Print this Article


පහන් සිතක කවි

සිව් මහ ගංගා

ලංකා දීපේ සමනොළ සිරිපා සිඹලා
සමුදුර බලා යයි ඈ නිති සිනා වෙලා
ලක් මව සිසිල් දිය දහරින් සනසව ලා
මෝදර තොටින් කැලණි නදී යයි නික්මි ලා

උඩරට පුරේ රහසිං නර දෙවි උතුම න්
ගලකින් කෙරූ බළකොටු පවුරට ඔබ්බෙ න්
ලක්දිව දිගැති ගඟ යන විරුදය සමගි න්
මහවැලි මෑණි බැස යයි ත්‍රිකුණාමලයෙ න්

කාලතිත්ථ නම් ගත් තොටුපොළ නග රේ
සෑම තැනම බලමින් යයි නිරන්ත රේ
කළුතර බෝ සමිඳු පා වැඳ නිරන්ත රේ
කළු ගං කොමළී මෝයෙන් සමුදුරට හැ රේ

සිරිපා කන්දේ සිට හෙමි හිට ඇද හැලෙන
කෙත්වතු රාශියක් තම ජලයෙන් රකින
විකුමන් කියා පාමින් මනහර ලෙසින
වලවේ ගඟුල මෙලෙසින් දියඹට ඇදෙන

****

උතුම් භික්ෂු නම

වන පියසේ බවුන් වඩා සිත සනසා ගන්නේ
සීල සංවරය ඇතිවයි නිතරම හැසිරෙන්නේ
විමුක්තිය ලැබ ගන්නට
වෙහෙස මඟකි
උතුම් බඹසර හැසිරෙමින් යන්නේ
මහා සුවයකි දකින්නේ

දඬු මුගුරු ගැන සිතලාවත් නැහැ
බුදු සව්වකු වන්නේ
මවු පිය දෙපළ අතහැර නැත
දුක සැප අහගන්නේ
මවු පිය ඤාති මේ හැම දෙන
සුගතියට යොමු කරන්නටයි පින් දෙන්නේ
උතුම් මේ භික්ෂු නම අරි – අටඟි
මඟ වඩින්නේ

****

ඉල්පුර පෝදා ...

සිත් පහදවා ගෙන මතුවට බුදු බව පතලා
ගත් අදිටනින් ගෞතම සසුනට බැඳිලා
ලත් අවසරින් සළුවක් මුනිඳුට පුදලා
ඉල් පොහො දිනේ මෙත් බෝසත් විවරණ ලබලා

තිලොවට තිලක අපෙ සම්බුදු හිමිගේ
බෙදුමට දහම් හැටනම පළවෙනි සඟගේ
දෙසුමට දහම් සනසා මනුදන සැමගේ
ඇරඹුම වුණේ ඉල්පෝ දිනකයි අපගේ

සම්බුදු සමිඳු අපෙ ගෞතම මුනිඳු
උරුවෙල විසූ ජටිලයො ළඟ විහිදූ
සම්බුදු බලෙන් තුන්බෑයන් අවිදූ
ඉල් පොහෝ දිනේ පැවිදිව ඇත පසිදූ

ගිහිගෙයි සිටියදී ඔහු වී උපතිස්ස
රූපසාරි මව්තුම මිසදුටු දැගැස
යහමග ගෙනා සැරියුත් හිමි අගස
අපවත් වුණි එදා ඉල්මහ පෝ දවස

පෙරවස් වසන්නට නොහැකි වූ සඟ රුවන
පසුවස් පවාරන්නෙත් මේ පෝය දින
ථූපාරාමෙ වැඩ පෑතිස් නිරිඳු දින
අරඹුම සිදුව ඇත ඉල්පෝදා සොඳින

****

හොඳ නරක

(ධම්ම පදය ඇසුරෙනි)
සිත මුල්කොට උපදින නෙක වරදට
නිතරම පැතිරෙයි දිවි මග නොසතුට
නැති විට යහපත කළ කී දෙයකට
ඇත රිය සක ලෙස පසුපස දුකකට

සිත තුළ යහපත උපදින දිනයට
නිතරම පැතිරෙන ගත වුව සුවයට
නැත සැක සතුටින් ඉපිලෙයි මොනවට
ඇත සෙවණැල්ලක් ඔබගේ සහයට

****

බුදු දහම

ගෞතම නමින් බුදුවූ සුදොවුන් මහමායා පුත
තෙවලා බුදු වදන් හරියට දෙසා ඇත
එය අවබෝධයෙන් දෙව් මනුලෝ සියලු සත
ළං කර ගත හැකි ය අමමහ නිවන් සුව