Print this Article


සුපේශල ශික්ෂාකාමී බුද්ධ පුත්‍රයන් වහන්සේ වැලිතර අමරනන්ද අනු නාහිමිපාණෝ

සුපේශල ශික්ෂාකාමී බුද්ධ පුත්‍රයන් වහන්සේ වැලිතර අමරනන්ද අනු නාහිමිපාණෝ

දකුණු සිරිලක ශාසන ප්‍රබෝධය ඇති කිරීමෙහිලා ඓතිහාසික මහඟු මෙහෙවරක් ශ්‍රී ලංකා අමරපුර මහානිකායෙන් සිදු වී ඇත. අමරපුර මහානිකායේ චූලගණ්ඨි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ අනුනායක වැලිතර, අමරනන්දාභිධාන මහා ස්වාමීන් වහන්සේ පසුගිය නොවැම්බර් මස 25 වැනි දිනට 65 වැනි උපන්දිනය සමරමින් පින්කම් රාශියක් සහිතව වැඩසටහන් සංවිධානය කර තිබුණි.

විශිෂ්ට සමාජ මෙහෙවරක නිරතව සිටින ජ්‍යෙෂ්ඨ අනුනාහිමියන්ගේ චරිතයෙන් බිඳක් ගෙනහැර දැක්වීම උන්වහන්සේට පූජෝපහාරයක් වනු ඇත.

අනු නාහිමියන්ගේ උපන් ගම වැලිතර ගම් ප්‍රදේශයයි. අමරපුර මහා නිකාය පිහිටුවා වදාළ ඤාණවිමලතිස්ස මහා ස්වාමීන් වහන්සේගේත්, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ චූලගණ්ඨි පාර්ශ්වයේ ආදි කර්තෘභූත ඒ.යූ.ඒ. ඤාණතිලක මහා නාහිමියන් වහන්සේගේත් ගම් ප්‍රදේශය ම වීම අතිශයින් වැදගත් ය.

1973 මැයි මස 22 වැනි දින පැවිදි බිමට පත්ව, 1978.07.09 වැනි දා චූලගණ්ඨි පාර්ශ්වයේ මහානායක වතුරේගම ඤාණෝභාස මහා ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය වෙතින් අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලබා ගෙන ඇත. ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මූලවංශික පාර්ශ්වයේ මහා නායක ව වැඩසිටි අතිගරු, කොස්ගොඩ සරණංකර මහා ස්වාමීන් වහන්සේ වෙතින් සිංහල, පාලි, සංස්කෘත ඇතුළු භාෂාවන් ප්‍රගුණ කර ඇති වැලිතර, අමරනන්ද ජ්‍යෙෂ්ඨ අනුනායක ස්වාමීන් වහන්සේ ඉංගී‍්‍රසි, ජර්මන්, ඉතාලි, ප්‍රංශ වැනි භාෂාවන් පිළිබඳ ද නිපුණතාව ලබාගෙන ඇත.

විශිෂ්ට සමාජ සේවාව

නාරාහේන්පිට ධර්මවේදී ජනසන්නිවේදන හා සමාජ සංවර්ධන අභ්‍යාස ආයතනයට සම්බන්ධ වී “කල්‍යාණමිත්‍ර සමාජ වැඩසටහන” යටතේ ලංකාවේ විවිධ ප්‍රදේශවල පැවති භික්ෂු හා නායකත්ව පුහුණු වැඩසටහන්වලට සම්පත් දායකයාණන් වහන්සේ නමක් වශයෙන් වැඩම කරවමින් අත්‍යුදාර සමාජ මෙහෙවරක් සිදු කොට ඇත. ධර්මසන්නිවේදන ආයතනය මඟින් සංවිධානය කළ තායිලන්ත ආගමික සංචාරයන්හි දී ආගමික කටයුතු භාරව කටයුතු කර ඇති ජ්‍යෙෂ්ඨ අනුනායක ස්වාමීන් වහන්සේ මෙම ආයතනය මඟින් පැවැත් වූ ඩිප්ලෝමා උපාධිය ද තායිලන්තයේ චූලාලංකාර විශ්වවිද්‍යාලයෙන් “ගැටලු හා න්‍යාය” පිළිබඳ ඩිප්ලෝමාවක් ද ලබාගෙන තිබේ.

