Print this Article


දේශප්‍රේමියකුගේ ආගමනය

දේශප්‍රේමියකුගේ ආගමනය

මෙම ලිපියේ මුල් කොටස පසුගිය අමාවක පෝදා අන්තර්ජාල කලාපයේ පළ විය.

ධර්මපාලතුමාගේ ජීවිතය පිළිබඳ විමංශනයක යෙදෙන මේ අවස්ථාවේ දී එතුමාගේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආත්ම පීඩනයෙන් යුතුව උද්වහනය කළ පරිශ්‍රමශීලි ජීවිතය තුළ සමස්තයක් වශයෙන් සලකන කල්හි එතුමාගේ චිත්ත ස්වභාවය අභ්‍යන්තරයෙහි පැහැදිලිව දර්ශනය වන, එමෙන්ම සර්ව චරිතය ම නිරූපණය වන තාපස චර්යා ලක්ෂණයක් නිදන් ගතවී තිබූ බැව් අප විසින් සිහි තබා ගැනීම යෝග්‍ය ය

සිංහල පාසලේ දී එතුමාට ලංකාවේ ආරාම ආශි‍්‍රත ශිල්පායතනවල භාවිත කරන ලද පොත්පත් සියල්ලම පරිශීලනය කිරීමට අවස්ථාව ලැබුණේ ය. මෙහි සාධනීය ප්‍රතිඵලය ලෙස තමාගේ නිජබිමෙහි වර්ධනය වූ භාෂාව හා සාහිත්‍යය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව ලැබුණේ ය. පෞද්ගලික සිංහල මාධ්‍ය පාසලෙන් ඉවත්කරනු ලැබූ ඔහු සාන්ත බෙනඩික්ට් විද්‍යායතනයේ පහළම පන්තියට ඇතුළත් කරනු ලැබීය.

මෙම ආයතනයේ දී ඔහුට ඔගස්ට්, ඩැනියල්, ජොෂුවා, කැසියන් ආදී පූජක සහෝදරතුමන් හමු වූ අතර පාසලේ දී ගතකළ දෙවසරක කාලය තුළ දී එතුමන් ලා පෞද්ගලිකව ඇසුරු කිරීමට අවස්ථාව ලැබුණේ ය. පන්ති පවත්වන කාලය තුළදී සෑම පැය භාගයක දී ම ශුද්ධ වූ මේරි කන්‍යා මවුතුමියට ගෞරව වශයෙන් යාඥා ගීතයක් ගායනය කිරීමට ශිෂ්‍යයන්ට සිදුවිය. මීට අතිරේකව තමා බෞද්ධාගමික දරුවකු වීම නිසා සෑම බ්‍රහස්පතින්දා දිනක දී ම ඔහුට පූජක සහෝදරතුමෙකු විසින් පවත්වන ලද විශේෂ පන්තියකට සහභාගි වීමට සිදු විය. දේවස්ථානයේ පූජා මංගල්‍යයන් පවත්වන ලද දිනයන්හි දී ඔහුට පියාගේ මල්වත්තෙන් නෙළා ගන්නා ලද මල්වලින් පාසලේ දේවස්ථානය සැරසීමට සිදු විය. මෙකල වන විට සිය පවුල පිටකොටුව ප්‍රදේශයෙන් පදිංචිය වෙනස් කොට එකල දර්ශනීය පොල්තුරු හා නිල්වන් ගොයම් කෙත්වලින් පිරුණු රමණීය භූමි භාගයක් වූ කොටහේන ප්‍රදේශයේ ඉදි කරන ලද නව නිවෙසට ප්‍රවිශ්ට වී සිටියහ.

