Print this Article


කොටහේන ශ්‍රී පරමානන්ද පුරාණ මහා විහාරයේ ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ

කොළඹ 13 කොටහේන ශ්‍රී පරමානන්ද පුරාණ මහා විහාරාධිපති කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කොළඹ මහ දිසාවේ උප ප්‍රධාන සංඝනායක පරමානන්ද ධර්ම විද්‍යාලයෙහි අධ්‍යක්ෂ උතුරු කොළඹ ශාසනාරක්ෂක බලමණ්ඩලයෙහි නියෝජ්‍ය සභාපති ශාස්ත්‍රපති තඹවිට විමලවංශ නාහිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා මත දායක පින්වතුන්ගේ අනුග්‍රහයෙන් ඉදි කරන ලද ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ දෙසැම්බර් මස 01වැනි දින නිරාවරණය කිරීමට නියමිත ය.

වර්ෂ 1800 වන විට කොළඹ නගරයේ ජනාකීර්ණ ව පැවැතියේ කොටහේන ප්‍රදේශය යි. මෙහි බෞද්ධ මෙන්ම අබෞද්ධයෝ ද විශාල පිරිසක් වාසය කළහ. ඔවුන්ට වන්දනාමාන කරන්නට තිබුණේ කැලණි විහාරය පමණි. මල්වතු මහා විහාරයේ අනුමැතිය මත පානදුර අරුග්ගොඩ පුරාණ විහාරාධිපති වෑත්තෑවේ ඉන්දසර නායක හාමුදුරුවන් වහන්සේගේ ශිෂ්‍ය වූ පානදුරේ සුමංගල හිමියන් කොළඹ කොටහේන ප්‍රදේශයට පැමිණ ඉඩමක් මිලදී ගෙන පරමානන්ද විහාරස්ථානය ඉදිකරන ලදී. කොළඹ නගරයේ පැරැණිම විහාරස්ථාන දෙක අතරින් එකක් ලෙස පරමානන්ද පුරාණ විහාරය දැනුදු හඳුන්වනු ලබයි.

පහතරට උපසම්පදාව ඇති කරන්නට ක්‍රියාත්මක වූ හිමිවරුන් පස්දෙනා අතරින් පරමානන්ද විහාරාධිපති හා ආදි කර්තෘ ව වැඩ සිටි පානදුරේ සුමංගල හාමුදුරුවන් වහන්සේ ද ප්‍රධානත්වය ගෙන කටයුතු සිදු කොට ඇත. කෝට්ටේ කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ එහි ආරම්භක සාමාජිකයෙක් ලෙස මුන්වහන්සේ හැඳීන්විය. එහි අරුග්ගොඩ පාර්ශ්වයෙහි උපාධ්‍යාය ධූරය ද පානදුරේ සුමංගල හිමියන් විසින් දරා ඇත. රත්මලාන පරමධම්මචේතිය විහාරස්ථානයෙහි වැඩසිටි හික්කඩුවේ සුමංගල නායක හාමුදුරුවන් වහන්සේ අප විහාරස්ථානයෙහි වසර කීපයක් වාසය කොට විද්‍යෝදය පිරිවෙන ආරම්භ කළ බව සඳහන් වේ. අනගාරික ධර්මපාලතුමා ද සිල් සමාදන් වූ විහාරස්ථානය වන්නේ පරමානන්ද පුරාණ විහාරය යි.

උන්වහන්සේගේ ඇවෑමෙන් පසු මෙහි විහාරාධිපති ධුරයට පත් වෙන්නේ කෝට්ටේ කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවෙහි ස්ථාවරය ඇති කළ එම සඟ සභාවෙහි අරුක්ගොඩ පාර්ශ්වයෙහි උපාධ්‍යාය ධුරය දරන ලද පානදුරේ ධම්මක්ඛන්ධ නායක හාමුදුරුවන් වහන්සේ විසිනි. මේ කාලයේ දී වාර්ෂික සති පිරිත් පින්කම හා පෙරහරත් ආරම්භ කර ඇත. උන්වහන්සේ අපවත් වීමෙන් පසුව බොරලැස්ගමුවේ කල්‍යාණතිස්ස හාමුදුරුවන් වහන්සේ විහාරාධිපති ධුරයට පත්විය. උන්වහන්සේ කෙරෙහි පැහැදුණු කෝට්ටේ කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කොළඹ පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමන ලදි. මේ කාලය වන විට විහාරස්ථානය පමණක් නොව ප්‍රාචීන මහා විද්‍යාල පිරිවෙන ද දෙස් විදෙස්වල ජනාදරයට පත් වූ ස්ථානයක් ව පැවතිණි.


