Print this Article


උජුපටිපන්න ගුණ පිරූ මීගහකිවුලේ සුගතවංශ නා හිමිපාණෝ

උජුපටිපන්න ගුණ පිරූ මීගහකිවුලේ සුගතවංශ නා හිමිපාණෝ

“සන්තකායෝ සන්තවාචෝ- සන්තවා සුසමාහිතෝ

වන්තලෝකාමිසෝ භික්ඛු- උපසන්තෝ’ති වුච්චති”

සංසුන් ශරීර ඇති, සංසුන් වදන් ඇති, සංසුන් සිත් ඇති, තැන්පත් වූ, පස්කම් සැප දුරු කළ යම් භික්ෂුවක් වේ ද උන්වහන්සේ උපශාන්ත ය. සන්සුන් ඉඳුරන් ඇත්තේ ය.

මාවරගල ආරණ්‍ය සේනාසනාධිපති ඤාණාභිවංස සද්ධර්ම කීර්ති ශ්‍රී, කම්මට්ඨානාචාර්ය, සද්ධර්මවාගීශ්වර, ධර්මවිශාරද විචිත්‍රභාණී, නැඟෙනහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, බ/ශ්‍රී ඥානප්‍රදීප පරිවේණාධ්‍යක්‍ෂ මීගහකිවුලේ සුගතවංස නාහිමිපාණන් වහන්සේගේ සංක්ෂිප්ත ජීවන අපදානය යි මේ.

ක්‍රි.ව. 1818 වෙල්ලස්ස කැරැල්ලේ සෙන්පතියකු වූ සම්බුද්ධ ශාසනමාමක, දේශමාමක, හෙළ සංස්කෘතිය සුරක්ෂිත කරමින් ජීවිත දානයෙන් සටන්වැදි කිවුලේගෙදර මොහොට්ටාල නම් වීර සෙන්පතියාගේ නිජබිම වූ, වියළුව නම් ප්‍රදේශයේ මීගහකිවුල නම් සශ්‍රීක ගම්පියස කථානායකයාණන් වහන්සේගේ ජන්මභූමිය වේ. ක්‍රි. ව. 1940 ඔක්තෝබර් 20 වැනි දින පවුලේ හයවැනි දරුවා ලෙස අප කථානායකයාණන් වහන්සේ මෙලොව එළිය දුටුවහ.

ක්‍රි.ව. 1967 වර්ෂයේ කන්දකැටිය මහකැලේ ගංගාරාමයට වැඩම කළ පිණ්ඩපාතික බෝධිසත්ව ගුණෝපේත වැලිමඩ ඥානවංශ මහතෙරුන් වහන්සේගේ සංඝශෝභන ගුණ හා ගැඹුරු ධර්ම ඥානය කෙරෙහි පහදින ගම්වාසීහු තෙරුන් වහන්සේට වස් ආරාධනා කර ධර්ම ශ්‍රවණය කරමින්, දන් දෙමින් ත්‍රිපිටක දැනුම ලබා ගැනීමට කටයුතු කළහ.

මෙ සමයේ අප කථානායකයාණන් වහන්සේ දුක, දුක ඇතිවීම, දුක නැති කිරීම හා දුක නැති කිරීමේ චතුස් සත්‍යත්, අනිත්‍ය දුක්ඛ, අනාත්ම ත්‍රිලක්ෂණයත්, පටිච්චසමුප්පාද ධර්මයත් අවබෝධ කර ගන්නට තීරණය කළහ. ඒ අනුව ක්‍රි.ව. 1967 ඔක්තෝබර් මස විසිවැනි දින වැලිමඩ ඥානවංශ මහ තෙරුන් වහන්සේගේ ආචාර්ය උපාධ්‍යායයත්වයෙන් උතුම් ප්‍රවෘජ්‍යාවට පත්වූහ. දෙමාපියන්ට සම්බුද්ධ ශාසනයේ ශාසන දායාදය ලබා දී, සහෝදර සහෝදරියන්ටත්, ඥාතීන්ටත්, ගම්වාසී හා ප්‍රදේශවාසී සැදැහැති උපාසක උපාසිකාවන්ටත් ධර්මය දේශනා කළහ. අප කථානායකයාණන් වහන්සේ සමඟ තරුණයින් හය දෙනෙක් ප්‍රවෘජ්‍යා භූමියට පත්වූහ. ඒ අතුරින් සුජීවත් ව වැඩ සිටින එකම සහෝදර හිමියන් වන්නේ මහවැලි සී කලාපයේ ප්‍රධාන සංඝනායක මීගහහේන ශ්‍රී විජයාරාමාධිපති බිබිලිගමුවේ සීලවංශ නාහිමිපාණන් වහන්සේ ය.