මෙම තත්ත්වය හමුවේ කිසියම් දිනෙක දී තමා කතෝලික ආගම වැලඳ නොගන්නේ මන්දැයි කිසියම් ගෞරවනීය පූජක පියතුමකු විසින් යොවුන් වියේ කුමරාගෙන් විමසනු ලැබීම අපේක්ෂිත සිදු වීමක් වී තිබිණ. පසුකාලයක දී මෙම අවධිය පිළිබඳ අතීතාවර්ජනයක යෙදෙන ධර්මපාලතුමා අගනුවර කතෝලික ආධිපත්‍යය එතරම් බලසම්පන්නව පැවති අවධියේ දී තමා කතෝලික ආගම වැලඳ නොගැනීම අපූර්ව ප්‍රාතිහාර්යයක් බව පවසා ඇත. මේ හැරුණුවිට තමාගේ මවුපියන්ගේත්, මුත්තණු මිත්තණියන්ගේත් බලපෑම තමා බෞද්ධ රාමුව තුළ ස්ථාවර කර තැබීමට බොහෝ සෙයින් බලපෑම් සිදු කළ බවට එතුමා අතිශයින් ප්‍රභාසම්පන්න ප්‍රකාශයක් කර තිබේ. මෙම ප්‍රකාශයෙන් ගම්‍ය වන සිද්ධීන් සංඛ්‍යාවක් වේ. එතුමා මවුපියන් සමඟ දිනපතා ස්ථිර වශයෙන් නොකඩවා තෙරුවන් වන්දනාවේ යෙදීම, මව්තුමිය සමඟ නිතිපතා ආගමික වතාවත් සඳහා කොටහේනේ බෞද්ධ විහාරය වෙත යාම, නිවෙසේ විවේකීව සිටින සැන්දෑවන්හි දී ශබ්ද නඟා ජාතක කතා කියවීම, යථෝක්ත සිද්ධීන්ගෙන් සමහරක් වුව ද, මේවා සියල්ලට ම වඩා තීව්‍ර අයුරින් තමාගේ චිත්ත සන්තානය තුළ තදින් කාවද්දන ලද තවත් සාමයික අත්දැකීමක් විය.

එතුමා දිවියෙහි නව වැනි වියට එළැඹුණු පසු සිය පියා විසින් බෞද්ධ විහාරයේ දී බ්‍රහ්මචර්යා ශීලයෙහි පිහිටුවනු ලැබ ආහාර වශයෙන් ලැබෙන දෙයක් භෝජනය කොට තෘප්තිමත්ව අල්ප වශයෙන් නිදි ලබමින් දිවිගෙවන මෙන් උපදෙස් දෙන ලදි. මෙම අත්දැකීමෙන් තමාගේ ආත්මය තුළට කාවැද්දුණු උපස්ථිතිය සදාකාලිකව ස්ථිර වූ අතර පසු කාලයේ දී “නිවෙසින් බැහැර වූ නොහොත් තමා විසින් ආරූඪ කරගත් පරිදි අනගාරික අභිධානයෙන් හඳුන්වනු ලැබූ එතුමා තමා කැප වූ පරිදි ස්වල්පාහාරයෙන් තෘප්තිමත්ව රාත්‍රී නින්ද පැය දෙකතුනකට සීමා කර ගනිමින් අල්පේච්ඡ ජීවිතයකට අවතීර්ණ විය.