2005 මාර්තු මාසයේ දී ජ්ර්මනියේ “ඊසිලෝන්” නගරයේ දී සුනාමි ව්‍යසනය පිළිබඳව “සුනාමි ව්‍යසනයේ දී ශ්‍රී ලාංකික භික්ෂුවකගේ කාර්යභාරය” යන මාතෘකාවෙන් ජර්මන් භාෂාවෙන් වැලිතර අමරනන්ද නාහිමිපාණන් වහන්සේ විසින් කරන ලද දේශනය ජාත්‍යන්තරයේ වැදගත් දේශනයක් වූ අතර, ශ්‍රී ලාංකික භික්ෂුවගේ ප්‍රතිමූර්තිය ලෝකය පුරා විශිෂ්ටත්වයට පත් කරන්නට තරම් සමත් විය. බුදුදහම අන්තවාදීව කරපින්නා ගත් කොට්ඨාසයක් වශයෙන් ඇතමුන් භික්ෂූන් වහන්සේ පිළිබඳ ප්‍රචාරය කර තිබුණු මතය මුළුමනින් ම වෙනස් කිරීමට මේ දේශනය ඉවහල් විය.

දැනට වසර කීපයකට පෙර පාසල් දරු - දැරියන් 35 දෙනකු මරුමුවට පත්කරමින් අහුන්ගල්ලේ දී සිදු වූ මාරක දුම්රිය අනතුරේ දී පූජනීය අනුනායක ස්වාමීන් වහන්සේ විසින් සිදු කළ මහා සමාජ මෙහෙවර වර්තමානයේ ද කෘතවේදීව එම ප්‍රදේශවාසීහු සිහිපත් කරති. අනතුරට භාජනය වූ දරු දැරියන්ගේ නිවෙස්වලට වැඩම කරවමින් අවශ්‍යතා සොයා බලමින් එම අවස්ථාවේ දී කළ යෝධ සමාජ මෙහෙවර සමස්ත ප්‍රදේශය ම අවදි කරන්නක් විය.

සුනාමි ව්‍යසනය සිදු වූ 2004 දෙසැම්බර් 26 වැනි දින දහස් සංඛ්‍යාත පවුල් සංඛ්‍යාවක් දකුණු මුහුදු තීරයේ අවතැන් විය. විපතට පත් අය වෙත එවකට පැවති රාජ්‍ය තාන්ත්‍රික පුද්ගලයන් සමඟ ගමක් ගමක් පාසා ගොස් අවශ්‍යතා සොයා බැලූ අතර, පවුල් 794ක් පමණ සිය විහාරස්ථානයේ නතර කරවා ගෙන උදවු උපකාර කළහ. විදේශීය දානපතියන් ලවා සුනාමි ව්‍යසනයෙන් අවතැන් වූ අයට නව නිවාස ඉදිකර දීමටත්, පාසල් දූ දරුවන්ට පොත් පත් වැනි අවශ්‍ය උපකරණ ලබා දීමටත්, විනාශ වී ගිය පෙර පාසල් හා පාසල් යළි පිහිටුවීමටත් වැලිතර අමරනන්දාභිධාන අනුනායක ස්වාමීන් වහන්සේ කටයුතු කළහ. ධීවර ජනතාවට අවශ්‍ය ආම්පන්න විදේශීය රටවල් සමඟ ද සාකච්ඡා කොට ලබාදීමට කටයුතු කළ අනුනාහිමිපාණන් වහන්සේ බලපිටිය, අහුන්ගල්ල, කොස්ගොඩ, ඉඳුරුව ආදී ප්‍රදේශ යථා තත්ත්වයට පත්වන තුරුම පැවති ශ්‍රී ලංකා ජනරජයේ හා විදේශීය පරිත්‍යාගශීලී ප්‍රජාවන් සමඟ සහයෝගීව කටයුතු කිරීම මහඟු සමාජ මෙහෙවරක් විය.

