Print this Article


ප්‍රාණය දෙවැනි කොට රකිමු  සමාදන් වූ සිල්පද

ප්‍රාණය දෙවැනි කොට රකිමු  සමාදන් වූ සිල්පද

බුදු සසුනක සිසිල විඳීන්නට ඉඩ නැති කාලයේදීත් මිනිසුන් සිල්පද රැක්කා. ඒ සීලයේ අනුසස් වින්දා. නමුත් බුද්ධ ශාසනයක් පවතින කාලයක රකින සීලයක් තුළින් පමණයි නිවන් මඟට මාවත සැකසෙන්නේ. අද අප සමාජයේ බොහෝ දෙනා සිතනවා සමාදන් වූ සීලය පොඩ්ඩක් කැඩුනාට පුංචි පුංචි සතුන් මැරුවාට, විහිලුවට ඉඳහිට ‍බොරුවක් කිව්වාට පවක් නැහැ කියලා. බොරුවක් කියලා තව කෙනෙක් සතුටු කරන එකත් පිනක්. සාදයක දී මත්වතුර පාවිච්චි කළාට අවැඩක් නැහැ කියා හිතනවා.

නමුත් සීලය පිළිබඳ අපගේ ශාස්තෘන් වහන්සේ විවිධ ආකාරයෙන් වර්ණනා කොට තිබෙනවා. උන්වහන්සේ වදාළා කිරිල්ලියක් බිත්තර රකිනවා වගේ සිල්පද රකින්න කියලා. ඒ කිරිල්ලී බිත්තර උඩට ගිහින් පාද උඩට තබාගෙන කෑ ගසමින් සිටින්නේ. ඇයි ඒ? ඇය බයයි ආකාසය කඩා වැටිලා බිත්තර විනාශ වෙයි කියලා. එතරම්ම පරිස්සමට බිත්තර රකිනවා. ඒ වගේම සෙමෙර මුවාගේ වටිනාම තැන ඒ සතාගේ වලිගය යි. සෙමර මුවා වල්ගය රැක ගන්නේ කෙසේද, ඒ ආකාරයට තමා සමාදන් වූ සිල්පද රකින්න කියලා.

යම් මවකට සිටින්නේ එකම දරුවා නම් ඒ අම්මාගේ මුළු ජීවිතයම ඒ දරුවා යි. එක දරුවෙක් ඉන්න අම්මා ඒ දරුවා රකිනවා වගේ සමාදන් වූ සිල්පද රකින්න ඕනේ. එක ඇසක් ඇති මිනිසෙක් ඒ ඇස පරිස්සම් කර ගන්නවා වගේ සිල්පද පරිස්සමට රැකගන්න ඕනේ. එහෙම නම් ටිකක් මත්වතුර ගත්තාට කමක් නැද්ද? පොඩි බොරුවක් කීවාට කමක් නැද්ද? කියන දේ ඔබ විමසන්න. එක දරුවෙක් සිටින අම්මා ඒ දරුවා රකිනවා වගේ ඒනිසයි සිල්පද රැකිය යුත්තේ. අම්මා ඒ දරුවාට ටිකක් එහා මෙහා වෙනවාට කැමැති වෙන්නේ නැහැ. ඒ අම්මා හිතන්නේ මගේ දරුවාට හානියක් වෙන්න එපා කියලා යි. ඒ වගේ සීලය සමාදන් වූ ඔබත් සිහි කළ යුත්තේ පොඩියටවත් මගේ සීලයට හානියක් වෙන්න එපා කියලයි.

මේ ආකාරයට අපට පුලුවන් නම් සිල් රැක ගන්න අපගේ මරණාසන්න ‍මොහොත කෙතරම් ආරක්ෂා සහිත ද? සිල්පද රැකීම තුළ තිබෙන පුණ්‍ය විපාකය අතිශයින්ම බලවත් එකක්. එසේ නම් ‍මේ සිල්පද කැඩීමෙන් අත්වන විපාකය ද ඉතා බරපතළ විපාකයක්.