ධර්මපාලතුමාගේ ජීවිතය පිළිබඳ විමංශනයක යෙදෙන මේ අවස්ථාවේ දී එතුමාගේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආත්ම පීඩනයෙන් යුතුව උද්වහනය කළ පරිශ්‍රමශීලි ජීවිතය තුළ සමස්තයක් වශයෙන් සලකන කල්හි එතුමාගේ චිත්ත ස්වභාවය අභ්‍යන්තරයෙහි පැහැදිලිව දර්ශනය වන, එමෙන්ම සර්ව චරිතය ම නිරූපණය වන තාපස චර්යා ලක්ෂණයක් නිදන් ගතවී තිබූ බැව් අප විසින් සිහි තබා ගැනීම යෝග්‍ය ය. එතුමා හුදෙකලා දිවියක් ගත කිරීමත් ඒ අතර සුදුසු කල්හි භාවනාවෙහි යෙදෙමින් ධර්ම අධ්‍යයනයෙහි යෙදී සිටීමත් පි‍්‍රය කළේ ය. නමුත් මෙම චර්යාවන් පිළිබඳ විස්තර එතුමාගේ ජීවන චරිතයෙහි අවශ්‍ය අවධාරණයෙන් තොරව සඳහන් වී තිබේ නම් ඊට හේතුව එම පුවත් ලෝකයා හමුවේ තැබීමට එතුමා තුළ අභිරුචියක් පහළ නොවීම නොව එතුමා ජීවත් වූ සමාජ වටපිටාවෙහි ලක්ෂණ හමුවේ එතුමාගේ අසාමාන්‍ය බුද්ධිය මෙහෙයවා ඉටු කළ යුතු ප්‍රධාන කාර්යය වූ කලී ස්වකීය මනසෙහි ආරෝපණය කර ගත් උත්තරීතර ප්‍රාර්ථනය හා පරිශ්‍රමය ශත වර්ෂාධික කාලයක් මුළුල්ලේ නිද්‍රෝපගත ව සිටි බෞද්ධ ලෝකය මෙම අකර්මණ්‍ය තත්ත්වයෙන් පුබුදුවාලීමේ කාර්යය බව සැලකීම ය. 1876 වර්ෂයේ මැයි මාසයේ දී ඩේවිඩ් හේවාවිතාරණ ශිෂ්‍යයා සාන්ත බෙනඩික්ට් විද්‍යායතනයෙන් ඉවත්විය යුතු යැයි පාසලේ පාලනාධිකාරය විසින් නියෝග කරනු ලැබීය. මෙම නියෝගය නිකුත් කිරීමට හේතුකාරක වූ සිද්ධීන් පිළිබඳ ප්‍රසිද්ධ නිවේදනයක් අප වෙත නැතත් එතුමාගේ ජීවිතයේ පශ්චාත් කාලයේ දී එතුමා කැප වූ ජීවන කාර්යයේ ස්වභාවය පිරික්සීමේ දී මෙම නියෝගයට තුඩුදුන් හේතුන් පිළිබඳ අවශ්‍ය ප්‍රමාණයෙන් නිරවද්‍ය යැයි සැලකිය හැකි අනුමිතියක් ලබා ගැනීම දුෂ්කර නොවේ.

සිංහ පෝතකයකුගේ අවධියේ පසුවූව ද, “ශ්‍රී ලංකා සිංහයා” තියුණු පා නියපොතු සතුව සිටි බව ප්‍රදර්ශනය වී තිබිණ. යොවුන් හේවාවිතාරණයන්ගේ ජීවිතයේ මීළඟ වසර දෙක අගනුවරින් සැතපුම් හයක් පමණ දුරින් වූ කෝට්ටේ නගරයේ පිහිටා තිබූ සී.එම්.එස්. මීසමට අයත් එංගලන්ත සභා (ඇන්ග්ලිකන්) නිකායික ක්‍රිස්තියානි නේවාසික පාසල ශිෂ්‍යයකු වශයෙන් ක්‍රිස්තු ධර්ම ප්‍රචාරක කාර්යයෙහි ආක්‍රමණික ස්වරූපයෙන් ක්‍රියාකාරී වූ පරිසරයක වැඩෙමින් ගත කිරීමට සිදුවිය.

මෙම පාසලේ දී ඔහුට දෛනික කාර්යය පටිපාටිය අනුව දිනපතා පෙරවරු 6.30 ට දේවස්ථානයේ යාඥා මෙහෙයට සහභාගි වී පූජා ගීතිකා ගායනය කිරීමට සිදු විය. මෙම දේව මෙහෙය තුළ දී පූජ්‍ය ආර්.ටී. ඩබිබිගින් දේවගැතිතුමන් විසින් යාඥා ගීතිකා ගායනය මෙහෙයවා ශුද්ධ වූ බයිබලයෙන් පාඨයක් දේශනයක් වශයෙන් ඉදිරිපත් කරන ලදි.

ආගම ධර්ම උපදේශනය මෙම පූජාවන් සමඟ කිසිදු අයුරකින් අවසන් නොවීය. තමාගේ පාසලේ පන්තියේ දී ශුද්ධ වූ බයිබලයේ පරිච්ඡේද අකුරෙන් “උත්පත්තිය” නම් පරිච්ඡේදයෙන් හෝ ශුද්ධ වූ මතෙව්ගේ ශුභාරංචියෙන් ගීතිකා කීපයක් ගායනය කිරීමට සිදු විය.

