Print this Article


පුර පෑළවිය සඳ - 01 කොටස

සාමණේරයන් වහන්සේ නමකගේ ජීවිතය අලලා ලියැවුණු නව කතාව

පුර පෑළවිය සඳ - 01 කොටස

පෙර දා වට මහ වැස්සෙන් මුලු පොළොව ම තෙත බරිත වී ගොස්‍ය. මෙතුවක් තිබූ ඉඩෝරය හා ගිනියම දැන් නම් පහව ගිය සෙයකි. මහ බෝධීන් වහන්සේගේ අතුපතරින් විටින් විට රූරා, සුළඟින් සට සට ගා වැටෙන්නේ තැවරී ගිය වැසි බිඳීති ය. ඒවා වෙන කවරදාටත් වඩා සිහිල් යැයි යසෝ අම්මාට සිතේ.

වැහැරී ගිය දෑතින් ඉදල ගත් ඈ අපමණ සැදැහෙන් බෝ මලුව අමදින්නී ය.

වියළී ගිය බෝපත් සියල්ලම පාහේ වැස්සට හැලී ගොසිනි. වැහි වතුරට පොළොවට ඇලී ගිය බෝපත් යසෝ අම්මාගේ ඉදලට නම් බෙහෙවින් අකීකරු ය.

ඇම¼දීම පැත්තකින් තැබූ ඈ ඉදලෙන් බෝපත්වලට අනින්නට සූදානම් වූවා ය. එහෙත් එය සුදුසු නොවේ යැයි හැඟුණි. ඇය අමාරුවෙන් පහත් වී බෝපත් එකින් එක දෑතින් ගෙන එකතු කරන්නට වන්නී ය.

“ අත්තම්මේ, අත්තම්මේ....”

ඒ කතා කරන්නේ අලුත පැවිදි වූ කුඩා සාමණේරයන් ය. දමිත සාමණේරයන් වහන්සේට යාත්තමින් වයස අවුරුදු අට ලැබුවා පමණි.

බෝපත් ඇහිඳීමින් හුන් යසෝහාමි වියපත් මුහුණෙහි සිනාවක් මවා කොන්ද නමා වැන්දාය.

නැමී සිට, එක්වන ම පසඟ පිහිටුවා වඳීන්නට දැන් ඇයට නොහැකි ය. දණිස් පොල්කටු හොඳටෝ ම දිරලා ගොසිනි.

සාමණේරයන්ට ‘ සුවපත් වේවා’ යැයි කියන්නටවත් ඉවසුම් බවක් නැති සේ ය.

‘පව් දෙයියනේ , රෑටත් කුස හිස්නෙ. බඩගිනි ඇති. කොහොම බඩගින්න උහුලන් ඉන්නවද දන්නෙ නෑ’ යසෝ අම්මාට සිතෙයි.

“ අත්තම්මෙ .. අද මොනවැයි අත්තම්මෙ හීල් දානෙට...? “

පොඩි හාමුදුරුවෝ අසයි.

මුවඟට සිනාවක් නඟා ගත් යසෝ හාමි හීලට ගෙනා දේ රස කරමින් කියන්නට වන්නීය.

“ අද පොඩි හාමුදුරුවනේ හොඳ කට්ට සම්බෝලයක් එක්ක මයියොක්කා අරන් ආවෙ. පොඩි හාමුදුරුවෝ මනාපයි නේද මයියොක්ක වළඳන්න ? “

සාමණේරයන්ගේ මුහුණ එහෙම්පිටින් ම අඳුරු වී ගිය සෙයකි.

උන්වහන්සේගේ ගිහි නම ආලෝක සත්සර ය. ගෙදර සිටියදීවත් මයියොක්කා කන්නට ආලෝක කැමති නැත. කාලා කාලා එපාම වී ඇති කෑමකි.

ඉවසා ඉන්නේ ඊයෙ දහවලට බඩ පුරවා ගත් ගමන්‍ ය. මහණ වූ පසු රෑටත් මොකුත් කෑමට නොහැකි ය. හීල ගේනකන් බලා හිටියේ කුස පුරා වළඳන්නට ය. දැන් සිදුව ඇත්තේ මයියොක්කා වළඳන්නට ය.