මේ පිළිබඳ ඉතාම සුන්දර විස්තරයක් තිබෙනවා අංගුත්තර නිකායේ. අපාය සංවත්තික සූත්‍රයේ එහි සඳහන් වෙනවා, යම් කෙනෙක් සතුන් මරනවා නම්, සතුන් මැරීම නිතර නිතර කිරීමට පෙළෙඹෙනවා නම් බහුලව එය කරනවා නම් අනිවාර්යයෙන්ම ඒ උපත නිරයට සැකසෙනවා. එහෙම නැත්නම් පේ‍්‍රත ලෝකයට යනවා. එසේ නැත්නම් තිරිසන් අපායට යනවා. සතෙකු මැරීමෙන් ලැබෙන අවම විපාකය සමඟ ඔහු මනුෂ්‍ය ලෝකයට ආ විට අඩු ආයුෂයෙන් මනුෂ්‍ය ලෝකයෙන් සමුගන්න වෙනවා. යමෙක් සතුන් මරන විට එහි විපාකයක් ති‍බෙනවා කියා තේරෙන්නේ නැහැ. නමුත් අපට පේනවා සමහර දරුවෝ මවුකුසේ දී මැරෙනවා. නැත්නම් මේ ලෝකයට බිහිවෙන විට මැරෙනවා. මිනිස් ලෝකයේ ටික කාලයක් ජීවත් වෙලා මැරෙනවා. තරුණ කාලයේ මැරෙනවා. ඥාතීන් අඬනවා. වැළපෙනවා. දරුවෝ පොඩි කාලයේ ළමා කාලයේ මැරෙන කොට අනේ මේ දරුවා අකාලයේ මැරණේ ඇයි කියා අප සිතනවා. ඒකට වැරැද්ද කළේ කවුද? වැරැද්ද කොතැනද කියලා අපට එක වරටම හිතෙන්නේ නැහැ. නමුත් එ‍සේ මියගිය දරුවා පෙර ජීවිතයක සත්තු මරලා. සමහර විට මේ ජීවිතයේ ඔහු ඉතා අහිසංක කෙනෙක් වෙන්න පුළුවන්. අපි හිතනවා කාටවත් කරදරයක් නැතිව ජීවත් වූ දරුවෙක්නේ කියලා. නමුත් ප්‍රාණඝාතයේ විපාකය ඔහුට ලැබුණේ. එහෙම නම් අද කාලයේ කෙනෙක් බහුල ලෙස සතුන් මරනවා නම් පසු ආත්මයක මනුෂ්‍ය ලෝකයට ආවොත් අඩු ආයුෂයෙන් මැරෙන්න වෙනවා. ඒ විපාකයේ අඳුරු ස්වභාවය විස්තර කරන්න දන්නේ බුදුරජාණන් වහන්සේ පමණයි.

ඒ වගේම යම් කෙනෙක් සොරකම් කිරීම කළොත් නැවත නැවත කළොත් බහුලව කළොත් නිරයේ යන්න වෙනවා. තිරිසන් ලෝකයේ යන්න වෙනවා. පේ්‍්‍රත ලෝකයේ යන්න වෙනවා. සොරකම් කළ කෙනාට ලැබෙන අඩුම විපාකය යම් දවසක මිනිස් ලෝකයේ උපත ලැබුව ද ඔහුගේ ‍දේපළ විනාශ වෙනවා. තමන් බොහෝ කාලයක් මහත් කැපවීමෙන් එක් රැස් කළ දේ සුළු මොහොතකින් විනාශ වෙනවා‍. අපට මේ වගේ සිද්ධීන් පේනවා. නමුත් ඒ පිටුපස්සේ ඇති සසරේ කළ දේ පේන්නේ නැහැ. අනුන් සතු දෙයට ආශා කර හොර සිතින් තව කෙනෙක්ගේ දේ ලබා ගෙන මේ ලෝකයේ දිනු කෙනෙක් නැහැ. සසරේ තමා පිටුපස එන අකුසලය කවුරු නම් නවතා දමන්න ද? විපාකයේ ස්වභාවය දන්නවා නම් අනුන්ගේ දෙයක් තිබූ තැනින් ඔසවන්නට පවා අප බය වෙනවා. සොර සිතින් ඒ දේ ගැනීමට ඔසවද්දී ම සමාදන් වූ සීලය කැඩෙනවා.

වැරැදිකාම සේවනයෙන් වෙන්වීමත් සිල් පදයක්. ඒ පාපය නැවත නැවත කිරීම හේතුවෙන් නිරයේ යනවා. තිරිසන් අපායේ යනවා. පේ්‍‍්‍රත ලෝකයේ යනවා. අඩුම විපාකය මිනිස් ලොවට ආ විට බොහෝ සතුරන් ඇතිවෙනවා. සතුරන් ඇතිවුනා ම ජීවත් වෙන්න අමාරුයි. සියලු දෙනා මිතුරු නම් එය පහසුවක්. එසේනම් නිරයේ, පේ්‍‍්‍රත ලෝකයේ, තිරිසන් ලෝක‍යේ දුක ‍කෙසේ ද කියා සිහි කරන්න. සමහර විට අපට අනෙකා‍ගේ අ‍ාදරය නො ලැබෙන්න, විවාහ ජීවිතය කඩාකප්පල් වෙන්න මේ සිල්පදය බලපානවා.