හම්බන්තොට ඇති වූ මහා නියඟයේ දී පානීය ජල බවුසර් සහ ජල බෝතල් කීපවතාවක් ම එම ප්‍රදේශයට ගොස් බෙදා දීම සිදු කළ අතර, පොලොන්නරුව බොරවැව ගම්මානයේ දූ දරුවන්ට අවශ්‍ය පාසල් උපකරණ බෙදාදීමත්, මින්නේරිය ගංවතුර අවස්ථාවේ දී විපතට පත් පිරිසට උදව් උපකාර කිරීමත්, ත්‍රස්තවාදීන්ගෙන් රට මුදා ගැනීම සඳහා ශ්‍රී ලංකා ආරක්ෂක අංශ මඟින් සිදු කළ මානුෂීය මෙහෙයුමේ දී ත්‍රිවිධ හමුදාවට අවශ්‍ය ශක්තිය හා ආශිර්වාදය ලබාදීම සඳහා යුද බිමට වැඩම කොට, පිරිත් නූල් බැඳීම හා යන්ත්‍ර පැලදවීම ජීවිත පරිත්‍යාගයෙන් යුතුව සිදුකළහ. මේ ආකාරයට ලංකාවේ කුමන ප්‍රදේශයකට වුව ද කිසියම් විපත්තියක්, කරදරයක් වූ විගස ඊට උදවු උපකාර කිරීමට ඉදිරිපත් වන අප අනුනාහිමියෝ වැඩ සිටින අහුන්ගල්ල - වලේකෝවිල විහාරස්ථ පරිසරය සකසා තිබෙන්නේ ද සියලු සතුන්ට අභය භූමියක් වන ආකාරයට ය.

ශ්‍රී ලංකාවේ අනාගත යහපැවැත්ම රඳා පවතින්නේ කුඩා දූ දරුවන් නිසි මඟට ගැනීමෙන් පමණක් බව පසක් කරගත් අප නාහිමියෝ “සාම කරුණා කැකුළු සමාජය” නමින් ළමා සමාජයක් නිර්මාණය කොට ඒ මඟින් දරු දැරියන්ගේ නිපුණතා සංවර්ධනයට විවිධ වැඩසටහන් සංවිධානය කොට, ක්‍රියාත්මක කරවති.

ජාතික මට්ටමේ විභාග පැවැත්වෙන කාලයන්හි දී ප්‍රදේශයේ දූ දරුවන් වෙනුවෙන් බෝධි පූජා පවත්වා, සෙත් පිරිත් දේශනා කොට දූ දරුවන්ට ශාන්තිය ලබාදීම උන්වහන්සේගේ සිරිතකි. සෙත් කවි කලාවට දක්ෂතාවක් දක්වන නාහිමිපාණන් වහන්සේගෙන් දෙස් විදෙස් සැදැහැවත් පිරිස තම අභිලාෂයන් මුදුන්පත් කර ගැනීමට උන්වහන්සේ හමුවට පැමිණෙති.

විදේශීය ධර්ම ප්‍රචාරය

ජ්‍යෙෂ්ඨ අනුනායක වැලිතර අමරනන්දාභිධාන මහා ස්වාමීන් වහන්සේ ඉන්දියාව, නේපාලය, ලාඕසය, ජර්මනිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, බුරුමය, තායිලන්තය, කාම්බෝජය, මැලේසියාව, අමෙරිකාව වැනි රටවලට බුද්ධිමත් ජනතාවගේ හා සංවිධානවල ඇරයුමෙන් වැඩම කොට, ධර්ම ප්‍රචාරක කටයුතුවල නිරත වීම ඉතා ම වැදගත් වේ. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ගැඹුරු සූත්‍ර ධර්ම අර්ථයට හානියක් නොවන පරිදි විවිධ භාෂාවන්ට පරිවර්තනය කරමින් දේශනා කොට, ආර්යමාර්ගය ප්‍රකට කිරීමටත්, විදේශීය ප්‍රබුද්ධ ජනතාවට විදර්ශනා භාවනාව පිළිබඳ පුහුණුවක් ලබා දීමටත් අනුනායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට හැකියාව ලැබී ඇත.

පාරිවේණික නායකත්වය

තමන් වහන්සේ පැවිදි වූ බලපිටිය පුෂ්පාරාම මූලමහා විහාරස්ථානයෙන් ඈත්ව අහුන්ගල්ල වලේකෝවිල නමින් හැඳින්වෙන ස්ථානයට වැඩම කොට, මඩවළක් ව පැවති එම ස්ථානය ශුද්ධ පවිත්‍ර කර, අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට මේ වන විට පත්කර තිබේ. එම ස්ථානය අහුන්ගල්ලේ පුලිනතලාරාමය නමින් හැඳින්වේ.