වළඳන්ට ආසා දෙයක් කියන්නට, ඉල්ලන්නට තහනම් ය. දානයට ගෙන ආ දෙයක් වැළඳීය යුතු ය. පන්සලේ නීතිය එයයි.

මුහුණ හකුළාගත් දමිත සාමණේරයන් බෝ මලුවෙන් ඉවතට වඩින්නේ බොහෝම හෙමිහිට ය. ඒ යසෝ අම්මාට පේන හරිය පමණි. නොපෙනෙන හරියේ දී තැන්පත් ගමන වේගවත් ය.

කුඩා නම වේගයෙන් දිවයන සැටි නොදුටු යසෝහාමිට පහළ වූයේ මෘදු සිතකි. සාමණේරයන් තමන්ගේ ලොකු කොල්ලාගේ පොඩි පුතාගේ වයසේ ය. තම මුණුපුරන්ට සේ මේ කුඩා හිමියන්ට කෙළිදෙලෙන් දුවන්නට පනින්නට ඉඩක් නැත.

දමිත සාමණේරයන් අධිවේගයෙන් වඩින්නේ මාදං ගස වෙත ය. මාදං ගසේ මේ දිනවල දම්පාට ගෙඩි ඕසෙට පිරි තිබේ. තරමක් ඇඹුල ය. එසේම තරමක් කසටය. මයියොක්කාවලට වඩා නම් කොහොමත් රසින් වැඩි යැයි සාමණේරයන්ට සිතේ.

දැන් කුඩා නමට ඇති ලොකුම ගැටලුව වන්නේ අත්තම්මාට නොපෙනෙන්නට ගස මුදුනට නඟින්නේ කෙසේ ද යන්න ය.

සිරිමල් මාමා බුද්ධ පූජාව සකසා ගෙනෙනා තෙක් ඈ බෝ මලුවෙන් නොයන්නී ය. එතෙක් බිම තිබෙන පොලුකෑලිවලින් දං පොකුරුවලට ගසා ගෙඩි බිම දා ගන්නට පුළුවන.

‘සිරිමල්’ පන්සලේ ඇබිත්ත මාමාගේ නම ය. ඇබිත්තියා යැයි කියනවාට සිරිමල් මාමා කොහෙත්ම කැමති නැත. තමා කැපකරු මහතකු මිස ඇබිත්තියකු නොවන බව වරක් තමන්ගේ කන ද මිරිකමින් ඔහු කීවා සාමණේරයන්ට තමන්ට මතක ය.

යසෝ අම්මා බුද්ධ පූජාව තබන්නට විහාර මන්දිරයට ගිය සැණින් සාමණේරයන් වහ වහා ගසට නැඟ ගත්තේ දඟකාරයකු ලෙසිනි.

ලොකු හාමුදුරුවෝ දැක්කොත් නම් ගුටිකන්නට ම වන්නේ ය. සිරිමල් මාමාට අහුවුණොත් ලොකු හාමුදුරුවන් ගාවට විස්තරය යන්නේ එක දහය කිරීමෙන් පසුව ය. එය නම් හොඳටෝම භයානකය.

ගසකට නැඟ දං ගෙඩියක් වැළඳුවාට බුදුරජාණන් වහන්සේ නම් බනින්නේ නැත. බුදුරජාණන් වහන්සේට ඇත්තේ හැමදාම හිනා මූණකි. විහාර ගේ බිම එතරම් සීතල සැනසුමක් ගෙනෙන්නේ බුදුරජාණන් වහන්සේගේ කරුණා ගුණය නිසා යැයි සාමණේරයන්ට සිතේ.

සමහර දං ගෙඩි තවමත් ඉදී නැත. සමහර ඒවා නම් හොඳටෝ ම ඉදිලාය. දැන් නම් සාමණේර හිමියන්ගේ දිවත්, කටත් දෙකම දම්පාට වී තිබේ. කුසත් මාදංවලින් ටිකෙන් ටික පිරී ගොසිනි. මයියොක්කා ඇතත් නැතත් , දහවල් දානය එන තෙක් වේල පිරිමසා ගන්නට කොහොමත් දැන් හැකි ය.