මේ දේශනාවේ තවදුරටත් සඳහන් වෙනවා නිරන්තරයෙන් කෙනෙක් බොරු කියනවා නම් මරණින් මතු නිර‍යේ යනවා. පේ්‍‍්‍රත ලෝකයේ යනවා. තිරිසන් ලෝකයේ යනවා.‍ ‍ බොරුකීමෙන් ලැබෙන අඩුම විපාකය නම් මිනිස් ලොවට ආ විට නිකරුණේ නින්දා අපහාස ලැබෙනවා. මේ ජීවිතයේ බොරු කියලා නැතිව ඇති. නමුත් මේ සිල්පදය සඳහා පෙර ජීවිතයේ විපාක විඳීන්න ඇති. කාරණා සහිතව නින්දා ලබනවාට වඩා නිකරුණේ තමා නොකළ වරදකට අපවාද ලැබෙනවිට සිතට පීඩාකාරීයි. වැරැද්ද නො කරත් වැරැද්දක් වුණා වගේ වචන අසමින් කොන්වෙන්න වෙනවා. එතකොට සිත කඩා වැටෙන්න පුළුවන්. වැරැදි නොකර නින්දා ලබන කෙනෙක් පිළිබඳ ඔබ දන්නවා නම් ඔබත් සිතයි අනේ මෙයාගේ කිසි වැරැද්දක් නැහැ, ඇයි මෙහෙම වෙන්නේ? කියලා. එතැනදීත් අපි තේරුම් ගන්න ඕන ඒ සසරේ හැටි. සසරේ බොහෝ සේ බොරු කියූ විපාකයයි ඒ. බුදුරජාණන් වහන්සේ වදාළේ විහිළුවටවත් බොරුවක් කියන්න එපා කියලයි. එයට බය වෙන්න කියලයි. ‍බොරුවක් කියන්න ලෙහසියි. එයට තත්පරයයි යන්නේ. දිවටත් නො දැනී බොරුව කියා දානවා. නමුත් විපාකය එනවිට තනිවම ගෙවන්න ඕනේ. තමන්ගේ පවුල කැඩී වැනසී යන තරමේ විපාක ලැබෙනවා. ඥාතින් අතරට, සේවා ස්ථානයට, මිතුරන් අතරට යා ගත නොහැකි තරම් නින්දා අපහාස එනවා. ඒනිසා ඒ විපාක විඳීන්නට බය වෙන්න. මේ දේ කළොත් මට විපාක විඳීන්නට සිදුවෙනවා කියන දේ පිළිගන්න. එයට බය වෙන්න.

ඒ වගේම කේලාම් කීම හේතුවෙන් නිරයේ උපදිනවා. තිරිසන් අපායේ උපදී. පේ්‍්‍රත ලෝකයේ උපදී. කේලාම් කීමෙන් ලැබෙන අවම විපාකය මිනිස් ලොව ඉපදුනොත් යහලුවෝ බි‍ඳෙනවා. යහලුකම් පවත්වන්න අනෙක් අය අකැමැති වෙනවා. තමන්ට කියා කවුරුත් නැති වෙනවා. එහෙම ජීවත්වෙන්න අපහසුයි. ඒ සසරේ කේලාම් කීමේ අඩුම විපාකයයි.

ඒ දේශනාවේ සඳහන් වෙනවා යමෙක් දරුණු වචන කීමෙන් නැවත නැවත කීමෙන් මරණින් මතු නිරයේ උපදිනවා. තිරිසන් අපායේ, පේ්‍‍්‍රත ලෝකයේ යනවා. අඩුම විපාකය ලෙස මනුස්ස ලෝකයට ආ විට කනට අසන්න ලැබෙන්නේ ම අසතුටු වචන. තමන් ආශා නැති වචන.

එනිසා තමන්ගේ දේපළ රැක ගන්න ඕනේ නම්, දේපළ විනාශ වෙනවට අකැමැති නම්, සොරකම් නොකර සිටින්නට ඕනේ. ඒ වගේම හතුරක් ඇතිවෙනවට අකැමැති නම් වැරැදි කාම සේවනය නොකර සිටින්න ඕනේ. කරුණු රහිත ව නින්දා අපහාස අසන්නට කැමැති නැත්නම් බොරු නොකියා ඉන්න ඕනේ. කවුරුහරි කෙනෙක් තමන්ගේ යහලුවන් බිඳෙනවාට අකැමැති නම් කේලම් නොකියා ඉන්න ඕනේ. තමන් සතුටු වචනම අසන්න ආශානම් කිසිවකුට දරුණු වචන නොකියා සිටින්න ඕන. තමන්ගේ වචන අනෙක් අය විශ්වාස කරනවාට කැමැති නම් බොරු නොකියා ඉන්න ඕනේ. තමන් උමතු වෙනවාට අකැමැති නම් සුරාපානයෙන් වැළකෙන්න ඕනේ.

එනිසා සුළුවෙන් හෝ සිල් පදවලට හානි කර ගන්න එපා. කිසිදු කිලුටක් නැතිව තමන් සමාදන් වූ සිල්පද රැකගෙන තමන්ට මේ ලෝකයෙන් මිය යන්න තිබෙනවා නම් එය කෙ තරම් යහපතක් ද?

එනිසා ඔබ සමාදන් වූ සිල්පද මේ වන විට කැඩුණානම්, සෑයක්, බෝධින් වහන්සේ නමක් හෝ නිවසේ පිළිම වහන්සේ අසලතෙරුවන් සරණ ගොස් අධිෂ්ඨානයෙන් නැවත සිල්පද සමාදන් වෙන්න.