තව ද එකල පැවති ක්‍රිස්තු ධර්ම ප්‍රචාරය පිළිබඳ ක්‍රමවේදය කෙතරම් සූක්ෂ්ම අයුරින් සංවිධාන වී තිබුණේ ද යන්න පිළිබඳ පැතිකඩක් යොවුන් ධර්මපාල චරිතයෙන් ප්‍රදර්ශනය වන්නේ ය. එතුමා විසිවිය පිරෙන්නටත් ප්‍රථම අවධියේ දී ශුද්ධ වූ බයිබලයේ දෙවැනි පොත වූ “නිෂ්ක්‍රමණය” කාණ්ඩය ද, සංඛ්‍යා ඩියුටෙරොනොමි, ජොෂුවා, ශුභාරංචි චතුශ්කය, අපොස්කුලුවරුන්ගේ ක්‍රියා ආදී පරිච්ඡේදයන්ගෙන් ධර්මපාඨ කටපාඩමින් කියවීමට හැකියාව ලබා සිටියේ ය.

මත්ලෝලියෙකු වූ ශිෂ්‍ය නිවාස පාලක ගුරුතුමා පාසල් වත්තේ ගස් අතර ගැවසුණු කුඩා කූඩැල්ලන් දඩයම් කිරීමෙන් විනෝදයක් ලැබුවේ ය. මෙම ජුගුප්සාජනක ක්‍රියාව තමා සිය නිවෙසේ දී ළමා අවධියේ සිට ප්‍රගුණ කළ සතිය හා කරුණාව පාදක කරගත් ශික්ෂණයට සාකල්‍යයෙන් ම ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් බව පෙනී ගියෙන් දැනටමත් ස්වාධීන චින්තනයට යොමු වී සිටි යොවුන් කුමරාට මෙම ම්ලේච්ඡ ක්‍රියාව ඉවසා සිටිය නොහැකි විය. මෙම අවධියේ දී සිදු වූ එක්තරා සිද්ධියක් එතුමාගේ මනස තවදුරටත් එක් අතකින් ක්‍රිස්තියානි ධර්ම ප්‍රචාරක උමතුවත්, අනෙක් අතින් නොබෝ දිනකින් ජීවලිතව මතු විය හැකි බෞද්ධ ප්‍රඥාවෙන් ඔපවත් වූ ඉවසීමත් අතර පරතරය කෙරෙහි වඩාලාත් ත්‍රීව්‍ර අයුරින් සංවේදීත්වයට පත් කිරීමටත් අලුයම ගිනි පුපුරු මෙන් තිබූ සිතිවිල්ලකට අලුතින් ඉන්ධන එක්වීමෙන් මතු වී දැල්වීමට පත්වීමටත් හේතු වන්නට ඇතැයි සිතිය හැකි ය.

ධර්මපාලතුමාගේ මුළු ජීවිත කාලයේ දී ම නොවෙනස්ව පැවති තම චරිතය කෙබඳුදැයි යන්න මේ කාලවකවානුවේ දී සිදු වූ තවත් සිද්ධියක් ඇසුරෙන් දර්ශනය වේ. මෙම අවධියේ දී ධර්මපාල කුමරුන්ගේ පන්තියේ සහෝදර ශිෂ්‍යයකුගේ මරණය සිදු විය. පන්තිය භාර ගුරුතුමා පන්තියේ සියලුම ශිෂ්‍යයන් කැඳවා ඔවුන්ට සගයාගේ දේහය වටා නැඟී සිට දෙවියන් වහන්සේ ආමන්ත්‍රිත පූජා යාඥාවන් ගායනය කිරීමට නියෝග කළේ ය. ඩේවිඩ් හේවාවිතාරණ කුමරා පළමුව සංවේගප්‍රාප්ත සගයන්ගේ මුහුණුවල විලාසය අවලෝකනය කොට ඉන්පසුව නිශ්චල දේහය දෙස බලත්ම දේව යාඥාව වූ කලි භීතියෙන් ජනිත වූවක් බව වැටහී ගීයෙන් තමා කිසිදු හේතුවකින් භීතියට පත් වීම ස්වකීය චිත්ත ස්වභාවයට ඉඳුරා පිළිකුල් සහගත බලපෑමක් බව අවබෝධ විය. මෙසේ විස්මයජනක අයුරින් එතුමා නිරවශේෂයෙන් ම භීතියෙන් විනිර්මුක්තිය ලබා ගත් අතර එම චිත්ත ස්වභාවය එතුමාගේ ආධ්‍යාත්මික ආධිපත්‍යයේ ස්ථිර ලක්ෂණයක් වශයෙන් සදාකාලිකව ම පැවැත්තේ ය.