ගුණෝපේත වැලිමඩ ඥානවංශ මහතෙරුන් වහන්සේ තරුණ හිමිවරුන් සමඟ ක්‍රි.ව. 1967 වර්ෂයේ දඹාන මාවරාගලට වැඩම කර භාවනා කරන්නට වූහ. මෙ සමයෙහි අප කථානායකයාණන් වහන්සේටත්, ගුරුදේවෝත්තමයාණන් වහන්සේටත්, සෙසු තෙරුන් වහන්සේටත් සිවුපසයෙන් උපස්ථාන කර ඇත්තේ හිටපු ආදිවාසී නායක ඌරුවරිගේ තිසාහාමී ප්‍රමුඛ ආදිවාසී ජනතාව හා කන්දකැටිය, වැලිමඩ ආදී ප්‍රදේශවල දායක පින්වතුන් ය. ක්‍රි.ව. 1968 වර්ෂයේ ජුලි මස පළමු දින උපසම්පදාව ලබා ගත්හ. උපසම්පදා විනය කර්මය කළුතර පුලිනතලාරාම මහාවිහාරාධිපති අග්ගමහා පණ්ඩිත බේරුවල ශ්‍රී සුමංගල සිරිනිවාසාභිධාන අමරපුර නිකායේ මහානායක ස්වාමිපාදයාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් ලබා ගත්හ.

අම්බලම්ගොඩ ශාස්ත්‍රෝදය පිරිවෙණේ පරිවේණාධිපති අම්බලම්ගොඩ ධම්මකුසල අධිකරණ සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේත්, පණ්ඩිත අම්බලම්ගොඩ පඤ්ඤාවංස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේත්, මොරකැටිආරේ ශාසනධජ මහ තෙරුන් වහන්සේත් අප කථානායකයාණන් වහන්සේගේ කර්මාචාර්යයන් වහන්සේ වූහ. වැලිමඩ ඥානවංශ මහතෙරුන් වහන්සේගේ අන්තේවාසික ශිෂ්‍ය රත්නයක් වූහ.

උතුම් වූ අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලැබීමෙන් අනතුරුව භික්ෂු වත්පිළිවෙත් හා විනය ශික්ෂා පුහුණුව උදෙසා වැලිමඩ ඕහිය ශ්‍රී විවේකාශ්‍රමයට වැඩම කළහ. පරියත්තිශාසනාලංකාර උනාකූරුවේ පියතිස්ස මහා ස්ථවිරපාදයාණන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වූ ද, අප කථානායකයාණන් වහන්සේගේ කර්මාචාර්යාණන් වහන්සේ නමක් වූ ද විනයභාණක උපාලි මහරහතන් වහන්සේගේ පරපුරෙන් පැවැතෙන මහාතෙර කෙනෙකු වැනි වූ සුපේශල ශික්ෂාකාමී වූ අතිගෞරවාර්හ මොරකැටිආරේ ශාසනධජ විනයාචාර්ය මහස්ථවිරපාදයාණන් වහන්සේ වෙතින් ශාසනික වත්පිළිවෙත් සහ සූත්‍ර, විනය, අභිධර්ම දැනුම ලබා ගනිමින් වස්කාලය ගත කළහ.

කඨිනචීවර පූජෝත්සවයෙන් තදනන්තරව මාවරාගල වන සෙනසුනට වැඩම කර පොල් අතු ආවරණය කළ ගල්ලෙනක වැඩ සිටියහ. එතැන් පටන් අප කථානායකයාණන් වහන්සේ ගුරුදේවෝත්තමයාණන් වහන්සේ සමඟ විහාර සංවර්ධන කටයුතුවලට සම්බන්ධ වූහ. ත්‍රිපිටක අධ්‍යයනය ද අත්නොහළහ.

