Print this Article


ඔබට හැකි නම්...

ඔබට හැකි නම්...

ඔබ කිනම් ජාතිකයකු වුවද, කිනම් සම්මත වර්ගයකට අයත් අයකු වුවද, කිනම් දහමක් පිළිගත් අයකු වුවද මෙම ගුණධර්ම ඔබ මනස තුළ වර්ධනය කරගත හැකි නම්, ලෝකය මවිත වන සුළු ආශ්චර්යවත් දේ ඔබට කළ හැකි වනු ඇත

* පෙරළෙන අටලෝදහමට කම්පා නොවී ඔබට ඉන්නට පුළුවන් නම්.

* ඔබට ශාප කරන්නාට සෙත් පතන්නටත්, වෛර කරන්නාට මෛත්‍රී කරන්නටත් වරද කරන්නාට සමාව දෙන්නටත් ඔබට පුළුවන් නම්.

* ධනය, බලය, කුලයට, නිලයට ගැති නොවී ඔබට ඔබ ගැන විශ්වාසයෙන් ක්‍රියා කරන්නට පුළුවන් නම්,

* කවුරු ඔබ ගැන සැක කළත්, ඊට පටහැනි නොවී, තර්ක නොකර නිහඬව සිටීමට ඔබට හැකි නම්,

* ඔබ කතා කරන ඇත්ත, කෙනකු බොරු යැයි පවසද්දී, ඔබ කරන නිවැරැදි දේ වැරැදි යැයි කොන් කරද්දී ඔබ කරන හොඳ වැඩ නරක යයි බෙරිහන් දෙද්දී නියම සිහියෙන් ඔබගේ කෘත්‍යයෙහි ම යෙදෙමින් ඔවුනට සත්‍යය වටහා ගන්නට ඉඩ දෙන්නට ඔබට හැකි නම්,

* ඇට, ලේ, මස්, නහර බෙලහීන වී ගොස් ඔබ ජරාජීර්ණ වෙද්දීත්, ඔබට අයිති කාර්ය උදෙසා සේවය කිරීමට ඔබට පුළුවන් නම්,

* උසස්, උගත්, වැදගත් යැයි සම්මත අය සමඟ ආශ්‍රය කරන ඔබ ඔවුන්ට පෙන්වන සුන්දර මුහුණම, ගෞරවයම, සැලකීම ම, නූගත්, පහත්, අහිංසක අයටත් පෙන්විය හැකි නම්,

* මිනිස් සමාජයේ නොදියුණු අය ඔබව මෝඩයකු, පිස්සකු හෝ නිවටයකු වශයෙන් හංවඩු ගසන විට, ඔබට ඔවුන් දෙස අවදියෙන් බලා සුහදව සිනහ විය හැකි නම්,

* ඔබ දහඩිය මහන්සියෙන් හම්බ කර ගත් දේ දරුවන්ටත්, අසරණයන්ටත්, යාචකයන්ටත් නොපැකිල දෙන්නට ඔබට හැකි නම්,

අනුන්ගෙන් ඉල්ලමින් හෝ දෙවියන් යදිමින්, තමා ආධ්‍යාත්මික වශයෙනුත්, බාහිර වශයෙනුත් පිරිපුන් කෙනෙකු වශයෙන් පෙන්වමින් ජීවත්වීම මිනිස්කමට නිගාවක් බව ඔබට ප්‍රත්‍යක්ෂ නම්, ඔබ සැබැවින් ම මිනිසා යන ශ්‍රේෂ්ඨ වචනයට නිගා නොදෙන උතුම් උදාර මිනිසකුම වේ.

එවැනි මිනිස් ගුªණවලින් පෝෂිත මිනිසා ගැහැනු පිරිමි හෝ කවුරු වෙතත් ලෝකයට ඔහු හෝ ඇය ශාන්තියකි. එවැනි පුද්ගලයන් ජිවත් වන සමාජයට ද දියුණුවක් ම මිස පරිහානියක් නම් සිදු නොවේ.