විස්මයජනක චර්යාවක් සේ දිස්වන නමුත් ශුද්ධ බයිබලය කැපවීමෙන් නොකඩවා කියවූ හේවාවිතාරණ යෞවනයා එම ශුද්ධ ග්‍රන්ථයේ අනුමත සංස්කරණයෙහි ගැඹුරු හඬින් ගායනය කළ හැකි ළයාන්විත ගායන පාඨ කෙරෙහි පි‍්‍රයභාවයක් උපදවා ගත් අතර ඒවා ජැකොවියන් ශෛලිය අනුව රිද්මයානුකූලව ගායනය කිරීමෙහි නිරතුරුවම නියුක්ත වී සිටීමෙන් තමාගේ පන්තියේ නියමිත පාඩම් සංඛ්‍යාව අතපසු කිරීම සිදුවිය. එතුමා එම ශුද්ධ ලේඛන පාඨ කියවූයේ හුදු අවිචාරයෙන් නොවූ අතර මෙම ළාබාල යොවුන් අවධියේ දී පවා එතුමාගේ ගුරුවරුන් ප්‍රකෝප කිරීමට මෙන්ම ව්‍යාකූල කිරීමටත් හේතු වන තත්ත්වයේ ධර්ම ශාස්ත්‍රීය ප්‍රශ්න ගොතමින් ඉදිරිපත් කිරීමට එතුමා සමත්විය.

ඉන් අනතුරුව හේවාවිතාරණ තරුණයා නිවෙසේ දෙමසක කාලයක් විවේකීව ගත කිරීමෙන් පසුව 1878 සැප්තැම්බර් මාසයේ දී උතුරු කොළඹ පිහිටුවා තිබූ එංගලන්ත සභාවට අයත් වූ සාන්ත තෝමස් විදුහලේ ශිෂ්‍යයකු වශයෙන් ඇතුළත් විය.

එතුමා සදාකාලිකව ම මහත් භක්තියෙන් සැලකූ ජාතියේ සම්පත වූ බුද්ධ ධර්මය ප්‍රවර්ධනය කිරීම උදෙසා අප්‍රතිහත ධෛර්යයෙන් කැපවී සිටීම පාසලේ බලපැවැත් වූ දැඩි විනය සමඟ ගැටුම් ඇතිවීමට දිගු කාලයක් ගත වීම අවශ්‍ය නොවීය.

මිලර් නම් විදුහල්පතිතුමා “දක්ෂුවම් වැරීමෙන් දරුවා විනාශ වේ.” යයි පැවසෙන පෞරාණික ආප්තය මහත් භක්තියෙන් අනුගමනය කළ ආචීර්ණ කල්පිත මතදැරූ ගුරුතුමකු විය. සාන්ත තෝමස් විදුහලේ ශිෂ්‍යයන් සත්‍ය වශයෙන් ම දඬුවමට භාජනය කිරීමටත්, විනාශ වීමේ අවදානමට භාජනය වීමටත් කිසිදු අවස්ථාවක් නො වී ය. දැඩි විනයවාදියකු වූ විදුහල්පතිතුමා කෙරෙහි විදුහලේ සිසුදරුවන් තුළ ජනිත වී තිබූ භය මිශ්‍ර ගෞරව භක්තිය කොතරම් බලවත්ව පැවතියේ ද යත් විදුහලේ බරාඳයේ ගමන් කරන විදුහල්පතිතුමාගේ පියවර ශබ්දය පවා යොවුන් හදවත් සියයක් භීතියෙන් හා කම්පනයෙන් සසල කිරීමට ප්‍රමාණවත් විය.

