Print this Article


දානය වැළැක්වීමේ විපාකය අමිහිරිය

දානය වැළැක්වීමේ විපාකය අමිහිරිය

දීමෙන් ලැබීම සිදු වේ. ඔන්චිල්ලාවක් පැද්ද වූ කල ඊටත් වඩා වේගයෙන් තමා කරා එන්නාක් මෙන් දන්දීමේ ප්‍රතිඵල ද සාංදෘෂ්ඨික වශයෙනුත්, පාරලෞකික වශයෙනුත් තමා කරා එනු ඇත. එය වැළැක්වීමට කිසිවකුටත් නොහැකි ය. බුදු සසුනේ අග්‍රශ්‍රාවකයින් අතර සීවලී මහ රහතන් වහන්සේ, නාගිත මහ රහතන් වහන්සේ ආදී චරිත කතා තුළින් ඒ බව ප්‍රකට වේ.

දීමෙහි විරුද්ධ පදය වන්නේ නොදීම යන්නයි. සිවුපසය නම් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස යන්නයි. එය ගිහි සමාජයට එන කල්හි ඇඳුම් – පැලඳුම්, ආහාර – පාන, ගෙවල් – දොරවල්, බේත් – හේත් යනුවෙන් නම්වල වෙනසක් ඇති වේ. නමුදු භාවිතයේ හා සැකසුමේ සුළු වෙනස්කම් ඇති වුව ද අවශ්‍යතා එක මට්ටමින් පවතිනු ඇත. එම අවශ්‍යතා හතරෙන් ම ප්‍රධාන අවශ්‍යතාව ලෙස ආහාරය නම් කිරීමට පුළුවන. “ඒක නාම කිං – සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා” යනුවෙන් සියලු සත්වයින්ට ආහාරය ම මුල් වේ. ප්‍රධාන වේ. යනුවෙන් අර්ථවත් වේ.

ආහාර වුව ද ලැබෙන්නේ සසර දුන් පිළිවෙළට හා දුන් ප්‍රමාණයට ය. ඒ අනුව නොදීම පිළිබඳ නොයෙක් කතා පුවත් ද ඒ නොදීම හේතුවෙන් එම චරිතවලට අත් වූ ඉරණම පිළිබඳව ද සඳහන් වේ. බුදුරදුන් කල බොහෝ ධන සම්පත් තිබූ අය සිටි අතර, සමහරු ශ්‍රද්ධාවෙන් දන් දී සගමොක් ලැබුවත් සමහරු නොදී, නොකා නොබී දුක්ඛිත ආත්ම ද ලැබූහ. විශාඛා, කෝසල මල්ලිකා, අනේපිඬු සිටු වැනි චරිත තුළ තිබුණේ අසීමිත ශ්‍රද්ධාවක් හා පරිත්‍යාග චේතනාව ය. ඒ නිසාම මහා සංඝයා විෂයයෙහි නිරන්තරයෙන් දන් දී දිව්‍ය මනුෂ්‍යා දී සැප සම්පත් ලබා ගත්හ.

ඒක සාඨක, සුමන මල්කරු, ඉන්දික දුගියා වැනි චරිත තුළ තිබුණේ ශ්‍රද්ධාවයි. ඔවුන් දුප්පතුන් වූ අතර දන් දෙන්නට තරම් ධන සම්පත් නොතිබුණ අයයි. එදා වේල සොයා ගත්තේ ද ඉතා අසීරුවෙන් ය. නමුදු ශ්‍රද්ධාව කෙනකුට සැබෑ ලෙස ඇත්නම්, දෙන වස්තු සම්පත්තියේ ලොකු, කුඩා ප්‍රමාණය බල නොපානු ඇත. මලක් පහනක් පූජා කොට හෝ දිව්‍ය සැප සම්පත් ලබා ගැනීමට පුළුවන. එය හොඳ හිතින්, පරිත්‍යාග චේතනාවෙන් කර්මය පලය ලෙස අවබෝධ කොට ගෙන කළ යුතු ය.

නොදීම හා දෙන දෙය වැළැක්වීම තුළ සසර බොහෝ දුක් විඳීමට සිදු වේ. විශේෂයෙන් ආහාර – පාන පිළිබඳ සැලකීමේ දී ආහාර විනාශ කිරීම, අපතේ හැරීම, තව කෙනෙකුගේ ආහාර වේලක් නැති කිරීම විශාල අකුසල කර්මයකි. සේඛියා 75 අතර ආහාර පිළිබඳ වෙනම ම සේඛියා ගණනාවක් දේශනා කොට ඇත. බුදුරදුන් කල වැඩසිටි ලෝසක හිමියන්ගේ කතා පුවතින් මුළු ජීවිතය පුරාවට කුස පිරෙන්නට ආහාර වේලක් නොලබපු ආකාරය පැහැදිලි වේ.

ලෝසක හිමි ගිහි කල මව් කුසට ආදා පටන් මවටත් බඩගින්නේ සිටීමට සිදු විය. පියතුමන්ටත්, නිවසේ සියලු දෙනාටත් අසුබ කාලයක් උදා විය. එම ගම්මානය ද සත් වසරක් ම ළැව් ගින්නකින් පිච්චී විනාශ විය. ගම්වාසීන් අන්ත අසරණ තත්ත්වයට පත් විය. එම හේතුවෙන් මව පුතු විහාරයට එක්කර ගෙන ගොස් පැවිදි කොට ලෝසක හිමි නමින් හැඳින්විය. නමුදු ලෝසක හිමිට කිසි දිනක කුස පිරෙන්නට පිණ්ඩපාත නොලැබුණි. ඒ සමඟ වඩින අනිත් හිමිවරුනට ද පිණ්ඩපාතය නොලැබුණි. ලෝසක හිමියන්ගේ අතැති පාත්තරයට දන් හැන්දක් බෙදුවත් එය පිරී ඉතිරී යන හැටියක් ම පෙනේ. සමහර විට බෙදන්නට ගෙනා ආහාර අතුරුදන් වේ.

