයක් පීඩා විඳින්නේ මොන පාප කර්මයක් නිසා ද කියලා අපට දැන ගන්න පුළුවන්ද?’

කියලා අහනවා. එතකොට කියනවා ‘මං මිනිහෙක් නෙවෙයි. මං දුක් විඳින මහා ප්‍රේතයෙක්. මට කන්ඩ හෝ බොන්ඩ හෝ කිසිම දෙයක් ලැබෙන්නේ නෑ. නිදාගැනීමක්වත්, හිඳීමක්වත් මට ඇත්තේ නෑ.

ඒ විතරක් නෙවෙයි ස්වාමිනි, හැමවෙලේ ම මේ නඟුªලයි වියගහයි අරගෙන දිවා රෑ දෙකේම කුඹුරු හානවා. මේ හැම එකක් ම නිතරම ගින්නෙන් පිච්චෙනවා, දැවෙනවා. ඒත් මට සැනසිලි මරණයක් නෑ. හැම වෙලේම පිච්චි පිච්චී මම බිම හානවා. මං විශාල අකුසලයක් කරපු කෙනෙක්. ඒකේ විපාකය තවමත් මං විඳිනවා’යි තමන්ගේ දුක එක දිගට ම කියාගෙන යන්න පටන් ගත්තා.

තෙරුන් වහන්සේ කතාව අහගෙන ඉදලා නැවතත් අහනවා. අපි කැමැතියි ඔබ කළ අකුසලය මොකක්ද කියලා දැන ගන්න. අපටත්, ලෝක සත්ත්වයාටත් එතකොට පුළුවන් අකුසල්වලින් මිදිලා කුසල් කර ගන්න. හොඳ අත්දැකීමක් වෙනවා මේක. අපට අනුකම්පා කරලා ඔයාගේ කතාව අපට කියන්න’ කියලා නැවතත් ඒ තෙරුන් වහන්සේ ඉල්ලා සිටියා. එතකොට මේ මහා ප්‍රේතයා කියනවා. ‘

මං කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලොව වැඩ හිටිය කාලයේ කසීරට කිකී රජුගේ රාජ්‍ය උයනේ උපන් කෙනෙක්. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ බණ දේශනා කරමින්, ගම්දනව්වල පිණ්ඩපාත චාරිකාවේ යෙදුණා.

දවසක් බරණැස් නුවර මිනිස්සු කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයාට දානයකට ආරාධනා කරලා මුළු නුවරම සරසලා. ඒ විතරක් නොවෙයි හැම ගෙදරකම රසවත් මාළුපිනිවලින් පිරිලා. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝයා තම තමන්ගේ නිවෙස්වලට වඩිනකම් මේ පිරිස බලාගෙන ඉන්නවා. මේ ගැන කිසිවක් දන්නේ නැති මං එදා උදේ වෙනදා වගේම නඟුලත්, වියගහත් අරගෙන කුඹුර හාන්න ගියා. එතකොට මගේ ළගම නෑයෙක් ඇවිත් කිව්වා. අද කාශ්‍යප බුදුරජාණන් වහන්සේ අපේ ගමට පිණ්ඩපාතයේ වඩිනවා. ඔබත් අද පින් කරගන්න. දානය ටිකක් හෝ පූජා කර ගන්න කියලා මගෙන් ඉල්ලා සිටියා.

මං ඒ වෙලාවේ මගේ නෑයට කිව්වා ‘ඒ කාශ්‍යප බුදුහාමුදුරුවෝ මගේ කුඹුර හාලා දෙනවා නම් මං උන්වහන්සේවත්, සංඝයාවත් පුදන්නම්. මං කුඹුරට ගියේ නැත්නම් ඒ වැඩ කරන්නේ කවුද? මගෙත්, අඹු දරුවන්ගේත් බඩගින්න නිවන්නේ කොහොමද? කියලා නෑයාගේ වචනවලට දොස්පරොස් කිව්වා. ඊට පස්සේ කුඹුරට ගියා.

එදා දවස මෙහෙම ගෙවී ගියත්, ඒ සිද්ධිය මගේ හිතේ බොහොම කනගාටුවක් ඇති කළා. ඒ ආත්මයෙන් චුත වෙලා, අද වෙනකම් ඒ අකුසලය ගෙවා නිමා කර ගන්න බැරිවයි මේ දුක් විඳින්නේ’යි කියලා අතීත අකුසල විපාකය පැහැදිලි කරලා කිව්වා. ඒ විතරක් නෙවෙයි. තව ටිකකින් නැවතත් භික්ෂූන් වහන්සේ අමතලා කිව්වා.

‘ස්වාමිනි, එදා මගේ වචනය මට සංවර කර ගන්න බැරි වුණා. ඒ නිසා තමයි මේ තරම් කටුක දුකක් අවුරුදු දහස් ගණන් මේ විඳවන්නේ. ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වුණායින් පස්සේ මේ ආත්මයෙන් මිඳිලා මම ආයෙත් උපත ලබන්නේ අවීචි මහා නරකයේ. මේ කාලය උදාවෙලා තියෙන්නේ ඒ අවීචි මහ නරකයේ දුක් විඳින්න. ස්වාමිනි, කවමදාකවත්, විහිලුවටවත්, වචනයෙන් දොස් පරොස් හෝ උසුලු විසුලු හෝ කරන්න එපා කියලා ලෝක සත්වයාට දේශනා කරන්න. මා කළ අකුසලයේ විපාක බුද්ධ කල්පයක් ගියත් විපාක විඳිනවා’යි කියා සිටියා.

තෙරුන් වහන්සේට මහත් අනුකම්පාවක් වගේම ධර්ම සංවේගයක් ඇති වුණා. උන්වහන්සේ අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය දේශනා කළා. ඔහුගේ සිත සැනසීමට කටයුතු කළා. එහෙත් තමන් කළ විපාකය තමන්ම ගෙවා දැමිය යුතු වෙනවා.

ධර්මය ම පී‍්‍රතිය කරගෙන වාසය කිරීමත්, ලෝභයෙන් වගේ ම ප්‍රමාදයෙන් මිදිලා කටයුතු කරනවා නම් මෙවැනි දුකක් අත්නොවන බවත් දේශනා කරමින් ඒ හත් නම එතැනින් වැඩම කළායි කතා පුවතක් සීහළවත්ථුවේ සඳහන් වෙනවා.

බලන්න, වචනය සංවර කර ගන්න බැරිවීම නිසා ඔහු විඳි විපාකයේ මහත. තමන් කවර තනතුරක හෝ තත්ත්වයක හිටියත්, අනුන් පීඩාවට ලක් කරන පරුෂ වචන හෝ කේලාම් හෝ බොරු හෝ කිසිවිටකත් කියන්න යන්න එපා. මේ ආත්මයේ දී තාවකාලික ලාභයක් ලැබුවත්, සතුටක් ලැබුවත් පරලොව දී ඒවායේ විපාකය අවුරුදු දහස් ගණනක් ගෙවන්න සිද්ධ වෙනවා. එදාට ඒ විපාක විදින්නේ තමන් විතරමයි.