මැයි මාසයේ එක්තරා සුන්දර උදෑසනක දී කෘෂ වූ සිරුරැති සිංහල දරුවකු එතුමාගේ කාර්යාලයට පිවිස එම දිනය තමා අදහන ආගමෙහි පූජනීය කර්තෘවරයාණන් වූ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උපත - බුද්ධත්වය හා පිරිනිවීම සිදු වීමෙන් පාරිශුද්ධත්වයට පත් වූ උතුම් දිනයක් බවත්, එහෙයින් තමාගේ නිවෙසට ගොස් ආගමික වතාවත්හි නිරතවීමට අවශ්‍ය හෙයින් ඒ සඳහා නිර්භීතව අවසර ඉල්ලා සිටි කල්හි මේ බියජනක විදුහල්පතිතුමාගේ විස්මය අසීමිතව උත්සන්න වන්නට ඇත.

ස්වකීය විස්මය ක්‍රමයෙන් සිඳීයාමත් සමඟ මිලර් විදුහල්පතිතුමා තමාගේ ස්ථාවරය නිර්දය ස්වරයෙන් පැහැදිලි කරමින් එම දිනය පාසලේ ක්‍රියාකාරී දිනයක් විනා නිවාඩු දිනයක් නොවන හෙයින් බෞද්ධ ආගමික උත්සවයකට සහභාගි වීම සඳහා ශිෂ්‍යයකුට නිවාඩු ලබා දීම එංගලන්ත සභාවේ ප්‍රසිද්ධ පාසලක අධිපතිවරයකු වශයෙන් තමාගේ හෘදසාක්ෂියට එකඟව කළ නොහැක්කක් බව පැවසීය.

මෙම පිළිතුර ඇසීමෙන් පසු ඩේවිඩ් හේවාවිතාරණ කුමරුවා තමාගේ කුඩය සහ පොත් මිටිය අතින් ගෙන විදුහල්පතිතුමා සමඟ තවත් එක් වචනයකුදු කථා නොකොට එම දවස පාසලෙන් බැහැරව ගත කිරීම සඳහා ඉවත්ව ගියේ ය.

පසුදින උදයේ අපගේ තරුණ විප්ලවකරුවාට සිදු වූයේ ඔහුගේ අකීකරු භාවයට දඬුවම් වශයෙන් කෝපාවිෂ්ට දෝෂාරෝපණයක් පමණක් නොව මිලර් විදුහල්පතිතුමා විසින් එතුමාගේ වේවැලෙන් තමාගේ සිරුරේ පසුපසට ලබා දුන් පහර කීපයක් ද විඳ දරා ගැනීමට ය. මෙම වේදනා සහගත වූත්, නින්දා සහගත වූත් අත්දැකීම ඔහුට ඊළඟ වසර දෙකෙහි උදාවූ වෙසක් පොහෝ දිනයක්හිදීත් එම සෛවරී ක්‍රියාවෙහි එනම් අනවසරයෙන් විදුහලෙන් බැහැරව සිටීමේ ක්‍රියාවෙහි නැවතත් යෙදීමට කිසිදු බාධාවක් නොවීය. ඔහු සාන්ත තෝමස් විදුහලේ ශිෂ්‍ය අවධියේ සිටියදී මෙම ක්‍රියාව සිදු කළ අවස්ථාවන් දෙකෙහි දී ම මුල් අවස්ථාවේ දී පනවන ලද දඬුවම විඳීමට සිදුවිය.

ඔහුගේ මෙම චර්යාව අඥානවත් ක්‍රියාවක් මෙන් සලකා හාස්‍යයට ලක් කළ යුතු ද නොඑසේ නම් වීර ක්‍රියාවක් වශයෙන් සලකා උද්දාම විය යුතු ද යන්න ඔහුගේ පාසල් සගයනට නිගමනය කර ගත නොහැකි විය. නමුත් ඔහුගේ ක්‍රිස්තු ලබ්ධික මිතුරන්ගේ මතය වූයේ ඔවුන්ට නත්තල් දිනය සැමරීම සඳහා අවශ්‍ය නිවාඩු නොලැබුණේ නම් මේ අයුරින් විදුහල්පතිතුමා ප්‍රකෝප කොට අනවසරයෙන් විදුහලෙන් බැහැරව සිට දඬුවම් විඳීමට තමන් නොපෙළඹෙන බව ය.