දිනක් සැරියුත් හිමි ලෝසක හිමිට පිණ්ඩපාතය ලබා දෙන අදහසින් ලෝසක හිමි සමඟ සැරියුත් හිමි ද පිණ්ඩපාතයේ වැඩියහ. එදින සැරියුත් හිමිට ද පිණ්ඩපාතය නොලැබුණි. ලෝසක හිමි පිරිනිවන්පාන දින සැරියුත් හිමි චතුමධුර පාත්තරයක් පිඩු සිඟා ගෙනැවිත් තමන් වහන්සේගේ අතේ තියෙද්දී ම වළඳන්නැයි කී සේක. එදින ලෝසක හිමියෝ ජීවිතයේ පළමුවරට කුස පිරෙන්නට ආහාර වැළඳූහ. එදිනම ලෝසක හිමි පිරිනිවන් පෑ සේක.

ලෝසක හිමිට එතරම් අකුසල කර්මයක් විඳින්නට සිදු වූයේ කුමක් නිසා ද යන්න විමසීමේ දී එම හේතු කාරණා පිළිබඳ ඕනෑම කෙනෙක් අවධානය යොමු කොට තම තමන් ළඟ ඇති දුර්ගුණ නැති කර ගැනීමට වෙහෙසීම වැදගත් වනු ඇත.

පෙර භවයක ලෝසක හිමි පැවිදිව සිටිය දී එක් දානපතියෙක් උන්වහන්සේට දානය දිනපතා පිළිගැන්වීය. දිනක් රහතන් වහන්සේ නමක් එම ගමට වැඩිය කල්හි දානපතියා රහතන් වහන්සේ ගැන පැහැදී උන්වහන්සේට නිවසේ දීම දානය පිළිගන්වා ලෝසක හිමි වැඩ සිටින ආරාමයේ ම වැඩ සිටින ලෙස ආරාධනා කළහ. රහතන් වහන්සේ එම ආරාමයේ වැඩ සිටි නමුත් ලෝසක හිමි වැඩි කැමැත්තක් නොදැක්වූහ.

දානපතියා සවස ආරාමයට ගොස් දෙනමට ම පසු දින දානය සඳහා තම නිවසට වඩින ලෙස ආරාධනා කළහ. පසුදා ලෝසක හිමි රහතන් වහන්සේ වැඩ සිටි කුටියේ දොරට නියපොත්තෙන් තට්ටු කොට දානයට වැඩියහ. දානපතියා රහතුන් වහන්සේ කොහිදැයි ඇසූ කල ඔබගේ නිවසේ මිහිරි ආහාර වළඳා දිරවාගත නොහැකි ව තවම නිදි යැයි පැවසූහ.

එසේ නම් ඔබ වහන්සේ වළඳා ආරාමයට ගොස් උන්වහන්සේට මෙම දානය පිළිගන්වන්නැ’යි කිරිපිඬු පාත්‍රයක් ලෝසක හිමිට දුන්හ. මෙම දානය දුන්නොත් පන්සලෙන් යන එකක් නැතැයි ලෝසක හිමි සිතූහ. උන්වහන්සේ එම දන් පාත්‍රය වෙන කෙනකුට හෙළි නොවන සේ කාටවත් නොදී වතුරටත් නොදමා, බිමටත් නොදමා මළ මුත්‍රා ඇතුළු කුණු පිච්චෙන තැනකට අඟුරු ඈත් කොට එයට දමා විහාරයට වැඩි සේක. රහතන් වහන්සේ එදින කුසගින්නේ ම සිටියහ. මෙම අකුසලය නිසා ලෝසක හිමිට එම විපාකය ලැබුණි.

ලෝසක හිමි කළ අකුසල කර්මය හේතුවෙන් රහත්වීමට පෙර ආත්මවල දී අවුරුදු දහස් ගණන් අපායේ දුක් වින්දේ ය. එයින් පසු චුතව භව පන්සියයක් යක්ෂයෙක් වී උපන්නේ ය. නැවත ආත්ම පන්සීයයක් සුනඛ ව උපන්නේ ය.

ඒ අනුව දානය නොදීම, දෙන අය වැළැක්වීම හා ආහාර විනාශ කිරීම හා ඒවා අපවිත්‍ර තැන්වල බහාලීම සසර පුරාවට දුක්විඳීමට සිදු වන අකුසල කර්ම බව සිතිය යුතු ය.

උසස් මනසක් ලබා ඇති සත්වයින් වශයෙන් මිනිසුන් විසින් නිරතුරුව ම බුද්ධිමත් ව, අනුනට අයහපතක් නොවන අයුරින් කටයුතු කළ යුතු ය. විශේෂයෙන් සසර සැප විඳීමට නම් දාන චේතනාව ම පුරුදු පුහුණු කළ යුතු ය. බලු කපුටන්ට හෝ හොඳ සිතින් දන් දී පින් රැස් කර ගත යුතු ය. හොඳ සිතින් දෙන දානය ගිය ගිය තැන නිධානයක් පහළ වූවා සේ සැප විපාක ලබා ගැනීමට හේතු වන බවත්, නොදීම තුළින් උසස් ආත්මයක් හෝ උසස් සැප සම්පත් නොලැබෙන බවත් සිතට ගත යුතු ය.