මොනරාගල ගුරුහෙළ ග්‍රාමයේ ගල්ලෙනක වස් සමාදන් වූහ. දායකයින්ගේ උපකාරයෙන් එම ස්ථානය ආරණ්‍ය සේනාසනයක් බවට පත් කළහ. භික්‍ෂූන් වහන්සේගේ ප්‍රයෝජනයට විශාල ළිඳක්, භාවනා කුටි දෙකක් හා දානශාලාවක් කරවූහ. අප කථානායකයාණන් වහන්සේ එක් විහාරයක් ඉදිකරවා ලැබූ අත්දැකීම්වලින් ශාසනාභිවෘද්ධිය වෙනුවෙන් හා ලෝකවාසී බෞද්ධ පින්වතුන්ගේ දෙලොව හිත සුව පිණිස අප්‍රමාණ වෙහෙසක් ගනිමින් සේරුපිටිය-ශ්‍රී චන්දිමාරාම පුරාණ විහාරය, ගල්පෝරුයාය-ශ්‍රී සුගතාරාම විහාරය, හෙනානිගල දකුණ-ශ්‍රී සුගත විවේකාශ්‍රමය, තඹලවැව-ශ්‍රී ජිනේන්ද්‍රාරාමය, අගලඔය-ශ්‍රී සුගත විවේකාශ්‍රමය, දිවුලපැලැස්ස-ශ්‍රී සුගතාරාමය, අතුරු ඇල-බෝසත් සෙවණ බෞද්ධ මධ්‍යස්ථානය, උණුවතුර බුබුල-වෙහෙරගල ආරණ්‍ය සේනාසනය, ගුරුකුඹුර-ආදිවාසි ජනඋරුම බෞද්ධ මධ්‍යස්ථානය, කරකොලේ-ශ්‍රී සුමංගලාරාමය, බෙලගන්වැව-ශ්‍රී සුගත විවේකාශ්‍රමය, මීගහහේන-ශ්‍රී විජයාරාමය, හොබරියාව-ශ්‍රී ගුණරතනාරාමය, කුඩාඔය-ශ්‍රී සුබෝධාරාමය, වෙලම්පැලේ-සිරි චේතියගිරි විහාරය, වෑබඩගම-ශ්‍රී සුදර්ශනාරාමය හා ගුරුහෙළ-සන්නස්ගල ආරණ්‍ය සේනාසනය යන විහාර කර්මාන්ත කරවීමට අවවාද අනුශාසනා කරමින් මාර්ගෝපදේශකත්වයෙන් නායකත්වය ලබා දුන්හ.

2023 වර්ෂය වන විට ඉදිකර වූ විහාරස්ථාන ගණන දාහතක් ය. කථානායකයාණන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ මෙම විහාරස්ථානවල විහාරාධිපති තනතුරු දරමින් ජාතික, ආගමික, සාමාජීය හා සංස්කෘතික සේවා රැසක් ක්‍රියාත්මක කරති.

අප කථානායකයාණන් වහන්සේගේ අනුශාසනා හා නිවැරැදි මඟ පෙන්වීම් මත කුලදරුවන් දෙසිය හැත්තෑහයක් ප්‍රවෘජ්‍යා භූමියට පත් කළහ. විශ්වවිද්‍යාලයීය කථිකාචාර්යවරයන් වහන්සේ නමක් සහ රාජ්‍ය සේවයේ නිලධාරීන් විශාල ප්‍රමාණයක් බිහි කළහ. උපාධිධරයන් තිස් එකක් බිහි කළහ. පැවිදි බිමට පත් වන කුඩා සාමණේරයන් වහන්සේට අවශ්‍ය කරන භාෂා ශාස්ත්‍ර ඥානය සහ ත්‍රිපිටක ඥානය ලබා දීමට බින්තැන්නේ පිරිවෙන් අධ්‍යාපන ආයතනයක් පළමු වරට ආරම්භ කරන්නේ ද අප කථානායකයාණන් වහන්සේ ය. උපසම්පදා භික්ෂූන් වහන්සේගේ පොහොය කර්ම සඳහා සීමා මාලකයක් ඉදිකරවූහ. තවද ධර්මශාලා, විශ්‍රාමශාලා, භාවනායෝගි භික්ෂූන් සඳහා කුටි, සක්මන් මළු, ළිං, සංඝාවාස, වැසිකිලි කැසිකිලි ආදී ගොඩනැගිලි සිය ගණනක් ඉදිකරවූහ. අනුරාධපුර අටමස්ථාන සහ සොළොස්මස්ථානවල අටවිසි පූජා, අසූමහාශ්‍රාවක පූජා, අෂ්ටපාන ගිලන්පස පූජා,කප්රුක් පූජා, පිරිකර සහ අටපිරිකර පූජා පැවැත්වූහ. මරණයට කැප වූ ගවයන් නිදහස් කිරීමේ පින්කම් සිදු කළහ. තවද අප කථානායකයාණන් වහන්සේ ප්‍රදේශවාසී ජනයා වෙනුවෙන් ආයුර්වේද ප්‍රාදේශීය මධ්‍යස්ථානයක් මාවරගල ආරණ්‍ය සේනාසනයේ පිහිටුවා පවත්වා ගෙන ගියහ.