නමුත් දෛවෝපගත කාර්යභාරය යොවුන් වීරයාගේ දෙඋර මත තැන්පත්වී හමාර ය. ඔහුගේ දිවියෙහි දෙවැනි දශකයේ දී පවා බුද්ධ ධර්මය පිළිබඳ තමාගේ හද තුළ සදාකාලිකව ම දැල්වෙන භක්තියේ උද්දාමයත්, ස්වකීය සගයන්ගේ ගැටවර වියේ උදාසීනත්වයත් අතර වෙනස අවබෝධ වී තිබුණාට සැක නැත. මෙම වෙනස හේතුකොට ගෙන තමා සගයන්ගෙන් දුරස්වීමක් හෝ තමාගේ මිත්‍ර සමාගම පුළුල් කර ගැනීමට බාධාවක් හෝ සිදු වූයේ නැත. මීට ප්‍රතිපක්ෂ වශයෙන් තමාගේ මිත්‍ර පර්ෂදය වඩාත් පුළුල් වීමක් සිදු වූ අතර බෞද්ධ රටක් වුව ද කුල පාදක වූ සමාජ අසමානතා, උස්පහත්කම් දැඩිව සැලකූ අවධියක සෑම ජන කොට්ඨාසයකට ම අයත් දරුවෝ එම පර්ෂදයට ඇතුළත් වූහ.

බුදුන් වහන්සේ සාම්ප්‍රදායික හින්දු සමාජයේ අවඥාවට භාජනය වූ චණ්ඩාල කසළ ශෝධකයකු පවා ආර්ය සංඝ ශාසනයට ඇතුළත් කළ අයුරුත්, උන්වහන්සේගේ නියෝග පරිදි පැවිදිලාභී බ්‍රාහ්මණ වංශිකයන්ටත් ජ්‍යෙෂ්ඨත්වය අනුව උන්වහන්සේට හිසනමා, දෙපා නමැද ආචාර කිරීමට සිදු වූ අයුරුත් මහත් අභිරුචියකින් හෙතෙම විස්තර කළේ ය. ඔහුගේ මිත්‍රත්වය කෙසේ වුව ද, එකල ප්‍රසිද්ධ පාසල්වල බහුල වශයෙන් දක්නට ලැබුණු හුදෙක් හැඟීම්වලට පමණක් සීමා වූ මනෝභාවාත්මක ආශ්‍රයක් නොවීය. ඔහු මිත්‍ර සම්බන්ධතා ගොඩනඟා ගැනීමට වඩාත් උත්සුක වූයේ මිතුරන් සමඟ තර්ක විතර්ක කිරීමේ ආස්වාදය අපේක්ෂාවෙනි. මෙම තර්ක විතර්කයන්ගෙන් ජය ලැබීම ඔහුගේ ආස්වාදය වර්ධනය කරන සාධකයක් විය. මේ අවධිය වන විට විවාදශීලිත්වයේ අභිරුචිය ඔහු තුළ ප්‍රචණ්ඩ අයුරින් උද්ගතව තිබිණ. එමෙන්ම කිසියම් දිනක කිසිවකු සමඟ විවාදයක් කොට ඔහු සමඟ විරුද්ධවාදීත්වයක් ඇති කර ගැනීමට නොහැකි වූයේ නම් එය ඔහුගේ සන්තාපයට හේතු විය. ඔහුගේ විවාද ප්‍රහාරයේ පි‍්‍රයතම විෂයය වූයේ ක්‍රිස්තු ධර්මයේ දැක්වෙන ආධානග්‍රාහී දෘෂ්ටීන්ය. ඔහු සමඟ විවාදයට පැමිණි ප්‍රතිමල්ලවයින් වික්ෂිප්ත කොට අතරමං කළ අවස්ථා බහුල ය.