ගම්වාසී ලොකු කුඩා සෑම දෙනා සමඟම අතිශය පි‍්‍රයශීලිව කටයුතු කරන අනුනායක ස්වාමීන් වහන්සේගේ පරිත්‍යාගය පෙරදැරි කරගත් කරුණාව, දයාව, අනුකම්පාව ගම්වාසීන්ට නොමදව ලැබේ. මෙම ස්ථානයේ පැවැත්වෙන භාවනා වැඩසටහන්වලට සහභාගි වූ සමහර විදේශිකයෝ බුදුදහම වැලඳගෙන පැවිදි බිමට ද පත්වූහ.

වැලිතර ශ්‍රී පුෂ්පාරාමස්ථ ශ්‍රී විද්‍යොභාස පිරිවෙනේ කෘත්‍යාධිකාරී ධුරය ද හොබවන වැලිතර, අමරනන්ද අනුනාහිමියෝ ශාසනයට වැඩදායී, සුපේශල, ශික්ෂාකාමී භික්ෂු පරපුරක් සම්මා සම්බුද්ධ ශාසනයට දායාද කර දීමේ භාරදූර වගකීම ද ඉටු කරති.

සේවය ඇගයීම

ගරු ජ්‍යෙෂ්ඨ අනුනායක ස්වාමීන් වහන්සේගේ අත්‍යුදාර ආගමික හා සමාජයීය මෙහෙවර අගය කරමින් ශ්‍රී ජයවර්ධන ගුණසමරු පදනම මඟින් “කීර්ති ශ්‍රී ධර්ම විශාරද පණ්ඩිත විචිත්‍රභාණී” යන ගෞරව නාමය ප්‍රදානය කර ඇත. ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සද්ධම්මවංස පාර්ශ්වය මඟින් “ප්‍රවචනාලංකාර ශාසනජෝති” යන ගෞරව නාමය පිරිනමමින් අනුනාහිමියන්ගේ සේවය ඇගයීමට ලක්කර ඇත. එමෙන්ම සමාජ සංවර්ධන හා ධර්මවේදී ජනසන්නිවේදන ආයතනයෙන් ද නාහිමියන්ගේ සමාජ මෙහෙවර අගය කරමින් සහතික පත්‍රයක් ප්‍රදානය කර ඇති අතර, රුවන්වැල්ල ශ්‍රී ලංකා අමද්‍යප යොවුන් සමාජය විසින් සංවිධානය කළ උත්සවයක දී අස්ගිරි පාර්ශ්වයේ මහානායක මාහිමිපාණන් වහන්සේගේ අතින් ද ගෞරව නාමයක් ලබාගෙන තිබේ.

නිකායේ හා නිකාය පාර්ශ්වයේ උන්නතිය සඳහා කැපවීම.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සාමගි‍්‍රය හා අන්‍යෝන්‍ය සුහදත්වය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් නිතර ම හඬ නඟා කතා කරන ජ්‍යෙෂ්ඨ අනුනායක ස්වාමීන් වහන්සේ චූලගන්ඨි පාර්ශ්වයේ “ශ්‍රී ඤාණතිලක” කාරක සංඝ සභාවේ දෙවැනිවරටත් සභාපතිත්වය දරමින් නිකාය පාලක කාරක සංඝ සභා සෑම එකකටම සහභාගි වෙමින් විශිෂ්ට වැඩ කොටසක් ඉටු කරති.

පැවිදි භූමියට පත්වූ අවධියේ පටන් ම සම්මා සම්බුද්ධ ශාසනයේත් සමස්ත සමාජයේත් ප්‍රගමනයට ආගම්, කුල, ගෝත්‍ර භේදයකින් තොරව දිවා රාත්‍රී නොබලා සේවය කරන, දේශ දේශාන්තරයන්හි සම්මා සම්බුද්ධ ශාසනයේ උන්නතිය හා ශ්‍රී ලාංකික ජනතාවගේ යහපත උදෙසා ඇප කැප වී සිටින ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ චූලගණ්ඨි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ අනුනායක හා පාලක සංඝ සභාවේ සභාපති ශාසනකීර්ති ශ්‍රී ධර්ම විශාරද පණ්ඩිත විචිත්‍රභාණී වැලිතර අමරනන්දාභිධාන අනුනායක ස්වාමීන් වහන්සේට ලෝ සසුන් වැඩ වඩන්නට කායික - මානසික නිදුක් නිරෝගීභාවය ලැබේවායි ප්‍රාර්ථනා කරමු.