විහාරාධිපති, ශාස්ත්‍රපති
තඹවිට විමලවංශ නාහිමි

1930 දී උන්වහන්සේ අපවත් විය. විහාරාධිපති ධුරයට පත්වන්නේ රඹුක්කන මහින්දවංශ හිමියන් ය. 1960 දී එල්ලාවල කල්‍යාණවංශ හිමියන් විහාරාධිපති ධූරයට පත්වන අතර උන්වහන්සේ නව පුනරුදයේ නිර්මාතෘවරයා විය. ප්‍රතිසංස්කරණය කළ යුතු දෑ ප්‍රතිසංස්කරණය කළ අතර තෙමහල් විහාර මන්දිරය, දෙමහල් සංඝාවාසය, දෙමහල් ධාතු මන්දිරය ඉදිකරන ලදී කෝට්ටේ කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව මඟින් කොළඹ මහ දිසාවේ උප ප්‍රධාන සංඝනායක පදවිය උන්වහන්සේ වෙත පිරිනමන ලදී. උන්වහන්සේ සති පිරිත් පින්කමටත්, පෙරහරටත් නව අර්ථයක් එක් කළ අතර, පරිත්‍රාණ ධර්ම දේශනය පිරිත් අනුශාසනා ආදියට මහත් දක්ෂ විය. අභාවයට ගොස් තිබූ පරමානන්ද ධර්ම විද්‍යාලය නැවත නඟා සිටවූ කල්‍යාණවංශ නාහිමියන් කාගේත් ජනාදරයට ලක් විය.

1992 වර්ෂයේ දී උන්වහන්සේ අපවත් වූ අතර, ඉන්පසු විහාරාධිපති බවට පත් වූයේ උන්වහන්සේගේ ජේ්‍යෂ්ඨ ශිෂ්‍ය නිල්වක්කේ සුගතවංශ හිමියන් ය. උන්වහන්සේ කොළඹ මහ දිසාවේ උප ප්‍රධාන සංඝනායක පදවියට ද පත් වූහ. උන්වහන්සේ 2014 වර්ෂයේ දී අපවත් වූහ.

ඉන්පසු විහාරාධිපති ධුරයට පත්වන්නේ ශාස්ත්‍රපති තඹවිට විමලවංශ හාමුදුරුවන් වහන්සේ ය. උන්වහන්සේගේ ක්‍රියා කලාපය ගැන පැහැදීමට පත්වූ කෝට්ටේ කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව උන්වහන්සේට කාරක සංඝ සභික ධුරයක් හා කොළඹ මහ දිසාවේ උප ප්‍රධාන සංඝනායක ධුරය පිරිනමන ලදී.

අප නායක හාමුදුරුවන් වහන්සේගේ අවවාද අනුශාසනා මත සිදුකරන ලද සුවිශේෂී කාර්යයක් වන්නේ ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ යි. අප විහාරස්ථානය රජය මඟින් පූජා භූමියක් බවට ප්‍රකාශයට පත් කළ අතර පුරාවිද්‍යා වටිනාකමින් යුත් ස්මාරක පහක් නම් කොට ප්‍රකාශයට පත්කර ඇත.

මේ සඳහා නායක හාමුදුරුවන් වහන්සේ හා දායක පින්වතුන් මහත් වෙහෙසක් මහන්සියක් ගත් අතර, දෙසැම්බර් මස පළමුවැනි දා තෛ‍්‍රනිකායික මහනායක, අනුනායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් විවෘත කරන අතර එම අවස්ථාවට අග්‍රාමාත්‍ය තුමා ඇතුළු සම්භාවනීය ගිහි පැවිදි විශාල පිරිසක් සම්බන්ධ වීමට නියමිත ය. මෙම විවෘත කිරීමත් සමඟම වාර්ෂිකව සිදු කරනු ලබන ධර්ම දේශනා මාලාව. සති පිරිත් පින්කම. දේවදූත පෙරහර ආරම්භ කිරීමට නියමිත ය.