ක්‍රිස්තියානි මිෂනාරීවරුන්ගේ ධර්ම ප්‍රචාරයට දුර්වල අයුරින් අවනතව සිටි ඔහුගේ උඩරට වංශික පාසල් සගයකු ඔහුගේ මතය අනුව ලෝකයේ ආරම්භය සඳහා ප්‍රථම හේතුවක් තිබිය යුතු බව ප්‍රකාශ කළ විට අංකුර අවධියේ මෝදු වෙමින් සිටි අපගේ විවාද ශූරයා එම ප්‍රථම හේතුව දෙවියන් වහන්සේගේ නිර්මාණය දැයි විමසූ විට “ප්‍රථම හේතුව දෙවියන් වහන්සේ” යැයි හෙතෙම පිළිතුරු දුන්නේ ය. මෙම පිළිතුරට ප්‍රතික්‍රියා දක්වමින් “එසේ නම් දෙවියන් වහන්සේ නිර්මාණය කළේ කවුදැයි“ පෙරළා ප්‍රශ්න කළේ ය. මෙම ප්‍රති ප්‍රශ්නයෙන් තරමක් වික්ෂිප්ත වූ උඩරැටියා “මා හිතන්නේ දෙවියන් වහන්සේ තමන් නිර්මාණය කර ගන්නට ඇත” යනුවෙන් පිළිතුරු දුන්නේ ය. මේ පිළිතුර සමඟ ධර්මපාලයෝ මහත් ආශාවෙන් අපේක්ෂා කළ අවස්ථාව උදා විය. “එසේනම් ඔබලගේ දෙවියන් වහන්සේ බෞද්ධයකු විය යුතුය” යි ජයග්‍රාහී ලීලාවෙන් ඔහු ප්‍රත්‍යුත්තර දුන්නේ ය. “සෑම බෞද්ධයකුම තමාගේ පූර්ව කර්මයේ විපාක වශයෙන් මෙලොව උපත ලැබුවෙක් ය. තව ද, සෑම මනුෂ්‍යයා ම තමාගේ නිර්මාණයකි. එමෙන්ම සෑම මනුෂ්‍යයෙක් ම විභවාත්මක දෙවියෙකි. නමුත් මිනිසා තමාගේ ප්‍රථම හේතුව වුව ද, ලෝකය නිර්මාණය නොකළේ ය. දෙවියෝ ද මනුෂ්‍යයෝ ද තම තමන් නිර්මාණය කර ගනිති. ඔවුන්ට අන්‍යයන් නිර්මාණය කළ නොහැකි ය.

පසුවදා එම උඩරැටියා ධර්මපාලයන්ගෙන් උගත් ප්‍රශ්නයකින් සන්නද්ධව ඔහුගේ රිවිදින දහම් පාසලට ගියේ ය. “නුඹලා ප්‍රාණඝාත නොකරනු” යැයි දේව විධානය නම් “කුරුස යුද්ධ හටගත්තේ මන්ද?” යැයි ධර්මාචාර්යවරයාගෙන් විමසීය. මීට පෙරාතුව මෙබඳු ප්‍රශ්නයක් පිළිබඳව මනස යොමු කොට නොතිබූ සිංහල පාදිලිතුමාට පිළිතුරක් දෙමින් ඔවුන් ස්වර්ගයෙන් ස්වකීය ප්‍රබෝධ ආවේගය ලබා ගන්නට ඇතැයි ලාමක ස්වරයෙන් පිළිතුරු දුන්නේ ය. මෙම පිළිතුරු උඩරැටියා විසින් පෙරළා රිවිදින දහම් පාසලට තවදුරටත් නොපැමිණි ධර්මපාලයන් වෙත සැලකර සිටි කල්හි ධර්මපාලයෝ කිසිවෙකුට පිළිතුරු දීමෙන් බිඳ හෙළිය නොහැකි විරෝධතාවකින් සූදානම් ව සිටියේ ය.

ධර්මපාලයන් මේ අයුරින් ව්‍යාජ ආගම් දෘෂ්ටීන් හා මිථ්‍යා දර්ශනවාදයන් ප්‍රතික්ෂේප කරමින් නිර්මාණය කරන මෙම මේඝ ගර්ජනාවෙහි ප්‍රථම දෝංකාරය පසුකාලයේ දී එතුමාගේ මුවින් ම වර්ධනය වී නිකුත්ව ජනතාවට ශ්‍රවණය කිරීමට ලැබුණ අතර එතුමා රැස්කර ගෙන තිබූ බයිබලය පිළිබඳ ඥානය මිෂනාරීන් විසින් ම එතුමාගේ සන්තානයෙහි තැන්පත් කොට තබමින් තමන්ගේ ශිෂ්‍යයාම අනාගතයේ දී කිසිදු දිනක තමන් අපහසුතාවකට පත් කිරීම සඳහා එම ඥානය උපයෝගී කරගනීවි යැයි කිසිදිනෙක අනුමාන නො කළහ.