අතු දෙබලකට බර වී වැතිර ගත් සාමණේරයන්ට අතීතය සිහිවන්නට විය.

සාමණේරයන්ට අම්මා මිස තාත්තා කියා කෙනෙක් නැත. ඉන්නේ බාප්පා කියා කෙනෙකි. මල්ලී සහ චූටි නංගී බාප්පාට කියන්නේ තාත්තා කියා ය. අක්කා සහ ලොකු නංගීගේ තාත්තා දැන් ඉන්නේ කොහේ දැයි අම්මාවත් නොදන්නී ය. තමාගෙ තාත්තා නම් මිනීමැරුමක් නිසා දැන් ඉන්නේ හිරේ යැයි අම්මා කියා තිබෙනු සාමණේරයන්ට මතක ය.

අම්මා නම් දරු පස් දෙනාට ම එක සේ ය. බාප්පාට නම් වැඩිපුරම පෙන්නන්නට බැරි තමන්ව යැයි ආලෝක දනී.

“ මූ නම් ආලෝක නෙමෙයි , මූට දාන්න තිබ්බෙ ආලවක යකා කියලයි. කාලකණ්ණියා..”

වරදක් කළත් නැතත් බාප්පා කියන්නේ එසේ ය. අම්මා ළඟක සිටියෝතින් බේරා ගන්නවා විනා බීමත් බාප්පා ආලෝකට පහර දෙන්නට පටන් ගනී. ඒ මහත වයරයකිනි. පහර පිට පහර වැදෙන විට පිට රිදුම් දෙයි. කොයිතරම් ඇඬුවත්, කෑ ගැසුවත් පිහිටට එන්නෙක් ද නැත.

ආලෝක හැමදාම අහස දෙස බලමින් දෙවියන්ට කීවේ බාප්පාගෙන් තමන් බේරා දෙන ලෙස ය. කාලයකට පසුව දෙවියන් ආලෝකගේ කන්නලව්ව ඇසුවේ දෙවියන්ට ම තමන් ගැන දුක හිතිලා වන්නට ඇත.

දවසක් පොලිසියෙන් ඇවිත් බාප්පා රැගෙන ගියේ ය.

ආලෝකට කිසිවක් හරිහැටි පැහැදිලි වූයේ නැත. ආලෝකට සිතෙන්නේ බාප්පා තමන්ට සේ ම බීගෙන ඇවිත් අක්කාටත් වයරයෙන් හොඳටෝ ම පහර දෙන්නට ඇති බව ය.

තමන්ට හැමදාම පහර දුන්නත් පොලිසියට නොකියනා ගම්මු, අක්කාට පහර දුන් දවසේම පොලිසියට කීවේ තමාට වඩා මිනිස්සු අක්කාට ආදරේ නිසා වන්නට ඇති යැයි එදා ආලෝකට සිතිණි.

ඊට ටික දිනකට පසු ලොකු හාමුදුරුවෝ , නිමල හාමුදුරුවන් සමඟ ගෙදරට වැඩියේ බනිසුත් , චොක්ලටුත් රැගෙන ලස්සන වෑන් එකකිනි. ගෙදර උයන්නට හාලුත් පරිප්පුත් අඩුම කුඩුමත් ගෙනැවිත් තිබුණි.

ඒ දින ගාණට ම එදා බඩ පිරුණි. එදා අම්මා ආලෝකගේ හිස අතගෑවේ කඳුළු පිරුණු ඇස්වලිනි.

අතීතයේ සිතිවිලි ධාරාවේ අතරමංව සිටි දමිත සාමණේරයන්, සිරිමල් මාමා ළඟට ම ආවත් නොදැක්කේ ය. හදිසියේ ම යකෙක් දුටු සෙයින් සාමණේරයන් ගැස්සී ගියේ සිරිමල් මාමා කෑමොර දෙන්නට වූ මොහොතේ ය.