ප්‍රදේශයේ පැවැති උග්‍ර ජල හිඟය විසඳීමට ස්ථිර විසඳුමක් ලබා දුන්හ. මාවරාගල ආරණ්‍ය සේනාසනයටත්, දේශවාසීන්ටත් විදුලිය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කළහ. දුප්පත් පවුල් සඳහා නිවාස ඉදිකර දුන්හ. රාජ්‍ය හා රාජ්‍ය නො වන සමිති සමාගම්වල ප්‍රධාන අනුශාසක ධුරය දරමින් ධර්මානුශාසනා පැවැත්වූහ.

අප කථානායකයාණන් වහන්සේගේ අවවාද අනුශාසනා යටතේ සහ මාවරාගල ආරණ්‍ය සේනාසනයේ දායක සභාවේ සභාපති ආදිවාසී නායක විශ්වකීර්ති වනස්පති ඌරුවරිගේ වන්නිලැත්තන්ගේ ප්‍රධාන දායකත්වයෙන් ආදිවාසි ජනඋරුම බෞද්ධ මධ්‍යස්ථානය බිහි කළහ.

මේ හැම පුණ්‍ය කටයුත්තක දී ම අප කථානායකයාණන් වහන්සේ උජුපටිපන්න ගුණය නිතර ප්‍රදර්ශනය කළහ. අයුක්තිය, අසාධාරණය වෙනුවෙන් නිලතල නො සලකා ප්‍රකාශ කළ යුතු දෙය ප්‍රකාශ කරමින් ගත යුතු තීරණ ගනිමින් වරද පෙන්වා දෙමින් කටයුතු කිරීමට තරම් ඍජු බවකින් යුක්ත වූහ.

යමෙක් එක දිනක් අප කථානායක නාහිමිපාණන් වහන්සේ සමඟ එක වතාවක් කථා කළහොත් ඉතා සමීප මිතුරකු බවට පත් වන්නාහ. එතරම් ම අවංක හා අව්‍යාජ, මිත්‍රශීලි බවක් ප්‍රදර්ශනය කළහ. හොඳ මතක ශක්තියක් උරුම වී තිබුණහ. වෙදකම හා ඡ්‍යොතිෂ්‍ය දැනුමෙන් යුක්ත වූවා පමණක් නොව මැහුම් ගෙතුම් පිළිබඳ සහජ හැකියාවකින් ද යුක්ත වූහ.

මාවරාගල ආරණ්‍ය සේනාසනාධිපති අප කථානායකයාණන් වහන්සේ සුජීවත් ව සිටි සමය පුරාම සිවුවනක් පිරිස වෙත ම අවවාද අනුශාසනා හා නිසි මාර්ගෝපදේශ ලබා දෙමින් වැඩ සිටියහ. අප කථානායකයාණන් වහන්සේ මාවරගල ආරණ්‍ය සේනාසනයේ විහාරාධිපතිත්වයත්, නෙතට නින්දක් හෝ ගතට නිසි ආහාරයක් හෝ චිත්ත විවේකයක් හෝ නො ලබා ලෝක ශාසනික සේවය වෙනුවෙන් ඉදිකර වූ විහාරස්ථාන දාහතක විහාරාධිපතිත්වයත් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ වෙත පවරා, අබ්භාහන විනය කර්ම සිදු කර ගනිමින් ඇවැත්වලින් නිදහස් වෙමින් සිල්වත් ව, ගුණවත් ව, අල්පේච්ඡ හා සැහැල්ලු ජීවිතයක් ගත කරමින් වැඩ සිට වර්ෂ අසූ තුනක් ආයු වළඳා ලොව සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය බව පසක් කරමින් වර්ෂ 2023 නොවැම්බර් මස 15 වැනි දින පමණ මනා සිහි නුවණින් යුක්තව අපවත් වී වදාළහ. අප කථානායකයාණන් වහන්සේට උතුම් නිර්වාණ සම්පත්තිය ලබා ගැනීමට අප කළ පින් අනුමෝදන් වේවා’යි ප්‍රාර්ථනා කරමු.